IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දයාසිරිගෙන් සැර ප්‍රකාශයක්

ජනපති සිරිසේන මහතා පෙරමුණු කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් ඉදිරි ජනපතිවරණයේ ගෝඨාභයගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙවැනි අදහස් දැක්වීමක යෙදිණ.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේකෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එවැනි තීරණයක් ගෙන නොමැති බව අපි විශ්වාස කරනවා” යයි දයාසිරි ජයසේකර මහතා කීවේය. 

ඔහුගේ මෙම අදහස්වලින් පැහැදිලි වන්නේ පක්ෂ නායක ජනපති සිරිසේන මහතා මෙන්ම ඔහු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත්වීමේ අවස්ථාව තවමත් තිබෙන බවට බලාපොරොත්තු දල්වාගෙන සිටින බවයි. එය කෙසේවුවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය සටනට ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගත වුවද, ජනපති සිරිසේන මහතා වෙත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය හිමිවීම උගහටය.

ජනපතිවරණ ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

“අපට ගෝඨාභය ගැන තිබෙන්නේ විශාල ගෞරවයක්. ඔහු මුහුණදෙමින් සිටින තත්ත්වය අපේ රටේ දියත් කෙරෙමින් තිබෙන ක්‍රියාකාරකම්වලට බලපෑමක් එල්ල කරනු ඇති ද කියා අපි සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මේවා සිවිල් කටයුතු. අපරාධ නොවෙයි. ඒවායේ අනාගතය ගැන අපි දන්නේ නැහැ” යයි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ අධිකණවල නඩු පවරා ඇතැයි යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රීති වීමට තරම් කාරණයක් වුවත්, නිල වශයෙන් ඔවුන් අනුගමන කළේ නිහඬ පිළිවෙතකි. සුපුරුදු ලෙස, පක්ෂ නායක අගමැති වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, යම් අදහස් දැක්වීමක යෙදුණේ පක්ෂයේ පසුපෙළ සාමාජිකයෝ කිහිපදෙනෙකි.

ජයසේකර තවත් වැදගත් කාරණයක් අනාවරණය කළේය. ජනපතිධූර කාලය අරබයා දෙවැනි ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමුව තිබීම එම කාරණාවයි. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, කතානායකවරයාගේ අත්සනින්, රටේ නීතිය බවට පත්වුණේ 2015 ජූනි මස 21 වැනිදා බැවින් ජනපතිවරණය පැවැත්විය යුතුව තිබෙන්නේ 2020 ජූනි මස 21 වැනිදායින් පසුව බවට ජයසේකර තර්ක කළේය.

“ජනපතිධූර කාලය වසර 5ක් ද නැතිනම් 6ක් ද යන්න මීට පෙර අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ලැබුවා. එය වසර 5ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ගැටලුව මතු වන්නේ මේ පස් අවුරුදු කාලය, කවදාද ආරම්භ වන්නේ සහ කවදාද අවසන් වන්නේ යන කාරණා මතයි” ජයසේකර පැවසුවේ ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එකිනෙකට වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වීමේ හැකියාව පවතින නිසා 2020 ජනවාරි මස 8 වැනිදායින් පසුව තවත් කාලයක් ජනපතිවරයා ලෙස කටයුතු කිරීමට ජනපති සිරිසේන මහතාට අවස්ථාව තිබෙන බව ඔහුගේ නීති උපදේශකයින්ගේ විශ්වාසයයි. නමුත් මෙම අදහස බැහැර කරන ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දෙන්නේ, තවදුරටත් ධූරයේ රැඳී සිටිමට තරම් පැහැදිලි කිරීමක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නොමැති බවයි. ඇතැම් විට ධූර කාලය සම්බන්ධයෙන් ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමක් සිදුනොකළද, හැකිතාක් කාලයක් ධූරයේ රැදී සිටීමට තිබෙන අවස්ථා සියල්ලක්ම ඔහු සොයා බලමින් සිටින බව නම් පැහැදිලිය.

තවත් කාලයක් ජනපතිධූරයේ රැදී සිටිය හැකි බවට තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුනහොත්, සිරිසේන මහතාගේ ළඟම හිතවතුන් පවසා සිටින ආකාරයට, ලබන අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ ඔහු ජනපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අතරවාරයේමය.

“ඔහු වරක් ඔහුගේ අගමැතිවරයාව ධූරයෙන් ඉවත් කරලා පාර්ලිමෙන්තුව විසිරුවා හැරියා. එදත් ඔහුට උපදෙස් දුන්නේ මේ කියන නීති විශාරදවරුන්මයි” මේ සම්බන්ධව මනාපයක් නොදක්වන හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙක් පැවසුවේ ය.

එය එසේම සිදුවීමට ඉඩ හළහොත් එය ජනපතිවරයාට ඉතිරිව තිබෙන ප්‍රතිරූපයත් විනාශ කිරීමේ සමත්වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. අවසන් තීරණය කුමක් වනු ඇතිදැයි යන්න නොදන්නා වුවත්, මෙවන් මත විමසුමක් සිදුකිරීමට යන්නේ ඒ හරහා ජනපතිවරයා දියත් කර තිබෙන දූෂණ විරෝධී සහ මත්කුඩු විරෝධී ව්‍යාපාරයන් තවදුරටත් දීර්ඝ කළ හැකිවනු ඇති නිසා බවටද හේතු දැක්වීමක් ඇතැම් පාර්ශවයන් කරයි.
මෙය සාර්ථක වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම හැරෙන්නට ජනපති සිරිසේන මහතාට ලැබෙන වෙනත් කිසිදු දේශපාලන සහයක් නැත. එක්සත් ජාතික පෙරමුණේ සහාය මේ වෙනුවෙන් ලැබෙනු ඇතැයි සිතීම උගහට අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද තත්ත්වය එසේමය. 

දැනටමත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීම අරබයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා දුෂ්කර මාර්ගයකට පිවිස ඇත. පසුගිය බදාදා පැවැති සාකච්ඡාවේ දී මෙය තවදුරටත් පැහැදිලි විය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකගතාවයක් ඇති වූ බව වාර්තා කර තිබුණු ඇතැම් මාධ්‍යයන් සාකච්ඡාවලට ධනාත්මක මුහුණුවරක් ලබා දී තිබුණද, එසේ එකගතාවයන් ඇති වූ කාරණයන් සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ දෙකක් අතර ඇතිවන සාකච්ඡාවක දී ඇතිකරගන්නා එකගතාවයන්ගෙන් වෙනස් නැත. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීම සහ රාජ්‍ය දේපළ විකිණීමෙන් වැළකීම, එවැනි කාරණයන්ට උදාහරණයන්ය.

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සාකච්ඡා ආරම්භ වූයේ නියම කරගත් වේලාවට වඩා ප්‍රමාදවය. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් එහි පැමිණීමට ප්‍රමාද වූහ. ඔවුන් පැමිණියේ ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවකට පසුවය. 

පොදු ජන පෙරමුණේ නියෝජිතයන් හා පැවැත්වෙන සාකච්ඡාවල දී අනුගමනය කළ යුතු කාරණා මෙන්ම න්‍යාය පත්‍රයක් ද ජනපතිවරයා ඔවුන් වෙත ලබා දී තිබිණ. එය එළෙස අනුගමනය නොකෙරුණු අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිත පිරිස එය නොසළකා හැරියහ. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක ජී.එල්.පීරිස් මහතා බරපතල අනතුරු ඇගවීමක් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජිත පිරිස මෙම සාකච්ඡාවලට පැමිණෙන්නේ පක්ෂයෙන් නැගෙන දැඩි විරෝධය මධ්‍යයේ බව ඔහු පැවසුවේය. සිය පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විසින් දක්වන ලද අදහස් දැඩිව විවේචනය කළ ඔහු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශ්වාසය වන්නේ ශිෂ්ඨ සම්පන්නව දේශපාලනයේ නියැළිය යුතු බවයැයි පැවසුවේය.

පීරිස් මහතා හා සමානවම අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා පොදු සන්ධානයක් ඇති කරගැනීමට විරුද්ධව අදහස් දක්වමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ සාමාජිකත්වය පමණක් නොවන බවත්, රටේ විවිධ ප්‍රදේශවල ජනතාවද දරන්නේ එම අදහස්ම බවත් පැවසුවේය. එසේවුවත් සාකච්ඡා දිගටම පවත්වාගෙන යන ලෙස පක්ෂයේ නිල නොවන  නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන බව ඔහු කීවේය. 

එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කිරීමේ වුවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන බව ඇඟවෙනු වස්, පාලක පක්ෂයේ බලය යටතේ පවතින පළාත් පාලන ආයතනවලට පත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරගන්නා ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පෙර අවස්ථාවක දී ඉල්ලීමක් සිදු කැරුණු නමුත් එම ඉල්ලීමට අනුව කටයුතු කිරීමක් සිදුනොවූ බව, අලහප්පෙරුම සිහිපත් කළේ ය. වහාම හඬ අවදි කළ දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි පියවරක් ගැනීමේ කිසිදු හැකියාවක් නොතිබූ බව අවධාරණය කළේය. 

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සංචාරයක නියැළී සිටි ජනපතිවරයා පුවත්පත් වාර්තාවලින් මේ බව දැන, වහාම දුරකතනය ඔස්සේ පක්ෂයේ බලධරයින් අමතා එසේ නොකරන ලෙසට උපදෙස් දුන්නේය. මෙසේ ගැටලු මතුවී තිබෙන්නේ පොළොන්නරුව සහ මැදිරිගිරිය යන පළාත් පාලන ආයතන අරබයා බව අනාවරණය විය.

පළාත් පාලන ආයතනවලට පත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හා පාලක පක්ෂයේ සාමාජිකයන් අතර පවතින සබඳතාව බිද දැමීමට කටයුතු කිරීම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවංක චේතනාව පෙන්වා දිය යුතුව තිබෙන බව අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. 

“මේක රනිල් විරෝධයක් ඇරෙන්න එක්සත් ජාතික පක්ෂ විරෝධයක් නොවෙයි” ඔහු පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රසිද්ධියේම රජයට එරෙහි පිළිවෙතක් අනුගමනය කරන බව පැවසූ ඔහු, ඒ හා සමානවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වෙනස්විය යුතුව තිබෙන බව කීවේ ය. අයවැය තෙවන වර සම්මත කිරීමේ දී ඊට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයද මෙහිදී අවධානයට ලක්විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය දැඩි අප්‍රසාදය පළකළේය. 

දේශපාලන තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තවමත් හැකියාවක් නොමැති බව අලහප්පෙරුම මහතාගේ අදහස විය. වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අයවැය නීල හරිත අයවැයක් ලෙස හදුන්වාදුන් බව සිහිපත් කළ ඔහු, මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ ඒ නිසාදැයි විමසා සිටියේ ය.

මේ සියල්ලට වඩා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ දූත පිරිස වඩාත් කෝපයට පත්ව සිටියේ සාකච්ඡාවලට ප්‍රථම පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ජයසේකර මහතා දක්වා තිබූ අදහස් අරබයාය. එම අදහස් මෙවැනි විය.
“මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසුව එහි විපාක අත්විදින්නට සිදුවුනේ ජනපති සිරිසේන මහතාට. ඔහු කටයුතු කළ ආකාරය නිසා සියලු දෙනාගෙන්ම එල්ල වුනු චෝදනාවලට මුහුණදෙන්න ඔහුට සිදුවුනා. නමුත් ඔහු ඒ තීරණය ගත්තේ රට වෙනුවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන විශ්වාසයක් නැතිය කියා එදා නම් කවුරුවත් කීවේ නැහැ”

“විශ්වාසය විනාශ කර දැම්මේ කවුද?”

“මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස පත්කරලා පැය කිහිපයක් ගතවූවායින් පසු, පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කරන්නට ජනපතිවරයා කටයුතු කරන්න යන බව දැනගත් වෙලාවේම ඔවුන් ගිහින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ක එකතු වුනා. ඒක වුනහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන්ට ඇතිවුනේ අවිනිශ්චිතතාවයක්. පාවාදුන් බවට හැගීමක් ඇතිවුනු බව ගම් මට්ටමේ පක්ෂ ආධාරකරුවන් පැවසුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්නොවුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුනු අපි වගේ අය සිදුවුනු දේ දැකලා ලොකු කම්පනයකට පත්වුනා”

“අයවැයට එරෙහිව ඡන්දය පළකිරීමෙන් වැළකුණු නිසා අපව සටන පාවාදුන් අය හැටියට හදුන්වන කට්ටියට, එදා ඔබලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වෙනකොට අපිට දැනුනෙත් ඔය විදිහටම බව කියන්න මම කැමතියි. ජනපතිවරයා නායකත්වය දෙමින් ගැසට් ප්‍රකාශය නිකුත් කරද්දී, ඔවුන් කටයුතු කළේ ඔහුට පිහියෙන් අනින්නා වාගේ. ඒක ඉතාම වැරදියි. විශ්වාසයක් තිබෙන්නට වුවමනා බව ඔවුන් කියනවා නම්, විශ්වාසය බිද දැම්මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වූ අය බවයි අපට කියන්නට තිබෙන්නේ”
“ජනපතිවරයාට සහ පක්ෂයට එරෙහිව එල්ල කරන ප්‍රහාර ගැන අපි සදහන් කරන්නේ කණගාටුවෙන්. 

සන්ධානයක පක්ෂ දෙක පෙනී සිටින නිසා ඒ දේවල් මුල්කරගෙන ඉක්මන් නොවන්නය කියා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට කියා සිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ව පහතට ඇද දමන්නට, ඔවුන්ගේ මානසිකත්වය බිද දමන්නට, කුමන්ත්‍රණයක් දියත්ව තිබෙනවා. දේශපාලන ඉතිහාසය සැළකීමේ දී එදා සිදුවූ වැරදි නැවත සිදුනොවන බව සහතික කරන අරමුණ පෙරදැරි රජයක් තනන්නට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ලෙස අපි අපේ ගෞරවය සහ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරනවා”

“වැරදි කරපු අයව ආරක්ෂා කිරීමට හෝ අනාගතයේ ඔවුන්ව ආරක්ෂා කරන්නට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැදී නැහැ. රටට ආදරය කරන පොදු සන්ධානයක් තනන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙස වෙනවා ඇති. අපේ පක්ෂ එක්සත් කිරීම හරහා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පෙනී සිටින බලවේගයක් ගොඩනගන්නට අපි ලොකු වෙහෙසක් ගන්නවා. පොදු නායකයන් නිර්මාණය කරන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙස වෙනවා ඇති. අපේ පක්ෂයට මඩ ගසා තම තමන්ගේ ගැටලු විසදාගන්න කිසිම කෙනෙකුට බැහැ” යයිද දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හමුවේ දැඩිව පෙනී සිටින එකම පක්ෂ සාමාජිකයා වන්නේ ජයසේකර මහතා බව සදහන් කළ යුතුය. 

ඔහු එසේ කටයුතු කරමින් සිටින්නේ ජනපතිවරයාගේ ආශිර්වාදය ඇතිව ද? නැතිව ද? යන්න තවමත් පැහැදිලි නැත. එසේ කිරීමෙන් ජයසේකර මහතා පෙන්වා දෙන්නේ ඔහු සහ ඔහුගේ පක්ෂයට ශක්තිමත්, අසමසම, පදනමක් හිමි බව ද?, ඔහුගේ අදහස එසේ නම්, ඔහු සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම, පොදු සන්ධානයක් ඇති කරගැනීම අරබයා පැවැත්වෙන සාකච්ඡා බිද වැටීමේ වගකීම භාරගත යුතුය. 
ඔහුගේ අදහස එසේ නොවන්නේ නම්, ශක්තිමත් පක්ෂයක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සළකනු ඇත්තේ වැඩිමහල් සොහොයුරෙකුගේ තත්ත්වයෙහිලාය. යෝජිත නව සන්ධානයේ අනාගතය ගැන මීට වඩා යමක් කිව යුතු ද?. එය උපන්ගෙයිම මියැදෙනු ඇත.

අලුත් අවුරුද්ද වේදිකාව මතට නැගෙන්නේ විදුලි බල සහ ජල කප්පාදුවෙන් බැට කා සිටින ජනතාවක් එයින් ලැබූ පීඩනයෙන් තවමත් හරිහැටි මිදී නොමැති අවස්ථාවකය. 

උත්සව සමය අවසානයේ දේශපාලන ක්ෂේත්‍රය නැවත වරක් උණුසුම් වනු ඇති අතර, එය ප්‍රධාන කොටම ජනපති අපේක්ෂකයින් අරබයාය. විමතිය දනවන සුලු සහ කම්පනයට තුඩු දිය හැකි කාරණයන් අනාගතයේ දී අසන්නට, දකින්නට ලැබෙනවාට සැකයක් නැත. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ද ප්‍රබල අර්බුදයන් නිර්මානය වනු ඇත.

 



අදහස් (4)

දයාසිරිගෙන් සැර ප්‍රකාශයක්

chandrasiri senevirathne Thursday, 18 April 2019 08:31 AM

මට නම් දයාසිරි ගැන දුකයි. කාරණය සිරිසේන හුදෙකලා චරිතයක්...

:       0       70

Chanak Los angeles Friday, 19 April 2019 01:17 AM

මොහු වගේ පුද්ගලයන් රිංගලා තමයි දේශපාලනයට කළු පැල්ලම් තැවරුවේ.

:       0       148

de silva berli Friday, 19 April 2019 08:48 AM

පසුගිය අවුරුදු 4ම අසාර්ථක වුණු ජනාධිපතිවරයාට තව අවුරුද්දකට වඩාදෙන්න අවශ්‍යතාවයක් නැත.

:       0       53

සෙනෙවි Friday, 19 April 2019 01:46 PM

අර මහාචාර්යතුමා මොකක්ද කිව්වේ? "ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් පොදුජන පෙරමුණේ උපෙක්ෂාව බව" නිකන් අපිට විහිළු සපයන්න එපා..

:       24       101

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 144 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 284 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 351 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 89 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 528 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site