IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගැසට්ටුව පමාවෙන් වැඩ කොට උඩ

දේශපාලන ආරවුල් සහ වියවුල් මැද කැබිනට් මණ්ඩලය පත්කළ ද ජනාධිපතිවරයා ආණ්ඩුවට තවත් කොක්කක් දමා තිබේ. ඒ කැබිනට් ඇමැතිවරුන්ට අයත්  විෂයන් හා ආයතන සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් නොකිරීමය. කැබිනට් මණ්ඩලය පත්කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සතුවන සේම ඒ ඒ ඇමැතිවරුන්ට අයත් විෂයන් හා ආයතන බෙදාවෙන් කරදීමේ බලයද සම්පූර්ණයෙන්ම ඇත්තේ ජනාධිපතිවරයා සතුවය. වසර අවසානයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ඉකුත් සඳුදා පස්වරුවේ ජනාධිපතිවරයා විදේශ ගත වූයේය.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සිතා සිටියේ ජනාධිපතිවරයා විදේශගතවීමට පෙර ආයතන සඳහන් අති විශේෂ ගැසට්  නිවේදනය නිකුත් කරනු ඇත කියාය. එහෙත් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් නොසිතූ පරිදි ජනාධිපතිවරයා එම ගැසට් පත්‍රය නිකුත් නොකර විදේශ ගත වූයේය. මේ හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් ඇමැතිවරු නොසතුටට පත්ව සිටිති. “අපට වැඩ කරන්න බැහැ. අපිට අයිති ආයතන මොනවද කියලා අපි දන්නේ නැහැ. එම ආයතනවල ප්‍රධානීන් පත්කරන්නත් මේ නිසා පුළුවන්කමක් නැහැ. කලින් නතර කරපු ව්‍යාපෘති තවමත් අතරමඟ නතරවෙලා” යැයි එජාපෙ ඇමැතිවරු කනස්සල්ල පළ කරති. 

මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් නිවාඩුව ගත කිරීම සඳහා සිංගප්පූරුවට  ගොස් සිටින බවය. ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පෞද්ගලික එකක් වූ හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යයට ආවරණය වූයේ නැත.  ජනාධිපතිවරයා විදේශ ගත වූයේ සඳුදා පස්වරුවේය. එදින පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත් වුණේ කොළඹ ජනාධිපති මන්දිරයේදීය. පෙරවරු නවයයි තිහට පමණ ඊට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ පැමිණ සිටියහ. පෙරවරු නවයයි හතලිස් පහට පමණ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ කෙරිණ. 

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි එකට එකතු වෙලා පුළුල් සන්ධානයක් හදනවා. ඉදිරියේදී පැවැත්වෙන හැම මැතිවරණයකටම අපි ඉදිරිපත් වෙන්නේ ඒ සන්ධානයෙන්. කාටහරි ඊට එකඟවෙන්න බැරිනම් පක්‍ෂයෙන් යන්න පුළුවන්. ආසන සංවිධායකවරුන්  ගැන විශේෂයෙන් බලනවා. වැඩ නොකරන සංවිධායවරුන් ගැන තීන්දුවක් ගන්න වේවි.  දිස්ත්‍රික් සංවිධායකයන්ට අපි වෙනත් තනතුරක් ලබාදෙනවා. ඔවුන් කළමනාකරුවන් ලෙස පත්කරලා වගකීම් පවරනවා” යැයි ආදි වශයෙන් ජනාධිපතිවරයා තද කතාවක් කළේය. ජනාධිපතිවරයාගේ කතාව තරමක් උද්වේගකර වූ අවස්ථාවේ ඇතැම් සංවිධායකවරු ඊට බාධා කරමින් අදහස් පළ කරන්නනටද පටන් ගත්හ.

එහිදී ඇතැම් සංවිධායකවරු ජනාධිපතිවරයා යෝජනා කළ පොදු සන්ධානයට විරෝධයක් දැක්වූහ. ඔවුන් කියා සිටියේ ඉදිරි මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිවම  තරග කළ යුතු බවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය කතාව කිරීමෙන් පසුව සභාවෙන් පිටත්ව ගියේය. එහෙත් සංවිධායකවරුන් පිරිසක් කීවේ ජනාධිපතිවරයා පිටත්ව නොගොස් පිළිතුරුදීමට සිටියා නම් වඩාත් හොඳ බවය. එහෙත් ජනාධිපතිවරයාට ඊට පැය කිහිපයකට පසුව ගුවන්තොටුපලට යාමට තිබිණි. ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන්ට කීවේ ශ්‍රීලනිප ඉදිරි පෙළ ඇමැතිවරුන් සමඟ තවදුරටත් කරුණු සාකච්ඡා කරගන්නා ලෙසය. එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර එහිදී අදහස් දැක්වූහ. එහෙත් අතරමගදී ඔවුන්ට පසුපෙළ සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධතා එල්ල විය. “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොහොට්ටුවට විකුණන්න එපා”, “ඉහළින් එකතු වුණාට අපට ගම්වල එකතු වෙන්න බැහැ.

පොහොට්ටු සංවිධායකවරුන් අපට ඉඩක් දෙන්නේ නැහැ.” ආදී නොයෙකුත් දේ සහ තවත් තද ප්‍රකාශ කරමින් පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස කලහකාරි අයුරින් හැසිරෙන්නට වූහ. ඔවුහු ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාසට ද දෝෂාරෝපණය කළහ. “මහින්ද රාජපක්‍ෂගේ ඉත්තන් පිරිසක් පක්‍ෂයට රිංගාගෙන පක්‍ෂය විනාශ කරන්න හදනවා” ආදී නොයෙකුත් කතා කියමින් ශ්‍රීලනිප සංවිධායකවරුන් හැසිරෙද්දී ආසන සංවිධායක රැස්වීම අතරමඟ නතර කිරීමටද සිදුවිය.

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් ක්‍රියා කලාප හා තීන්දු තීරණ සම්බන්ධයෙන් සමහර දේශපාලන විචාරකයන් උනන්දුවක් දක්වන බවක් පෙනෙයි.

“දෙමළ සන්ධානය ගන්න තීන්දු තීරණ පසුගිය කාලයේ දෙමළ පක්‍ෂ අතර විවේචනයට ලක්වුණා. ඇතැම් පිරිස් ඒ ගැන ප්‍රශංසා කළා. තවත් පිරිසක් දෝෂාරෝපණය කළා. හැබැයි එක දෙයක් තියෙනවා. දෙමළ ජාතික සන්ධානය දැන් ජාතික දේශපාලන ප්‍රවාහයට යොමු වෙලා තියෙනවා” යැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. ඔවුන් සඳහන් කරනුයේ ව්‍යවස්ථා අර්බුදය ඇති වූ අවස්ථාවේ එහි ප්‍රධාන කාර්යභාරයක් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීම ආදි ජාතික දේශපාලන කාර්යයන්ට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වී තිබෙන බවය. “මීට පෙර දෙමළ සන්ධානය ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කරගෙන සිටියා. ඔවුන්ගේ එකම අරමුණ වුණේ උතුරේ දෙමළ ඡන්ද ටික ලබාගැනීම ඒ වෙනුවෙන් වැඩ කළා. හැබැයි දැන් ඒ තත්ත්වයෙන් වෙනස් වෙලා. ආණ්ඩුවේ ඇතැම් කටයුතුවලට සම්බන්ධවීම නිසා ඇතැම්විට දෙමළ සන්ධානයට ඡන්ද අඩුවෙන්නත් පුළුවන්. ඒත් ඔවුන් ඒ ගැන නොබලා ඇතැම් කටයුතු කරනවා” යැයි ද දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ අලුත්ම තීන්දුව වී ඇත්තේ ආණ්ඩුවේ අයවැයට සහාය ලබාදීමටය. ආණ්ඩුව ලබන ජනවාරි මාසයේදී අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන අතර එහිදී අය-වැය සම්මත කරගැනීම සඳහා දෙමළ සන්ධානය ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ද දැනගන්නට තිබේ. 

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ අදහස වී ඇත්තේ මෙවර අය-වැය ලේඛනයෙන් ජනතාවට සහන රැසක් ලබාදීමටය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දැමීම ආදී සහන ලබාදීම සඳහා වන අය-වැය යෝජනා සකස් කරන බව ද  මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණ. ව්‍යවස්ථා අර්බුදය ඇතිවන අවස්ථාවේදී මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ඉදිරි වසර සඳහා වන අය-වැය සකස් කරමින් සිටියේය. “මම අය-වැය වැඩි ප්‍රමාණයක් හදලයි තිබුණේ. එක පාරටම මේ ප්‍රශ්නය ආවා. මම හදපු අය-වැය ලේඛනයේ කොළ ටික අරගෙන ගෙදර ගිහින් සුරක්‍ෂිතව තියාගත්තා. අල්මාරිය ඇරලා දැන් ඒ ටික එළියට ගන්න පුළුවන් වේවි” යැයි ද මංගල සමරවීර මීට පෙර ප්‍රකාශ කර තිබිණ.

 මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් තීන්දුවක් ගෙන ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ කුමන කාරණාවක් මත වුවද කොන්දේසි විරහිතව ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීමටය. යම් හෙයකින් එක්සත් ජාතික පක්‍ෂයෙන් එල්ලවන අභියෝගවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමත් ඔහු වෙනුවෙන් ජනතාවට කරුණු කීමට පොහොට්ටු පක්‍ෂය නිල නොවන මට්ටමින් තීන්දුවක් ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
 තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ දුමින්ද දිසානායක සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එජාප ආණ්ඩුවට සහාය ලබාදීමේ අරමුණින් පසුන බවය. 

“දුමින්ද මන්ත්‍රීතුමා සමග තවත් කිහිප දෙනෙක් ඉන්නවා. ආණ්ඩුවට සහාය දක්වනවා. හැබැයි ඇමැති ධුර ලබාගන්නේ නැහැ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත්හැරලා යන්නෙත් නැහැ” යැයි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ සමීපතමයෙක් ප්‍රකාශ කර තිබිණ.

රුසියානු විදේශ ඇමැති සර්ෆෝ ලැව්රෝව් ඉකුත්දා එරටදී ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක හමුවූයේය. රුසියානු විදේශ ඇමැතිවරයා දයාන් ජයතිලක අසලට ඇවිත් “හා කොහොමද සැප සනීප” ආදී වශයෙන් සිංහලෙන් කතා කරන්නට පටන් ගත්තේය. දයාන් ජයතිලක පුදුමයටත් සතුටටත් පත්වූයේය. රුසියානු විදේශ ඇමැතිවරයා තමන් සමග සිංහල භාෂාවෙන් කතා කරනු ඇතැයි ඔහු කිසිසේත් සිතුවේ නැත.

 දයාන් ජයතිලක ද සිංහල භාෂාවෙන්ම ඔහුට පිළිතුරු දුන්නේය. සර්ෆෝ ලැව්රෝව් රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට එක්වූ පසුව ඔහුට ලැබුණු මුල්ම පත්වීම ශ්‍රී ලංකාවය. ඔහු කොළඹට පැමිණ රුසියානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස කටයුතු කළේය. එහිදී හෙතෙම සිංහල භාෂාව උගෙන ගැනීමටද උනන්දුවක් දැක්වූයේය. ඒ අතර ලැව්රෝව් කැලණිය විශ්වවිද්‍යාලයේ ද අධ්‍යන කටයුතුවලට සම්බන්ධ වී සිටියේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ දී ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සීමා කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඇමති ධුර සංඛ්‍යාව 30 දක්වා සීමා කිරීමටත් එම ප්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුළු කිරීමටත් ජවිපෙ අරගලයක් කළේය. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළට යටත් කිරීමේ දී ඇමති ධුර 20කට සීමා කරමින් ජවිපෙ එම ආදර්ශය දී තිබිණි. වත්මන් ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නායකයන් අතර ද කතාබහක් ඇතිවිය. 

“එජාපය දැන් උත්සහ කරන්නේ, ජාතික ආණ්ඩු කතාවක් දාලා ඇමති ධුර වැඩිකරගන්න. පැනපු අයටත් ඇමතිකමක් දෙන්න දහං ගැට ගහනවා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. 

“ප්‍රගතිශීලි මිනිස්සු එකතුවෙලා දේශපාලන කුමන්ත්‍රණය පැරැද්දුවා. දැන් එජාපය හදන්නේ ඉහගෙන කන්න. ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පිළිගත්තා ඇමති ධුර සඳහා 35 ලිස්ට් එකක් ජනාධිපතිට යැව්වා කියලා. කොහොමද එහෙම කරන්නේ. ඒකත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. 19න් රිංගලා ජාතික ආණ්ඩු කතා දාලා සන්ධාන කතා දාලා ඇමතිකම් වැඩි කරගන්නයි මේ හදන්නේ.” අනුර දිසානායක පැහැදිලි කළේය. 

“ඇමති ධුර 30 සීමාවේ තියන්න කියලා අපි 19 හදන වෙලාවේ ලොකු ෆයිට් එකක් දුන්නා. එජාපය ශ්‍රීලනිපය එකතුවෙලා අන්තිම වෙලාවේ තමයි ජාතික ආණ්ඩුව කියන කතාව දාලා ඇමති ධුර 45ක් හදාගන්න වගන්ති දැම්මේ. අපි ඒ වෙලාවෙත් විරුද්ධ වුණා. නමුත් එයාලා බහුතරය නිසා වැඬේ කරගත්තා.” විජිත හේරත් කීවේය. 

“ඒ විතරක් නෙවෙයි අපි ඒ වෙලාවේ කිව්වේ අමාත්‍යංශ 30යි ඒ අමාත්‍යංශවලට අදාළ විෂයන් ටිකයි නිශ්චිතව නම් කරමු කියලා. එහෙම වුණා නම් අමුතුවෙන් අමාත්‍යංශවල විෂයන් නම් කරලා ගැසට් ගහන්න ඕන නැහැ. ඇමති පත් කළාම විෂයන් ටික නිශ්චිතයි. ඒකට විරුද්ධ වුණේ එජාපය. දැන් එජාපයටම ඒක පාරාවළල්ලක් වෙලා. දැන් අමාත්‍යංශ බෙදිල්ල විකාරයක් වෙලා. ජනපතිට ඕනෑ ඒවා එයා ළඟ. “පරිවාස ආණ්ඩුව හදපු වෙලාවේ ආණ්ඩුවේ ඇමති ධුර 20යි. එදා ඉඳලම අපි අරගල කළේ ඇමති ධුර ව්‍යවස්ථාවට ඇතුළු කරන්න ඕනෑ කියලා.” බිමල් රත්නායක කීවේය. 


පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ අවසන් දිනය වූ සිකුරාදා දිනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජවිපෙ නායක අනුර දිසානායක පාර්ලිමේන්තු ලොබියේ දී කතා බහක නිරත වෙමින් සිටියහ. විජිත හේරත් ද ඒ අසල විය. මේ කතා බහ යන අතරතුර විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය ජංගම දුරකතනයෙන් අනුර සහ මහින්දගේ කතා බහේ ඡායාරූප ගැනීමට උත්සහ කළේය. 

“ඔබතුමාගේ අලුත් කැමරාමන් දැන් හැම තැනම ඔබතුමාගෙන් පස්සෙන් එනවා නේද? පාර්ලිමේන්තුවට එක්කරගෙන එනවද?” යැයි අනුර දිසානායක, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් විමසා සිටියේය. මහින්ද සිනාසුනේය. ඡායාරූප ශිල්පියාට එම කතාව අසුණ ද නොඇසුණා සේ එම ස්ථානයෙන් නොපෙනී ගියේය. 
මේ අතර එදිනම මහින්ද සමරසිංහ, අනුර, මහින්ද අමරවීර, දුමින්ද, විජිත යන අය ද පාර්ලිමේන්තු ලොබියේ දී සුහද කතාබහක නිරත වෙමින් සිටියහ. 

“ඔබතුමාලා අයවැයට ඡන්දයක් ඉල්ලනවද?” ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් අනුරගෙන් විමසීය. 

“ඔව්, අපි ඡන්දයක් ගන්නවා” අනුර කීවේය. විජිත හේරත් අමුතු කතාවක් දැම්මේ එම අවස්ථාවේදීය. 

“පොඞ්ඩක් ඉවසගෙන හිටිය නම් අයවැයේ දී රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න තිබුණා. ජවිපෙ අපි අයවැයට විරුද්ධයි. ඔබතුමාලත් විරුද්ධ වෙලා ආණ්ඩුව වට්ටන්න තිබුණා. හදිස්සි වෙලා අනාගත්තා නේද?” විජිත කීවේය. 

“ඒක නම් හරි” ශ්‍රීලනිප මන්ත්‍රීහු කීහ. කෙසේ වෙතත් ඔවුන්ගේ කතාබහෙන් වැටහී ගියේ ජනාධිපතිවරයා විසින් ගත් ක්‍රියාමාර්ග ශ්‍රීලනිප ඉහළ නායකයන් පවා දැන නොසිටි බවය. මේ අතර ජවිපෙ මන්ත්‍රීන්ට දැන ගැනීමට ලැබුණේ ජනාධිපති නීති උපදේශක තනතුරේ සිටි ෆයිසර් මුස්තාපා මීට මාස දෙකකට පමණ පෙර ජනාධිපති නීති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි. 

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබේ. දේශපාලන විරුද්ධවාදීන් සඳහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකුට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බවය.

ද්විත්ව පුරවැසියකුට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි අතර, ගීතා කුමාරසිංහට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූයේය. ඇතැම් දේශපාලනඥයන් හා ක්‍රියාකාරිකයන් ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් කවුරුන් ද යන්න සම්බන්ධයෙන් ඉකුත් දා සොයා බැලීමට ද උත්සාහ කළේය.

එහෙත් එම උත්සාහ ව්‍යර්ථවූයේ ආගමන විගමන පාලකවරයාගේ ප්‍රතිචාරය හේතුවෙනි. ද්විත්ව පුරවැසිභාවයක් හිමි පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් සොයා බැලීමේ ක්‍රමවේදයක් නැතැයි ආගමන විගමන පාලකවරයා කීවේය. මේ අතර දේශපාලනඥයින් පිරිසක් කීවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනා නීති විරෝධීව ද්විත්ව පුරවැසිභාවය ද වසන් කරමින් කටයුතු කර තිබෙන බවය.



අදහස් (0)

ගැසට්ටුව පමාවෙන් වැඩ කොට උඩ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 146 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 288 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 352 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 89 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 530 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 291 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site