(සිරංගිකා ලොකුකරවිට)

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ කරන ලද පර්යේෂණයකින් නව මිරිදිය සාලයන් විශේෂ හතරක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.

පර්යේෂණය සිදුකර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා, සුදේශ් බටුවිට හා සම්පත් උඩුගම්පොළ යන තිදෙනා විසිනි.

සුදේෂ් බටුවිට මහතා උරගයන්, උභයජීවීන් හා මත්ස්‍ය විශේෂ රැසක් ලෝකයට හඳුන්වාදීමේ පර්යේෂණ රැසක් සිදුකර ඇති අතර දැනට චීනයේ නැන්ජියැං විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරනු ලබයි. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන මධූර ද සිල්වා මහතා සත්ත්ව විද්‍යා පර්යේෂකයකු මෙන් ම ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් ග්‍රන්ථයේ සම කර්තෘවරයා ද වෙයි. එම සංගමයේ ම සාමාජිකයකු හා ආධුනික පර්යේෂකයකු ලෙස සම්පත් උඩුගම්පොළ මහතා කටයුතු කරයි.

ඔවුන් විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයට අනුව ''ෆිෂ්ටැක්සා" සඟරාවේ ප්‍රකාශයට පත්වීමත් සමග පර්යේෂණය සඳහා අදාල විද්‍යාත්මක පිළිගැනීම ලැබී ඇත.

මිරිදිය සාලයන් සත්ත්ව විද්‍යාත්මකව ''දේවාරියෝ" (Devario) නමැති ඝන නාමයෙන් හඳුන්වයි. නව පර්යේෂණ අනුව දේවාරියෝ ඝනයට අයත් මෙරට හමුවූ මිරිදිය සාලයන් සංඛ්‍යාව විශේෂ හය දක්වාත් ආවේණික මිරිදිය සාලයන් විශේෂ සංඛ්‍යාව හතර දක්වාත් ඉහළ ගොස් තිබේ.

ඔවුන් පර්යේෂණය සිදුකිරීමට පෙර මිරිදිය සාලයන් විශේෂ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබිණි. එම විශේෂ දේවාරියෝ මලබාරිකස් Devario malabaricus හෙවත් මහ සාලයා ශ්‍රී ලංකාව පුරා පැතිරීමක් දක්නට ලැබෙන සත්ත්ව විශේෂයකි. එම විශේෂය මෙරටට ආවේණික විශේෂයක් නොවේ.

නිල්වලා ගඟේ ඉහළ කොටසේ ඉතා සීමිත ප්‍රදේශයක ව්‍යාප්තව සිටින පතිරණ සාලයා හෙවත් දේවාරියෝ පතිරණ Devario pathirana රතු දත්ත පොතට අනුව දැඩි අන්තරායකට පත්ව සිටි සත්ත්ව විශේෂයකි. එමෙන් ම අනෙක් විශේෂය වූයේ දුම්බර සාලයා නැතිනම් රත්කයිලයා ලෙස හඳුන්වන දේවාරියෝ ඊක්‍යුපිනාටස් Devario aequipinnatus නමැති විශේෂයයි. මොවුන් ව්‍යාප්තව සිටියේ දුම්බර කඳුකරය ආශ්‍රිතව පමණි. එම විශේෂය ද රතු දත්ත පොතට අනුව දැඩි අන්තරායට ලක්වූ විශේෂයක් බවට පත්ව තිබිණි.

'' අපේ රටේ මිරිදිය සාලයන් විශේෂ තුනක් සත්ත්ව විද්‍යාත්මකව හඳුනාගෙන තිබුණා. නමුත් දුම්බර සාලයාගේ වර්ගීකරණය පිළිබඳ ගැටළු කිහිපයක් තිබුණා. අපේ නව සොයා ගැනීම අනුව එම විශේෂය අවලංගුවනවා. නව විශේෂ හතරක් එකතුවෙනවා. ඒ නිසා මින් ඉහත ශ්‍රී ලංකාවේ වාර්තා වූ මිරිදිය සාලයන් විශේෂ තුන දෙක දක්වා අඩුවී නව හතර එකතුවීමෙන් විශේෂ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ යනවා. නව පර්යේෂණයට අනුව ආවේණික විශේෂ සංඛ්‍යාව ද පහ දක්වා ඉහළ යනවා." යැයි බටුවිට මහතා පවසයි.

නව සොයාගැනීම අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ කිතුල්ගල ප්‍රදේශයේ සෙමෙන් ජලය ගලායන සෙවන සහිත දියපහරවල ඉතා සීමිතව ජීවත්වන නව සාලයන් විශේෂයක් හමුවී තිබේ. එම විශේෂය දේවාරියෝ මයික්‍රොනෙමා Devario micronema ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කර තිබේ. මහවැලි ගංඟා ද්‍රෝණියේ ඉහළ කොටසේ අග්‍රා ඔය ආශ්‍රිතව හමුවූ දේවාරියෝ මොන්ටිකෝලාDevario monticola හෙවත් කඳුකර සාලයා තවත් නව විශේෂයකි. ගිං ගඟ ද්‍රෝණියේ ඉහළ කොටසේ හෝමදොළින් හමුවන තවත් මිරිදිය සාලයන් විශේෂයක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් විද්‍යා ලොවට හඳුන්වා දී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාහාචර්ය උදේනි එදිරිසිංහ මහතා නමිනි. ඔහු ශ්‍රී ලංකාවේ මත්ස්‍ය විද්‍යා හා සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ සිදුකළ මෙහෙය සැලකිල්ලට ගෙන එම මත්ස්‍ය විශේෂය දේවාරියෝ උදේනි Devario udenni හෙවත් උදේනිගේ සාලයා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වා දී ඇත.

තරුණ වනජීවී ක්‍රියාකාරිකයකු ද වනසත්ත්ව සංරක්ෂකයකු ද වූ නැසීගිය නැටලි ඈන් රත්නවීර නමින් සිංහරාජයේ බ්‍රාහ්මණ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව හමුවූ සාලයන් විශේෂයක් අලුතෙන් නම් කර තිබේ. එම විශේෂය දේවාරියෝ ඈන්නැටලියා Devario annnataliae හෙවත් නැටලිගේ සාලයා ලෙස නම්කර ඇත.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ සහයෝගය හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මූල්‍යමය අනුග්‍රහය මත මෙම පර්යේෂණ සිදු කළ බව පර්යේෂකයෝ පවසති.

මෙම නව සාලයන් විශේෂ හතරම ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන බැවින් ඔවුන් වඳවී යාමට නොදී රැකගැනීමේ වගකීම සමස්ථ ශ්‍රී ලංකාවාසීන් සතුවන බව පර්යේෂකයෝ තවදුරටත් සඳහන් කරති.