IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුලයෙන් තැලෙන කරෙයිනගර් ශෝකාන්තය

“කරෙයිනගර් දූපතේ දරුවෝ අධ්‍යාපනයට ආසයි. ඒත් අපට තිබෙන ලොකුම ප්‍රශ්නය ගුරුවරු. සිංහල ගුරුවරු නම් හොයාගන්නම නෑ. දූපතේ තිබෙන පාසල් දොළහටම එකම ඉංග්‍රීසි ගුරුවරයයි ඉන්නේ. අපේ පාසලේ ගුවරුන් හය දෙනෙක් ඉන්නවා. ඒත් මහ ආණ්ඩුවවත් පළාත් සභාවවත් අපි ගැන හොයන්නේ නෑ. මේක හරිම දුක්බර කතාවක්. යැයි කරෙයිනගර් ඌරෛ ඇමෙරිකානු මිෂන් මිශ්‍ර පාසලේ ගුරුවරියක වන පදීපන් උමාදේවී (39) මහත්මිය පැවසුවේ කරෙයිනගර්  වැසියන් මුහුණ දෙන ප්‍රධානතම සමාජ ප්‍රශ්නයක් සම්බන්ධයෙනි.

කරෙයිනගර් ඉතිහාසය

යාපනයේ නගරයේ සිට කිලෝමීටර විස්සක දුරින් පිහිටි කරෙයිනගර් දූපත යනු චිරාත් කාලයක් තිස්සේ කුල පීඩනයෙන් බැට කමින්ජනයා ජිවත්වන ප්‍රදේශයකි. 1990 දශකයේ මුල සිවිල් යුද්ධයේ එක් පරිච්ඡේදයක් හැටියට කරෙයිනගර් ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව යටතට ගැනුණි. එහිදී කරෙයිනගර් ගම්වැසියන් වන්නියට පලා ගිය අතර නැවත සිය උපන්බිමට එන්නට හැකිවුණේ එයින් පිරිසකට පමණි. ග්‍රාම නිලධාරි වසම් නවයකින් යුක්ත කරෙයිනගර් සඳහා වෙනම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් පිහිටුවන්නේ 2003 සිටය. කරෙයිනගර් වැසියන් හා අප සම්මුඛ වූයේ මැතිවරණ වේදිකාවල කතා වෙන්නේ නැති දෙමළ සමාජයේ සැලකිය යුතු ජන කොටසක් මුහුණ දෙන කුල පීඩනය අරභයා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් මහතා කරන අධ්‍යයනයක් අනුව කළ නිරීක්ෂණ චාරිකාවේදීය.

පොකුණු හා ළිං පිළිසකර කිරීම, මාර්ග හා නිවාස ඉදිකිරීම කරෙයිනගර් වැසියන්ගේ මූලික අවශ්‍යතා හැටියට ප්‍රාදේශිය ලේකම් වෙබ් අඩවියේ දැක්වෙන නමුත් ගම්වැසියන්ට තවමත් ගනුදෙනු කරන්නට සිදුව තිබෙන්නේ අබලන් වූ මාර්ග හා අපිරිසිදු ජලය සමගය.  ප්‍රජා සංවර්ධන සංවිධානය පිහිටුවා ප්‍රාදේශීය සභාවට තරග කරන්නට කුල පීඩිත ජනයා කටයුතු කර ඇත්තේ දේශපාලන බලය අත්පත් කරගැනීමෙන් හෝ තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳාගැනීමට හැකිවේදැයි විමසීමටය. ඒ අනුව කරෙයිනගර් ප්‍රාදේශීය සභාවට ප්‍රජා සංවර්ධන සංවිධානයෙන් මාළුවා ලකුණෙන් තරග කර නියෝජිතයන් තිදෙනෙකු පත්කරගැනීමට 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේදී හැකි වී තිබේ. එම කණ්ඩායමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ වී.අප්පුතුරෙයි මහතා ප්‍රාදේශීය සභාවට ඇතුළු වීමෙන් පසු අත්විඳින තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.

“ මාළුවා සංකේතයෙන් තරග කර අවසන් පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධුර තුනක් ජයගැනීමට අපට පුළුවන් වුණා. එහෙත් දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ වී අපට සභාපති ධුරය ගැනීමට ඉඩදුන්නේ නෑ. පළාත් සභාවෙන් අධ්‍යාපනයට කිසිම මුදලක් වෙන්කෙරෙන්නේ නෑ. මහාමාර්ගවලටත් එහෙමයි. පාරවල් පිළිසකර කළේ ජපන් ආධාරවලින්. කොන්ක්‍රීට් පාරවල් හදන්න රුපියල් කෝටි හතරක් ලැබුණා. ආණ්ඩුවේ ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක වුණෙත් පක්ෂවලට බෙදිලයි. කරෙයිනගර් කියන්නේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ උපන්ගම. ඉතින් එයාට ඕනෑ පාරවල් තමයි හැදෙන්නේ. 2018 දි පළාත් සභාවෙන් වීදි ලාම්පුවලට රුපියල් ලක්ෂ එකහමාරක් දුන්නා. ඒකෙන් වීදි ලාම්පු එකොළහයි දාන්න පු`ඵවන් වුණේ.

අපිට බරපතළම ප්‍රශ්නය වී තිබෙන්නේ ජලයයි. ඉරණමඩු ජලාශයෙන් කරෙයිනගර්වලට ජල යෝජනා ක්‍රමයක් සැකසුවත් උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ඊට විරුද්ධ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් කිව්වේ කිලිනොච්චියේ වතුර කිලිනොච්චියට විතරයි කියලයි. අන්තිමේදී අපි උත්සාහ කරන්නේ වැසි ජලය එකතු කරගැනීමටයි. ඒත් නියං කාලයේදී අපට කරන්න දෙයක් නෑ. මුහුදු ජලයෙන් පානීය ජලය සැකැසීමේ යෝජනාවක් ආවා. පස්සේ ඒකත් යට ගියා. ”

කරෙයිනගර් ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන කැසරිනා වෙරළ තීරය සංචාරකයන් සඳහා වෙන්වූවකි. එයට ඇතුළු වන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ප්‍රාදේශීය සභාව සැලකිය යුතු ආදායමක් උපයයි. එහෙත් අප්පුතුරෙයි මන්ත්‍රීවරයාට එම ආදායම් ගැන පැහැදිලි අදහසක් තිබුණේ නැත. ඔහු පැවසුවේ පළාත් සභාවෙන් ප්‍රාදේශීය සභාවට ලැබෙන ප්‍රතිපාදන ගැන නිශ්චිත අදහසක් නැති බවය. පළාත් පාලන ආයතන මහජනයා සමග සමීප කිරීමට මහජන කමිටු පිහිටුවීම පළාත් පාලන පනතෙන් නියම කර ඇති අනිවාර්ය කරුණක් වුවද ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතන නියෝජිතයෝ එම ප්‍රජාතන්ත්‍රවාදී පියවර අනුගමනය නොකරති. කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ ද මහජන කමිටු පිහිටුවා නැති බව වී.අප්පුතුරෙයි මහතා පැවසීය.

කරෙයිනගර් ඊසාන, නැගෙනහිර හා නිරත දිග ග්‍රාම නිලධාරි වසම්වල ගම්වැසියන් මුණගැසීමට මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයෝ කටයුතු කළහ. කරෙයිනගර් සිද්ධි අධ්‍යයනයක් හැටියට සලකා කලක් තිස්සේ එහි යන එන ජාතික විද්වත් සංවිධානයේ සාමාජිකයකු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් තම නිරීක්ෂණ ඉදිරිපත් කළේ මෙසේය.

“ එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරී අවධියේ මෙම කුලපීඩිත තත්ත්වය යම් ආකාරයකට මර්දනය වී තිබුණා.  මොකද එම සංවිධානය ඇතුළේ දෙමළ සටන්කාමීන් විදියට ආවේම කුලපීඩිතයන්. නමුත් 2009 එල්.ටී.ටී.ඊයේ පරාජයත් සමග එම කුලපීඩනය නැවත යාපනයේදී දකින්නට ලැබෙනවා. මම මෙහි අධ්‍යයනය කරන්නේ මාස ගණනක් තිස්සේයි. එතැනදී මගේ නිරීක්ෂණය නම් මේ කුල පීඩනය නිසා මේ ජනතාව බැටකන්නේ දීර්ඝ කාලයක් තිස්සේ. මේ ගම්වැසියන් සමග කතාකරද්දී මට දැනුණේ ඒ යටපත්ව තිබූ කුලපීඩනය යළිත් හිස ඔසවන බවයි. ”

“ජාතික සමගිය සඳහා සිංහල හා දෙමළ ජනයා ඔවුනොවුන්ගේ භාෂා ඉගෙනගැනීම වැදගත්. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තරය සමඟ සම්බන්ධවීමේදී සම්බන්ධීකරණ භාෂාව හැටියට වැදගත්. එය ඉගෙනගැනීමට ලංකාවේ සියලු ජාතින්ට අවස්ථාව තිබිය යුතුයි. රටේම තිබෙන ප්‍රශ්නය කරෙයිනගර්වලත් තිබෙනවා. එහි වැසියන්ට ඉංග්‍රීසි ගුරුවරු නෑ. කුල පීඩිතයන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කුලවතුන් අකමැති වුණත් රජය අනිවාර්යෙන්ම මීට මැදිහත් විය යුතුයි. හින්දු ආගමට අනුව ජලය පිරිසිදුකමේ සංකේතයක්. ඒත් කරෙයිනගර්වල යථාර්ථය වෙනස්. එහි ජලය පිරිසිදු කුලවතුන්ට පමණයි. කුලපීඩිතයන් පානය කිරීමෙන් එම ජලය අපිරිසිදු වෙනවා කියලයි කුලවතුන් විශ්වාස කරන්නේ. මහවැලියේ ජලය දකුණට හෝ රජරටට යෑම අපට ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඒත් හින්දු ආගමෙන්ම ඇති කළ කුල ධූරාවලිය සමාජ, ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමේදී අද බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. කරෙයිනගර් විතරක් නෙවෙයි. යාපනයේ බොහෝ කෝවිල්වලට කුලපීඩිත ජනයාට ඇතුළු වීමටවත් බෑ. ජාතියෙන් භාෂාවෙන් වෙන වෙනස්කම්වලට අමතරව ආගමිනුත් වෙනස් ලෙස සලකන තැනට මේ මිනිස්සු පත්වෙලා”

යාපනේ තරුණ කොංග්‍රසය

කුල පීඩනයට එරෙහිව සටන් කිරීම සඳහා අසංවිධානාත්මක නමුත්  යම් ආකාරයක පෙළගැසීමක් කුලවතුන් හැටියට සැලකෙන ඇතැම් උගතුන් අතරෙන් මේ වනවිට මතුව තිබේ. එහෙත් ඔවුන් පවසන්නේ මෙම සටන ලෙහෙසි පහසු එකක් නොවන බවය. 1924 දී හැන්ඩි පෙරිම්පනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටු වූ යාපනයේ තරුණ කොංග්‍රසය යනු අතීතයේ කුල පීඩිතයන් වෙනුවෙන් එසේ සටන් කළ ඒකරාශිවීමකි. තරුණ කොංග්‍රසයේ උගතුන් කුලවතුන් කුලපීඩිතයන්ගේ නිවාසවලට ගොස් ඔවුන් සමග එකට ආහාර ගෙන ජලය පානය කර අභියෝග කළේ එවක පැවැති ප්‍රභූත්ව සංස්ථාපිතයටය. මහත්මා ගාන්ධි යාපනයට ගෙන්වා දේශන පවා පැවැත් වූ තරුණ කොංග්‍රසය අහිංසාවාදය අගය කළේය. එහෙත් දෙමළ ජාතිකවාදය ප්‍රචණ්ඩත්වයට තල්ලු වීම නිසා තරුණ කොංග්‍රසයට පැවැත්මක් නොවීය. ජාතික විද්වත් සංවිධානයේ සාමාජිකයන් පවසන්නේ යාපනයේ තරුණ කොංග්‍රසයෙන් පරමාදර්ශයක් ලබා නැවත එවැනි දේශපාලන ව්‍යාපාරයකට උතුරත් දකුණත් එක්ව ගමන් කළ යුතු බවය.

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් පැවසුවේ දෙමළ ජනයා සිංහල ඉගෙනීමත් සිංහල ජනයා දෙමළ ඉගෙනීමත් දෙවන බසක් උගෙනීමට වඩා සහෝදරාත්මක භාෂාවක් ඉගෙනීමේ අර්ථයෙන් සිදුවිය යුතු බවය. එහෙත් මැතිවරණ වේදිකාවල අදටත් මහජන නියෝජිතයන් පවා අදහස් දක්වන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැනවත් හරිහැටි අවබෝධයක් නැතිවය. පසුගියදා පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේදී එහි නාම පුවරුව සම්බන්ධයෙන් දකුණේ හටගත් විවාදය ඊට කදිම නිදසුනකි. කරෙයිනගර් ඌරෛ ඇමෙරිකානු මිෂන් මිශ්‍ර පාසලේ සියලුම නාම පුවරු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව යමින් හැකි අයුරින් සකස් කිරීමට කටයුතු කර තිබිණි. එහෙත් එම නාම පුවරුවල සිංහල බසෙහි අක්ෂර වින්‍යාස නිවැරැදි නොවීය. ඒ ගැන විමසූ විට පදීපන් උමාදේවී ගුරුවරිය පැවසුවේ සිංහල ගුරුවරයකු නොමැති නිසා නිවැරැදි වචන සොයාගැනීම අපහසු බවයි.

කරෙයිනගර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පවසන ආකාරයට ගුරු හිඟයට විසඳුම් ඉල්ලා කලාප හා පළාත් අධ්‍යාපන බලධාරින්ට ලියුම් කරදහි ලියා තිබෙන්නේ 2015 පමණ සිටය. එම ලිපිවලට ලද සහනයක් තවමත් නැති නමුත් 2019 ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් බවට කරෙයිනගර්හි වේරපිඞ්ඩිහි පිහිටි ශ්‍රී ගනේෂ් විද්‍යාලය පත්ව තිබේ. ශ්‍රී ගනේෂ් විද්‍යාලයේ දරුවන් හැට දෙනෙකු අධ්‍යාපනය ලබන අතර භෞතික හා මානව සම්පත්වල අඩුව එයටත් පොදුය. කරෙයිනගර් වැසියන් පවසන ආකාරයට ඉහළ කුලවල දේශපාලකයන් එවැනි පාසලක් තිබෙන බව හෝ දැනගන්නේ ජනාධිපතිවරණය නිසාය.  

කෙසේ වෙතත් මෙවැනි අතිදුෂ්කර පරිසරයක පවා කරෙයිනගර් වැසියන්ට තරු ලකුණු නැත්තේ නොවේ. කරෙයිනගර් ක්‍රීඩා සංගමයේ සභාපති පී.එඩිසන් එවැන්නෙකි. මෘදුකාංග ඉංජිනේරුවකු වීමට සිහින දකින එඩිසන් චතුර ලෙස ඉංග්‍රීසි බස ද හසුරුවයි. අසූවක් පමණ සිටින ක්‍රීඩා සංගමයේ තිස් දෙනෙකුම යෞවනියන් වීම විශේෂත්වයකි. තම සංවිධානය කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ නමුත් ක්‍රීඩා පිටිය සැකැසීමට ආධාර හෝ ද්‍රව්‍යමය ආධාර බාහිර පාර්ශ්වයකින් නොලැබුණු බව එඩිසන් කීය. යාපනය කෙමෙන් ආක්‍රමණය කරන මත්ද්‍රව්‍ය වුවදුරින් සිය ගම බේරාගැනීම ක්‍රීඩා සංගමය පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් හැටියට හැඳින් වූ මේ තරුණයා තමාට හැකි අයුරින් සහෝදර ගම්වැසි තරුණ තරුණියන්ට පරිගණක දැනුම ලබාදෙන බව ද කීවේ සිවිල් සංවිධාන නියෝජිතයන් විශ්මයට පත්කරමිනි. 

දෙමළ නායකයන්ට කුල පීඩනය නොපෙනෙන්නේද?

උතුරේ කුල පීඩිතයන් වැනි ආන්තික ජන කොටස් ගැන සොයා නොබලන බවට සහෝදර දෙමළ පක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂවලට කෙලින්ම චෝදනා කරයි. මේ ගැන කළ විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවැසුවේ මෙවැන්නකි.

“කුල ප්‍රශ්නය වැනි සමාජ ප්‍රශ්න කීපයක් තවම තිබෙනවා. හැබැයි සමස්ත දෙමළ ජනතාව අපෙන් මගහැරිලාද කියලා බලන්න ඕනෑ ඡන්දයෙන්. පක්ෂය ඇතුලේ ඔය වගේ ප්‍රශ්නයක් නෑ. බොහෝ වෙලාවට පීඩිත ජනයා නියෝජනයට අපි අපේක්ෂකයන් දාලා තිබෙනවා. හැබැයි ඒකත් අර කාන්තා නියෝජනය වගේ. 54% ක් හිටියත් කාන්තාවන් ඉදිරිපත් කළාට ඡන්දය දෙන්නේ නෑනේ. මේ කුල ප්‍රශ්නයත් ඒ වගේ. අපි අපේක්ෂකයකු ඉදිරිපත් කළාම ඒ අයම දෙන්නේ නෑ. මේ නිසා සමහර ප්‍රාදේශීය සභාවල එහෙම වෙනම තරග කරලා තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තු නියෝජනයට ඒක ප්‍රමාණවත් නෑ. පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ 1977 දි එහෙම එක් අයෙක් පාර්ලිමේන්තු ආවා. හැම ජන කොටස්ම නියෝජනය කරන අයට අපේ ලැයිස්තුවේ ඉඩදෙන්න විතරයි අපට පුළුවන්. මිනිස්සුයි ඡන්දය දෙන්න ඕනෑ. ”

ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපතිවරයා වන විශ්‍රාමික ඉංජිනේරුවරයකු වූ එන්.සූරියනායගන් මහතා කුලපීඩනයේ දේශපාලනය ගැන සංවේදී නිසාම ඒ ගැන විශාල වශයෙන් මැදිහත්වීම් කරන චරිතයකි. ඔහු එහි ඇති යථාර්ථය පැහැදිලි කළේ මෙසේය.

“උතුරු පළාත් සභාවේ සිටින මන්ත්‍රීවරුන් තිස් හයෙන් තිහක්ම කුලවතුන්. ඇමැතිවරු පස් දෙනාම කුලවතුන්. මේ නිසා කුලපීඩිත හඬට ඉඩක් නැති තරම්. යුද්ධයෙන් පසුව කුලවතුන් බොහෝ පිරිසක් විදේශගත වුණ නිසා මේ වනවිට කුලපීඩිත ජනගහණය 45%ක පමණ දක්වා යාපනයේ වැඩි වී තිබෙනවා. ඒත් විග්නේෂ්වරන්ලා ආණ්ඩුවට ඉදිරිපත් කරපු යෝජනා දහතුනේ කොතැනකවත් මේ කුලපීඩිතයන්ගේ ප්‍රශ්නය ගැන නෑ. ඉහළ කුල ශිෂ්‍යයකු හැටියට අතීතයේ දී විවිධ උත්සව අවස්ථාවල මම කෝප්පයට වතුර බීලා කුලපීඩිතයන්ට අත් දෙකට බොන්න වතුර වත්කළ හැටි මතකයි. මට එදා ඒක කරන්න වුණා. ජීවිතයේ වැදගත් ඕනෑම අවස්ථාවකට මුහුණදීමේදී දෙමළ ඉහළ කුලවල අය විමසන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ ගම කුමක්ද කියලයි ඔවුන් අහන්නේ.”

“ඊටපස්සේ ඔවුන් තව දුරටත් හාරා හාරා අවුස්සා ගමේ වීදිය, දේවාලය ගැන අසනවා. ඔවුන් එයින් ඔහු හෝ ඇය පහළ කුලයකදැයි කියා තීරණය කරගන්නවා. රාජ්‍ය ආයතනවලින් සිය සේවා සපයාගැනීමේදීත් පහළ කුලවල ජනයා මේ අප්‍රසන්න අත්දැකීමට මුහුණ දෙනවා. මොකද බොහෝ තනතුරු නියෝජනය කරන්නෙත් කුලවතුන්. එහෙත් මෙහි උත්ප්‍රාසය වන්නේ එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන ජනයා එය තේරුම්ගන්නේ ආණ්ඩුව කරන වැඩක් හැටියටයි. මොකද ඔවුන් එය හඳුනාගන්නේ මේ කුල පීඩිත තත්ත්වය රජය දැනුවත්ව මෙහෙයවන ක්‍රියාවලියක් හැටියට වීමයි. අතීතයේදී කොමියුනිස්ට් පක්ෂයේ සී.සුබ්‍රමනියම්ලා කුලපීඩිතයන්ට යම් හෝ අවස්ථාවක් දුන්නා. අද එවැනි දේශපාලකයන් විරලයි.”

බිඟුන් මේනක ගමගේ

.ඉංජිනේරු සූරියනාගන්

කරෙයිනගර් ඌරෛ ඇමෙරිකානු මිෂන් මිශ්‍ර පාසල

කරෙයිනගර් පිවිසුම

අගුළු ලා ඇති පාසල් ජල කරාමය

කරෙයිනගර් පිහිටීම

 

 

  



අදහස් (3)

කුලයෙන් තැලෙන කරෙයිනගර් ශෝකාන්තය

Gajaba WALIMUNIDEWA Wednesday, 12 February 2020 10:11 AM

තෙරේසා මව්තුමියනි, ඔබට බාරයි...

:       2418       717

dilanMonday, 17 February 2020 12:29 PM

කවුද ඒ? ප්‍රාදේශීය සභා නියෝජිතවරියක්ද?

:       0       30

lalithm Friday, 14 February 2020 03:08 AM

මොන තෙරේස මව් තුමියෙක්ද මේ වගේ අවනඩුවලට. පළාත් සභාවක් තියෙන්නේ දෙමල නායකයින් යටතේ. ඒ අයට බැරිනම් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ යටතේ ඔය තැලෙන පීඩිත කුලයෙන් අපේක්ෂකයෝ දමලා පාර්ලිමේන්තු නියෝජනයක් ගන්න තරම් තත්වයක් හැදෙන්න ඕනේ. ඕක කරෙයිනගර් වල විතරක් නොවෙයි දකුණේත් තිබෙන තත්වයක්. රතු මල්ලිලා වත් මේවට හරියට උත්තර දුන්නේ නැහැනේ තවම?

:       232       1124

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 160 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 121 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 203 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 210 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 698 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 953 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site