IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ට්‍රම්ප් - කිම් හමුවේ වෙනස්ම කතාවක්

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර හමුව හෙට, එනම් ජූනි 12 වැනිදා පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට සෙනසුරාදා (9) සිට ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි ඉඩක් වෙන්වී තිබේ. 

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ සහාය ද ඇතිව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ට්‍රම්ප් - කිම් හමුව සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක පුවත්පත් වාර්තාකරණයක නිරත වන අයුරු දක්නට ලැබිණි. හමුව වාර්තා කිරීමට සිංගප්පූරුවට පැමිණ සිටින ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 2,500ත් 3,000ත් අතර වන බව සිංගප්පූරු සන්නිවේදන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතරවාරයේදී රොයිටර් සහ ඒ.පී පුවත් සේවාවල සහාය ඇතිව බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වෙනස්ම ආකාරයක පුවතක් වාර්තා කර තිබෙනු දක්නට ලැබිණි. 

සිංගප්පූරුවට පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නවාතැන් ගෙන සිටින්නේ එරට තිබෙන අධි සුඛෝපභෝගී හෝටල්වලින් එකක් වන ශාන්ත රෙගිස් හෝටලයේය. ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ. ඉරිදා උතුරු කොරියා නායකයා මෙම හෝටලයට පැමිණෙන විට සිටියේ මාධ්‍යවේදීන් දෙදෙනකු පමණක් යැයි ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

උතුරු කොරියා පැමිණෙන මාර්ගයේ සිටි ජනතාව එක් පෙදෙසකට කිරීමට පොලිසිය කටයුතු කර තිබුණු බව ද එම පුවත් වාර්තාවේ දැක්වේ. 

එහි සිටි මාධ්‍යවේදීන් දෙදෙනා උතුරු කොරියානු ඡායාරූප මාධ්‍යවේදීන් දෙදෙනකු බවත් ඔවුන් තම නායකයාගේ  ඡායාරූප ගැනීම වෙනුවෙන් එහි රැඳි සිට ඇති බවත් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය සඳහන් කරයි. 

ඔවුන් දෙදෙනා පහසුවෙන් හඳුනාගත හැකි වූ බවත් ඔවුන් දෙදෙනා උතුරු කොරියාවේ හිටපු නායකයන්ගේ රූප දැක්වෙන ලාංඡන පැළැඳ සිටි බවත් එම පුවත් වාර්තාවේ දැක්වේ. කොරියානු ආරක්ෂක නිලධාරීන් සංචාරකයන් නායක කිම් ජොන් උන්ගේ ඡායාරූප ගැනීමට වැළැක්වීමට උත්සාහ කළ බව ද ‘ද ගාඩියන්’ වාර්තා කරයි.

හුදෙකලා වූ දැඩි පාලනයක් ඇති උතුරු කොරියාවේ කටයුතු සිදුවන්නේ කෙසේදැයි එම සිදුවීමෙන් පැහැදිලි වන්නේ යැයි ද ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි. 

එකාධිපති පාලනයක් ඇති උතුරු කොරියාව මේ වනවිට එකම පවුලක පාලනයට යටත්ව තිබේ. එම පවුලේ තෙවැනි පරම්පරාව නියෝජනය කිරන කිම් ජොන් උන් උතුරු කොරියාවේ වත්මන් නායකයාය.

උතුරු කොරියාවේ ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ත්‍රිත්වයක් පමණක් බව ද ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කරයි. එනම් ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’, ‘ද රොඩොන්ග් සින්මුන්’ පුවත්පත සහ ‘කොරියානු මධ්‍යම රූපවාහිනිය’ එම පුවත් ආයතන ත්‍රිත්වයයි. කොරියානු නායකයා සම්බන්ධයෙන් පුවත් ජනතාවට ගෙන යන්නේත් කොරියානු නායකයාගේ සුජාත බව ගොඩනංවන්නේ සහ ඔහුගේ තත්ත්වය උත්කර්ෂයට නංවන්නේ මෙම මාධ්‍ය ත්‍රිත්වය යැයි ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය පෙන්වාදෙයි. 

ඒ කෙසේ නමුත් බටහිර මාධ්‍ය උතුරු කොරියාව සම්බන්ධයෙන් පමණක් නොව සිරියාව, ඉරානය, රුසියාව හා චීනය සම්බන්ධයෙන් වැරැදි ඡායාරූපයක් ලොවට ගෙන යන බවට ද ඇතැම් පාර්ශව චෝදනා කරයි.

උතුරු කොරියානු ජාතිකයන් බොහෝමයක් තවමත් ඓතිහාසික ට්‍රම්ප්-කිම් හමුව සම්බන්ධයෙන් වැඩි යමක් නොදන්නා බව ද ‘ද ගාඩියන්’ පුවත් වාර්තාව පෙන්වා දෙයි. ට්‍රම්ප් හා කිම් හමුවීමට නියමිත බව උතුරු කොරියාවේ නිල මාධ්‍ය ජනතාවට වාර්තා කළත් කෙසේද කවදාද යනාදිය ඇතුළුව සවිස්තර විස්තරයක් එහි නොතිබුණු බව ද පැවසේ.

කිම් ජොන් උන් උතුරු කොරියාවෙන් සිංගප්පූරුව බලා පිටවන තුරු ඒ ගැන කිසිදු නිල නිවේදනයක් තියා වචනයක් හෝ නොතිබුණු බව ද ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය කියයි. 

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැමිණෙන විට ඒ ඉදිරියෙන් පැමිණි අධි සුඛෝපභෝගී මෝටර් රථයක වහළයේ කොටසක් (සන් රූෆ්) විවෘත කරමින් පිටතට පැමිණි උතුරු කොරියානු ඡායාරූප ශිල්පීන් දෙදෙනකු මාර්ගයේ විවෘත පිරිස් වීඩියෝ ගත කරන්නට වූ බව ද ‘ද ගාඩියන්’ පුවත් වාර්තාවේ දැක්වේ.

ඉන් පිටුපසින් පැමිණි තවත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක වහළයේ කොටසක් (සන් රූෆ්) විවෘත කරමින් පිටතට පැමිණි උතුරු කොරියානු ඡායාරූප ශිල්පියකු ඡායාරූප ගන්නට වූ බව ද එම වාර්තාවේ දැක්වේ.

ට්‍රම්ප් නවාතැන් ගෙන සිටින හෝටලයේත් ඉන් පිටතත් දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර හෙතෙම හෝටලයට පැමිණියේ ‘මසිඩීස් බෙන්ස්’ වර්ගයට අයත් කළු පැහැති ‘ලිමොසින්’ රථයකිනි. ඔහු පැමිණෙන තෙක් ශාන්ත රෙගිස් හෝටලයේ සිටි අමුත්තන්ට පැය කිහිපයක් යනතෙක් ඉන් පිටවීමටත් එතුළට පැමිණීමට ඉඩක් නොලැබුණු බව ද වාර්තා වේ.

උතුරු කොරියානු ජනමාධ්‍යවේදීන් දුසිමකට ආසන්න පිරිසක් ඔවුන්ගේ නායකයාගේ සෑම මොහොතක්ම අසු කරගැනීමට උත්සාහ ගන්නා විට ඔවුන් ආසන්නයෙන්ම උතුරු කොරියානු ආරක්ෂකයෝ දුසිමක් වූ බව ද ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

එම ආරක්ෂකයන් තම රටේම මාධ්‍යවේදීන් කරන්නේ මොනවාදැයි සෝදිසියෙන් සිටි බව ද හෝටලයේ සිටි අමුත්තන් උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එමෙන්ම සිංගප්පූරු පොලිසිය හෝටල් කාර්ය මණ්ඩලයට සහ එහි සිටි සංචාරකයන්ට හා අමුත්තන්ට උතුරු කොරියානු ජාතිකයන්ගේ විශේෂයෙන්ම නායක කිම් ජොන් උන්ගේ ඡායාරූප නොගන්නා ලෙස පවසා ඇතැයි ද වාර්තා විය. 

හෝටලයේ සිටි අමුත්තන් ඡායාරූපයක් ගත් අවස්ථාවකදී උතුරු කොරියානු ආරක්ෂකයකු ඔවුන් වෙත පැමිණ ඔවුන්ගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

“මම දැක්කා ඔවුන් අපේ සභාපතිතුමාගේ ඡායාරූපයක් ගන්නවා. ඔවුන් එසේ කරන්නේ කොහොමද ? ඔවුන් එසේ නොකළ යුතු” යැයි එම නිලධාරියා පසුව රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

ඔහු තම අනන්‍යතාව හෙළි නොකළේය. එම නිලධාරියා ඉදිරියේ හෝටල් කාර්යමණ්ඩලය සහ අමුත්තා ඡායාරූප මකා දැමූ බව ද ‘ද ගාඩියන්’ වාර්තා කර තිබිණි. එම නිලධාරියාගේම ප්‍රශ්න කිරීමට ලක්වූ තවත් අමුත්තියක් තමන් උතුරු කොරියානු නායකයාගේ ඡායාරූප නොගත් බවත් තමන් ජංගම දුරකතන පෙන්වීම ප්‍රතික්ෂේප කළ බව කීවාය.

අදාළ උතුරු කොරියානු නිලධාරිය එම අමුත්තිය වෙනත් ස්ථානයකට කැඳවාගෙන ගොස් තිබෙන අතර හෝටල් කාර්ය මණ්ඩලය මැදිහත් වීම එම ගැටලුව නිරාකරණය කර තිබේ. ඇය සතුව උතුරු කොරියානු නායකයාගේ ඡායාරූපයක් නැති බව හෝටල් කාර්ය මණ්ඩලය අදාළ උතුරු කොරියානු නිලධාරියාට සහතික වී තිබේ. 

“ඔබ තව මොනවා බලාපොරොත්තු වෙන්නද ? මේ උතුරු කොරියාව” යැයි බටහිර රටක සංචාරකයෙක් උරහිස් හකුළුවමින් කීය. හෝටලයේ සිටි විදෙස් සංචාරකයන් බොහෝමයක් මෙම සිදුවීම් හේතුවෙන් භීතියටත් සිත් තැවුලටත් පත්ව තිබිණි. 

‘මේක මහ විකාරයක්’ එහි සිටි බි්‍රතාන්‍යය සංචාරකයෙක් වූ නිකොලා හාඩින්ග් කීවාය. 

කෙසේ නමුත් මානව ස්පර්ශය, දයාව හා කරුණාව සෑම විටම මතු වී එන්නක් බව අමතක නොකළ යුතුය. උතුරු කොරියානු නායක දකුණු කොරියානු නායකයා හමු වීම ආවරණය කිරීම සඳහා දෙරට අතර තිබෙන යුද මුක්ත කලාපයට ගිය උතුරු කොරියානු මාධ්‍යවේදියකු මෙම ට්‍රම්ප්-කිම් හමුව ආවරණය කිරීම සඳහා සිංගප්පූරුවට පැමිණ තිබිණි.

එම හමුව වාර්තා කිරීමට ගිය රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදියෙක් ද එහි විය. ඔහු හමු වූ නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ උතුරු කොරියානු මාධ්‍යවේදියා තමාගේ අලුත් මිතුරා වන රොයිටර් මාධ්‍ය සගයාට : “නැවත ඔබ හමු වීම සතුටක්” යනුවෙන් පවසා ඇතැයි ද ‘ද ගාඩියන්’ පුවත් වාර්තාවේ තවදුරටත් දැක්විණි.  

055

 



අදහස් (2)

ට්‍රම්ප් - කිම් හමුවේ වෙනස්ම කතාවක්

PA - RA Tuesday, 12 June 2018 02:01 AM

කිම් ජොන් උන් ඉතාම කල්පනා කාරී වෙන්න ඕන, සි අයි ඒ ගේම් එක අපි කව්රුත් දන්නවා ඒක නිකන් බොම්බේ වෙළෙන්දා වගේ ඒ අය හිතනේ අපිට මොලේ නැහැ ඒ අයට විතරයි තියෙන්නේ කියලා (ලංකාවේ දේසපාලුවන් හිතන්නෙත් එහෙමමයි ) ඉතින් ඉරාකෙ', ලිබියාවේ මේ ලගදී වෙච්ච දේවල් තව කොපමණද ?

:       29       400

Ajith Nissanka Tuesday, 12 June 2018 02:01 PM

ඉතාම පැහැදිලිව මේ කරන්නේ කපන්න බැරි අත ඉඹීමකි..! හැබැයි ඒකාධිපති පවුල් පාලනයක් තව කොපමණ දුරක් කරගෙන යන්න පුළුවන්ද?

:       0       24

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 107 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 102 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 306 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 541 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 596 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 96 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site