IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ටින් මාළු කර්මාන්තය මකබාවන්නෝ

කමල් අද්දරආරච්චි රංගන ශිල්පියෙකි. සරලව කිවහොත් නළුවෙකි. නළු රස්සාවෙන් අඹු දරුවන් පෝෂණය කළ නොහැකි නිසා ටින් මාළු කර්මාන්තයට බට බව කමල් කියයි. එහෙත් දැන් තමා මෙතෙක් නොතිබූ ප්‍රශ්න ගොඩක පැටලී සිටිනබව මේ කර්මාන්තකරුවා කියයි. ඔහු කියන්නේ හුදෙක් තමාගේ ප්‍රශ්න ගැන නොව ටින් මාළු කම්හල් හිමියන්ගේ ප්‍රශ්න පිළිබඳවය. කමල් දැන් දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්ය. ඔහු මේ නඟන්නේ ඒ සියලු දෙනාගේ හඬය.

අප ජීවත්වන්නේ මේ ලෝකයේ තිබෙන පුදුම රටකය. රට ඇතුළේ සියලු සම්පත් තිබියදී රට වටේම මහ මුහුද තිබියදී දිය ලුණු පවා පිටරටින් ආනයනය කරයි. මම කලාකරුවෙක්මි. රංගන ශිල්පියෙකි. එසේනම් මගේ රක්‍ෂාව කිරීමට පුළුවන් විය යුතුය. මගේ රැකියාව කරගෙන අඹු දරුවන් පෝෂණය කිරීමේ හැකියාව මට තිබිය යුතුය. එහෙත් අද මට මගේ රැකියාව කරගෙන ජීවත්විය හැකි තත්ත්වයක් මේ රටේ නැත. අද මා කරන්නේ රඟපෑම නොව සැමන් නිෂ්පාදනයයි. මෙය මේ ලෝකයේ තිබෙන පුදුම රටක් ලෙස හැඳින්වීමට මා පෙළඹෙන්නේ එහෙයිනි.
 
මෙය මට පමණක් උදාවී තිබෙන තත්ත්වයක් නොවේ. ක්‍ෂේත්‍ර ගණනාවක නියුතු ලාංකිකයන් බහුතරයකට අද උදාවී ඇත්තේ ඒ ඉරණමය. මාධ්‍යවේදීන්ටද ඒ ඉරණමම අත්වී තිබේ. මාධ්‍යවේදියෝ රටක සිව්වැනි පුරවැසියෝය. ඔවුනට ඉහළින් සිටින්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණය පමණකි. එනම් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතන තුන පමණකි. ඒ ආයතනවල සිටින පුද්ගලයන් කරන්නේ මොනවාදැයි ජනතාවට දන්වා ඒ පිළිබඳව ජනතාවගේ ප්‍රතිචාරය නැතිනම් ජනමතය ඒ ආයතන තුන වෙත ගෙනයාම මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය ආයතනවල කාර්යභාරය විය යුතුය. එහෙත් මාධ්‍යයටද අද ඒ කාර්යභාරය ඉටුකිරීමට නොහැකිව තිබේ. මාධ්‍ය ආයතන ඇද දමා ඇත්තේ තරගයකටය. ඒ තරගය සිදුවන්නේ දේශපාලන චරිත ගැන කතා කරමිනි. දවස පුරාම කරන්නට සිදුවී තිබෙන්නේ එයයි. එසේ වූ විට මාධ්‍යයට නිශ්චිත, ඉහත කී කාර්යභාරය ගිලිහී යයි. ජනතා හඬ යටපත් වෙයි. මාධ්‍යවේදීන් හා කලාකරුවන් ගැන මා කතා කළේ උදාහරණ දෙකක් ලෙස පමණි. මෙලෙස ගත හැකි තවත් උදාහරණ රාශියක් තිබේ.

පවතින මේ තත්ත්වය මත අද මා කතාකරන්නේ කලාවට අදාළ ප්‍රශ්න ගැන නොව දේශීය සැමන් නිෂ්පාදකයන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳවය. සැමන් නිෂ්පාදකයන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව අප 2015 සිට වෙන් වෙන් ගොස් කිවයුතු හැමෝටම කීවෙමු. විවිධ අමාත්‍යාංශවලටත්, විවිධ ආයතනවලටත් ජීවන වියදම් කමිටුවටත් ගතවූ අවුරුදු හතරේදී අප ගිය වාර ගණන අනන්තය, අප්‍රමාණය. එහෙත් කිසිම ප්‍රතිඵලයක් අත් නොවිණි. කිසිදු ප්‍රතිඵලයක් අත් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මීට සති තුනකට පමණ පෙර සියලු සැමන් නිෂ්පාදකයන් එකතුවී කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අපි අපේ ප්‍රශ්න රටටම ඇසෙන සේ හඬනගා කීවෙමු. ඒ ප්‍රවෘත්තී සාකච්ඡාවේදී අප එනම් දේශීය සැමන් නිෂ්පාදකයන් ආණ්ඩුව කරන අයට දැල්වූයේ රතු එළියකි. අප එය කළේ කැමැත්තකින් නොවේ. අපි කවුරුත් සාමකාමී මිනිස්සු වෙමු. එහෙයින් රතු එළිය දැල්වීමේ වුවමනාවක් අපට නොතිබිණි. සාමකාමී මිනිසුන් ලෙස අපි ඉතා අහිංසකව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට අවුරුදු 4 ක් තිස්සේ උත්සාහ කළෙමු. අප යදින්නන්, හිඟන්නන් බවට පත්කළෝ පාලකයෝය. රටකට වටිනාම මිනිසුන් විය යුත්තේ රටේ ජාතික නිෂ්පාදිතය ඉහළ දැමීමට කටයුතු කරන කර්මාන්තකරුවෝය. රටක දළ ජාතික නිෂ්පාදිතය පල්ලම් බහින විට රටේ සමස්ත ආර්ථිකයම පල්ලම් බසින බව අප කිවයුත්තක් නොවේ. එය ඉහ මොළ තිබෙන ඕනෑම පුද්ගලයකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි කාරණයකි. එහෙත් රතු එළි දල්වන්නට අපට සිදුවූයේ වගකිවයුත්තන් එය එලෙස අවබෝධ කර නොගැනීම නිසාය.
 
2015 වන තෙක් ටින් මාළු නිෂ්පාදකයන්ට ප්‍රශ්නයක් නොතිබිණි. මිල ගණන් මදි. බදු වැඩියි. වැනි කිසිම ප්‍රශ්නයක් එදා නොතිබිණි. දේශීය ටින් මාළු කර්මාන්ත රැකගැනීමට ඉවහල් වන ආකාරයේ බද්දක් ආනයනික ටින් මාළු සඳහා එකල පනවා තිබිණි. එකල දේශීය කර්මාන්තකරුවන් නිදහසේ තම කර්මාන්ත කරගෙන ගිය අතර පිටරටවලින් ටින් මාළු ආනයනය කර වෙළෙඳාම් කරන්නෝද තම ව්‍යාපාර යහමින් කරගෙන ගියහ.
 
පැවැති සාධාරණ බද්ද හේතුවෙන් දේශීය කර්මාන්තවලටද ප්‍රශ්නයක් පැන නොනැඟිණි. එහෙත් 2015 දී හිටි අඩියේ ටින් මාළු අත්‍යවශ්‍ය භාණ්ඩයක් කර ටින් මාළු ආනයනයේදී එතෙක් අය කළ බද්ද සියයට පනහකින් කපා හැරිණි. එතෙක් ටින් මාළු ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 102 ක බද්දක් පනවා තිබිණි. එහෙත් ඒ බද්ද එකවර කිලෝවකට රුපියල් 52 දක්වා රුපියල් 50 කින් අඩු කළේ හිටි අඩියේය. ඒ නිසා ආනයනික ටින් මාළු හා දේශීය ටින් මාළු විකුණුම් මිල අතර ඇතිවූයේ රුපියල් 20 ත් 22 ත් අතර පරතරයකි. සරලව කිවහොත් දේශීය ටින් මාළුවලට වඩා රටින් ගෙනා ටින් මාළුවල මිල රුපියල් 20 ත් 22 ත් අතර ගණනකින් පහළ වැටිති. එය එසේ වූ විට අප ටින් මාළු නිපදවන්නේ කෙසේද? නිපදවන ටින් මාළු විකුණන්නේ කෙසේද? අඩු මිලට මිලදී ගැනීමට ටින් මාළු තිබියදී වැඩි මිලක් ගෙවා මිලදී ගන්නේ කවරහුද? අවුරුදු කීපයක් තිස්සේ අප මුහුණ දී සිටින්නේ ඒ බරපතළ ප්‍රශ්නයටය. ප්‍රශ්නය බරපතළ වූවාට ඇත්තේ සරල විසඳුමකි. එහෙත් නොකෙරෙන්නේද එයමය.

ඒ තත්ත්වය මත අපි යළි යළිත් ජීවන වියදම් කමිටුව වෙත හිඟමනේ ගියෙමු. අනේ අපට මෙහෙම කරන්න එපායි අපි යාඥා කළෙමු. එහිදී අපට ඒ දෙවිවරුන් කියා සිටියේ හරි එහෙනම් ඔයගොල්ලෝ සතොසට විකුණන්න කියාය. සතොස ඔයාලගේ නිෂ්පාදන මිලදී ගනියි. සතොසට රජයෙන් පාරිතෝෂිතයක් ගෙවන්නෙමුයි ඒ දෙවිවරු අපට කීහ. සතොස වෙළෙඳ පොළේ තිබුණේ සීමාසහිත ඉඩකි. අපේ නිෂ්පාදන මිලදී ගත්තේ සතොස පමණකි. අදටත් තත්ත්වය ඒකය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ සතොස අපෙන් භාණ්ඩ මිලදී ගත්තත් මුදල් නොගෙවීමය. සතොස අපට ගෙවන්නට තිබෙන මුදල රුපියල්  මිලියන ගණනාවකි. සතොස පරිපාලනය කඩාවැටී හමාරය. දැන් අපට ඒ වෙළෙඳ පොළත් නැත. රටින් ගෙන්වන සමහර ටින් මාළු වර්ගවල ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් හා එස්.එල්.එස්. තත්ත්ව පාලන මණ්ඩලයෙන් අනාවරණය කරගත් පසු දේශීය ටින් මාළුවල ඉල්ලුම යළි ඉහළ ගියේය. එහෙත් සැලසුමක් නොතිබුණු නිසා ඒ ඉල්ලුමට සැපයීම සඳහා හිටිහැටියේ නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් අපේ කර්මාන්තකරුවන්ට නොතිබිණි.

අපේ රටේ තිබෙන ටින් මාළු නිෂ්පාදන කම්හල් ගණන පහකි. ඒවායේ සේවය කළ පිරිස 750 ත් 800 ත් අතර වූහ. ඒ ගණන ඍජු රැකියා කළ පිරිසය. වක්‍ර රැකියා කළ පිරිස 3000 ටත් ඉහළය. එසේම අපේ කම්හල් පහටම අවශ්‍ය ටින් නිෂ්පාදනය කළේද මෙරට කම්හල් දෙකකය. ඒ දෙකෙහි කී දෙනකු රැකියා කරන්නේදැයි අපි නොදනිමු. 2015 ට පෙර පැවැති ආණ්ඩුව අපට කියාසිටියේ ටින් මාළු කම්හල් හැකිතරම් විවෘත කරන ලෙසය. දේශීය ආයෝජකයන්ට තනියෙන් ව්‍යාපාර පටන් ගත නොහැකි නම් විදේශීය ආයෝජකයන් සමග ඒකාබද්ධ වී ව්‍යාපාර ආරම්භ කරන්නැයි පැවැති රජය අපෙන් ඉල්ලා සිටියේය. අප ක්‍රියාත්මක වූයේ ඒ රජයෙන් ක්‍රියාත්මක කළ ආයෝජන දිරිගන්වන ඒ ප්‍රතිපත්තිය මතය. රටින් ගෙන්වන ටින් මාළු කිලෝවක් සඳහා රුපියල් 102 බද්ද දමා තිබුණේ දේශීය කර්මාන්ත රැකගැනීම සඳහාය. රටකින් බඩු ගෙනැවිත් විකුණන පුද්ගලයා වෙළෙන්දෙකි. එහෙත් පැවැති රජය සමයේ අසීමාන්තික බදු දමා වෙළෙඳාම අධෛර්යවත් කළේද නැත. මා ටින් මාළු නිෂ්පාදන කර්මාන්තයට පිවිසෙන්නේ ඒ පරිසරය මතය. මා මගේ කම්හල ආරම්භ කළේ කැනේඩියානු ආයෝජකයකු සමඟය. එහෙත් 2015 න් පසු එතෙක් පැවැති බද්ද සියයට 50 කින් අඩුකිරීම මත සැමන් ටින් රටින් ගෙන්වීම පිම්මේ ඉහළ ගොස් තිබේ. පසුගිය මාස හයේදී අවුරුද්දකට ප්‍රමාණවත් තරම් ටින් මාළු රටින් ගෙන්වා තිබෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වෙයි. එය වෙනදාට වඩා දෙගුණයකින් ඉහළයාමකි.
 
දේශීය කර්මාන්තකරුවන්ගේ ගෙල මිරිකා, දේශීය කර්මාන්ත වසාදමන්නට පාර කපා වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මහිමයෙන් අපේ ටින් මාළු කම්හල් පහෙන් එකක දැන් නිෂ්පාදන කටයුතු කෙරෙන්නේම නැත. අනෙක් කම්හල් හතරේද සියයට 100ක ධාරිතාවයෙන් නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ නැත. ඒ කම්හල්වල දැන් නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ සියයට 60 ක පමණ ධාරිතාවයකිනි. සියයට 100 කින් නිෂ්පාදන කටයුතු නොකරන්නේ වෙළෙඳ පොළක් නැති හෙයිනි. රටින් ගෙනා ටින් මාළුවලින් වෙළෙඳපොළ පිරී පවතින හෙයිනි. නිෂ්පාදන කටයුතු පහළ දැමීමට සිදුවීම නිසා අපේ ටින් මාළු කම්හල්වල සේවකයන් 200ක් පමණ ඉවත්කිරීමට කම්හල් හිමියන්ට සිදුවිය. ඒ ඇතැම් සේවකයන් දැන් තම හාම්පුතුන්ට එරෙහිව නඩු දමා තිබේ. ඒ නිසා දැන් අපේ ඇතැම් කම්හල් හිමියන්ට උසාවිවල රස්තියාදු වෙමින් නැති ප්‍රශ්න ඇතිකර ගනිමින් නැති වියදම් මවාගනිමින් කම්හල් පවත්වාගෙන යාමට සිදුවී තිබේ. මා සිටින්නේ මගේ විදේශ ආයෝජකයා තම කොටස් කොයි වෙලාවේ විකුණා දමා යාවි දැයි බියකිනි. කලාවෙන් සැනසීමක් නැතිව ටින් මාළු නිෂ්පාදනයට බට මා දැන් සිටින්නේ එවැනි අවිනිශ්චිත තත්ත්වයකය. රටේ පුරවැසියන්ට එතෙක් නොතිබූ ප්‍රශ්න ඇතිකරන නැති ප්‍රශ්න මවන කබලෙන් ළිපට ඇදදමන මේ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් දේශීය කර්මාන්ත වළපල්ලට යනවා මිස ඒ කර්මාන්ත දියුණු වෙන්නේ කෙසේද? රැකියා කරන මිනිසුන්ට රැකියා නැති කරන මේ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් රටේ විරැකියා ප්‍රශ්නයට පිළියම් ලැබෙන්නේ කෙසේද? පිළියම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද? එහෙත් එසේ සිතන්නැයි කතාකරන, මවාපාන, විශ්වාසකරන, නායකයන් ගැන අපි කුමක් කියමුද?

පසුගිය රජයේ චීන වන්දනාව විවේචනය කළ මේ රජයේ නායකයන්ද දැන් වන්දනා කරන්නේ චීනයටමය. එහෙත් චීනය තම දේශීය කර්මාන්ත රැකගැනීමට කරන කැපවීම අපේ නායකයන්ට නැ්තතේ ඇයිද යන්න අපට බරපතළ ප්‍රශ්නයකි. චීනය තම රටේ ටින් මාළු නිපදවා අපනයනය කරන කම්හල්කරුවන්ට සියයට 12 ක දිරිගැන්වීමක් ලබාදෙයි. චීනය එසේ කරන්නේ විදේශ විනිමය ලබාගැනීම සඳහාය. නූතන ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය පවතින්නේ චීනයේය. එය සියයට අටටත් වැඩිය. ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට හතරටත් අඩුය. සියයට අටකටත් වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වන චීනය තම රටේ විදේශ විනිමය ගොඩ වැඩිකර ගැනීමට තමන්ගේ රටේ ටින් මාළු නිෂ්පාදකයන්ට 12%ක දිරිගැන්වීමක් ලබාදෙන විට සියයට හතරකින්වත් ආර්ථිකය වර්ධනය නොවන ලංකාවේ පාලකයන් රටේ තියෙන විදේශ විනිමය ටිකත් රටින් පිටට යැවීම සඳහා කම්හල් වසාදමා හැකි තරම් රටින් බඩු ගෙන්වයි. රටට අත්‍යවශ්‍ය රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ රටින් ගෙන්විය යුතුමය. එසේ කිරීම ගැන අපට විවේචනයක් නැත. එහෙත් මේ රටේ පාලකයෝ රට වටේ මුහුද තියෙද්දි මාළුත් කරවලත් රටින් ගෙන්වති. ටින් මාළුද රටින් ගෙන්වති. ටින් මාළු කම්හල් රටේ නැතිනම් එසේ කිරීමේ වරදක් නැත. එහෙත් දැන් මේ කෙරෙන්නේ රටේ තිබෙන ටින් මාළු කම්හල් වසා දැමීම සඳහා ටින් මාළු රටින් ගෙන්වීමය. රටෙන්වත් ලෝකයෙන්වත් ඉගෙන නොගන්නා මේ පාලකයන් සැරැසෙන්නේ රට කොතැනකටද රැගෙන යන්න දැයි අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

මෙහි තිබෙන බරපතළ ප්‍රශ්නය වන්නේ ටින් මාළු රටින් ගෙන්වන ක්‍රමයයි. වාණිජ බැංකු හරහා කෙරෙන ඒ ලියවිලි ප්‍රතිග්‍රහණය නමින් හඳුන්වන ක්‍රමය යටතේ රටින් බඩු ගෙන්වන්නේ අත් පිට මුදලට නොවේ. බැංකු ණය, ණය වර හෝ ලීසින් පහසුකම් මතද නොවේ. රටින් ගෙන්වා ගන්නා භාණ්ඩවලට මාස තුනක්, හයක් හෝ අවුරුද්දක් ඇතුළත මුදල් ගෙවන බවට බැංකුවකින් ලබාගන්නා ඉහත කී ලියවිලි ප්‍රතිග්‍රහණ සහතිකය මත බඩු ගෙන්වා ගනියි. මේ ක්‍රමය යටතේ අතේ ශත පහක් නැතිව මිලියන, බිලියන ගණන්වල ගනුදෙනු කළ හැකිය. එසේ ගෙන්වා ගන්නා සැමන් ටින් එකක් විකිණිය යුත්තේ රුපියල් 160 කට විය හැකි වුවත් මේ වෙළෙන්ඳෝ රුපියල් 160 කට විකිණිය යුතු ඒ සැමන් ටින් තොග පිටින් රුපියල් 150 බැගින් විකුණති. එසේ විකුණා ඒ මුදල්වලින් වෙන වෙන ව්‍යාපාරද කරති. නැතිනම් බැංකුවල ස්ථාවර තැන්පතු දමා පොලිය උපයති. මාස තුනක් හයක් හෝ අවුරුද්දක් අනුන්ගේ සල්ලි වලින් ව්‍යාපාර කරති. මෙය පැහැදිලිවම මුදල් විශුද්ධිකරණයට උඩ ගෙඩි දෙන පිළිවෙතකි. ජීවන වියදම් කමිටුව ඇතුළු රජයේ බොහෝ තැන්වලට අපි මේ කරුණු සුපැහැදිලිව පෙන්වා දුන්නෙමු. ඒ පුද්ගලයන්ගේ නම් ගම් දැනට මම හෙළි නොකරමි. දැන් එයට වෙලාව නොවේ. එහෙත් ඒ සඳහා වෙලාවක් පැමිණෙන බව මම දනිමි. එදාට මම ඒ සියලු නිලබලධාරීන්ගේ නම් ගම් හෙළිකරන්නෙමි.

දැනට ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්තිය මත අපේ කම්හල් වැසීයමින් පවතී. සමස්ත ධාරිතාවෙන් නිෂ්පාදන කටයුතු නොකෙරෙයි. ඒ නිසාම අපේ ධීවරයන්ගෙන් අපට මාළු මිලදී ගැනීමට නොහැකිව තිබේ. ධීවරයන් එදා අපට සැපයූ ලින්නෝ මාළු කිලෝවකට අප දුන්නේ රුපියල් 160 ක් තරම් ඉහළ මිලකි. අද අපේ ධීවරයන්ට මාළු විකුණාගත නොහැකිව ඉවතදැමීමට සිදුවී තිබේ. දැන් වෙළෙඳපොළක් නැති නිසා ඇතැම් ධීවරයන් මුහුදු යන්නේද නැත. මුහුදු යන ධීවරයෝ ගොඩට ගෙනෙන මාළු හරිහැටියට ගබඩා කරගැනීමට ක්‍රමයක් නැතිව සිටිති. කල්තබා ගැනීමට හා ක්‍රමවේදයක් සහිතව බෙදාහැරීමට නොහැකිව සිටිති. ධීවරයන් අද සිටින්නේ එවැනි ප්‍රශ්න ගොඩකය. ධීවරයන් සේම ටින් මාළු නිෂ්පාදකයෝත් ඔවුන්ගේ කම්හල්වල සේවකයෝත් ටින් නිෂ්පාදනය කරන කම්හල් අයිතිකරුවෝත් ඔවුන්ගේ සේවකයෝත් මේ කර්මාන්ත ආශ්‍රිතව වක්‍ර රැකියා කළ සියල්ලෝත් අද වළේ වැටී සිටින්නේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මහිමයෙනි. අපේ රටට, රටේ භූමියට වඩා තුන් හතර ගුණයක් විශාල මුහුදු තීරයක් හිමිවී තිබේ. ඒ මුහුදු තීරයේ මාළු අල්ලන්නේ ඉන්දීය ධීවරයෝය. ලංකාවේ මුහුදත් එහි මාළුත් රටේ ධීවරයන්ට අහිමිවී තිබෙන්නේද පාලකයන්ගේ වරදිනි. මේ රටේ සිටින්නෝ අදූරදර්ශී පාලකයෝය. රජයේ නිලධාරියෝද එබන්දෝය. ඒ කිසිවෙක් රට වෙනුවෙන් තම වගකීම් ඉටු නොකරති.

ටින් මාළු නිෂ්පාදකයන් ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සහන හෝ සහනාධාර නොවේ. අපේ පළමු ඉල්ලීම වන්නේ ආනයනය කරන ටින් මාළු වලින් අය කළ කිලෝවට රුපියල් 102 බද්ද යළි පනවන ලෙසය. එසේ කළහොත් දේශීය කර්මාන්තවලට යළි පණ ලැබෙන අතර රටේ බදු අදායමද ඉහළ යයි. එසේම රටින් පිටට යන විදේශ විනිමය රට ඇතුළේ නවතියි. අපේ දෙවැනි ඉල්ලීම වන්නේ ලියවිලි ප්‍රතිග්‍රහණය (Document Acceptation)  මත රටින් බඩු ගෙන්වන ක්‍රමය තහනම් කළ යුතු බවය. එය තහනම් කළයුත්තේ මුදල් විශුද්ධිකරණය රටේ නීතියෙන් තහනම් බැවිනි. ඒ ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ශත පහක්වත් වැය නොවෙයි. අවශ්‍ය වන්නේ ඒ තීන්දුව ගෙන එය නීතිගතකිරීමය. එසේ කළහොත් ටින් මාළු කර්මාන්තය අවුරුද්දකදී යළි ගොඩගත හැකිය. රටට අවශ්‍ය තරම් ටින් මාළු නිපදවා යුරෝපයට පවා අපනයනය කළහැකිය. එමගින් රටේ විදේශ මුදල් සංචිත ඉහළ යන අතර රැකියා උත්පාදනයද ඉහළ යයි. රජයේ බදු ආදායම්ද ඉහළයයි.

සාකච්ඡා සටහන

ගුණසිංහ හේරත්



අදහස් (57)

ටින් මාළු කර්මාන්තය මකබාවන්නෝ

lalith Wednesday, 18 September 2019 04:55 AM

ආණ්ඩුවේ මෝඩවැඩ නිසා රට දවසෙන් දවස කඩා වැටෙනවා.

:       2       172

ලීනස්Sunday, 22 September 2019 08:01 AM

1 - කමල් මේක කරගෙන යන්නේ කැනේඩියන් ආයෝජකයෙක්ගේ මුදල් වලින්... එහෙම නම් මේකේ ආදායම ඩොලර් වලින් කැනඩාවට යන එක ස්ථිරයි. 2 කමල් කියනවා කියනවා රටින් එන ටින් මාළුවලට රුපියල් 50ක බද්දකුත් ගහලා එ්ත් ලංකාවේ ටින් මාළුවලට වඩා රුපියල් 20ක් මිල අඩුයි කියලා. එහෙම කියන ගමන් කියනවා රටින් ගෙන ටින් මාළු වල බදු තව වැඩිකර දේශීය ටින් මාළුවලට අවස්ථාව දෙන්න කියලා. එතකොට ටින් මාළු අපනයන කරන්නත් පුළුවන්ලු. මම අහන්නේ අපේ රට ඇතුලේම හදන ටින් මාළු පිටරටින් ගෙනෙන ටින්මාළු වලට බදුත් ගැහුවට පස්සේ... එ්ත් මිල අධික නම් කොහොමද කමල් වෙනත් ටින් මාලු මිලට අඩුවෙන් පිටරට අරින්නේ? 3 කමල් මහත්තයම කියනවා දැන් ලංකාවේ මාළු විකුණගන්න බැරුව විසිකරනවා කියලා. ධීවරයන් ආදායම් නැතිව වේලෙනවා කියලා. එහෙම නම් අායි ටිකක් උත්සාහ කරන්නේ නැත්තේ ඔවුන්ගෙන් මිල අඩුවට හරි මාළු අරගෙන මේක කරගෙන යන්න පුළුවන්නේ. කමල් බදු වැඩිකරන්න කියන්නේ ජනතාවට අවශ්‍යම දෙයක් හින්දා මම ඔහුගේ අදහසට විරුද්ධයි. ඔහු දැනගත යුතුයි රටින් එන ඒවාට තරඟයක් දී මිල අඩුවට ජනතාවට දෙන්න. රට වටේම මුහුද හින්දා මාළු වැඩිමිලට ගන්න ඕනෑ නැහැනේ...

:       368       63

lasantha Wednesday, 18 September 2019 04:58 AM

ඔලුව තදින් නරක්වෙච්ච් මිනිසුන් පිරිසක් රැඳිච්ච අරුම පුදුම රටක් තියනවා ඕයි. රට වටකර සාගරයයි, එහි සම්පත් ආකරයයි... රටින් ගෙනත් මාළු බානවා ඕයි.

:       1       156

pakeer Wednesday, 18 September 2019 05:22 AM

එහෙම කරන්නේ කොහොමද? එතකොට කෝ ලොකු ලොකු ආනයන කරුවන්ගෙන් රජයේ ඉන්න අයට දෙන කොමිසන් එක ?

:       0       117

wedage Wednesday, 18 September 2019 05:38 AM

කොතරම් ශෝකජනක දෙයක්ද ? මේ විනාසය කරන අයට වැසි නැති අකුණු පතමු

:       0       102

liyanage Wednesday, 18 September 2019 05:43 AM

මා ඉතාමත් පුදුමයටත්, කණගාටුවටත් පත් වුණා. මේ ලිපිය කියවීමෙන්... නමුත් අද රටේ පවතින තත්වය මනාලෙස වැටහේ... මෙයම තමා රටේ අනෙකුත් කර්මාන්තවලට වෙලා තිබෙන ඉරණම. මම කාලයක් ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්ත වල මුදල් කළමණාකරුවෙක් ලෙස සේවය කළා. 1994 සිට ...2007 වෙනකන්ම.. පැවති සියලුම රජයන් සමගත් .. එවකට සිටි භාණ්ඩාගාර ලේකම්වරුන් සමගත් සාකච්ඡා කළා නමුත්.. නිසි තැනකට ඒමට නොහැකි වුණා. මට දැනගන්න ලැබෙනවා. තාමත් ඒ සාකච්ඡා වරින්වර පවතින බව. ඒ ඒ දේශපාලන අධිකාරී සමගත්. නමුත් නිසි පිළිතුරක්, නිසි ක්‍රමවේදයක් නොලැබෙන බවත්... සුදු ජාතිකයන් කරන ලද ක්‍රමවේදයනුත්, වෙළඳාමත්.. නිසා අපේ තේ වලට ඉල්ලුම තාම තිබුණත් වැඩිකල් නොපවතින බව විශ්වාසයි.

:       18       158

සමන් ඔස්ට්‍රලියා Wednesday, 18 September 2019 06:04 AM

අම්මපා ඇත්ත. අපි තමයි මෝඩයන්... 8 පාස් නැති ජනාධිපති කෙනෙක් සහ අමන රජයක් පත්කර ගත්තේ... මේ පාරවත් හරියට කරමු.

:       4       658

ravindaWednesday, 18 September 2019 04:47 PM

පිළිතුර නාගානන්ද පමණයි.

:       817       221

suddaMonday, 23 September 2019 07:52 AM

නාගානන්ද කියන්නේ කෝකටත් තෛලයද? අමතක කරන්න එපා කෝකටත් තෛලය හැමතැනටම වැඩ කරන්නෙත් නැහැ.

:       1       137

Pradeep Wednesday, 18 September 2019 06:13 AM

කමල් මේ කියන දේවල් හරියටම හරි. ප්‍රශ්නයකට තියෙන්නේ මේ ටික තේරුම් ගන්න පුළුවන් තරමේ පාලකයෙකු රටේ නැති කමයි. මෙම කර්මාන්තය ක්‍රියාත්මක වෙන, කලාපයේ අනිකුත් රටවල් සමග බලද්දී ලංකාව ඉන්නේ බොහෝ පසු පසින්. කණගාටුයි අපේ රට ගැන, රටේ අනාගතය ගැන..

:       14       176

lalithm Wednesday, 18 September 2019 08:41 AM

කමල් මහත්තයා කියන්න හදන්නේ ලින්නෝ ලංකාවේ අල්ලනවා කියලද? අපි පොඩි කාලේ නම් ලංකාවේ ලින්නෝ විකුණුවේ නැහැ. දන්නා විදියට නම් ඉන්දුනීසියාවේ අවට මුහුදුවල මාළු. ඒ කියන්නේ ඔබ ටින් කරන්නේ ලංකාව අවට මුහුදේ අල්ලන මාළු නොවෙයි නේද? අනික අපේ ටින් මාළු ටිකක් තිත්ත රසයි. ස්ට්‍රයික් ඇසිඩ් තියෙනවා කියලා සමහර ලේබල් වල තිබුණා. කල් තබා ගැනීමේ ද්‍රව්‍යවල ප්‍රශ්නයක් වෙන්න ඇති. චිලී රටෙන් එන හොඳම මාළු ටින් එකක් රුපියල් 300කට ගන්න තියෙද්දී වැඩි මුදලක් දීලා ලංකාවේ මාළු ගන්න අපට කියන්න එපා. (ලංකාවේ ටින් කරපු පිටරට මාළු). බදු අඩු කරන්න කියන ඉල්ලීමට අපි හැමෝම එකඟයි. එ්ත් ලංකාවේ මාළු ජාතියක් ටින් කරන්න. ලින්නෝ නොවෙයි.

:       341       262

PradeepWednesday, 18 September 2019 10:30 AM

ලංකාවේ ටින් කරන්නේ ලංකාවේ අල්ලන මාළු තමයි. ටිකක් හොයලා බලලා අදහස් ප්‍රකාශ කරන්න.. මේ කර්මාන්තය මෑතකදී තමයි ලංකාවේ පටන් ගත්තේ.. මම දන්නා විදියට කමල්ගේ ෆැක්ටරි එක ලංකාවේ දෙවැනි එක...

:       9       211

rim Wednesday, 18 September 2019 08:46 AM

අනේ කතාව අහපුවම හරිම දුකක් ඇතිවුණා. මෙතරම් සම්පත් අප රටේ තියෙද්දී ඇයි පාලකයන් නිදාගෙන ඉන්නේ? අනිවාර්යයෙන්ම මේකට නඩුවක් දාලා හරි රටට හොඳක් වෙනවා නම් කරන්න ඕනේ...

:       17       73

sana Wednesday, 18 September 2019 09:43 AM

මහ කතන්දරයක් කියලා මෙයා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ආනයනය කරනා ටින්මාළුවලට බද්දක් දාලා මිල වැඩි කරන්න. එතකොට පාරිභෝගිකයා අපේ ටින් මාළු ගනියි කියන එක. එතකොට පාරිභෝගිකයාට ගෙවන්න වෙන මිල ඉහළ ගියාම ඔහුට වෙන පාඩුව ගැන මොකද කියන්නේ? පාරිභෝගිකයා අමතක කරලා බිස්නස් කරන්න ගිහින් වැරදිලා දැන් බදු ගහන්න කියන්න එපා. අනෙක ඉස්සර බාස්මතී හාල් පිටරටින් ගෙන්වලා බිස්නස් එකක් කරා. එදා ආනයනය කරලා බිස්නස් කරන එක හොඳයි, දැන් නරකයි. අනෙක් ණයවර ලිපි මත බිස්නස් කරන එක මුදල් විශුද්ධිකරණයක් කියන්නේ කොහොමද?

:       259       1527

janahitha Wednesday, 18 September 2019 10:59 AM

අනෙකුන්ට බඩ වඩා ගන්න රටින් ගෙනත් කමු. ගෙන්නන්නේ අරගොල්ලන්නේ.. කෝටි ගණන් උපයන්න දීලා පශ්චාත් භාගයට බෝම්බ අටවාගමු. පාරිභෝගිකයා රැකේවි අගේට අම්මපා අපේ අයගේ මොලේ...

:       355       412

ලීනස්Sunday, 22 September 2019 08:05 AM

ඔච්චරම අමාරු නම් ඔයා කමල්ගේ ටින් මාළු අරන් කන්න. ඔය වගේ ඔය රට, ජාතිය, දේශීය නිෂ්පාදන ගැන හිතන අය ඕවා ඇත්තටම අරන් කනවා නම් ඕවා වැටෙන්න විදියක් නැහැනේ...

:       91       15

vernon Wednesday, 18 September 2019 09:48 AM

දේශීය ටින් මාළු කියලා විකුණන ඇතැම් ටින් මාළුවල තිබෙන්නේ ආනයනය කරපු මාළු... ඒ වගේම ඒවායේ රසේ අවුලක් තිබෙනවා. මෙතනත් කරන්නේ රඟපෑමක්. කාලයක් පාකිස්තානයෙන් බාස්මතී ගෙන්වලා මොකද වුනේ...? තමන්ට කරන්න දන්න දෙයක් කරා නම් ඉවරයිනේ. මෙයා හිතන් ඉන්නේ තරගකරුවාව වට්ටලා තමන්ට ගොඩ යන්න හැකියි කියලා...

:       186       196

Pradeep Wednesday, 18 September 2019 10:46 AM

කණගාටුයි, මේ බොහෝ දෙනෙකුගේ අදහස් ගැන. මේ අය මේ එක එක දේවල් කියන්නේ මේ ක්ෂේත්‍රය ගැන හරි වැටහීමක් නැතුව. නමුත් අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න අය.. කමල් කියන මේ දේවල්වලට ඉක්මන් විසඳුමක් ලැබුණේ නැත්නම් රටට හිමිවිය යුතු විශාල මුදලක් රටින් පිටට යන එක වළක්වන්න බෑ.. ගොඩ දෙනෙක් කියන්නේ ලංකාවේ ටින් කරන්නේ රටින් ගෙනා මාළු කියලා.. නමුත් ඇත්තටම මේකට ගන්නේ ලංකාවේම මාළු. හොඳට හොයලා බැලුවොත් හරි තොරතුරු ඔබලාට දැනගන්න පුළුවන් වෙයි. ධීවර ජනතාව හමුවෙලා අදහස් විමසලා බලන්න. හලාවත, මීගමුව, සිට බේරුවල, තංගල්ල දක්වා වූ ධීවරයින්ගෙන් අහලා බලන්න. රට වටේටම මුහුද තියාගෙනත් තවමත් රටින් මාළු ගේනවා නම් අපි ඉන්නේ කොතැනද කියලා හිතලා බලන්න මහත්වරුනේ...

:       24       222

gamarala Wednesday, 18 September 2019 10:50 AM

රටත්, ජනතාවත් කාපු මේ අයට ටින් මාළු කිරීම කරන එක මහා ලොකු දෙයක් නොවෙයි කමල්. ඔබ රඟපෑම අත්හැරියේ රටේ ජීවත් වෙන්න ඕනෑනිසා. වෙනත් රැකියාවක් පටන් අරන් රටටත් යමක් දී සාධාරණව ඔබටත් කීයක් හෝ හොයාගෙන ජීවත් වීමට බව ඔබ කියා ඇති දෙයින් මානව පැහැදිලි වෙනවා. කළ යුතු එකම දේ නම් මොවුන් පලවා හැරීමයි. තව හිටියොත් ටින් මාළු නොවෙයි., රටත් ඉවරයි.

:       218       232

janahitha Wednesday, 18 September 2019 10:56 AM

මෙම ආනයනකරුවන් සියල්ලන්ම එක්තරා ජාතියකට අයත් වෙනවා ඔවුගේ සිත් පිනවීමට මෙම රජය නොකළ දෙයක් නැහැ. ආණ්ඩුව රැකගන්න මේ තුළින් සිදු වූ අපරාධය නිසා ජනතාවට මියැදීමටද සිදුවුණා. ඉදිරියත් එසේම පවතිනවා. ගම්මිරිස් පවා පිටරටින් ගෙන්වන්නත් ඉඩදීලා කෝටි ගණන් උපයන්න ඉඩ දුන්නු අය සමග කවලම්කර අපේ රටේ නමින් විකුණා අපේ දේ නැතිකළ ජනතාවනි, මොවුන් පන්නා දමමු... රට බේරාගනිමු.

:       332       509

himal Wednesday, 18 September 2019 11:54 AM

රට වටේ මුහුද තිබ්බ පමණින්ම ලංකාවේ ටින් මාළු නිෂ්පාදනය ඵලදායකයි කියන්න බෑ. මොකද නිෂ්පාදන පිරිවැය අධික නම්, නිෂ්පාදන අකාර්යක්ෂමතා අඩු කරගන්න නිෂ්පාදකයන් පෙළඹෙන්නේ නැත්නම් මුහුද රට වටේ නෙවෙයි, රට ඇතුළට ආවත් ටින් මාළු හදන එකෙන් ලාභ ගන්න බෑ. ලුණු ආනයනය කරන්න පටන් අරන් දැනට වසර 6-7කටත් වැඩියි. හේතුව නිෂ්පාදන පිරිවැය සහ අඛණ්ඩ සැපයුමක් ගැනීමේ අපහසුව. ඒ වගේම මේ නළුවාට අමතක වෙලා තිබෙනවා මීට වසර කිහිපයකට කලින් චීනයට ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න දීලා කරගත්තු හරිය. අන්තිමට යුරෝපයෙන් ලංකාවේ මාළුවලට වැට බැඳුණා. දැන් තමයි මාළු අපනයනයට බදු සහන ලැබෙන්නේ යුරෝපයෙන්...

:       147       315

හිරාන් Wednesday, 18 September 2019 01:04 PM

මේ ලිපියට දක්වා ඇති අදහස් ගැන කිසිවක් නොකියන අතර රට තුළ ස්ථාපිත වන කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට සෑම රජයකම වගකීමකි. රට තුළ නොව ලොව පුරා පිහිටි කිසිම කර්මාන්තයක අඩුවක් නැති කර්මාන්තයක් නැත. නමුත් රටට යම් මෙහෙවරක් නම් එය ආරක්ෂා කළ යුතුය. ඇති වැරදි නිවැරදි කර සකස් කිරීමට රට තුළ ඇති ප්‍රමිතියකට අදාල ආයතනවල වගකීමක් බවද සඳහන් කළ යුතුමයි..

:       38       14

lalithmThursday, 19 September 2019 03:05 AM

කර්මාන්ත රකින්න ඕනේ. ඒත් අපේ රටේ මාළු කියලා මේ ගොල්ලෝ ටින් කරන්නේ පිටරටින් ගෙනෙන ලින්නෝ. මෙයින් අපේ ධීවරයින්ට වෙන සෙතක් හෝ රටට වෙන සෙතක් නැහැ. කමල් මහත්තයා කියන්න ලංකාවේ කොයි ධීවරයද කියලා ලින්නෝ අල්ලාගෙන එන්නේ... මම කියන්නේ මීට අවුරුදු 20-30 කට කලින් ලංකාවේ ලින්නෝ විකුණුවේ නැහැ කියලා. හොයලා බලන්න. පිටරටින් ගෙනෙන මාළු ටින් කරලා වැඩි මිලක් ඉල්ලන එක හොරකමක් නේද?

:       162       52

BamunuarachchiThursday, 19 September 2019 04:15 AM

ගොබ්බ කතා නොකියා පළමුව ස්තූති කරන්න මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකළාට. මොන ක්‍රමයෙන් මාළු ගෙනැල්ලා හරි මේ කර්මාන්ත මේ සාර්ථක කරගත්තොත් පිටින් මාළු ගෙනැල්ලා ටින්කර මුහුදක් නැති රටවලට විකුණාගන්න හැකිවේවි...

:       190       237

BamunuarachchiThursday, 19 September 2019 04:18 AM

"පිටරටින් ගෙනෙන මාළු ටින්කරලා වැඩි මිලක් ඉල්ලන එක හොරකමක් නේද?" චීනය අප‍ රබර් අරගෙන ලෝකෙට ටයර් ටියුබ් හදලා විකුණන එකත් හොරකමක්ද? අනේ මෙයාගේ දැනීම...

:       113       163

seri waanija welendaThursday, 19 September 2019 01:21 PM

බමුණෝ, චීන්නු ලංකාවේ ගොන්නු අන්දලා රබර් ඇට අරන් ගියා.. දැන් එහෙ ඔවුන්ගේම රබර් වගා තියෙනවා..

:       142       32

BamunuarachchiFriday, 20 September 2019 12:20 AM

හලෝ චීන්නු රබර් වවපු කතාව නොවෙයි මෙතන තිබෙන්නේ මූලද්‍රව්‍ය වෙනත් රටවලින් ගෙවාගෙන භාණ්ඩ නිෂ්පාදන කර විකිණීම හොරකමක් කීම ගොන්කතාවක් කීමයි. ජපානයට යකඩ නැහැ. නමුත් ඔවුන් යකඩ ගෙන්වාගෙන නැව් හදලා විකුණනවා. අපේ පොස්පේට් ලබාගෙන පොහොර හදලා ලෝකෙට විකුණනවා. එ්වා තමයි ලෝකේ කෙරෙන වෙළඳාම. මෙතන ලියවෙන අදහස් වලින් මිනිසුන්ගේ දැනීම් මට්ටම හොඳට තේරුම් ගන්න පුළුවනි.

:       0       0

BamunuarachchiFriday, 20 September 2019 06:16 AM

චීන්නු ලංකාවේ ගොන්නු අන්දලා රබර් ඇට අරන් ගියාලු. දන්නා දෙයක් කතා කරන්න හලෝ. හිතාගෙන ඉන්නේ ලංකාවේ විතරයි රබර් තිබෙන්නේ කියලා. අනික හිතාගෙන ඉන්නවා රබර් ගස ලංකාවට ආවේණික ගසක් කියලා. නැහැ1876 රබර් ඇට 70000 එංගලන්තයට හෙන්රි වික්හම් නැමැත්තා බ්‍රසීලයෙන් ගෙනගියා. නමුත් පැළ උනේ නැහැ . ඊට පසු අපිට 1877 රබර් අැට එංගලන්තෙන් ලැබුනා. අපේ රබර් වගාව සාර්ථක උනාම අපි සිංගප්පුරුවටයි මැලේසියාවටයි රබර් ඇට යැව්වා.

:       58       145

KumarSaturday, 21 September 2019 03:16 PM

චීන්නු රාජපක්ෂලාගේ ගජ යහළුවෝ නේද. ඕනේ තරම් සල්ලි ණයට දෙනවා. අනෙක් පැත්තෙන් වියදමට වඩා අඩුවෙන් ටින්මාළු විකුණලා කර්මාන්තය විනාශ කරනවාද?

:       35       6

ගෝමිස් Wednesday, 18 September 2019 11:26 PM

මෙයා ඡන්දෙ ඉල්ලන්නත් ලැහැස්තිවුණා.. ඉන්න දේශපාලුවන් ඇති.. ඒ අය අයින් කරන්නයි... මහා ජනතාව සොයන්නේ. ඔයා අර සිල්ගන්න ගිය එක දිගටම කරලා හොඳ යහපත් ගුණලබා ලබන ආත්මයට කියලා පව් වමාරන්න...

:       15       96

koba Thursday, 19 September 2019 02:29 AM

පිටරටක කවුරුහරි, මොකක්හරි නිෂ්පාදනයක් කරලා ප්‍රවාහන ගාස්තු බදුගෙවලා ලංකාවට ගෙනත් තොග වෙළෙන්ඳාගේ ලාභය සිල්ලර වෙළෙන්ඳාගේ ලාභය එහෙමත් අරන් අපේ නිෂ්පාදනයට වඩා අඩුවට විකුණනවා නම් අපේ අවුලක් තියෙනවා නේද? මිලියන 20 ක් මිනිස්සු ගැනද? නැත්නම් 3000ක් මිනිස්සුන් ගැනද හිතන්න ඕන, අපි තරඟකාරී වෙළඳපොලේ රැඳිලා ඉන්න නම් ටිකක් නිර්මාණශීලී වෙන්න ඕනේ, ටින් මාළු වෙනුවට දේශීය මාළුන්ගෙන් ඇඹුල්තියල් ටින් ජාඩි ටින් හැදුවොත් මෙහෙ මාළුරසය වෙනසක් නැතිව අලෙවි කරන්න පුළුවන්..

:       18       534

Bamunuarachchi Thursday, 19 September 2019 04:06 AM

සියලුම ස්වදේශීය කර්මාන්තත් මේ ආණ්ඩුව විනාශ කළා. මෙතැන විස්තර ලියන්න බැහැ.

:       107       56

sanaThursday, 19 September 2019 02:34 PM

ගල් බමුණාගේ හොර ජාවාරම් තමයි නැවතුණේ...

:       1       23

දිලුම් Thursday, 19 September 2019 04:28 AM

මමත් විදේශ රටවල් ගැන අත්දැකීම් තියන කෙනෙක්... අපේ රටේ තැනයි, බංගලාදේශය වගේ අපට පහළින් හිටපු රටවල අද වර්ධනයයි දැක්කම ඇත්තටම ලාංකිකයන් විදියට අපට ඇඬෙනවා. අල්පෙනෙත්තේ ඉඳන් පිටරටින් ගෙනැල්ලා පිටරටින් කටට කෑම වැටෙනකම් බලාගෙන ඉන්න ජාතියක් වෙලා අපි. දියලුණු පිටරටින්, බිත්තර, අල්පෙනෙති, මකනකෑලි, කරවල එකී මෙකී නොකී සෑමදේම පිටරටින් ගෙනත් අතේ කුණු ගාගන්නේ නැතුව ණයට කකා ඉන්නවා. ඒ මදිවට රටේ තියන කර්මාන්ත ටිකත් වලපල්ලට යවලා සේවකයන් හිඟන්නන් කරලා ආනයනකරුවන්ගෙන් ගන්න කොමිස්වලින් රටේ දේශපාලුවන් හා ඉහළ නිලයන් කොටසක් සුරසැප විඳිනවා. හැමදාම මේ රටට ගැටපිච්ච මල් පුරවපු ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඉන්දියාවේ ඉඳන් එනවා කියලා කී දෙනෙක් දන්නවාද මං දන්නේ නෑ. අපි මේවට වියදම් කරන්නේ ඇයි? ලංකාවේ වැටක් දිගට වැව්වත් මල් ලිරෙන්න ගැටපිච්ච වැවෙනවා. මේ අධ්‍යාපනයක් නැති කාලකන්නි ටික මේ රට විකුණගෙන කනවා. අපි කිසිම හැකියාවක්, හැදියාවක් නැති නිකමුන් ටිකක් වෙලා තියෙන්නේ. අපි දන්නේ හැමදේම නැ බෑ කියන්න විතරයි. අපිට පුළුවන් කොහොම හරි කරමු කියන්න කවුරුවත් නෑ. මේවා ගැන කථාකරලා වැඩක් නෑ..

:       26       309

sanaThursday, 19 September 2019 02:36 PM

ගැට පිච්ච මොනවද? පහුගිය ආණ්ඩු කාලේ ලොක්කෙක්ගේ මංගල උත්සවයකට මල් ගෙනාවේ නෙදර්ලන්තයෙන්...

:       91       166

ගාමිණීඅභය Thursday, 19 September 2019 07:35 AM

බෞද්ධ රටවල සියලු චේතනාන්විත ප්‍රාණගාත නැවැත්විය යුතුයි. මේ වගේ බෞද්ධ රටක කොහොමද මේ වගේ ප්‍රාණඝාතයෙන් යෙදෙන කර්මාන්ත තියෙන්නේ?

:       18       42

BamunuarachchiThursday, 19 September 2019 10:28 AM

මේ කර්මාන්ත ශාලාවේ ටින් කරන්නේ මැරිච්ච මාළු. පණපිටින් ඉන්න මාළු නොවෙයි උපාසක....

:       211       2

lalithmFriday, 20 September 2019 11:28 AM

කම්හලක් හදන එක හොඳයි. ඒත් ප්‍රමිතියෙන් තොර දේවල් සහ සති මාස ගණන් පරණ මාළු ගෙනත් ටින් කරන එක වැරදි. අපේ අලගොඩු, බල,හුරුල්ලෝ වගේ දේවල් ටින් කරන්න පටන් ගන්න. විවිධත්වයක් තියෙනවා නම් ඉල්ලුම තියේවි. ඒත් මිල අඩු වෙන්න ඕනෙමයි.

:       0       13

BamunuarachchiSaturday, 21 September 2019 03:05 PM

ප්‍රමිතියට තිබෙනවාද නැද්ද කියන එක අදාල ආයතන බලා ගනීවි. මිනිසුන්ගේ කැමැත්තට හරියන භාණ්ඩ නිෂ්පාදනය උනේ නැතිනම් වෙළඳපොලේ ඒවා ප්‍රතික්ෂේප වේවි. එවිට කර්මාන්ත ශාලාව වසා දමන්න සිදුවේවි. පිරටින් ගෙවන දේට 100% ක් විදේශීය විනීමය වැය වෙනවා. අපේ රටේ කර්මාන්ත ඇති කලොත් රටේ මිනිසුන්ට රැකියාවල් ලැබෙන අතර විදේශීය විනීමය වැය වෙන්නේ ටින් වගේ මුලද්‍රව්‍ය වලට පමණයි. ඒ කර්මාන්තය දියුණු උනාම අපිට භාණ්ඩ අපනයනය කරන්න පුළුවන් . 1950 ගණන්වල බිස්කට් ගෙනාවේ පිටරටින්. දැන් අපි බිස්කට් පිටරට යවනවා. ඉස්සර රෙදි ගෙනාවේ පිටරටින්. 1958 වනවිට අපේ රටේ ඉස්තරම්ම කලිසම් රෙදි නිපදවූවා. මීතොට මල්ලේ විශාල රෙදි කර්මාන්ත ශාලාවක් තිබුනා. මේ කාලකන්නි රජය පිටරටින් රෙදි ආනයනය කර ඒ රෙදි කර්මාන්තය විනාශ කෙරුවා. ඒ කර්මාන්තකරුවා බංගලාදේශය වැනි රටවලට ඒ කර්මාන්ත රැගෙන ගියා.

:       93       0

ප්‍රීති Thursday, 19 September 2019 07:39 PM

පිටරටිනුත් ගෙනල්ලා අඩු මිලට දෙන්න හැකි නම්, ඇයි ලංකාවේ නිෂ්පාදකයින්ට එක කරන්න බැරි? කර්මාන්ත ශාලාවල රැකියා කරන සේවකයින්ටත් හිඟන පඩියක් ගෙවන්නේ. අපේ රටේ වෙළෙන්දන් සෑම පාරිභෝගික භාන්ඩයකින්ම අධික ලාභයක් ලබනවා. අපිට ඔය කාගේවත් කර්මාන්තශාලා වලින් අපට වැඩක් නැහැ. අතේ ඇති මුදලට කුසගින්න නිවා ගන්නයි අපට ඕනා. ව්‍යාපාරකයින් හා වෙළෙන්දන් පාරිභෝගිකයින්ව සූරාකන විදිහට තමා ඔවුන් කොච්චර හම්බ කලත් වගතුවක් නැත්තේ. පේන්නැද්ද? හැම කෙනාම ඉහලට ඇදගෙන හුල්ලනවා. පව්කාරයෝ., කොච්චර තිබුනත් මදි...

:       0       0

de silva berlin Friday, 20 September 2019 02:17 AM

"නළුකමෙන් අඔු දරුවන් පෝෂණය කරන්න බැරි නිසා ටින්මාළු වියපරයට බැස්ස " මොන විකාර කතාවක්ද ? ලංකාවේ දෙවෙනි විශාලම ටින්මාළු කම්හල් හිමියා , නළුවෙකුට වැඩිය විශාල අධායමක් උපයන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ? නැවුගාස්තු , රේගුබදු ගෙවල රටෙන් ගෙන්වන ටින්මාළු මෙහෙ ඒවාට වැඩිය අඩුවෙන් දෙනවනම් වරද තිබෙන්නේ මේගොල්ල අතේ මේගොල්ල අධික ලාබ ලබනවා ඇති අනිවාර්යයෙන්ම , කුලී වැඩක් කරන මනුස්සයෙක් අඔු දරුවෝ නඩත්තු කරන්නේ කොහොමද කියල මේගොල්ල කල්පනා කරන්නේ නැහැ , රජය කෝටිපති කම්හල් හිමි නිෂ්පාදකය ගැන පමණක් නොවේ පාරිභෝගිකයා ගැනත් සිතන්න ඕනේ , නැත්නම් රටේ ජනතාව මන්දපෝෂණයෙන් පෙලෙන්න පුළුවන් , අහාර ද්‍රව්‍ය මත බදු පනවන එක ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ

:       0       0

Kumar Friday, 20 September 2019 04:02 PM

මම කඩේට ගොසින් යමක් ගන්නේ මගේ අතේ තිබෙන මුදල් අනුවයි. ලංකාවේ ටින්මාළුවල මිල අධික නම් ඊට අඩුමිලකට පිටරටින් ගෙනා මාළු ටින් ලාබෙට ඇතිනම් ඒ ටින් තමයි මිලයට ගන්නේ... ලංකාවේ නිෂ්පාදන ගන්න කියලා මට කවුරුවත් වැඩිපුර මුදල් දෙන්නේ නැහැනේ. ලංකාවේ නිපදවන දෙයක් පවත්වා ගෙනයන්නම ඕනේ නම් රජය ඒ කර්මාන්තයට මුදලින් උදව් කරන්න ඕනේ. සෑම රටකම රටට ඵලදායි කර්මාන්තවලට රජය උදව් කරනවා.

:       1       18

Roy fedricks Friday, 20 September 2019 10:59 PM

මොකද දැන් සම්බාහන මධ්‍යස්ථාන ව්‍යාපාරය කරන්නේ නැද්ද?

:       0       35

Bamunuarachchi Saturday, 21 September 2019 03:09 PM

1970 ගණන්වල මේ රටේ අධි බලැති විදුලි රැහැන් ඇද්දේ ලංකාවේ සමාගම්. අද ඒවා කරන්නේ ඉන්දියානු සමාගම්. ඉතින් මේ රටට හරියයිද? හොඳම දේ අපේ ළමයින්ට හොදින් උගන්වා පිටරට පදිංචියට යැවීමය. මේ කාලන්නි රට ගොඩ ගන්න බැරිය. සජිත් වැන්නෙකු මේ රටේ ජනාධිපති කර ගන්න මිනිසුන් ඉන්න රටකට හරියන්නේ නැත.

:       103       58

KumarSunday, 22 September 2019 02:45 PM

නව ලක්ෂපාන සිට සෑම දෙසටම අධිබල විදුලිරැහැන් ඇද්දේ ජපන් සමාගමක්... මහවැලියේ සිට සපුගස්කන්දට සහ කොළඹට රැහැන් අැද්දෙත් පිටරට සමාගමක්... පන්නිපිටියේ සිට මතුගමට යන 132kv රැහැන් ඇද්දේ විදුලිබල මණ්ඩලයයි. ඉතින් බොරුකතා ප්‍රචාරය කරන්න එපා...

:       0       62

Nana Saturday, 21 September 2019 03:54 PM

දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා බදු සහන ලබාදීම දීර්ඝ කාලීනව දියුණු ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. එහෙත් තාවකාලික සහන ලබාදී වෙනත් ලාභදායී කර්මාන්ත වෙත යොමු කිරීම රජය විසින් කළ යුතුය. දේශීය කර්මාන්ත වලට විදේශීය ආනයන සමග තරඟ කළ නොහැකි නම් එම කර්මාන්තය රටට බරක් බවට පත්වේ. ඔවුන් යම් යම් ක්‍රම යොදාගෙන නිෂ්පාදන වියදම් අඩු කිරීමට ක්‍රියා කළ යුතුමය.

:       0       15

Sam Saturday, 21 September 2019 06:50 PM

කමල් මහත්තයෝ මුලින්ම නිෂ්පාදන වියදම අඩුකරලා ටින් මාළු එකක් 300 හෝ අඩුවට දෙන්න බලන්න. ආනයනික ටින් මාළු වලට බදු ගැහැව්වම එකත් වැඩි වෙයි. අනෙක චිලි රටෙන් හදල නාවේ ගෙනල්ලා රේගු බදු ගෙවලා වෙළෙන්දත් ලාභ තියාගෙන 300 ට දෙනවා. අැයි මෙහෙ හදලත් ඔබට බැරි?

:       0       27

Jayantha Kumara Saturday, 21 September 2019 08:23 PM

හොඳ උදාහරණයක් මම දැනට ඉන්න රටෙන් දෙන්න පුළුවන්.ට්‍රිනිඩෑඩ් කියන රටට වෙලා තියෙන්නෙත් මේ දේම තමයි. .උක්ගස් වවලා ලෝකයටම සීනි නිපදවලා. හතර වටේට මුහුද නමුත් කන්ද තියෙන්නේ ආනයනික මස්, තණකොළ හැමතැනම. නමුත් කිරි ආහාර ඔක්කොම පිටරටින්.අපිටත් අන්තිමට ඕක තමා කරන්න යන්නේ.මේ ඉන්න 225 ම.

:       0       0

Mahinda Sunday, 22 September 2019 01:03 AM

බන්දුලගෙන් අහන්න නියම විසඳුමක් දෙයි.

:       0       0

amila Sunday, 22 September 2019 04:44 AM

මේ වගේ ජරා රටක බිස්නස් පටන් ගන්න අයට ගහන්න ඕනේ.

:       4       53

Chamila Monday, 23 September 2019 01:48 AM

ආණ්ඩුවේ ඉන්න හොර ඇමතියොන්ට එක්කෝ කොමිස් යනවා ඇති, නැත්නම් උං මාලු රටින් ගෙන්වනවා ඇති. ගම්මිරිස් රටින් ගෙන්නලා මිශ්‍ර කරලා අපේ රටේ හොඳම ගම්මිරිස් බාල කරලා විකුණන ඇමතියො ඉන්න ආණ්ඩුවක්නෙ.

:       25       94

lalithm Monday, 23 September 2019 03:51 AM

බොහෝ ටින් මාළු හදන්නේ නැව්වල තිබෙන කම්හල්වල. අල්ලන ගමන් ටින් කරනවා. ඉතින් හොඳම තත්වයේ මාළු හම්බවෙනවා. අනික ලංකාවේ ටින් මාළු තිත්ත රහ මොකද? අපේ රටේ ටින් මාළුවලට සිට්රික් ඇසිඩ් දමන්නේ ඇයි? මම ලේබල් වල දැක්කා. අනික් රටවල් වලින් න් එන ඒවායේ එහෙම දමනවා කියල නැහැ. මොනවා හරි දෙයක් වැඩිපුර දමන්නේ මොකක් හරි අඩුවක් නිසා නේද? මමත් කීප සැරයක් ගත්තට පස්සේ නැවැත්වුවා. ප්‍රමිතියකට හදාගෙන කෑ ගැහැව්වට කමක් නැහැ. බදු සහනත් ඕනේ තමා.

:       117       4

ROY FEDRICKS Monday, 23 September 2019 11:11 AM

ඔව් කමල්! මම ඔබ සමග සියයට සීයක් එකග වෙනවා.මේ ශ්‍රී ලංකාවේ සිදු වෙන්නේ අසාධාරණ ක්‍රියාමයි . මම ඔබට එවන් අවස්ථා .තුනක් ගැන කියන්නම්. වරක් නළුවෙක් සුරූපී තරුණ නිළියක්ව වාහනයෙන් තල්ලු කර මරා දැමුවා.දෙවන වර එම නළුවම ලාබාල දැරියකට ලිංගික අතවර කලා,තෙවනවර පොලිසිය ඔහුගේ ගණිකා ව්‍යාපාර වැටලුවා.එහෙත් මේ කිසිම අපරාධයකට ඔහු දඩුවම් වින්දේ නැත. ඔහුට තවමත් ගරු බුහුමන් ලැබේ. රඟපෑමට චිත්‍රපටි ලැබෙනවා. එහෙත් අසරණ එච්.එම්.ජයවර්ධන ජනාධිපති සම්මාන ප්‍රතික්ෂේප කළදා සිට මිය යන තුරුම ඔහුට චිත්‍රපටි ලැබුනේ නැත. .

:       0       612

rocky Tuesday, 24 September 2019 03:16 AM

බමුණෝ, නොදන්නා දේවල් කතා කරන්න එපා. රබර් ගස් කොහෙන්වත් ගෙනාවේ නැහැ. වෙන රටවලටත් රබර් වගාව පුරුදු කෙරුවේ රාවණාගේ කාලේ අපේම මිනිස්සු . අද ඔය මැඩගස්කර් කියන රටේ තමයි රාවණාගේ රබර් වත්ත තිබුනේ. එදා ඒක "මැදගස් කරය" හැටියට ලෝක ප්‍රසිද්ධ වෙලා තිබුන. ඒ කාලේ අපේ රටෙන් අඟහරු ලෝකෙටත් රබර් අපනයනය කෙරුව.

:       153       66

samTuesday, 24 September 2019 03:22 PM

දඬු මොනරයි රොකටුයි තිබුන රාවණට වඳුරෝ සෙට් එක ගහල යනකොට රබර් ගස් නැතිඋනා

:       0       0

රොහාන් Wednesday, 25 September 2019 03:06 AM

කඩේ ගිහිල්ලා ගෙනාපු ආණ්ඩුවනේ........

:       0       0

Rohan Wednesday, 25 September 2019 03:10 AM

බාස්මති ගෙන්නනකොට හිතුවද බන් මෙහෙම?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 111 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 102 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 313 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 545 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 602 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 99 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site