IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කාගෙ කාගේත් දේශපාලන ශක්තිය උරගා බැලෙන වසරක්

නිදහස ලැබීමෙන් පසු එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතළම දේශපාලන අර්බුදය සනිටුහන් වූ 2018 වර්ෂය පසුගියදා නිමාවට පත්විය.

දින 52ක කාලයක් ඇතුළත, මීට වසර 4කට පමණ පෙර ජාතික රජයක් තනන්නෙමැයි අත්වැල් බැඳගත් පාර්ශ්වයෝ එකිනෙකා හා හොඳ හැටියට කුලල් කා ගත්හ. අත්වැල් බැඳ ගැනීමෙන් වංචාවට, දූෂණයට සහ අවපාලනයට තිත තබන බව ඔවුන් කීව ද, සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්ය. හොර වැඩ කිරීමට අවස්ථා එමට තිබූ බැවින්, හොර ඇල්ලීමට තිබූ විමසුම් ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවූ බැවින්, ඔවුහු වෙනදාටත් වඩා ඉහළින් වංචා හා දූෂණවල නියැලුනහ. නීතිය ඉදිරියට හරි නම් පමුණුවාලිය යුතුව තිබුණු වරදකරුවෝ තනතුරු තානාන්තරවලින් පිදුම් ලැබූහ. 2015 ජනපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාවට දුන් පොරොන්දු පාලකයෝ අමතක කළහ. නීතිය ක්‍රියාත්මක කළ යුතුම වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ගොනුකර තිබූ වාර්තා අස්ථානගත විය. ඇතැම් වාර්තා එම වරදකරුවන් අතටම ලැබුණු අවස්ථා ද තිබිණ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමත් සමග ආරම්භ වූ මෙම දේශපාලන අර්බුදයේ බලපෑම ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිද ගියේ ය. හොඳට හෝ නරකට හෝ ග්‍රහයින් මාරුවන්නාක් මෙන්, දේශපාලන පක්ෂ ද ඔවුන්ගේ පදනම සහ ස්ථාවරය මාරු කරගත්තේ ය. මෙම අර්බුදය හමුවේ බලවත් ලෙසම පහර ලැබූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමග අත්වැල් බැඳගැනීමේ අවස්ථාව අවුරා තිබෙන බැවින් සහ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව ක්‍රමයෙන් පහතට බසිමින් තිබෙන බැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට සිටින්නේ අර්බුදයක දැවෙමින්ය. පක්ෂයේ නායක ජනපති මෛත්‍රීපාල සිරිසේන, කිසිදු සාමාජිකයකුට එක්සත් ජාතික පක්ෂය හා එක්වීම තහනම් කළ අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගැනීමට පියවර ගන්නා බව පැවැසුවේ ය.

පසුගිය වසරේ පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටම ඉතා බරපතළ ලෙස සෝදාපාලුවට ලක්ව තිබෙන බව පැහැදිලිවම පෙනී ගියේ ය. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඔවුන්ට හිමිකම් කීමට හැකි වූයේ සියයට 12ක ඡන්ද ප්‍රමාණයකට පමණකි. එය ද වතුකරය නියෝජනය කරන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය හා එක්ව තරග කිරීම නිසාය. සියලුදෙනා මවිත කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට පැමිණියේ සියයට 40ක ඡන්ද ප්‍රමාණයක් හිමි කරගනිමින්ය. ඉතිහාසයේ වැඩිම ඡන්දදායකයින් පිරිසක් ඡන්දය භාවිතා කළ එම පළාත් පාලන ආයතන මැතිවරණය, මෙතෙක් පැවැති විශාලතම මැතිවරණය වන බැවින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය.

නත්තල් නිවාඩුව ගත කිරීමට තායිලන්තයේ පෞද්ගලික සංචාරයක නියැළීම සඳහා දිවයිනෙන් බැහැරව යාමට ප්‍රථමයෙන් ජනපති සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් අතර හමුවක් පැවැත්විණ. ගෙවුණු මාසයේ පැවැති මධ්‍යම කාරක සභා හමුවක දී, පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ව ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ජනපතිවරයා පියවර ගත්තේ ය. පැමිණ සිටි හිටපු සංවිධායකවරුන් අමතමින් ඔහු කියා සිටියේ තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා මැතිවරණමය එකඟතාවක් ඇතිකර ගැනීමට සැලසුම් කර තිබෙන බවය. එවන් එකඟතාවක් ඇතිකර ගැනීමට ඔහුගේ ප්‍රමුඛතාව හිමිව තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගොස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව සිටින සාමාජිකයෝ නැවත වරක් එක වහලක් යට එක්සත් වනු ඇත. නමුත් මෙය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. රැස්වීම අවසන් කළ ජනපතිවරයා ගුවන්තොටුපළ බලා පිටත්ව ගියේ ය.

අතිශය පෞද්ගලික යැයි හඳුන්වා දුන් සංචාරයක නියැළීම සඳහා ජනපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ තායිලන්තයේ බැංකොක් නුවර බලා පැමිණියහ. ඔවුන් නවාතැන් ගත්තේ බැංකොක් නුවර ප්‍රාතුනම් ප්‍රදේශයේ පිහිටි අනන්තරා හෝටලයේ ය. අඩු මිලට භාණ්ඩ මිලදී ගත හැකි කුඩා වෙළෙඳසල්වලින් ගහණ ප්‍රාතුනම් ප්‍රදේශය තායිලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා ජාතිකයන් අතර ඉතා ජනප්‍රියය. ජනපතිවරයා පිළිගැනීමට සූදානමින් සිටියේ ශ්‍රී ලංකාවේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු වන සරූෆ් අක්‍රම්ය. ඔහු ජනපති සිරිසේනගේ පෞද්ගලික මිතුරෙක් ද වේ. ජනපතිවරයා වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරදීමට ඔහු සහ ඔහුගේ තායිලන්ත ජාතික බිරිඳ සෑම අවස්ථාවකදීම සූදානමින් සිටියේ ය. පසුගිය බ්‍රහස්පතින්දා ජනපතිවරයා බැංකොක් ප්‍රදේශයෙන් බැහැර සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ ද ආයෝජන සිදුකර තිබෙන අනන්තරා හෝටලය, ජනපති සිරිසේන තායිලන්තයේ සංචාරයක යෙදෙන විට තෝරාගන්නා නිවහන වේ. 2015 නොවැම්බර් මස නිල සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි අවස්ථාවේදී ද ඔහු නවාතැන් ගත්තේ එහිය. එපමණක් නොව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද, 2016 අප්‍රේල් මාසයේ තායිලන්තයේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ද නවාතැන් ගත්තේ මෙම හෝටලයේය.

ජනපතිවරයා රැස්වීමෙන් නික්ම ගිය පසු, පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැමිණ සිටි අය අමතමින් සිටි අවස්ථාවේ මහා කලබගෑනියක් සිදුවිය.

පැමිණ සිටියවුන් අතරින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය), ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගැනීමට දැඩිව විරෝධය පළ කළෝ ය. ඊට වඩා එක්සත් ජාතික පෙරමුණ සමග සම්බන්ධ වීම හොඳ බව ඔවුහු කීහ. පොදු ජන පෙරමුණ සමග එක්වීමට පක්ෂ, විපක්ෂ දෙපිරිස එකිනෙකා සමග වාදවල පැටලෙමින් ගුටි බැට හුවමාරුවකට ඔන්න මෙන්න වන තැනටම ප්‍රචණ්ඩ වෙනු සටහන්ව ඇති වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා හුවමාරු විය. උද්ගත වූ තත්ත්වය නිසාම රැස්වීම එතැනින්ම අවසන් කිරීමට සිදුවිය. ඩාලි පාරේ පක්ෂ කාර්යාලය වසා දැමිණ. උත්සව සමය නිසා එසේ කළ බව පැවැසුණ ද, වෙනත් ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේම කණ්ඩායමක් එහි පාලනය තමන් අතට ගනු ඇතැයි බිය පළවූ නිසා ගොඩනැගිල්ල වසා දැමූ බවය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි සමයේ නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක මහතා ප්‍රමුඛ පිරිසක් පක්ෂයේ මූලස්ථානය සියතට ගත් අමිහිරි මතකයක් ඔවුනට තිබේ.

කෙසේවුවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක මහින්ද රාජපක්ෂ පක්ෂයේ සහායක කණ්ඩායම්වල නායකයින් අමතමින් පසුගියදා කියා සිටියේ කුමන එකඟතාවයක් ඇතිකර ගත්ත ද එයට සිය පක්ෂයේ සංවිධායකයන්ගේ අනුමැතිය හිමිවිය යුතුවම වන බවය. පක්ෂයේ ඇතැම් සාමාජිකයන් පසුගිය දින කිහිපයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් අමනාපයෙන් සිටිය ද, විවේචනය කළ ද, ජනපති සිරිසේන හා එකඟතාවයකට එළැඹීම කිසිදු ලෙසකින්වත් නොසලකා හැර නොමැති බව ඔහු පැවසුවේ ය. එවන් එකඟතාවයක් ඇතිකර ගැනෙන්නේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැඩි ස්ථාවරයක පිහිටා ඔවුන්ගේම කොන්දේසි ඉදිරිපත් කරනු ඇති බව පැහැදිලිය. ජනවාරි මාසයේ දී එම කටයුතුවල අවසානයක් දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් සිතා සිටිය ද, එවැනි විශ්වාසයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නම් නොමැත.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ සහ තවත් සහායක පක්ෂයක නායකයකු, ජනපතිවරයා ඔහුගේ තායිලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ඔහුව හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගැනීමට තිබේ. මෙම හමුවේ අරමුණ වන්නේ පොදු සන්ධානයක් සහ මැතිවරණමය එකඟතාවයක් තනාගැනීම අරබයා වන කරුණු සම්බන්ධයෙන් පුළුල් විමසුමක් සිදුකිරීමය. දැනට නම් කිසිම දෙයක අවසානයක් නැහැ, නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ මුල් පෙළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයෙක් පැවසුවේ ය.

දෙපැත්තේ අය මොන මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියා අපට දැනගන්නට පුළුවන් වෙන්නේ සාකච්ඡාවලින් පසුවයි. ඊළඟ පියවර අපට ගතහැකි වන්නේ එයින් පසුවයි. ඔහු කීවේ ය.

මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගැනීමේ සිට මේ දක්වා අභියෝගවලට මුහුණදෙමින් සිටින්නේ නව නායක ජනපති සිරිසේන පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම බව දැන් පැහැදිලිය. දෛවයේ සරදමක් මෙන් ඔහුට දැන් සිදුව තිබෙන්නේ දේශපාලන ස්ථාවරභාවයක් සහ නැවත එක්සත්වීමක් අපේක්ෂාවෙන් වරක් ඔහුගේ පූර්වතමයා වූ සහ කෙටි කාලයකට අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ පිහිට පැතීමටය. එය ඔහුට පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද දැනෙන වෙනසකි. මෙතැන දී නැගෙන ගැටලුව වන්නේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණක් ජනපති සිරිසේනට තිබෙන්නේ ද යන්නය. එවැන්නක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ ය.

එක්සත් ජාතික පක්ෂය හමුවේ ඇති අභියෝග

අභ්‍යන්තර අර්බුද හමුවේ බෙදී සිටි එක්සත් ජාතික පක්ෂය අගමැති වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කළ තැන සිට නව ජීවයක් ලැබ පෙරට පැමිණියේ ය. පසුගිය මස 16 වැනිදා නැවත අගමැතිවරයා ලෙස පත්වීමත් සමග වික්‍රමසිංහගේ ප්‍රතිරූපය නැවත වතාවක් පක්ෂයේ ශක්තිමත් විය. ධුරයෙන් ඉවත් කළ දිනයේ සිට ඔහු වටා රැඳෙමින්, ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදුව තිබෙන බව කියමින්, සටන දිගටම ගෙන ගිය කණ්ඩායම දැන් එම ශක්තියෙන්ම එකිනෙකා හා බැඳී සිටින්නේ ය. නමුත් කාසියේ අනෙක් පැත්තේ කතාව මීට වෙනස්ය. එසේ සහාය දැක්වූ පුද්ගලයින්, විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එම සහාය වෙනුවෙන් දැන් බලාපොරොත්තු වන්නේ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරුය.

එක්සත් ජාතික පක්ෂය හමුවේ තිබෙන අභියෝග බොහෝය. ඇතැම් බටහිර තානාපති කාර්යාලවලට දැනගැනීමට හැකිව තිබෙන පරිදි මුල්පෙල රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් දියත් කර තිබෙන සමීක්ෂණයකින් අනාවරණයව තිබෙන්නේ බිම් මට්ටමේ සහාය තවමත් දිනාගෙන සිටින්නේ රාජපක්ෂ බවත්, ඒ නිසාම මැතිවරණයකින් ඔහු ජයග්‍රහණය කළ හැකි බවත්ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළම මට්ටමේ නායකයින් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් පවතින බව සඳහන් කරනාතරවාරයේම, බිම් මට්ටමේ යථාර්ථයන් ගැන අනතුරු ඇගවීමක් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට නිකුත් කර තිබේ. නමුත් රජයට සහාය දක්වන රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි.

ප්‍රධාන පෙලේ මැතිවරණයකට වසරකට අඩු කාලයක් ඉතිරිව තිබිය දී, එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ එහි බිම් මට්ටමේ ශක්තිය නැවත ගොඩනැගීමය. පසුගිය පෙබරවාරියේ පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී පක්ෂයට හිමිවූයේ යන්තම් සියයට 29ක මනාප ප්‍රතිශතයකි. ඒ අනුව සැලකුවහොත් එවන් තත්ත්වයක් යටතේ ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වීම පක්ෂයට ඇත්ත වශයෙන්ම භයංකර අත්දැකීමක් වනු ඇත. මේ අතරවාරයේම, ඇතැම් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව කියන්නෝ ය. පක්ෂයට විසඳාගත යුතුව තිබෙන තවත් අර්බුදයක් වන්නේ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන් ද යන්නය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හා සමීපව කටයුතු කරන කණ්ඩායම පවසන්නේ ඔහු ඉදිරිපත් විය යුතු බවය. මංගල සමරවීර, සාගල රත්නායක, මලික් සමරවික්‍රම සහ අකිල විරාජ් කාරියවසම් එම කණ්ඩායමේ සාමාජිකයෝය. තලතා අතුකෝරළ සහ අජිත් පෙරේරා සිටින තවත් කණ්ඩායමක් අවධාරණය කර සිටින්නේ වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවය. ඔවුන්ගේ කැමැත්ත එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාටය.

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණයක් ගෙන නැහැ, පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. අගමැති වික්‍රමසිංහ හඳුන්වා දුන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් පුළුල් සන්ධානයක් ඇති කරගැනීමේ වැඩකටයුතුවල එක්සත් ජාතික පක්ෂය නියැළී සිටින බවත් එම කටයුතුවලින් අනතුරුව මැතිවරණ කාලසටහනක් සකස් කරගැනීමට සහ අපේක්ෂකයා සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීමට පියවර ගන්නා බවත් ඔහු කීවේ ය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සම්බන්ධයෙන් ගතහොත්, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තමන් එම සන්ධානය හා එක් නොවන බව පැහැදිලි ලෙසම මේ වනවිටත් පවසා තිබේ. අනෙක් පක්ෂ දැනටමත් එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳගෙන සිටින පක්ෂම වන අතර, එනිසාවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් අදහස් වන්නේ එක්සත් ජාතික පෙරමුණේ නම පමණක් වෙනස්වීමක් විය හැකිය. කෙසේවුවත් නව පෙරමුණට සිවිල් සංවිධානවල එකතුවක් ද අයත් වනු ඇත. මේ සියල්ල ගත්කල ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුදයකට මැදිවනු ඇති බවට කිසිදු සැකයක් නැත.

එහෙත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පදනම වී තිබෙන්නේ සිරිසේන කඳවුර නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක සාමාජිකයන්ට, ඔවුන්ගේ අනන්‍යතාවය එලෙසම තබාගනිමින්ම එවැනි පෙරමුණකට එක්වීමට අවසරය ලැබෙනු ඇතිය යන්නය. කිසිදු සන්ධානයකට එරෙහිව ජනපතිවරයා පනවා තිබෙන තහනම හමුවේ තමන්ට අමාත්‍ය ධුර දැරීමට අවස්ථාව අහිමිව තිබීම නිසාවෙන් ඔවුහු කෝපයට පත්ව සිටින්නෝ ය. ගැටලුව තවමත් අවසන් නොමැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම කුඩා කණ්ඩායම් වශයෙන් එකිනෙකා හමුවෙමින් එකිනෙකාගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් සිටී. මෑතකදී පැවැති එවැනි හමුවක දී, වික්‍රමසිංහ බලයෙන් ඉවත් කර - ජාතික රජය අහෝසි කර - අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීමට - ජනපතිවරයා කටයුතු කිරීම නිසාවෙන් තමන්ට අමාත්‍ය ධුර අහිමි වන තැනට කටයුතු සිදුකළේ යැයි ඔවුහු ජනපති සිරිසේනට දැඩිව චෝදනා කළෝය. දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ අයෙක් ජනපතිවරයාට පිටුපා ඔහුව අතහැර දැමීමට පවා ආවේගශීලි වුව ද, එසේ කළහොත් ජනපති සිරිසේන තමාට අමාත්‍ය ධුරයක් නොදෙනු ඇතැයි බියක් ඇතැයි කීවේය. ඉදිරි සතියක මේ සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡාවක් ජනපතිවරයා හා පැවැත්වීමට ද ඉඩ තිබේ.

දෙමළ ජාතික සන්ධානය සහ විපක්ෂනායක ධුරය

පසුගිය වසරේ දෙමළ ජාතික සන්ධානය ඉතිහාසගත වන මෙහෙයුම නිරතවිය. එහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනා රනිල් වික්‍රමසිංහට අගමැතිවරයා ලෙස පත්වීම සඳහා සහාය ලබාදුන්හ. මෙම මෙහෙයුම පිටුපස සිටි ප්‍රධාන මොළකරු වූයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතාය. නොසිතූ ලෙස දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීම සම්බන්ධයෙන් කෝපයට පත්වූ අයෙක් වූයේ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතාය. යාපනයේ දෙමළ මාධ්‍ය ආයතන හා අදහස් දැක්වූ ඔහු ඒ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.

දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජාතිකයන්ට උදව් කරන්න වුවමනාවක් තිබුණා නම් කරන්න තිබුණේ රජයට සහාය දක්වන එක. ඒ හරහා සංහිඳියා කටයුතුවල වගකීම භාරගන්න ඔවුන්ට තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ මේ මුළු හැසිරීමම දේශපාලන වෙස් බැන්දුමක්. වික්‍රමසිංහට උදව් කරන්න කරපු දෙයක්.

එහෙත් සුමන්තිරන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය එම පියවර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවය. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් දරමින් සිටින විපක්ෂ නායක පුටුව රැකගැනීමට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමේ සූදානමින් ද සිටී. කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා ලෙස පිළිගත්තේ ය. මේ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ නොනිල නායක රාජපක්ෂ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ ය.

මම දන්න තරමින් නම් මම තමයි විපක්ෂ නායකයා. කතානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මම පුද්ගලයෙක් වශයෙන් ඉතාම ගරු කරන සම්බන්දන් මහතා සමග මගේ කිසිම පෞද්ගලික ආරෝවක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ අවුල

ජනතා විමුක්ති පෙරමුණ ද බරපතළ අභියෝගයන්ට මුහුණදෙමින් සිටී. වසර 4කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂය හා තිරය පසුපස සිට සහයෝගයෙන් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ දැන් තෝරාගත් ගැටලු කිහිපයක් ගෙනහැර දක්වමින් එක්සත් ජාතික පක්ෂයට පහර එල්ල කිරීමට ගෙන ඇති බවක් පෙනේ. එය, ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නේ යැයි චෝදනා කරන පක්ෂයේ සාමාජිකයන්ගෙන් එල්ල වන අවලාද වළක්වා ගැනීමේ අරමුණින් කැරෙන දෙයක් බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගැනීම කෙසේවෙතත්, දැනට ඔවුන්ට හිමි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හෝ ඊළඟ වතාවෙත් ආරක්ෂා කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම පක්ෂයට තව තවත් සාමාජිකයක් ඈදා ගත යුතුමය. දැනටමත් සමාජ මාධ්‍ය ජාලයන්ගේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් අතර පවතින සබඳතා ගැන පුවත් පළවෙමින් තිබෙන නිසාවෙන් එය කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. මෙම තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ද එවැනි පුවත්වලට පහර එල්ල කරනු දකින්නට තිබේ. විශේෂත්වය වන්නේ එසේ පහර එල්ල වන්නේ සියල්ලට නොව තෝරාගත් ඉලක්ක කිහිපයකට පමණක් වීමය.

සිරිසේන - රාජපක්ෂ බැඳීම - තවත් තොරතුරු එළියට

දින 52ක් පුරා දිවූ දේශපාලන අර්බුදයේ පසුබිම් කතාව පිළිබඳ තවත් තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ හා සම්බන්ධවීමට මුලින්ම උත්සාහ කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා හරහා බව පළමු වතාවට හෙළි කිරීමට සන්ඬේ ටයිම්ස් හට අද හැකිය. ජනපතිවරයාට තමන් හමුවීමට අවශ්‍ය බවට පණිවුඩයක් නානායක්කාරට ලැබී තිබෙන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂව දැනුම්වත් කර පසුව ජනපතිවරයා හමුවට ගොස් තිබේ. අනතුරුව රජයක් තැනීම සඳහා ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් නානායක්කාර මහින්ද රාජපක්ෂ ඉදිරියේ සිදුකර ඇත. ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදුකළ ද, පසුව එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට මහින්ද රාජපක්ෂ පියවර ගෙන තිබේ.

එයින් දින කිහිපකට පසු සිව් දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දූත පිරිසක් කොළඹ විජේරාම පාරේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පැමිණියහ. එස්.බී. දිසානායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල සහ ඩිලාන් පෙරේරා ඔවුහු වූහ. රාජපක්ෂ හමුවේ ඔවුන් කණ්ඩායම උදක්ම ඉල්ලා සිටියේ රහස්‍යභාවය ආරක්ෂා කරන ලෙසය. සර්, මැඩම්ටවත් කියන්න එපා, යැයි ඔවුහු කීවෝය. ඔවුන් පැමිණ සිටියේ නව රජයක් පිහිටුවීම සඳහා ජනපති සිරිසේන ඉදිරිපත් කර තිබූ යෝජනාවක් රැගෙනය. පසුදිනයේම රාජපක්ෂ සිය සමීපතම උපදේශකවරුන් හා සහායකයින් හා එක්ව එම යෝජනාව අරබයා සාකච්ඡාවක් පැවැත්වූයේ ය. අවසන ඉදිරියට යෑමට කොළ එළියක් දැල්විණ.

පළමු හමුවට සති කිහිපයකට පෙර ඒ ගැන ඉඟියක් දෙමින් ඩිලාන් පෙරේරා කළ අදහස් දැක්වීමක් බොහෝ දෙනාට එදවස නොවැටහිණ. ජනපතිවරයා සහ හිටපු ජනපතිවරයා එකිනෙකා සමග කතාකරනු ඇති බව ඔහු පැවසුවේ ය. නමුත් ඒ පිළිබඳ ඊට වැඩි අදහස් දැක්වීමක් පෙරේරා සිදුනොකළේය.

දෙපාර්ශ්වය අතර නිල වශයෙන් වූ පළමු රැස්වීම පැවතියේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරාට අයත් මාකොළ පිහිටි නිවසකය. ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, එස්.බී. දිසානායක සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිසක් එයට එක්ව සිටියහ.

බත්තරමුල්ලේ පිහිටි එස්.බී. දිසානායකගේ නිවසේ පැවැත්වුණේ මෙම සාකච්ඡාවේ දෙවන අදියරයි. මෙම තීරුවෙන් අවස්ථා කිහිපයක දී අනාවරණය කළ ආකාරයට එම අවස්ථාව, දෙපාර්ශ්වය එකිනෙකා හමුව සාකච්ඡා කළ අවසන් අවස්ථාව ද නොවීය. මෙම අවස්ථාව සඳහා රාජපක්ෂ සොහොයුරන් දෙදෙනා කලින්ම පැමිණ සිටි අතර, පසුව ජනපති සිරිසේන ඔවුන් හා එක්විය. දෙපාර්ශ්වය සාකච්ඡා කරනාතුරු දිසානායක ඔවුන්ට කෝපි හා සිසිල් පැන්වලින් සංග්‍රහ කළේය.

තෙවැනි සහ අවසාන සාකච්ඡාව පැවැත්වුණේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ මාකොළ නිවසේදීමය. මෙහිදී වැඩි වගකීමක් ගෙන අදහස් දැක්වූ දිසානායක සහ පෙරේරා ඉදිරියේ දී මතුවනු ඇති ගැටලු ගැන පැහැදිලි කිරීමක් සිදුකළේය. එක් ආරංචි මාර්ගයක් සඳහන් කළ ආකාරයට මෙම අවස්ථා දෙකෙහි දීම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීම අරබයා දෙපාර්ශ්වයම සිට ඇත්තේ දැඩි විශ්වාසයකිනි. සියලු තොරතුරු අතිශය රහසිගතව තබාගැනීමට දිව්රුම් දී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සිව් දෙනාට අමතරව, ජනපති සිරිසේන ද තමන් හා රාජපක්ෂවරු අතර පැවැති සාකච්ඡාවල සියලු තතු රහසිගතවම තබාගත්තේය. දින කිහිපයක් ඉක්ම ගියේය. එම දින කිහිපයේම ජනපතිවරයා සිටියේ වික්‍රමසිංහ ඉවත් කර රාජපක්ෂව නව අගමැතිවරයා ලෙස දිව්රුම්දීමට සුදුසු දිනයක් ගැන සිතමින්ය.

එක් දිනක රාත්‍රියේ රාජපක්ෂ තංගල්ලේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියේ ය. හදිසියේම ඔහුගේ ජංගම දුරකතනය නාද විය. එහා කෙළවරේ සිටියේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාය. ඉදිරි දින කිහිපයේ දී බැහැරට නොගොස් කොළඹම රැඳී සිටින ලෙස මහින්දට කියන්නැයි ජනපතිවරයා තමාට දැනුම්දුන් බව ලක්ෂ්මන් වසන්ත, මහින්ද රාජපක්ෂට කීවේ ය. රාජපක්ෂ කෝපයට පත්විය. මම කොහොමද එහෙම කරන්නේ? ඔහු ඇසුවේ ය. එවිට ඉතා බැගෑපත්ව රාජපක්ෂ ඇමතූ ලක්ෂ්මන් වසන්ත, අඩුම තරමින් එක් රැයක් හෝ කොළඹ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය.

ඒ වනවිට ඔක්තෝබර් මස 7 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් සුවිශේෂී අනාවරණයක් සිදුකරමින් ජනපතිවරයා සහ හිටපු ජනපතිවරයා බත්තරමුල්ලේ එස්.බී. දිසානායකගේ නිවසේ දී හමුවී තිබෙන බව වාර්තා කර තිබිණ. වික්‍රමසිංහ සමග කටයුතු කිරීම අතිශය දුෂ්කර බවත්, රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කර ගැනීමට තමාට අවශ්‍ය බවත්, ජනපතිවරයා එහිදී කියා සිට ඇතැයි එම වාර්තාවේ සඳහන් විය. එම වාර්තාව හමුවේ මෙම තොරතුරු දැන සිටිඅය අතර මහා කලබලයක් ඇතිවිය.

රහස හෙළිවී තිබෙන බව දැනගත් ජනපති සිරිසේන අතිශය කෝපයට පත්වූ අතර, එම පුවත කෙසේ නම් සන්ඬේ ටයිම්ස් වෙත ලැබුණේදැයි ඔහු දිසානායකගෙන් විමසුවේ ය. ලියුම්කරු ගැන විවේචනයක් ද සිදුකළ ඔහු, කොහොමද මාත් එක්ක අවස්ථා දෙකක දී විදෙස් සංචාරවල නියැලුණු මෙයා මෙහෙම දෙයක් කළේ? යැයි ඇසුවේ ය. අනෙක් අවස්ථා දෙක නොව, දිසානායකගේ නිවසේ පැවැති සාකච්ඡාව පමණක් සන්ඬේ ටයිම්ස් වාර්තාවට හසුව තිබෙන බව ඔහුගේ අවධානයට ලක්විය. මහින්ද රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර, දිසානායකගේ නිවසේ පැවැති රැස්වීම පමණක් මෙසේ එළියට පැමිණ තිබෙන්නේ ඇයිදැයි යන්න ඔහුගේ පැනය විය. කොටින්ම ඔහු, දේශපාලන වාසියක් ලබාගැනීමට මෙම තොරතුරු මාධ්‍යයට ලබාදුන්නේදැයි දිසානායකගෙන් ඇසුවේ ය. කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා මේ සියලු දේ ප්‍රතික්ෂේප කළේය.

බත්තරමුල්ලේ තම නිවසේ දී ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක් නොපැවැති බවට දිසානායක නිවේදනයක් නිකුත් කළේ මෙයත් සමගය. එය පැහැදිලි මුසාවකි. නමුත් හිටපු අමාත්‍යවරයා පවසන දේ ඉස්මුදුනින් විශ්වාස කරන පිරිස, ඔහුගේ නිවේදනය එසේම විශ්වාස කළෝ ය. ඒ වෙනුවට දිසානායක පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ඇමතූ බවය. මෙම අවස්ථාවේ පටන් දිසානායකව නොසලකා හැරියවුන්ගේ ලැයිස්තුවට වැටිණ. එතැනින් පසුව ජනපතිවරයා සහ හිටපු ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවලට ඔහුව හවුල්කරගැනීමක් සිදුනොවූ අතර, අනෙක් අය සමග දුරකතන සංවාදයේ යෙදුණ ද, දිසානායක ඇමතීමෙන් වැළකී සිටීමට ජනපතිවරයා ද කටයුතු කළේය.

වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා හැරීමට දිනකට පෙර, එනම් ඔක්තෝබර් මස 25 වැනිදා රාත්‍රියේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා විජේරාම පාරේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පැමිණියේය. අගමැතිවරයා ලෙස රාජපක්ෂව දිව්රුම්දීම සඳහා සියලු කටයුතු දැන් සූදානම් බව ඔහු දැනුම්දුන්නේ ය. ඒ අතරවාරයේ ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණ. එයට පිළිතුරු දුන් ඔහු අනතුරුව දුරකතනය රාජපක්ෂ අතට දුන්නේ ය. එහා පැත්තේ සිටියේ ජනපති සිරිසේනය. එළැඹෙන දිනයේ දී රාජපක්ෂව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස දිව්රුම්දෙන බව ඔහු සහතික කළේය. එම අවස්ථාවට තම සමීපතමයන්, ආධාරකරුවන් සහ සහායක පක්ෂවල නායකයින් කැඳවාගෙන පැමිණිය හැකිදැයි රාජපක්ෂ විමසුවේය. ඒක හොඳ අදහසක්, ජනපති සිරිසේන පැවසුවේ ය. තමාගෙන් දුරකතන ඇමතුමක් බලාපොරොත්තු වන ලෙස කියා සිටි ඔහු ඇමතුම අවසන් කළේය.

ඇමතුම ලැබෙන විට රාජපක්ෂ සිටියේ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති විවාහ උත්සවයකට සහභාගීවය. මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටි අනෙක් අයට, විශේෂයෙන් පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂට වහාම පණිවුඩය ලබාදෙනු ලැබිණ. පුදුමයට කාරණය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද මෙම අවස්ථාවට එක්වන ලෙස දැනුම්දුන්න ද, එයට හේතුව ඔහුට පැහැදිලි නොකිරීමය. එනිසා, වැදගත් රැස්වීමක් නොවේ යැයි සිතූහෙයින් දෝ ඔහු නොපැමිණියේ ය. තම වැඩිමහල් සොහොයුරා අගමැතිවරයා ලෙස දිව්රුම් දී ඇති බව ඔහු දැනගත්තේ මිතුරෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකිනි. පසෙකට කර සිටි එස්.බී. දිසානායක මෙම අවස්ථාව වනවිට සිටියේ නුවරඑළියේය. නමුත් ඔහුට ආරංචිය කන වැකී තිබිණ. වහාම කොළඹ බලා පැමිණි ඔහු නව අගමැතිවරයා දිව්රුම්දීමේ උත්සවයට එක්වූයේ අනෙක් අය සම්පූර්ණ උත්සව ඇඳුමින් සැරසී සිටිය දී ඔහු පමණක් ටී-ෂර්ටයකින් සැරසීගෙනය.

අඩුම කාලයක් බලයේ ඉන්න වෙන අගමැතිවරයා මම වෙන්න ඉඩ තිබෙනවා, රාජපක්ෂ පසුව තම ආධාරකරුවන් හමුවේ පැවසුවේය.

ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර වූ මෙම රහසිගත එකඟතාවය, එහි ප්‍රතිඵලය සහ විපාකයන් හමුවේ ප්‍රබලම පණිවුඩය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය. කුමකින් කුමක් සිදුවන්නේදැයි ඔවුන් අවසාන මොහොත දක්වාම දැන සිටියේ නැත. සන්ඬේ ටයිම්ස් පුවත්පතේ තිබී තමා මෙවැනි දෙයක් කියැවූ බවට කොළඹ රාජ්‍යතාන්ත්‍රිකයකු වික්‍රමසිංහව දැනුම්වත් කළ ද, ඔහු තීරණය කළේ එම අවස්ථාවේ ඔහු නියැළී සිටි ලන්ඩන් සංචාරය නිම කිරීමෙන් පසුව දිවයිනට පැමිණීමටය. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොහැකියාව මිස අන් කිසිවක් නොවේ. කලින් දැනගෙන සිටියේ නම් උද්ගතවන්නට තිබූ තත්ත්වය වළක්වා ගැනීමටත්, එක්සත් ජාතික පක්ෂ නායකයන් ඉතාම නිර්දය ලෙස ලැජ්ජාවට ලක්වීමෙන් ආරක්ෂා කරගැනීමටත්, හැකිවන්නට ඉඩ තිබිණ. තමන්ට තර්ජනයක් වන යථාර්ථයන් වටහා ගැනීමෙහිලා එක්සත් ජාතික පක්ෂය අසමත් බව නැවත වරක් පෙනී ගියේ මෙලෙසය. 2004 වසරේදී ද සිදුවූයේ මේ හා සමාන දෙයකි. පාර්ලිමේන්තුව විසිරුවා නොහරින බවට ලිඛිත පොරොන්දුවක් දී තිබුණ ද, එවක ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තුව විසිරුවා හැරියාය. එම පණිවුඩය ලැබෙන විට වික්‍රමසිංහ සිටියේ බෙන්තොටය. මෙවර ඔහු සිටියේ ගාල්ලේය.

ජනපති සිරිසේන දැන් පෙර පැවැති තත්ත්වය හා සමාන තත්ත්වයක් ඇති කර තිබෙන බැවින් නව එක්සත් ජාතික පෙරමුණු රජයක් බලයට පත්ව සිටී. රටට සහ ආර්ථිකයට සිදුව තිබෙන හානිය කිසිසේත්ම සුළුපටු නොවේ. ජනපති සිරිසේනට සහාය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් ඔවුන්ට වරක් හිමිව තිබූ අමාත්‍ය ධුර අහිමිය. එනිසාවෙන් ඔවුන් ජනපතිවරයාට එරෙහිව කැරලි ගැසීමට තර්ජනය කරමින් සිටී. මේ හමුවේ ඔහුට සිදුව තිබෙන්නේ අන් කවරදාවකවත් නොවූ අයුරින් මහින්ද රාජපක්ෂ මත යැපීමටය. රාජපක්ෂගේ පාලන සමයේ වූ වංචා හා දූෂණ යටගැසීමට කටයුතු කළ අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ ඔහුගේ හිතවත්ම අමාත්‍යවරුන් ඒ නිසාම ඔවුන්ගේ ප්‍රතිරූපය ඉතාම දරුණු ලෙසම විනාශයට පත් කරගත්තේ ය. අද ජනතාවට ඔවුන් ගැන විශ්වාසයක් නැත.
2019, මේ නව වසරේ දී සියලුම දේශපාලන පක්ෂවලට තම තමන්ගේ දේශපාලන ශක්තිය උරගා බැලීමට සිදුවන ප්‍රබල පරීක්ෂණයක් වනු ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. මේ අරබයා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිටින්නේ අර්බුදයකට මැදිවය. මැතිවරණය පැවැත්වීම සඳහා යොදා ගත යුත්තේ කවර ක්‍රමයදැයි ඔහු දන්නේ නැත. මේ පිළිබඳව නීතිමය මතය විමසීමට ඔහු යොමුව සිටින අතර, දේශපාලන පක්ෂවල එකඟතාවය යටතේ නව මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි වුවහොත් ඔහු ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගෙන යනු ඇත.

පසුගිය වසරේ දේශපාලන අර්බුදයේ ලොකුම පරාජිතයා වන්නේ ජනපති සිරිසේනය. අගමැති වික්‍රමසිංහ ඇත්ත වශයෙන්ම සටනින් ජයග්‍රහණය කළ අතර, එම ජයග්‍රහණය ජනපති සිරිසේනගේම ක්‍රියාකලාපය නිසාවෙන්මය. කෙසේවුවත් ඉදිරියේ එන දින, සති, මාස කිහිපය ඇතුළත තව තවත් ගැටුම් සහ සටන්වලට මුහුණදීමට ඔහුට නියත වශයෙන්ම සිදුවේ. ඒ නිසාවෙන්ම ඔහුගේ කටයුතුවල පැහැදිලි වෙනසක් දැකගත හැකිවනු ඇත. එක්සත් ජාතික පක්ෂය, තමන් වටා සිදුවෙමින් තිබෙන්නේ මොනවාදැයි නොදන්නා පක්ෂයක් බව මීට වඩා හොඳින් පැහැදිලි වූ අවස්ථාවක් නොමැත. පක්ෂයේ, පක්ෂයෙන් පිටත සහ විශේෂයෙන් ජනතාව අතර සිදුවෙමින් තිබෙන්නේ මොනවාදැයි ඔවුන් දැන සිටියේ නැත. නමුත් ගැටලුව වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුමන වෙනසක් සිදුවුවද, වෙනස්විය යුතුව තිබෙන බහුතර ගැටලු තවමත් එලෙසම පැවතීමය.

ජනපති සිරිසේන හමුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ දූත පිරිසේ මලික් සමරවික්‍රම සිටි බව පසුගිය සතියේ මෙම තීරුවේ සඳහන් විය. එය වැරදීමකි. පැමිණ සිටියේ ඔහු නොව නවීන් දිසානායක මහතාය. වරද සම්බන්ධයෙන් අප කනගාටුව පළකරමු.

ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන යෝජනාවකට සහාය දක්වන්නට මහින්ද රාජපක්ෂ සූදානම්
ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවකට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බව එහි නිල නොවන නායක මහින්ද රාජපක්ෂ පැවසුවේය.
අපි දැන් ගොඩක් කාලයක ඉඳලා මැතිවරණයක් ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් ඕනෑම පක්ෂයක් ගෙන එන ව්‍යවස්ථානුකූල යෝජනාවකට අපි සහාය දෙනවා, ඔහු සන්ඬේ ටයිම්ස් හා කීවේය.

පසුගියදා ප්‍රකාශයට පත් කැරුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නැවත වතාවක් අවධාරණය කැරුණු ආකාරයට නියමිත කාලයට මත්තෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නම් ඒ සඳහා තුනෙන් දෙකක බහුතර කැමැත්තක් අවශ්‍ය වේ.
ඇතැම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබෙන බව කියා සිටියත් මේ දක්වාම පක්ෂය නිල වශයෙන් එහි ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැත.

රාජපක්ෂ මෙම අදහස් පළකළේ මැතිවරණමය සන්ධානයක් තනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සාකච්ඡා කිරීමට ජනපති සිරිසේන සූදානම් වෙමින් සිටින වාතාවරණයකය. එවැන්නක් සිදුවීම යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඉක්මන් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම දක්වා තල්ලුවීමය. නමුත් ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සිටින්නේ එක්සත් ජාතික පෙරමුණු රජයට සහාය දැක්විය යුතුයැයි මතයේය.

 



අදහස් (0)

කාගෙ කාගේත් දේශපාලන ශක්තිය උරගා බැලෙන වසරක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 163 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 186 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 41 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 290 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 207 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 257 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site