IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජාතීන් අනුව පාසල් සංහිඳියාවට තර්ජනයක්

මහාචාර්ය රොහාන් ගුණරත්න සමඟ ශානිකා ශ්‍රියානන්ද ඬේලි එෆ්.ටී. පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙනි.

ප්‍රශ්නය:- ජනවාර්ගික හා ආගමික සමගිය පවත්වාගෙන යාමට සිංගප්පූරුව ගන්නා උත්සාහය ගැන ඔබේ අදහස් කවරේද?

පිළිතුර:- ආර්ථීක සමෘද්ධිය සඳහා විවිධ ජන කොටස්ද ආගම් ද එක්සත්ව සිටීම බෙහෙවින්ම වැදගත් බව සිංගප්පූරුවේ මුල සිටම අවබෝධයක් ක්‍රියා කළා. රජයත් ඔවුන්ගේ හවුල්කරුවන්ද අන්තගාමී නොවී මධ්‍යස්ථවද ඉවසිලිමත් ලෙසද සහජීවනයෙන් ක්‍රියා කළා. ආගමික සාමය හා ජනවාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරමින් ඊට එරෙහිව ක්‍රියා කළා. එවැනි ක්‍රියා කරන්නවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිංග්පූරුව මැළි වූයේ නැහැ. 

ප්‍රශ්නය:- මෙවැනි ජනවාර්ගික කණ්ඩායම් ජීවත්වන සිංගප්පූරුවේ ඔබේ අත් දැකීම් මොනවාද? 

පිළිතුර:- ජනවාර්ගික හා ආගමික නායකයන් සමගිය හා සහජීවනය ඉතා බැරෑරුම් ලෙස සැලකුවා. ජනවාර්ගික හා ආගමික සමගිය පවත්වා ගෙන යෑම අවශ්‍ය බව සිංගප්පූරුවේ වාසය කරන විවිධ ජන කොටස් අවබෝධ කර ගෙන තිබෙනවා. බහුවිධ ජන වාර්ගික කොටස් හා විවිධ ආගමිකයන්ගෙන් සමන්විත සිංගප්පූරුවේ පාසල් විවිධ ජාතීන්ගේ එකමුතුව හා සමගිය ප්‍රවර්ධනය කරනවා. 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට කුමක් කළ යුතුද?

පිළිතුර:- සිංගප්පූරුවේ පියා වශයෙන් සැලකෙන ලී ක්වාන් යූ සිංගප්පූරුව හැදුවේ ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින්. ඒ 1950 දී. එහෙත් 1956 න් පසු ඔහු ශ්‍රී ලංකාවේ දියුණුව ගැන දැඩි කණස්සල්ලට පත්ව සිටියා. ශ්‍රී ලංකාවේ 1956 දක්වා ඉතා හොඳින් වැඩ කළා. 1956 දක්වා දීප්තිමත්ව බැබළෙමින් සිටියා. අවාසනාවකට මෙන් ඉන් පසු ශ්‍රී ලංකා නායකයන් ජනවාර්ගික හා ආගමික මතබේද දේශපාලනයට යොදා ගත්තා. ජනවාර්ගික හා ආගමික වෛරය වපුරන්නට පටන් ගත්තා. රට වසර 30 ක් ආ පස්සට තල්ලු කළා. එදා සිංගප්පූරුව ආදර්ශයට ගත්තේ ශ්‍රී ලංකාව පමණක් නොවේ. ශ්‍රී ලංකාව සංවර්ධනයේ හොඳ “මොඩලයක්” ලෙස ඔවුන් සැලකිල්ලට ගත්තා. කොළඹ ක්‍රමයේ මූලස්ථානය ලංකාව බවට පත් කර “කොළඹ” සැලැස්ම සකස් කළේ ඒ නිසයි. අග්නිදිග ආසියාවෙන්, “කොළඹ මොඩලය” අධ්‍යයනය කිරීමට ආවා. ලොව තවත් රටවල් ආවා. 1960 අවසන් වූ පසු කොළඹ සැලැස්ම ආපස්සට ගිය හැටි අපි දැක්කා. 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවට වැරදුණේ කොතැනද?

පිළිතුර:- ඈත නොපෙනුණු දේශපාලනඥයන් නිසා බොහෝ විට ලංකාව පල්ලම් බැස්සා. දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමටත් පෞද්ගලික හේතු නිසාත් රට අගාධයට ගියා. ඔවුන් සිංහල පමණක් පනත පාර්ලිමේන්තුවට ගෙන ආවා. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් එකමුතුකමින් සාමයෙන් ජීවත් වෙද්දී එම පනත සම්මත කර ගත්තා. එයින් ශ්‍රී ලංකාවේ සාමය නැතිභංග වී ගියා. රටේ විවිධ ජන කොටස් සාමයෙන් කල් හරිද්දී කිසිම තේරුමක් නැති සිංහල පමණක් පනත ගෙනාවා. එම පනතින් අපට තුට්ටුවකට වැඩක් වූයේ නැහැ. එයින් සිදුවූයේ රටේ ආරක්‍ෂාවත් රටේ ස්ථාවරත්වයත් නැතිවීම පමණයි. වසර 30 ක් පුරා යුද්ධයකට පැටලී දුක් විඳින්නට සිදුවූයේත් ඒ නිසයි. රටේ අධ්‍යාපන ක්‍රමයද එයින් විනාශ වී ගියා. ලොව පිළිගත් එකම සරසවියක්වත් අපේ රටේ නැහැ. අපේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුණා නම් ඔවුන් සෑම දෙනාටම ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නට තිබුණා. උසස් අධ්‍යාපනය සඳහා වන පොතපත දැන් මෙන් සිංහලයට පරිවර්තනය කරන්නට අවශ්‍ය වන්නෙත් නැහැ. උසස් අධ්‍යාපනයේ පත පොත සිංහලට පෙරැළීම ලෙහෙසි පහසු නැහැ. වසරකදී පරිවර්තනය කළ හැක්කේ ඉතාම සීමාසහිත පොත් ප්‍රමාණයක් පමණයි. එහෙයින් අපට හිමි වනුයේ බාගෙට තැම්බුණු පිරිසක් පමණයි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව නිසා මේ මහා වින්නැහිය ඇතිවුණා. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නට තුබූ අවස්ථාව අපේ දරුවන්ට අහිමි වුණා. අපේ සරසවිවලින් දැන් පිට වන්නේ බාගෙට උගත් පිරිසක්. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් වරක් මම මේ ගැන ඇසුවා. සිංහල පමණක් පනතේ නිර්මාර්තෘ තම සැමියා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඊට වග කිවයුතු බව ඇය කීවා. රටේ ආරක්‍ෂාව සමග සෙල්ලම් කිරීමට දේශපාලනඥයන්ට ඉඩ නොදිය යුතුයි. ශ්‍රී ලංකා රජයද වෙනත් රටවල් ද මෙයින් හොඳ පාඩමක් ඉගෙන ගත යුතුයි. 

ප්‍රශ්නය:- සිංගප්පූරුවේ තත්ත්වය කොහොමද? 

පිළිතුර:- සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ මේ තත්ත්වය හොඳට අවබෝධ කර ගෙන සිටියා. චීන, මැලේ. ඉන්දියා හා යුරේසියන් ජාතීන් සිංගප්පූරුවේ ජීවත් වෙනවා. ඒ විවිධ ජාතීන් අතර නිසි සම බරතාව ඇති කිරීමේ මඟත්, එහි වටිනාකමත් ලි දැන හිටියා එම සියලු ජන කොටස්වලට ඔහු සම තැන දුන්නා. සිංගප්පූරුවේ හිටපු ජනාධිපති එස්.ආර්. නාදන් ඉන්දියා ජාතිකයෙක්. වත්මන් ජනාධිපති හලීමා ජේකබ් මලයාසියා ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජනපති පදවිය එහි වාසය කරන විවිධ ජනකොටස්වලට හිමිවන බවට එම ජන කොටස් අතර විශ්වාසයක් තිබෙනවා. එසේ කරනුයේ විවිධ ජන කොටස් අතර කිසියම් අසහනයක් හෝ මදිපුංචිකමක් නැති කිරීමටයි. 

ශ්‍රී ලංකාවේද ජනපති/ අගමැති පදවි විවීධ ජන කොටස් අතර මාරුවෙන් මාරුවට බෙදී යන ක්‍රමයක් ඇති කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 72% ක් සිංහලයන් බව සැබෑය. එහෙත් අනාගත වාර්ගික සමගිය වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කළ යුතු. ඒ අනුව ජනවාර්ගික සමානාත්මතාව පතා සෙසු ජන කොටස්හි අභිලාෂය හඳුනා ගත යුතුය. 

ප්‍රශ්නය:- රටේ සන්සුන් පැවැත්ම බිඳෙන අයුරින් හෝ රජයට විරුද්ධව කැරලි ගැසීම වැළැක්වීම සඳහා, සිංගප්පූරුවේ               මෙන් නීති රීති පැනැවිය යුතුද? 

පිළිතුර:- ඔව්. එවැනි පනතක් තිබිය යුතුයි. ආගමික සමගිය පවත්වාගෙන යෑම සඳහා හෝ වෙනත් ජනවාර්ගික කොටස්වලට අපහාස කිරීම වැළැක්වීම සඳහා එවැනි නීති රීති පැනවිය යුතුයි. බොදුබල සේනා සංවිධානයේ සදාචාර නොවන හැසිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තර කළ නොහැකිය. එයි ප්‍රධාන භික්‍ෂූන් වහන්සේවන ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්, සමග මම සාකච්ඡා කළා. ඒ හිමියන් මට පැවසුවේ තම දෘෂ්ටිය බි්‍රතාන්‍යයේ ජාතික පක්‍ෂය අනුව පදනම් වූ බවයි. ඉන්දියාවේ ආර්.එස්.එස්. පක්‍ෂයේ මතවාදයද බි්‍රතාන්‍ය පක්‍ෂයේ මතවාදය සමග එක්වන බවයි. මියන්මාරයේ අශින් විරාතුගේ 969 සංවිධානයද ආර්.එස්.එස්. පක්‍ෂය හා ගැළපෙන බවද ඒ හිමියෝ කීවා.

බ්‍රිතාන්‍ය හා මියන්මාර පක්‍ෂ බෞද්ධාගම සමඟ කිසිසේත්ම නොගැළපෙන බවද ඒ හිමියෝ කීවා. ඥානසාර හිමියන් බෞද්ධාගමට මුවාවී රටේ අසමගිය වර්ධනය කරන බව පේනවා. මෙවැනි අවාසනාවන්ත ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව නිසි නීති පැනැවිය යුතුයි. ශ්‍රී ලංකාවේ පාසල්වලින් මෙය හඳුන්වා දිය හැකියි. විවිධ ආගම් හා ජනවාර්ගික සිසුන් එකට ඉගෙන ගන්නා පාසල් මේ සඳහා තෝරාගත හැකියි. ජනවර්ගය හෝ ආගම් වශයෙන් සිසුන් වෙන් කිරීම යනුවෙන් ප්‍රජාව බෙදීම නොකළ යුතුයි. බෙදී ගිය එවැනි ක්‍රමයක් තිබීම යනු ජාතිය ද බෙදීමක්. 

ප්‍රශ්නය:- විවිධ ජන කණ්ඩායම් එකට රැස්වන සමගි දිනයක් සිංගප්පූරුවේ තිබෙනවා නේද? ජාතීන් අතර සංහිඳියාව                 ඇති කිරීඹට එම ක්‍රමයෙන් කෙතරම් පිටිවහලක් ලැබේද?

පිළිතුර:- සමගිය දිනයේදී විවිධ ආගමික ජනවාර්ගික කොටස් එකට එක් වෙනවා. නොයෙකුත් කණ්ඩායම් අතර පවත්නා විවිධ අදහස් හා නොයෙකුත් ගති පැවතුම් ඇගැයීමට ඔවුන් හුරුපුරුදු වෙනවා. ශ්‍රී ලංකාවේ කිසිම පාසලක තනිකර සිංහල හෝ දෙමළ නොඉගැන්වීය යුතුයි. තනිකරම මුස්ලිම් සිසුන් සඳහා වෙනම පාසල්ද නොතිබිය යුතුයි. සියලු පාසල්වල සිංහල හා දෙමළ උගෙන ගන්නා සිසුන් සිටිය යුතුයි. හැම පාසලකම සමගි සමාජ පිහිට විය යුතුයි. එමගින් සිසුනට විවිධ සංස්කෘති සම්ප්‍රදාය හා දෙවි දේවතාවුන් ගැනත් අදහස් හුවමාරු කරගත හැකියි. උතුරේ හා දකුණේ පාසල් සිසුන් වඩ වඩාත් සමීප කළ යුතුයි. එවිට ඔවුන් අතර සිත්සේ අදහස් හුවමාරු කරගතහැකියි. රජයෙන් සිදුවිය යුතු කාර්යභාරය එයයි. උතුර හා දකුණ අතර වඩ වඩාත් ගමන් බිමන් වැඩිදියුණු කළ යුතුයි. සබඳතා වැඩි වර්ධනය කළ යුතුයි. අනාගතයේදී ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුම් වැළැක්වීමට නම් එසේ කළ යුතුයි.

ප්‍රශ්නය:- සංහිඳියා ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස වැඩිදියුණු කිරීම සඳහා කුමක් කළ යුතුද?

පිළිතුර:- සියලුම පාර්ශ්වයනට අනිවාර්ය වන සංහිඳියා පනතක් රජයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. රට බෙදීමට වැයම් කරන පාර්ශ්වවලට දඬුවම් කළ යුතුයි. දේශපාලන හා පෞද්ගලික මතිමතාන්තර ප්‍රවර්ධනයට රජය ඉඩ නොතැබිය යුතුයි. එකමුතුකම හා සමගිය ඇති කළේ කෙසේදැයි ශ්‍රී ලංකාවට සිංගප්පුරුවෙන් බොහෝ පාඩම් උගෙන ගත හැකියි. කිසිවකුගේ ජනවර්ගය හෝ ආගම මුල් කරගෙන ඔහුට අපහාස නොකළ යුතුය. එවැන්නවුනට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීති පද්ධතියක් තිබිය යුතුයි. සංහිඳියා පනත බල ගැන්වීමෙන් එසේ කළ හැකියි. වැසියන් හැම දෙනාම සමගිය ප්‍රවර්ධනය කළ යුතුයි. සාමය හා එක්සත්කම ආවාට ගියාට පිළිනොපැදිය යුතුයි. හැම දෙනාම එය රැකීමට හා ප්‍රවර්ධනය කිරීමට නීතියෙන්ම බැඳී සිටිය යුතුයි. හැම දෙනාම යනුවෙන් හැඳින්වෙනුයේ රජය පෞද්ගලික අංශය හා ආගමික අංශයි. සිංගප්පූරුවේ මෙම අංශ එක්වී සමගිය හා එක්සත් බව ප්‍රවර්ධනය කරයි. ආර්ථික ප්‍රවර්ධනයේ මුල් ගලක් වනුයේ රටක ජාතීන් අතර පවත්නා එක්සත් බවයි. සිංගප්පූරුවේ හිටපු අගමැති ලී මේ බව මැනැවින් අවබෝධ කරගෙන සිටියා. ශ්‍රී ලංකා සම්භවය ඇතිව සිටි සින්න තම්බි රාජරත්නම් සමඟ ඔහු වැඩ කළා. රාජරත්නම් සිංගප්පූරුවේ ප්‍රථම විදේශ ඇමැතිවරයා වුණා. සමගි සන්ධාන මොඩලයේ රජයක් සිංගප්පුරුවේ ඇති කිරීමට ඔහු අත හිත දුන්නා. අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වනුයේ එකමුතුකම හා සමගිය ගැන ඉදිරි දැක්මක් ඇති නායකයන්.

ප්‍රශ්නය:- සියලු ජනවාර්ගික කොටස් දේශපාලන නායකත්වයක් යටතේ සිංගප්පුරු රජය එකට ගොනුකළ ආකාරය                  ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර:- ජනවාර්ගික හා ආගමික පළුදු හා දොස් ඇති තැන් ගැන සිංගප්පූරු නායකයෝ නිතරම සෝදිසියෙන් සිටිනවා. ජනවාර්ගික හා ආගමික සමගිය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම කෙරෙහි ඔවුනට හොඳ අවබෝධයක් තිබෙනවා. සිංගප්පුරුවේ පැවැත්ම හා සමෘධිය රැඳී පවතිනුයේ එරට වැසියන් අතර ජනවාර්ගික සමගිය හා එකමුතුකම ඇතිතාක් පමණක් බව ඔවුහු හොඳාකාරවම දැන සිටිනවා. සුරක්ෂිතභාවය රටක නොමැතිව ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බව ඔවුහු දනිති. මිට සමාන්තරව ජනවාර්ගික හා ආගමික සහජීවනය යටතේ ළමයින් හා යෞවනයන් හදා වඩා ගැනීම වැදගත්වේ. රජය ඒ සඳහා වන නීති පැනැවිය යුතුයි. ජනවාර්ගික සාමයත් ආගම් අතර හොඳ හිතත් එම නීති වලට ඇතුළත් විය යුතුයි. එවැනි නීති ගරු නොකරන්නවුන් ගැනපරීක්ෂණ පවත්වා අධිකරණය වෙත ගෙනා යුතුයි. ඔවුන් එරෙහිව නඩු පවරා දඬුවම් කළ යුතුයි.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ මහජනයාත් රජයත් එහි සමගි සන්ධාන පිළිවෙතට කෙතරම් කැප වී ඇත්දැයි ඔබට කිව හැකිද?

පිළිතුර:- අන්තවාදී හා ත්‍රස්තවාදී මතිමතාන්තරවලින් ශ්‍රී ලංකා වැසියන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කළ යුතු දේ බොහෝය. මළ ත්‍රස්තවාදීන් සැමරීම හෝ කොටි සංවිධානයේ එවැනි සැමරුම් හෝ පැවැත්වීමට රජය ඉඩ නොදිය යුතුයි. මරාගෙන මැරුණු කොටි සාමාජිකයන් සැමරීමටද ඉඩ නොදිය යුතුයි. මළ ත්‍රස්තවාදීන් සැමරීමට අවශ්‍ය වන්නේ නම් පවුලේ සාමාජිකයනට පෞද්ගලිකව එවැනි සැමරුම් කළ හැකියි. එහෙත් සාමුහික සැමරුම්වලට ඉඩ නොදිය යුතුයි. ප්‍රසිද්ධියේ කොටි කොඩි ඔසවා උත්සව පැවැත්වීමට ඉඩ නොදිය යුතුයි. යුරෝපයේ නාසි වාදය පරාජය කිරීමෙන් පසුව නාසිවාදයට සම්බන්ධ කොඩි හෝ සිහිවටන ආදිය නීතියෙන්ම තහනම් කෙරිණි. හැම පාසලකම සමගි සමාජ ඇති කිරීමට රජය ප්‍රජා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන සමග අත්වැල් බැඳගත යුතුයි. හැම දිස්ත්‍රික්කයකම සමගි සමාජ පිහිට විය යුතුයි.

ප්‍රශ්නය:- මේ වැඩපිළිවෙළ යටතේ දේශපාලනඥයන් දැනුවත් කළ යුත්තේ කෙසේද?

පිළිතුර:- එය කළයුතුම ඉතා වැදගත් කාරියකි. අපේ දේශපාලන නායකයන් වෙනුවෙන් සිංගප්පූරුවේ මෙන් සිවිල් සේවා පාසලක් ලංකාවේත් ඇරඹිය යුතුයි. හැම රැකියාවකටම පෙර රැකියාලාභියාට හොඳ පුහුණුවක් තිබිය යුතුයි. තමන් තෝරා ගන්නා රැකියාවට එම පුද්ගලයා ගැළපේදැයි සොයා බැලීම අරමුණයි. මෙවැනි පාසල් දේශපාලනඥයන්ට විවෘත නොවේ. එහෙයින් දේශපාලනඥයන් පුහුණු කිරීමට වෙනම ඇකඩමියක් පිහිටවිය යුතුය. එවැනි ඇකඩමියක පුහුණුව නොලත් දේශපාලනඥයකුට පාර්ලිමේන්තුවට පිවිසිමට නොහැකි බවට නීති පැනැවිය යුතුයි. සිංගප්පූරුවේ දේශපාලනඥයෝ ඉතා දක්ෂයෝය. ඔවුහු දීප්තිමත් පුද්ගලයෝය. ඔවුහු බොහෝ දැනුම් සම්භාරයක් ඇත්තෝය. තම වෘත්තීය ගැන හොඳ දැනුමක් ඇත්තෝය. සිය දේශපාලනඥයන්ගේ දැනුම වැඩි කිරීම සඳහා බොහෝ ආයෝජන කර ඇත.

ප්‍රශ්නය:- කොටි සංවිධානය යළි මතු වෙතියි ඔබ සිතන්නේද?

පිළිතුර:- ලංකාවේ ආණ්ඩු එම ප්‍රශ්නය නොසලකා හරිමින් ජනවාර්ගික හා ආගමික අන්තවාදයට ඉඩ දී සිටියහොත් ජනවාර්ගික හා ආගමික අන්තවාදය යළි හිස එසැවිය හැකියි.එ විට ප්‍රචණ්ඩත්වය යළි මතුවිය හැකියි. 1970දී පමණ කොටි සංවිධානයේ උපත සිදුවූයේ උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ දෙමළ ජාතිවාදය කර පින්නාගෙන ඊට උඩගෙඩි දුන් නිසයි. ශ්‍රී ලංකා රජය මේ ගැන දැඩි සෝදිසියෙන් සිටිය යුතුයි. රටේ එකමුතු බව හා සමගිය අවුල් කිරීමට එවැනි පිරිස් ක්‍රියා කරන්නේදැයි නිරන්තර සෝදිසියෙන් සිට එවැනි ක්‍රියා ලත්තැනම “ලොප්” කළ යුතුය. තනි තනි ජනවාර්ගික කණ්ඩායම්වලට හෝ ආගමික හා දේශපාලන කණ්ඩායම්වලට රට අවුල් කිරීමට ඉඩ නොදිය යුතුය. ශ්‍රීලංකා නායකයන් දක්ෂ පිරිසක් නම් බහු වාර්ගික හා බහු ආගමික කණ්ඩායම්වලට පමණක් ඉඩ දිය යුතුයි. අනාගතයේදී ලියාපදිංචි කළ යුත්තේ එවැනි කණ්ඩායම් පමණි.

ප්‍රශ්නය:- මුස්ලිම් අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක් තිබේද?

පිළිතුර:- ශ්‍රී ලංකාව හැරුණු විට දකුණු ආසියාවේ රැඩිකල්වාදී ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වී ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ආදර්ශමත් ප්‍රජාවකි. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔවුහු ශ්‍රී ලංකාවේ හැම ආණ්ඩුවකටම සහයෝගය දී ඇත්තාහ. ශ්‍රී ලංකා මුස්ලිම්වරු හමුදාවේත් පොලිසියේත් බුද්ධි අංශවලත් ප්‍රධාන තනතුරු හොබවති. කොටි සංවිධානය නැති භංග කිරීමේ කාර්යයේදී ඔවුහු උපකාර කළහ.

කොටි ඔවුන්ගේ පල්ලිවලට පහරදුන් අවස්ථාවල ඔවුහු සෑහෙන්නට පීඩාවට පත්වූහ. ඔවුන් මෙසේ පහරකෑමට ලක්වූයේ ශ්‍රී ලංකාවට ඔවුන් දැක්වූ භක්තිමත් භාවය නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වනු ලැබූ ඊනියා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා ලොව පුරා මුස්ලිම්වරුන්ගෙන් පිරිසක් අන්තවාදී හා ත්‍රස්තවාදී අදහස්වලින් සන්නද්ධ වී සිටිති. මෙම කණ්ඩායමේ ක්‍රියාකලාපය සාම්ප්‍රදායික මුස්ලිම් සිරිත් විරිත් වලින් බැහැර වී ඔවුනට පමණක් සීමා වූ අන්තවාදී අදහස් අනුව ක්‍රියා කරන්නට වූහ. මැද පෙරදිගින් කරළියට ආ මෙම කණ්ඩායම් මුස්ලිම් ප්‍රජාව අතරට රිංගා ගත්හ. ඒ අනුව ඇතැමෙක් සාම්ප්‍රදායික ඉස්ලාම් දහම අත් හළහ. සියවස් ගණනක් ඇදහූ ඉස්ලාම් දහමට පිටුපෑහ. පාලු නිසරු හා නිර්ජන සංස්කෘතියක් සමග අරාබියේ ඇතැම් පුරුදුවලට ඇබ්බැහි වූහ.


ප්‍රශ්නය:- මුස්ලිම් නොවන කණ්ඩායම් අතර කැරැල්ලක් වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

පිළිතුර:- මැදපෙරදිග ඇතැම් කණ්ඩායමකට පමණක් සීමා වූ මත දේශපාලන හා ආර්ථික කල්පිත පදනම් දෘෂ්ටි කරපින්නාගත් අන්තවාදියෝ ශ්‍රී ලංකාවේද ආසියාවේද එළියට පහළියට නොපැමිණ කොන් වී සිටි මුස්ලිම් ප්‍රජාව අතරට ගොස් ඔවුන්ගේ අලුත් දහම කියාදී මුස්ලිම් සමාජය අවුල් කළහ. ඈත පෙනෙන මුස්ලිම් නායකයන්ගේ යුතුකම විය යුත්තේ මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකා රජය සමග එක්ව රැඩිකල්වාදී දේශකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීම වැළැක්වීමයි.මුස්ලිම්වරුන් සමාජයෙන් කොන්වී සිටිය යුතු බවට දේශනා කරන මෙම අන්තවාදීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ නොදීමය. එම අන්තවාදීනට මුදල් ලැබෙනුයේ කෙසේදැයි සොයා බැලීමයි. දරුණු වස විස සහිත ප්‍රකාශයට පත් කරන ලිපි ලේඛන හා පත්‍රිකා ප්‍රචාරයට ඉඩ නොදීමයි. මුස්ලිම් ප්‍රජාව වෙත අන්තවාදී මතිමතාන්තර ඇතුළුවීම වැළැක්වීමට සිංහල හා දෙමළ නායකයන් අත්වැල් බැඳ ගත යුතුයි.

අන්තවාදී ඉස්ලාම් භීතියක් සිංහල හා දෙමළ ප්‍රජාව වෙත ඇතුළුවීම වැළැක්වීමට ගන්නා පියවර ද ශක්ති සම්පන්න විය යුතුය.බොදු බල සේනා සංවිධානය ඇතුළු අන්තවාදී සෙසු සිංහල හා බෞද්ධ කණ්ඩායම් තහනමට ලක් කළ යුතුය.

පරිවර්තනය -  ඩබ්ලිව්.ජී. ගුණරත්න

 



අදහස් (10)

ජාතීන් අනුව පාසල් සංහිඳියාවට තර්ජනයක්

රවින් Tuesday, 06 March 2018 08:29 AM

මොලේ හොඳ නැතිද? එයාගේ ළමයි කොයි ඉස්කෝලෙටද යන්නේ?ගියේ? එයා ගියේ මොන ඉස්කෝලෙටද ? ඔක්කොම තියරි දාන්න ඉස්සෙල්ල ඇත්ත ඇති හැටියට දැනගන්න ඕනේ. සුද්දගේ කාලේ ඉඳල තිබුන ආගමික ඉස්කෝල. එකියන්නේ වර්ගීකරණයක්. එතකොට අවුරුදු ගණනාවක් විවිධ ජාතින් වලට අයත් කොටස් ලංකාවේ ජිවත් වුනේ නැද්ද ? පටු දේශපාලකයන්ගේ අදහස් හින්ද තමයි ඔක්කොම අවුල්.

:       648       1052

FighterWednesday, 07 March 2018 09:59 AM

බ්‍රිතාන්‍ය ක්‍රමෝපාය වුනේ බෙදා පාලනය කිරීම. නිදහසින් පසු අප එය වෙනස් කල යුතුව තිබුන. ආදී ශිෂ්‍ය සංගම්වලට යටපත් වූ බලදාරීන්ගෙන් එබන්දක් සිදුවීම සැක සහිතයි.

:       0       57

upaliWednesday, 07 March 2018 12:12 PM

රොහාන් ආදී ආනන්දින් කෙනෙකි . මගේ සමකාලීන පාසල් මිතුරෙකි.

:       36       40

VajiraWednesday, 07 March 2018 11:53 PM

ගස් බදින්න හොඳයි! බටහිරට ගැති මෝඩයෙක්! "සිංහපුරේම" ඉන්න කියන්න.

:       10       1

sena Tuesday, 06 March 2018 10:10 AM

මේ කියන දේවල් අපේ රටට ප්‍රයෝගිකව යොදා ගන්න කොහොමත් බැහැ - සිංගප්පුරුව හැදීලා තියෙන්නේ සංක්‍රමනිකයෙන්ගෙන් ඒ අයට ජාතික අනන්‍යතාවයක් වැඩක් නැහැ අපේ රටේ ඉන්න වැඩි හරියක් පරම්පරාවෙන් පැවතගෙන මිනිස්සු ඉතින් ඒ අය කැමති නැහැ තමන්ගේ උරුමය පිටින් ආපු අයට දෙන්න එහෙම හිතීමේ සාධාරනත්වයක් තියෙනවා සමගියෙන් ඉන්න කියලා තමන්ගේ අබු දරු දේපල අයතිවාසිකම් අනුන්ට දෙන මෝඩයෙක් ඉන්නවාද?

:       12       242

janahitha Tuesday, 06 March 2018 12:58 PM

මෙහි කතා නායකයා හරසුන් කාගේ හෝ බාල වර්ගයේ යල් පැනගිය න්‍යායකට අනුව අදහස් දක්වන්නෙකි. ඔහු අද මියයාවි. ඔහුගේ දරුවන් හා නෑ පිරිසට, ලංකාවේ භෞමික අඛණ්ඩතාවය නැති කිරීමට සහ ලාංකිකයින්ට ගැරහීමට ඔහු ලබාගත් කොන්තරාත්තුවෙන් ලබාගත් මුදල වියදම් කොට විදේශ රටවල පදිංචි භාවය ලබාදී ඇත. ඔහුට ඇත්තේ දීන ජාතියක් ඇතිකිරීමට කටයුතු කිරීම පමණි. නමුත් ශ්‍රී ලාංකිකයිනි, අපිට, මෙරට, අපේකම තාම පාවාදීමට ලැජ්ජාවක්, බයක් ඇත. මන්ද අපි මහාචාර්යවරුන් නොවන නිසායි. පින්කැටය කඩා, මිනිසුන් ගස්බැඳි ආචාර්යවරුන් අප රටේ සිටියා. සමහරවිට මහාචාර්යවරුත්... එමනිසා මාධ්‍ය සදාචාරය පෙරටු කොට ඔහුගේ අදහස් පල කළාක් මෙන්ම එයට විරුද්ධ අදහසක් වේ නම් පලකිරීම... මාධ්‍ය සදාචාරයම වේ.

:       555       713

Bamunuarachchi Wednesday, 07 March 2018 02:57 PM

"ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ආදර්ශමත් ප්‍රජාවකි. "හලෝ මෙතැන තිබෙන්නේ ආදර්ශමත්කම නොවෙයි ඒ ගොල්ලෝ තවම සූදානම් නැති කමයි. සිංහල අපිව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. "සිංගප්පූරුවේ මුල සිටම අවබෝධයෙන් ක්‍රියා කළා." සිංගප්පූරුව කියන්නේ ඈත ඉතිහාසයක් තිබෙන රටක් නොවෙයි... නිකම් වෙළඳ නගරයක් පමණයි. දැනටමත් එහි රජ කරනවා. සිංගප්පූරුව අවුරුදු 25600 ඉතිහාසයක් තිබෙන ලංකාවට සංසන්දනය කරන්න එපා."කොටි සංවිධානය යළි මතු වෙතියි ඔබ සිතන්නේද?" මේ නිවට පාලකයෝ සිටියොත් අනිවාර්යෙන්ම කොටි සංවිධානය යළි මතු වෙයි. "සංහිඳියා ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස වැඩිදියුණු කිරීම සඳහා කුමක් කළ යුතුද?" අපිට ඊනියා සංහිඳියාවෙන් කමක් නැත. අපිට‍ අවුරුදු 2600ක් තිබුණු සිංහල රට ඒ විදිහටම රැකගන්න අවශ්‍යයි.

:       0       0

hasitha Thursday, 08 March 2018 12:27 AM

මොකාද මේ.? මොකෙක් උනත් පොළොවේ පය ගහල ඉන්න එක්කෙනෙක් නොවන බව පේනවා.

:       2       11

prakaash Thursday, 08 March 2018 03:19 AM

මේ හාදයා දන්නා ඉටිගෙඩියක් නැහැ.බටහිර න්‍යාය පත්‍රයට සරිලන ලෙස දේශනා කරගෙන යනවා.මෙයාට ඒ වෙනුවෙන් ලැබෙන මුදල අති විශාලයි.මේ වගේ අයගෙන් ලබා ගන්නට දෙයක් නැත.

:       0       26

bandula Saturday, 17 March 2018 10:26 AM

මේ තමයි ලංකාවේ යුද්ධය දිනන්න බෑ කියලා වාර්තා ලියලා එල්.ටී.ටී.ඊ. යට කඩේ ගියහැටි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 295 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 433 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 249 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 666 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 799 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2924 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site