(ගයාන් සූරියආරච්චි)

 
විවෘත කසළ බිම්වල කාබනික කොටස් අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ දහනය කර ජෛව අඟුරු නිපදවීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වී සිටියි. 

මෙම ජෛව අඟුරු කසළ බිම් මතුපිට ඇතිරීමෙන්  කසළවලින් නිකුත් වන කාබන්ඩයොක් සයිඞ්, මීතේන්, වැනි හරිතාගාර වායු ද බෙන්සීන්, ටොලූවීන්, එතිල් බෙන්සීන්, ෙසෙලින් වැනි පිළිකාකාරක වාෂ්පශීලී කාබනික සංයෝග ද උරාගැනීම සිදුවේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අග්නි දිග විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බී.ජී.එන්. සෙව්වන්දි මහත්මියගේ සහයෝගිතාවය ඇතිව මෙම පර්යේෂණය සිදුකෙරුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ දීය. මේ සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සැපැයීය.

පර්යේෂණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්විමින් ආචාර්ය විතානගේ මහත්මිය ‘විදුසෙවණ’ මෙසේ අදහස් දැක්වූවාය.
‘‘කසළ බිම්වල කාබනික කොටස් වෙන්කර අවම ඔක්සිජන් තත්ත්ව යටතේ දහනය කර විදුලිය උත්පාදනය කිරීම මේවන විට නැඟී එන ව්‍යාපෘති ලෙස හඳුන්වන්න පුළුවන්. එමගින් ජනනය වන කසළ ඉතා ඉක්මණින් ප‍්‍රමාණාත්මකව අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.

එහි අතුරු නිෂ්පාදනයක් විඳිහට ජෛව අඟුරු නිපදවෙනවා. මෙම ජෛව අඟුරුවල කාබන් ප‍්‍රතිශතය සියයට 50 ක් පමණ වෙනවා. ජෛව අඟුරු බොහෝ කටයුතු සඳහා යොදාගන්න හැකියාව තිබෙනවා. තේ වගාවේදී  පසෙහි ආම්ලික ගතිය වැඩි බැවින් එහි ආම්ලික බව වගාවේ අසාර්ථකවත්වයට බලපානවා. ඊට විසඳුමක් ලෙස ආම්ලික ගතිය අඩු කරගැනීමට ජෛව අඟුරු උපයෝගී කරගත හැකි වෙනවා. ජෛව අඟුරුවල හිස් අවකාශ ප‍්‍රමාණය ඉතා වැඩි බැවින් අධිශෝෂණය සහ අවශෝෂණය යන දෙකම සිදුකළ හැකියි. එමගින් පසේ හෝ ජලයේ ඇති බැර ලෝහ  නොයෙකුත් පිළිකාකාරක කාබනික සංයෝග ද උරාගැනීම සිදුවෙනවා. දුෂණයට ලක්ව ඇති පස හා ජලය පිරිපහදු කිරීමට ජෛව අඟුරු කදිම පිළියමක්.

නිවසේ වුවද ජලය පිරිපහදු ක‍්‍රියාවලියටද යොදාගැනීමට හැකිවන අතර කෘෂිකර්මාන්තයේදී වගාව සරු කරගැනීමට කාබනික පොහොර ලෙස භාවිත කරනවා. කසළ බිම්වලින් විද්‍යුතය උත්පාදනය කිරීමේදී කසළ බිමේ පරිමාව අඩුවන අතර ජෛව අඟුරු කසළ බිම මතුපිට අතුරා කසළ තුළින් ශරීරයට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කරන්නේ කෙසේදැයි අප පරේයේෂණය කළා. කසළවලින් දුඟද සහිතව පරිසරයට නිදහස් වන ටොලූවීන්, බෙන්සීන්, ෙසෙලින් වැනි පිළිකාරක සංයෝග ජෛව අඟුරු අධි ක‍්‍රියාකාරීව උරා ගැනීම සිදුකරනවා. මෙම පර්යේෂණය අප වසර 2 ක් පමණ කාලයක සිට සිදුකරනවා.

මේවන විට ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලැබී තිබෙනවා. ජෛව අඟුරු කසළ මතුපිට පස් සමඟ අතුරනයක් ලෙස යෙදවිය හැකි වෙන්නාසේම කසළවලින් ගලායන අප ජලය එකතු කර ජෛව අඟුරු මගින් පිරිසුදු කර පරිසරයට මුදාහැරිය හැකිවෙනවා. ඒ වගේම කසළ බිමට යටින් භූගත ජලයට එකතුවන අපද්‍රව්‍ය වළක්වා ගැනීමට ජෛව අඟුරුවලින් බාධක ආවරණ යෙදිය හැකිවෙනවා. කාබනික කසළවලින් නිපදවන ජෛව අඟුරු සෞඛ්‍යාරක්‍ෂිත කසළ බිමක් බවට පත්කර ගැනීමටත් ඉවහල්වෙනවා.’’