IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජයග්‍රහණය පෙනි පෙනී සජිත්ගේ පරාජය

එය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී, පරාජයට පත්වූවාක් වැනි සිදුවීමක් විය.

පක්ෂ නායකත්වයේ අනුමැතියෙන් ලද විපක්ෂ නායක ධුරය හොබවමින්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබාදෙන බවට වූ පොරොන්දුවක් ද අත තිබියදී, පසුගිය සති කිහිපය පුරාවටම ප්‍රේමදාස උත්සාහ කරමින් සිටියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කර, පක්ෂයේ නව නායකයා ලෙස පත්වීමටය. එය, තමන්ගේම නායකත්වයක් යටතේ අප්‍රේල් මස අගභාගයේ පැවැත්වීමට අපේක්ෂිත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම සඳහාය.

තීන්දුවක් ලැබීමට නියමිත වූ පසුගිය බ්‍රහස්පතින්දා, ඔහු සහ ඔහුගේ හිතවතුන් එක්සත් ජාතික පක්ෂයේ අභිනවයෙන් පත්කරන ලද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පළමු රැස්වීම වර්ජනය කළේ ය. සිරිකොත දී පැවැති එම රැස්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන ලද සාමාජිකයන් 59 දෙනාගෙන්, 37 දෙනෙක් සහභාගීව සිටියහ.

ප්‍රේමදාස කණ්ඩායම මෙම රැස්වීම වර්ජනය කිරීමට හේතු ලෙස හඳුනාගැනීමට තිබුණේ පෙර අවස්ථාවල කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ අජිත් පී. පෙරේරා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු එයින් ඉවත් කර තිබීම විය. පක්ෂ නායකත්වයට එරෙහිව නොයෙක් වර ප්‍රසිද්ධියේම දක්වන්නට යෙදුණු අදහස් සැලකිල්ලට ගනිමින් පෙරේරා ඉවත් කර තිබුණු අතර, ෆොන්සේකා ඉවත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු වූයේ අත යටින් පවත්වා ගැනුණු සබඳතා හරහා දකුණට වඩා උතුරට මුදල් පොම්ප කිරීම නිසා යැයි ඔහු කර තිබූ ප්‍රකාශයක් නිසාය. මෙය දෙමළ ජනතාවගේ ඡන්ද මත රැඳී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අසතුටට හේතු වී තිබිණ. දෙමළ ඡන්ද අහිමි වුවහොත් එක්සත් ජාතික පක්ෂයට බරපතළ ප්‍රතිවිපාකයන් අත්විඳීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූ ඔවුහු, එක්සත් ජාතික පක්ෂය දණින් වැටී සිටීම ප්‍රයෝජනයට ගනු ඇත. දෙමළ ජාතික සන්ධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඔවුන්ගේම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව ද කීහ. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කැරුණු තවත් සාමාජිකයෙකු වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වූ සාමාජිකත්වය නියෝජනය කළ ඉමිතියාස් බාකීර් මාකාර් මහතාය. සාමාජිකත්වය අහිමි වූ සිව්වැනියා කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ එක්සත් ජාතික පක්ෂය, එය පක්ෂ මූලස්ථානයෙන් සිදු වූ අත්වැරදීමක් බව පැවසුවේ ය. ප්‍රේමදාස පවුල සමග පවතින අතිශය සමීප සබදතාවය නිසා සේනානායකට ඇයගේ අසුන අහිමිවන්නට ඇති බවට මත පළවුණ ද, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇයව නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකාවක් ලෙස පිහිටුවීමට අපේක්ෂිතය.

දෙපාර්ශවය අතර නැවත වරක් විරසකයක් ඇතිවන තැනට කටයුතු සිදුවූයේ පසුගිය ඉරිදා රාත්‍රියේ ප්‍රේමදාස සහ වික්‍රමසිංහ මුහුණට මුහුණ හමුවී සාමකාමී එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ වහාම වීම විශේෂය. එක්සත් ජාතික පක්ෂයේ වර්තමානයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් ද, වෙනත් කරුණු සම්බන්ධයෙන් ද, දෙදෙන අදහස් හුවමාරු කර ගත්හ. නමුත් එම සාකච්ඡාවේදී නව කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොවුණු අතර, එය පක්ෂ නායකත්ව යටතේ තීරණය කෙරෙන්නක් වීම එයට හේතුව විය. කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයන් දෙදෙනෙක් එක්කර ඇත. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් වන කරුණාසේන කොඩිතුවක්කු සහ දයා පැල්පොල යන මහත්වරු ඔවුහුය.

රනිල්ගේ සැලසුම්
පසුබැසීම් සහ පරාජයන් නොසලකා හැරියහොත්, දේශපාලනයේ නොයෙක් අභියෝග, බාධක සහ පීඩා මැදින් ගමන් කර අත්දැකීම් ඇති දේශපාලනඥයෙක් මෙරටින් සොයා ගැනීමට වුවහොත්, ඒ අරබයා ඉදිරිපත් වන නම් අතරින් ඉහළම තැනට එනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව ඒකාන්තය. ඔහු නින්දාවට සහ පරිභවයන්ට ලක් වූ අවස්ථා අපමණය. පසුගිය දිනෙක පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතැමෙක් එල්ල කළ නින්දා සහ පරිභවයන්, ඔහු පිළිමයක් සේ නොසැළී සිට දරා ගත්තේ ය. එසේ ඔහුව ගරහන්නට යෙදුණු මන්ත්‍රීන් ඇතැමෙක් වික්‍රමසිංහම මැදිහත්ව දේශපාලන කරළියට ගෙන ආ සහ ඔහුම උපදෙස් සහ ගුරුහරුකම් දුන් අය විය. සිනහවක් හෝ නොදක්වන්නේ යැයි ඇතැම් අවස්ථාවක ඔහුට චෝදනා නැගිණ. නමුත්, ඔහුගේ බලවත්ම ගුණාංගය ලෙස සැලකිය හැක්කේ දේශපාලනමය අයුරින් කැරෙන මුලා කිරීම්වලින් තමන්ගේ දේශපාලන එදිරිවාදීන් පරාජයට පත්කිරීමය. ඇතැම් විට එය සාර්ථක දේශපාලනඥයෙකුට අවශ්‍යම වන ගුණාංගයක් විය හැකිය. මෙම කලාව ඔහු කෙතරම් ප්‍රගුණ කර තිබෙන්නේ ද යත්, ඔහුම එය විද්‍යාවක් බවට පත්කර හමාරය. නැගෙන නොයෙක් බාධක මැද ස්ථිරව ඉදිරියට යන්නට ඔහුට ඇඞ්රිනලින් සපයන්නේ එය බව පෙනෙන්නට තිබේ. මෙම කාරණය වික්‍රමසිංහ දිගහරින්නට යෙදුණු ඔහුගේ සැලසුම් හමුවේ තවදුරටත් පැහැදිලි විය.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ප්‍රේමදාස කණ්ඩායම වර්ජනය කළ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට යෝජිත පුළුල් සන්ධානයට නායකත්වය දීමට සහ එම සන්ධානයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීමට ප්‍රේමදාසට හැකියාව තිබෙන බව වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කළේ ය. එමෙන්ම ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට සහ අදාළ වෙනත් තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමට නියම වන නාම යෝජනා මණ්ඩලයේ සභාපති ධුරය ද, හොබවනු ඇත්තේ ප්‍රේමදාස බව එක්සත් ජාතික පක්ෂ නායකයා පැවසුවේ ය. පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා එම මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කළේ ය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි තවත් සාමාජිකයෙකු ලෙස රවී කරුණානායක මහතාව නම් කළේ ය. එයට අනුමැතිය හිමිවිය. කිරිඇල්ල, හිටපු එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයෙකු වන මලික් සමරවික්‍රම මහතාව යෝජනා කළ ද සමරවික්‍රම එය ප්‍රතික්ෂේප කළේ ය. නමුත් මෙසේ ඉදිරිපත් වන නාමයෝජනා පත්කිරීම් ලෙස තහවුරු කරන්නේ පක්ෂ නායකත්වයයි. මණ්ඩලයේ සාමාජිකයන් නම්කර ලැබෙන අවසාන ලැයිස්තුව අනුමත කිරීමට ඔහුට සිදුවනු ඇත. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අනෙක් පක්ෂවල සාමාජිකයන්ට නාමයෝජනා මණ්ඩලයට ඇතුළත් විය හැකි වුවත්, එක්සත් ජාතික පක්ෂයෙන් එයට ඇතුළත් කැරෙන සාමාජිකයන්ට තම තමන්ගේ පත්කිරීම් සඳහා වික්‍රමසිංහගේ අනුමැතිය ලබාගත යුතුම වනු ඇත.

තැනෙන පුළුල් සන්ධානය සඳහා මහ ලේකම්වරයෙකු තෝරා ගැනීමට ද, ප්‍රේමදාසට හැකියාව තිබෙන බව වික්‍රමසිංහ පැවසුවේ ය. නමුත් මෙම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු විය යුතුවනවා සේම, පත්කිරීම තහවුරු කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද, අනුමැතිය අවශ්‍යය. සිහිතබා ගත යුතු කරුණ වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරන්නේ වික්‍රමසිංහ බවය.

රැස්වීමේදී අනුමැතිය හිමි වූ යෝජනා අතරට තීන්දු තීරණ ගැනීම අරබයා සන්ධානයේ පවත්නා සියලුම මණ්ඩලය සහ ව්‍යුහයන්වල බහුතරය එක්සත් ජාතික පක්ෂයට තිබිය යුතු බවටත්, සන්ධානයේ සාමාජිකයන් සහ එක්සත් ජාතික පක්ෂය අතර පවත්නා සාකච්ඡා සහ එකඟතාවයන් සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවටත් ඉදිරිපත් වූ යෝජනා ප්‍රධාන විය.

පක්ෂයේ උපදේශක කමිටුව තීරණයක් ගැනීමට ප්‍රථම නව පක්ෂ සංවිධායකවරුන් පත්කිරීම අරබයා වික්‍රමසිංහ සහ ප්‍රේමදාස සාකච්ඡා කළ යුතුවීමට ද අනුමැතිය හිමිවිය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ප්‍රථම වෙනම හමු වූ ප්‍රේමදාස හිතවත්තු උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.  කොළඹට පැමිණෙන ලෙස එම අවස්ථාව වනවිට නුවර සිටි මලික් සමරවික්‍රමගෙන් ඔවුන් උදක්ම ඉල්ලා සිටි අතර වේලාව ගතවනු ඇති හෙයින් ඔහු කොළඹට පැමිණියේ සිනමන් එයාර් ගුවන් සේවයට අයත් යානයක නැගීය. මැතිවරණයෙන් අනතුරුව ලන්ඩනයේ ගතකළ දීර්ඝ නිවාඩුවකින් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටි මංගල සමරවීර මහතා ද, සාකච්ඡාවට සහභාගි විය. රැස්වීම අවසානයේ සමරවික්‍රම සහ සමරවීර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය නොකර එයට සහභාගි වන්නැයි ප්‍රේමදාසගෙන් උදක්ම ඉල්ලා සිටියහ. අජිත් පෙරේරා සහ ෆොන්සේකා ඉන් ඉවත් කර තිබීමේ ගැටලුව මතු කළ හැක්කේ එසේ කළහොත් බවට ඔවුහු තර්ක කළහ. විසඳුමක් ළඟා කරගත හැක්කේ සාකච්ඡාවෙන් පමණක්ම බව සමරවීර වැඩිදුරටත් පැවසුවේ ය. කෙසේවුවත්, ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වූයේ නැත.

සමරවික්‍රම සහ සමරවීර යන දෙදෙනාම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ අතර, එය ඔවුන් ප්‍රේමදාස කණ්ඩායමේ අදහස් අනුවම නොකරන බවට ලැබුණු ප්‍රබල පණිවුඩයකි. එපමණක් නොවේ. එයින් තවදුරටත් අදහස් වන්නේ ඔවුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රේමදාසගේ පසුපෙළ ආධාරකරුවන් ලෙස කටයුතු කරනු ඇත යන්නය. මෙය පුදුමයක් නොවන්නේ, දෙදෙනාව ඔවුන්ගේ සගයෙකු වන එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා ද ඇතුලුව, පසුගිය ජනපතිවරණයේදී පසෙකට කර දමා වැඩකටයුතු කිරීමට ප්‍රේමදාස කණ්ඩායම කටයුතු කිරීම නිසාය. සමරවීර සහ සමරවික්‍රම මෙවන් පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹ සිටීම ප්‍රේමදාසට ප්‍රබල පහරක් වනු ඇති බවට නිසැකය. ඒ හමුවේ ඔහු හා ඔහුගේ හිතවතුන්ට සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් මත යැපීමටය. ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, පී. හැරිසන්, රංගෙ බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, රවී කරුණානායක යන මහත්වරු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගීව සිටි අතර දයා ගමගේ වැනි ඇතැම් සාමාජිකයන් මහේස්ත්‍රාත් පිලපිටිය මහතාගේ පියාගේ අවමංගලෝත්සවයට සහභාගිවීම සඳහා යැයි රැස්වීමට නොපැමිණීම වෙනුවෙන් අවසර ලබාගෙන තිබිණ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවන තැනට ප්‍රේමදාසව නම්මා ගත්තේ මෙම 11 දෙනාගේ කණ්ඩායමය. පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයින් ද, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, ඔවුන් කියා සිටියේ ප්‍රේමදාසව එවැනි තැනකට පත් කළේ ඔහුගේ ක්‍රියාකලාපයන් කෙරේ ප්‍රබල මැදිහත්වීමක් සිදු කළ හැකි තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටින පිටස්තර බලවේගයක් බවය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 59 දෙනෙක් පත්කර තිබෙන බව පැවසුවේ ය. ඉන් සාමාජිකයන් 37 දෙනෙක් එදින රැස්වීමට පැමිණ සිටි බවත් 6 දෙනෙකු පැමිණීමට නොහැක යැයි දැනුම් දී තිබුණු බවත්, ඔහු වැඩිදුරටත් කීවේ ය. ඒ අනුව 16 දෙනෙක් රැස්වීමට නොපැමිණියේ යැයි කාරියවසම් පැවසුවේය. ගණ පූර්ණයක් පැවැති හෙයින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වූ බව කියා සිටි ඔහු, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය ලබාදීම සජිත් ප්‍රේමදාසට පැවරිය යුතු යැයි රැස්වීමේදී විසඳුමකට එළැඹි බව පැහැදිලි කළේ ය. සන්ධානයේ අගමැති අපේක්ෂකයා වන්නේ ද ප්‍රේමදාස බව ඔහු කීවේය.

ප්‍රශ්නය-ඇතැම් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ඉවත් කළේ ඇයි?

අකිල - කවුරුවත් ඉවත් කළේ නැහැ. සාමාජිකයන් 68 දෙනෙක් සිටිනවා. ඔවුන්ගෙන් 59 දෙනයි පත්කළේ. තවත් නාමයෝජනා කිහිපයක් එන්න තිබෙනවා. හිටපු සාමාජිකයන් දෙදෙනෙක් පමණයි පත්කළේ නැත්තේ.

ප්‍රශ්නය - ඔවුන් කවුරුද?

අකිල - අජිත් පෙරේරා සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ප්‍රශ්නය - ඔවුන් පත් කළේ නැත්තේ ඇයි?

අකිල - අවසානයට පැවතුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අජිත් පෙරේරා හැසිරුණු ආකාරය ගැන පැමිණිලි ලැබිලා තිබෙනවා.

ප්‍රශ්නය - එතකොට ෆොන්සේකා?

අකිල - ඔහු ගැනත් ඔහු කළ යම් ප්‍රකාශයක් අරබයා පැමිණිලි ලැබිලා තිබෙනවා. මේ ගැන අනාගතයේදී සාකච්ඡා කර තීරණයක් ගත හැකියි.

මෙම කාරණය සම්බන්ධයෙන් පසු අවස්ථාවකදී නැවත සැලකිල්ලට ගැනීමට වික්‍රමසිංහ එකඟ බව කාරියවසම්ගේ අවසාන පිළිතුරෙන් පැහැදිලි වන්නකි. කොටින්ම, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව පක්ෂ නායකයා හමු වූ පෙරේරා ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදු කළේ ය. සභාපති කබීර් හෂීම් සහ හිටපු සභාපතිවරයෙකු වන මලික් සමරවික්‍රම යන දෙදෙනා ද, එම අවස්ථාවේ එහි සිටියේ ය. සාකච්ඡා සාර්ථක වූ බව පැවසුව ද, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකිරීම පෙරේරා ප්‍රතික්ෂේප කළේ ය.

රැස්වීමට සහභාගි නොවුව ද, බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සිරිකොතට පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම්:-
අපි අපේ ඉලක්ක බහුතරයක් දිනාගෙන තිබෙනවා යැයි පැවසුවේ ය.
පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා අනෙක් දේශපාලන පක්ෂ සමග අත්වැල් බැඳගැනීම එවැනි එක් ඉලක්කයක් බව ඔහු පැහැදිලි කළේ ය. අඩුම තරමින් ඔහුට පමණක් හෝ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ තිබුණු බාධකය එය බව පෙනෙන්නට තිබිණ. කෙසේවුවත් ප්‍රේමදාසගේ හිතවතුන් සති කිහිපයක සිටම මිතුරු දේශපාලන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රකට කාරණයකි. එය එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දී තිබෙන උපදෙසක් උල්ලංඝණය කරන්නක් වන අතර, එම උපදෙස යටතේ පක්ෂ නායකත්වය සඳහන් කර තිබෙන්නේ වෙනත් දේශපාලන පක්ෂ නායකයින් සමග පවත්වන සාකච්ඡා සිදුවිය යුත්තේ නම්කර තිබෙන සාමාජිකයන් සිව්දෙනෙක් හරහා පමණක් බවය.

හෂීම්ගේ ප්‍රකාශය
දෑස් පනාපිට සිදුවෙමින් තිබෙන දෙය නොදකින තැනැත්තා තරම් අන්ධයෙක් තවත් නොමැත යැයි කියමනක් ඇත. හෂීම් සිදුකළ සුරංගනා කතාවක් හා සම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ද කීමට තිබෙන්නේ එයමය. ප්‍රේමදාසගේ මුල් පෙළ ආධාරකරුවෙකු වන මෙන්ම වරක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන හෂීම්, මේ සියල්ල වරදවා වටහාගෙන සිටින සෙයකි.

ප්‍රේමදාස හිතවතුන්ගේ ව්‍යාපාරය මේ දක්වාම කේන්ද්‍රගතවී තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වික්‍රමසිංහ ඉවත් කර, පක්ෂ නායකත්වය ප්‍රේමදාසට ලබාගැනීම අරබයාය. ඔවුන් එවැනි උත්සාහයක් ගනිමින් සිටියේ ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය ලබා දී තිබූ මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ද, ඔහු වෙත ලබාදෙන්නට එකඟත්වය පළව තිබූ අවස්ථාවකය. ඒ නයින් බැලූ කල ඉලක්කයන් දිනා ගැනීමට හැකිව ඇතැයි හෂීම් පැවසුව ද ඔවුන්ගේ ව්‍යාපාරය- එනම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දිනාගැනීම, ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ඔවුන් අපොහොසත්ව තිබේ. තවද බ්‍රහස්පතින්දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කිරීමෙන් ඔවුහු ගැටලු මතුකිරීමට, විශේෂයෙන්ම සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙන දෙදෙනා සම්බන්ධයෙන් තිබුණු අවස්ථාව ද අහිමි කර ගත්හ. ප්‍රේමදාස කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීම තරම් වෙනත් ආශිර්වාදයක් වික්‍රමසිංහට නොතිබූ අතර ඒ හමුවේ ඔහු තීන්දු තීරණ ගැනීම අරබයා පක්ෂයේ පවතින ඉහළම ව්‍යුහය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉතාම සාමකාමී රැස්වීමක මුලසුන හෙබවීමට සහ තීරණවලට එළැඹීමට අවස්ථාව උදා කරගත්තේය. එහෙයින් ඉලක්ක දිනාගත් බවට හෂීම් කරන සඳහනෙන් අදහස් කරන්නේ, වරක් තනතුරින් පහකිරීමට උත්සාහ කළ වික්‍රමසිංහ පසුපසම ඔවුන් දැන් වැටීමට යන බවද?

මෙය පසුගිය මස 16 වැනිදා (බ්‍රහස්පතින්දා) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී උද්ගත වූ තත්ත්වය හා වෙනස් නොවේ. එම රැස්වීම සම්බන්ධයෙන් ගෙවුණු 19 වැනිදා මෙම තීරුවෙන් කළ කරුණු දැක්විණ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වික්‍රමසිංහව නෙරපා හැරීමට ප්‍රේමදාසගේ හිතවතුන් පැහැදිලි අරගලයක් සිදුකළ බවට එම සිදුවීම පැහැදිලි සාක්කියකි. නමුත් ඔවුහු පරාජයට පත්වූහ.

අනතුරුව ඔවුහු එළැඹෙන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවීමට තීරණය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඉන් අනතුරුව ජයසූරිය වික්‍රමසිංහ හා මුහුණට මුහුණ සාකච්ඡාවක නිරත විය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ජයසූරිය, කෘතහස්ථ දේශපාලනඥයෙකි. යෝජිත නායකත්ව කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස නම්කර තිබුණ ද, දැනට තිබෙන සමීකරණයේ ඔහුගේ නම සඳහන් වන්නේ නැත. මීට පෙර අවස්ථාවක මෙවැනිම කවුන්සිලයක ඔහු සාමාජිකයෙකුව සිටියේ ය. කාරණය වන්නේ ඔහුගේ නම සඳහන් කැරෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුමන හෝ අර්බුදයක් පවතින අවස්ථාවකදී පමණක් වීමය.

වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පත්ව සිටින්නේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව බව යන වැදගත් කාරණය ප්‍රේමදාස සහ ඔහුගේ හිතවතුන්ට අමතකව ගොස් තිබෙන සෙයක් පෙනේ. ඔවුන්ගේ අදහස වන්නේ වික්‍රමසිංහව පක්ෂයේ මුල් පුටුවෙන් නෙරපා හැරීම නම් ඒ අරබයා මහත් උද්වේගකරව, පපුවට ගසා ගනිමින් සහ මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින්, කුමන නම් වාසියක් සළසාගත හැකිවනු ඇතිදැයි යන්න ගැටලුවකි. එවැනි කටයුතුවලින් සිදුවන්නේ තත්ත්වය තව තවත් බරපතළ වීම පමණකි. දෙපාර්ශවය එකිනෙකා හා ගැටෙන තැනකට අද දිනයේ පත්ව සිටින්නේ මේ නිසාය. අවසන, ප්‍රේමදාස කණ්ඩායම දැන් තල්ලු කර දමා ඇත්තේ - කැමති නම් භාර ගන්න, නැතිනම් අතහැර දමන්න - යන තීරණය ගතයුතුව තිබෙන තැනකටය.

පාර්ලිමේන්තු මැතිවරණය - කුමක් වේවි ද?
මෙතැනදී මතුවන වැදගත්ම පැනය වන්නේ ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන තිබෙන මෙම නවතම තීරණය පිළිගනු ඇතිද? නැතහොත් ඔවුන්ගේ ව්‍යාපාරය එලෙසම ඉදිරියට ගෙනයනු ඇතිද? යන්නය. මේ අරබයා විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ ය. ඔවුන්ට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන තිබෙන තීරණය පිළිගැනීම එක්තරා අතකට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන්නකි. ඔවුන් සියලුම දෙනාම පාහේ, ප්‍රේමදාස ද ඇතුලුව පැවැති ජනපතිවරණයේදී ඔවුනොවුන් නියෝජනය කළ ආසනවලින් ඉතාම බරපතළ පරාජයන් වාර්තා කළහ. මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නොව, මැතිවරණ ව්‍යාපාර කටයුතු දියත් කිරීමෙහිලා අත්දැකීම්වලින් පූර්ණ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාය. කුමන අන්දමින් වාද විවාද සිදුවුව ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝදුරට අත්වීමට ඉඩ තිබෙන පරාජයකට වගකිව යුතු යැයි ප්‍රේමදාසට ඇඟිල්ල දිගු කිරීමට අවැසි වටපිටාව සකස් කරගැනීමට වික්‍රමසිංහ දැනටමත් සමත්ව ඇත. පක්ෂ නායකත්වය හැර ප්‍රේමදාස ඉල්ලා සිටි සියලුම දේ ඔහුට ලබාදුන් බව කීමට, එවන් අවස්ථාවක ඔහුට හැකිය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන සූත්‍රය පිළිගතහොත්, පළමු කාර්යය ලෙස ප්‍රේමදාස කඳවුර කළ යුතු වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තනන දේශපාලන පක්ෂවල නායකයින් හා සාකච්ඡා ආරම්භ කිරීමය. ජාතික හෙළ උරුමය - පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - රවුෆ් හකීම් මහතා, සිලෝන් ජනතා කොංග්‍රසය - රිෂාඞ් බදුර්දීන් මහතා, ජාතික කම්කරු සංගමය - පලනි දිගම්බරම් මහතා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - මනෝ ගනේෂන් මහතා, එම නායකයින් සහ දේශපාලන පක්ෂය.

උදාහරණයක් ලෙස මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේය.

අපි විවෘත පිළිවෙතක් අනුගමනය කරන ගමන්ම වෙනත් විකල්ප ගණනාවක් සම්බන්ධයෙනුත් සොයා බලමින් සිටිනවා. කුමක් කළ යුතු ද කියා එක්සත් ජාතික පක්ෂයම තීරණය කරාවි. අපව ඒ කටයුතුවලට අනවශ්‍ය ලෙස හවුල් කර නොගන්නය, අපෙන් අනවශ්‍ය ලෙස වාසි සළසා නොගන්නය කියා, අපි පැහැදිලිව කියා තිබෙනවා.

මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය සමග දැනටමත් සාකච්ඡා කර තිබෙන බවත්, වෙනත් පක්ෂ සමගත් සාකච්ඡා කිරීමට යෝජනා කර තිබෙන බවත් ඔහු පැවසුවේ ය.

අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම කාලය ගැනත් දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මොකද, තිබෙන්නේ ඉතාම සීමිත කාලයක් නිසා, හකීම් වැඩිදුරටත් කීවේ ය.

මෙම දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩනගා ගැනීම අරබයා සාකච්ඡා පවත්වන බව ප්‍රේමදාස කඳවුර, පෙර අවස්ථාවල ඔවුන්ම සඳහන් කරන්නට යෙදුණ ද, ඉදිරියට එවන් සාකච්ඡා සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය - වෙනත් වචනවලින් කියතොත් වික්‍රමසිංහගේ හිතවතුන් දෙදෙනෙකු වන, නවීන් දිසානායක සහ රවී කරුණානායක, යටතේය. ප්‍රේමදාස වනු ඇත්තේ සන්ධානයේ නායකයා පමණකි. දෙපාර්ශවය අතර සිදුවන එවැනි සංවාදයන් බොහෝවිට ගොඩනැගෙන්නේ මෙම එක් එක් පක්ෂ ඉදිරිපත් කරන ඉල්ලීම් මත සහ ඔවුන් ජයග්‍රහණය කරනු ඇතිය යන නිගමනය අනුව එම ඉල්ලීම් කොපමණ නම් ප්‍රමාණයකින් ඉටුකර දිය හැකිවේ ද යන කාරණා මතය. මේ අතරට එක් එක් පක්ෂවලට ලැබෙන අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර යනාදිය ද ඇතුළත්ය.

එවන් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවයකට එළැඹීමට සැළකිය යුතු කාලයක් ගතවීම එක් කාරණයකි. අනෙක් පසින්, එයට වඩා වැදගත් කාරණයක් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන දින වකවානුය. මාර්තු 2 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපතිවරයාට ඇත. අප්‍රේල් මස තෙවැනි සතිය වනවිට මැතිවරණය පැවැත්වීම ඔහුගේ අදහසයි. මේ අනුව ගත් කල, එක්සත් ජාතික පක්ෂයේ තවමත් පවතින ප්‍රමාදයන්, පක්ෂයේ දුක් කරදර තවදුරටත් තීව්‍ර කරනු ඇති බව නිසැකය.

අනෙක් අතට එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් සිදුකරන්නට යෙදුණු සංහිඳියාත්මක අදහස් දැක්වීමට පටහැනිව යමෙක් සිතුවහොත්, එනම් ප්‍රේමදාස කඳවුර දැඩි තීරණයක පිහිටා කටයුතු කරතැයි නිගමනය කළහොත්, ඔවුන්ට ඉතිරිවන වෙනත් විකල්පයක් නැත. එවැනි අවස්ථාවක ඔවුන්ට නියත වශයෙන්ම සිදුවන්නේ ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සන්ධානයක් ගොඩනගා එහි සාමාජික දේශපාලන පක්ෂ සමග එකඟතාවයන්ට එළැඹ, ඔවුන්ගේම මාර්ගයක ගමන් කිරීමටය. ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ එවැන්නකට යනවා ද? නැතිනම් පක්ෂ නායකත්වය පසුපස සිට ඉදිරියට කටයුතු කරනවා ද? යන විකල්පයන් පමණකි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන තිබෙන තීරණය නොසළකා, ප්‍රේමදාස කඳවුරේ බලවත් කණ්ඩායමක් වෙනත් දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වනු වස් කාර්යබහුලව සිටී. එවැනි දේශපාලන පක්ෂ දෙකක් අයත් පුද්ගලයින් දෙදෙනෙක් ඔවුන්ගේ නම් ඒ වෙනුවෙන් යොදා ගැනීමට ලබාදීම සඳහා කැමැත්ත පළකර තිබෙන අතර ඒ අරබයා නිල මට්ටමෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා වන සාකච්ඡා දැන් පැවැත්වෙමින් ඇත. ප්‍රේමදාස කඳවුර ගමන් කිරීමට යන්නේ මෙම මාර්ගය ඔස්සේදැයි යන්න වහාම පැහැදිලි නැත. පවත්නා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සඳුදා දිනයේදී, හමුවීමට නියමිත බව එක් ආරංචි මාර්ගයක් පැවසුවේය.

කුමක් වුවද, ප්‍රේමදාස සහ ඔහුගේ ආධාරකරුවන් අත්තනෝමතික සහ මුරණ්ඩු පිළිවෙත් ගැන විශ්වාසය තබා තිබෙන බව හැරෙන්නට ඔවුන්ගේ අරගලය අරබයා නැගෙන විවිධ ගැටලු සහ කරුණු කාරණා තර්කානුකූල පදනමක් මත විමසා බලන්නට කටයුතු කර තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ට වර්තමානයේ අත්ව තිබෙන ඉරණමට ප්‍රධාන හේතුවක් වන්නේ ද, මෙම කාරණයමය. තවද, පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත. එම එක් සාමාජිකයෙක් වන්නේ මංගල සමරවීරය. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශය සහ එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට අවසාන මොහොතේදී ගත් උත්සාහය නිසා දේශපාලනමය වශයෙන් දැඩි පහරකෑමකට ලක්ව සිටිය ද දේශපාලන මූලෝපායන් සකස් කිරීමේ විෂයෙහි ඔහු දක්ෂයෙකි. 2005 වසරේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකරු ලෙස කටයුතු කළේ ද ඔහුය. මලික් සමරවික්‍රම ශක්තියක් වන්නේ කොළඹ ව්‍යාපාරික ප්‍රජාව සහ සමාගම් සමග ඔහුට පවතින සබඳතා නිසාය. ඔහු මැතිවරණ වෙනුවෙන් අරමුදල් තරකර දෙනවා පමණක් නොව මැයි දින රැලි සහ වෙනත් අවස්ථා වෙනුවෙන් ද එවැනි දායකත්වයක් ලබාදීමට සමතෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටලු
අභ්‍යන්තර මට්ටමින් විසඳාගත යුතුව තිබෙන ගැටලු තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොවේ. පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විසඳාගත යුතුව තිබෙන වෙනත් ගැටලු රාශියක් පවතින අතර එසේ වුවත් අනෙක් අය සමග එකට එක්ව මෙවර මැතිවරණයට තරග වැදීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් පොහොට්ටුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතයට ගතයුතු වීම අරබයා පැවැති ගැටලුව මතුකර ඇත. වැදගත් යැයි සැලකිය යුතු කාරණයක් වන්නේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පොදුජන පෙරමුණේ රැස්වීමක් කැඳවීමට පියවර ගැනීමය. එක්සත් ජනතා නිදහස් සන්ධානය එයට පෙර පැවැති ස්වරූපය වූයේ පොදුජන පෙරමුණයි. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින සාමාජිකයන් ඇතැමෙක් ද, පොදුජන පෙරමුණට අයත්ය.

පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙස නම් කිරීමට මෙම රැස්වීමේදී තීරණය විය.

දේශපාලන පක්ෂ 13ක් මෙම සන්ධානය නියෝජනය කරනවා. එහි ව්‍යවස්ථාව අනුව සන්ධානයේ විධායක කමිටුවේ බලය සියයට 51ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ඉතිරිය අනෙක් පක්ෂවලටත් ලැබෙන පරිදි බෙදා හැරෙනවා. සන්ධානයේ ලේකම්, භාණ්ඩාගාරික සහ උප නායක යන තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් වෙන් කැරෙනවා. ඒකාබද්ධ නායකයින් දෙදෙනෙක් - මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ, මේ සන්ධානයට නායකත්වය ලබාදෙනවා. පක්ෂයේ ලකුණ ගැන ප්‍රශ්නයක් නැහැ. එය විසඳා ගැනෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

ජනපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ හෙයින් බිම් මට්ටමේ පවතින යථාර්ථයක් සැලකිල්ලට ගෙන යම් යම් වෙනස්කම් සිදුකිරීමට ඉදිරියේදී සිදුවනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිල් මාරු නොකරනු ඇති බවට සහතිකයක් එම පක්ෂයේ නායකයින්ගෙන් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයට අවශ්‍යව තිබේ. එවන් සහතිකයක් ලබාගත හැක්කේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. නමුත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීම අපේක්ෂා කැරෙන බව දැනගන්නට ඇත.

ඔහු පසුගිය සෙනසුරාදා ලොස් ඇන්ජලීස් නුවර සිට නැවත කොළඹ බලා පැමිණීමට නියමිතව සිටියේය. එසේ පැමිණි වහාම ඔහු භාරගනු ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයාගේ භූමිකාවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සැලකීමේදී එය ඉතාම බලවත් තනතුරකි. මැතිවරණයකට යම් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයින්ගේ අපේක්ෂකත්වය සහතික කිරීමේ බලය තිබෙන්නේ එම පක්ෂයේ මහලේකම්වරයාටය.

මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මුල් පෙළ සාමාජිකයන් පොහොට්ටුව ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ සූදානමකින් පසුවන බැවිනි. පොහොට්ටුව ලකුණින් ගොඩනැගී තිබෙන අනන්‍යතාවය යටතේ තරග කළහොත් පැහැදිලි බහුතරයක් දිනාගැනීමට හැකිවනු ඇතැයි ඔවුන්ගේ අදහසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය කුමන ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇතිදැයි යන ගැටලුවට අමතරව මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරාගැනීම ඔවුන් හමුවේ තිබෙන තවත් ගැටලුවකි. ඒ අරබයා වෘත්තිකයන්ගෙන් සහ උගතුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන අතර ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කැමැත්ත වන්නේ ද, එවන් පුද්ගලයින්ට අවස්ථාව ලබාදීමය. කෙසේවුවත් පරිනත දේශපාලනඥයින් පෙන්වා දෙන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම වඩා වැදගත් බවය. එහිලා උගතුන් හෝ වෘත්තිකයන් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන බව ඔවුන්ගේ මතයයි.

අනෙක් පසින් ජනතා විමුක්ති පෙරමුණ ද සිටී. ජනපතිවරණයේ පැහැදිලි පසුබෑමකට ලක්වූ ඔවුන්, මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස ද නැතහොත් ඔවුන්ගේ නව අනන්‍යතාවය වන ජාතික ජන බලවේගය ලෙස ද යන්න වහාම පැහැදිලි නැත.

හරියටම තවත් මාසයකින් වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනු ඇත. පැහැදිලි ජයග්‍රහණයක ඉම සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් උත්සාහ කරමින් සිටින්නේ එම ජයග්‍රහණය තුනෙන් දෙකක බහුතරයක් ලබාගනිමින්ම කෙළවර කිරීමටය. අභ්‍යන්තරයේ පවතින ගැටලුවලට අමතරව, රාජ්‍ය පාලනයේ දිනපතා මුහුණදීමට සිදුව තිබෙන ගැටලු ඔවුන්ගේ කර මත තවත් බර පැටවීමට හේතුවී තිබේ. ඒ අතර ජීවන වියදම, රැකියා වියුක්තිය සහ පැමිණෙන ලකුණු පළව තිබෙන බලශක්ති අර්බුදයත් ප්‍රධානය. එවැන්නට මුහුණදීමට සිදුවනු ඇත්තේ දැනට බිය පළව තිබෙන ආකාරයටම ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන් සිඳී ගියහොත්ය. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලනමය වශයෙන් අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. කෙසේවුවත් බෙදුණු -- බිඳෙන, තත්ත්වයක පවතින විපක්ෂය ඒ නිසාම ඉහත සඳහන් කළාක් වැනි තත්ත්වයක වාසිය තමා කෙරේ ලබාගෙන එයින් දේශපාලනමය විනිමයක් නිර්මාණය කරගැනීමට අසමත් වනු ඇත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර



අදහස් (5)

ජයග්‍රහණය පෙනි පෙනී සජිත්ගේ පරාජය

BAMUNUARACHCHI Wednesday, 05 February 2020 11:29 PM

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට මැතිවරණයෙන් පසුව අලුත්ම මුහුණක්

:       0       4

Dissanayaka Thursday, 06 February 2020 08:45 AM

හොදම දේ සජිත් ඇතුළු පිරිස වෙනම සන්ධානයකින් තරඟ කරලා තමන් ගැන තක්සේරුවකට එන එක. රනිල්ගේ කණ්ඩායමට වඩා මන්ත්‍රිදූර කීපයක් ලේසියෙන් ගන්න පුළුවන්. කොහොමත් පොදුජන පෙරමුණ දිනනවනේ...

:       1       44

ලැවොයිසියර් Thursday, 06 February 2020 09:44 AM

''ගෝඨා සජිත් යෝගයක්.............සාමය සපිරි දේශයක් ''

:       51       6

NAK Thursday, 06 February 2020 10:28 AM

කවුද දන්නෑ මේ ජයග්‍රහණය දැක්කේ ?

:       66       0

Bamunuarachchi Thursday, 06 February 2020 11:05 AM

හිතාගෙන හිටියට ගෝඨාභය සජිත්ව පළාතකට ගන්නේ නැත. තමුන්ගේ පක්ෂේ නායකයාව ආරක්ෂා කරන්න ගරුකරන්න බැරි මිනිහෙක් එක්ක රටක් කරන්න ගෝඨා එතරම්ම මෝඩ නැත. පසුගිය දවසක මහින්ද රාජපක්ෂ කිව්වා වැඩකරලා තිබේනම් තනතුරු නැතිව ඡන්දයකට ගොස් දිනන්න ප්‍රශ්නයක් නැතිබව. සජිත්ට සහ සජිත් වටේ සිටින්නේ කවුද කියා පැහැදිලිකිරීමට අවශ්‍ය නොමැත.

:       101       126

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 87 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 88 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 266 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 505 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 567 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 94 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site