අවුරුදු කාලෙට කොහා හඬලන්නා සේ හැම වසරකම මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව ගැන හඬ නැඟෙයි. සැප්තැම්බරයේදී යළිත් එම හඬ ප්‍රතිරාව දෙයි. යුද්ධය අවසන් වී වසර 10ක් ගෙවෙද්දීත් ලංකාවට තවමත් ජිනීවා කන්කරච්චලයෙන් ගැලවීමට අවස්ථාවක් ලැබී නැත. ජිනීවාහි මෙවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවෙන් ප්‍රකාශිත කරුණු පිළිබඳව සලකා බැලිය යුත්තේ එම පසුබිමේ සිටිමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මෙවර වාර්තාවෙන් ද සුපුරුදු අඳෝනාවම නඟා තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ලක්ව සිටින ශ්‍රී ලාංකික සැකකරුවන්ට එරෙහිව “හයිබ්‍රිඩ්” උසාවියක නඩු පැවැරිය යුතු යැයි මහ කොමසාරිස්වරිය සිය වාර්තාවෙන් යෝජනා කරයි. “හයිබ්‍රිඩ්” උසාවිය නැතහොත් ජාත්‍යන්තර අධිකරණය යන වචනය දකුණේ දේශපාලනයට සහ ජනතාවට වහකදුරුය. එහෙත් වහකදුරු වීම පමණක් ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. ජාත්‍යන්තරයෙන් එවැනි බලපෑම් දිගින් දිගටම එල්ල වනවිට එම බලපෑම්වලින් මිදීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එක මතයක පිහිටා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩුව මෙවර මත දෙකක පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබිණ. දැන් එය වෙනස් දැයි නොදනිමු. එහි ප්‍රතිඵල අදාළ වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙන ඉදිරි දිනවලදී බලාගත හැකි වනු ඇත.

මේ ගැටලුව පැටලී තිබෙන්නේ 2015 වසරේ සැප්තැම්බර් - ඔක්තෝබර් කාලසීමාවේදී ජිනීවාහි පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයේදී අැමෙරිකාව ප්‍රමුඛ ප්‍රබල රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරනු ලැබූ 30/1 යෝජනාව සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව ද එකී යෝජනාවට සම අනුග්‍රාහකත්වයක් දැරීමට එකඟත්වයක් පළකිරීම ඊට හේතුව විය. එකී යෝජනාව මගින් එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධයේ අවසන් අදියරේ 2009 වසරේදී සිදුවූ බව කියැවෙන සිද්ධීන් විමර්ශනය කිරීමටත් ඉන්පසුව සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීමට ගන්නා උත්සාහයත් සම්බන්ධව සොයාබැලීමටත් එකඟ වී තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන් අවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාව එම යෝජනාවට දක්වන අනුග්‍රාහකත්වය ඉවත්කර ගැනීමය. පසුගියදා මෙරට කතුවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 2015 වසරේදී ගනු ලැබූ සම අනුග්‍රාහකත්වය දැක්වීමේ තීරණය රාජ්‍ය නායකයා වශයෙන් තමන් නොදැන සිටි බවය. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න අපට විසඳා ගැනීමට ඉඩ හරින්නැයි යන පණිවුඩය ජාත්‍යන්තරයට ලබාදීමට තමන්ගේ නියෝජිතයන් තිදෙනකු මෙවර ජිනීවා යවන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වීම හේතුවෙන් මෙවර ජිනීවා සැසිවාරයේදී එකී යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ මහා බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙනි. කැනඩාව, ජර්මනිය සහ බටහිරට ගැති රාජ්‍ය දෙකක් සේ සැලකෙන මොන්ට්‍රිනිග්‍රෝ සහ මැසිඩෝනියාව එම යෝජනාවට සහාය දක්වයි. යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්විය යුතු බවට ජනාධිපතිවරයා අදහස් කරන්නේ ගැටලුව එතැනින් අවසන් වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් විය නොහැක. එවැනි යෝජනාවක් ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය වූ එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේ මහා යුද්ධයේදී රට වෙනුවෙන් දිවි කැපකළ සහ අත පය අහිමි කරගත් වීරෝදාර රණවිරුවන්ට සහ ඔවුන් මෙහෙය වූ හමුදා ප්‍රධානීන්ට ද්‍රෝහීවීමක් විය හැකි බවට පවතින මතය ඊට හේතුව විය හැක. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 වසර වනවිට ලොවේ බලවත් රටවල් මගින් ජිනීවා හරහා එල්ල කර තිබූ යුද අපරාධ විමර්ශනය කළයුතු බවට වූ දැඩි බලපෑම් ඒ ආකාරයට ඉදිරියට නොගියේ එකී යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම නිසා බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. යුද සමයේ බටහිර සහ යුරෝපයට පැනගොස් එකී රටවල “ඡන්ද ද‌ායකයන්” බවට පත්ව සිටින දමිළ ඩයස්පෝරාව මගින් ඒ රටවල ආණ්ඩුවලට බලවත් පීඩනයක් එල්ල කිරීමේ එක් ප්‍රතිඵලයක් වූයේ යුද අපරාධ චෝදනා විමර්ශනයකට ජාත්‍යන්තර බලපෑම් මතුවීමය. එවැනි ක්‍රියාවලියක් ආපසු හැරවීමේදී ක්‍රියා කළ යුත්තේ ආවේගශීලී ලෙස නොව උපක්‍රමශීලීව බව පෙන්වා දිය යුතුය. මෙය රැවුලයි කැඳයි දෙකම බේරාගත යුතු අවස්ථාවක් බව සිහියේ තබාගෙන කටයුතු කිරීම අවශ්‍යය. රට තුළ දේශපාලනය ජාත්‍යන්තර දේශපාලනය සමඟ පටලවාගෙන තීන්දු ගැනීම රටට නැති ප්‍රශ්න ඇතිකර ගැනීමක් වීමට ද ඉඩ තිබේ. 

2015 දී සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවේ අඩංගු වූ සෑම කරුණක් සමඟම මේ රටේ කාටවත් එකඟ විය නොහැකි බව සත්‍යයකි. එහෙත් බටහිරට සහ යුරෝපීයන්ට වඩාත් මිත්‍රශීලීව කටයුතු කරන ආණ්ඩුවක් වශයෙන් මේ රටේ විපක්ෂය මගින් චෝදනා කෙරෙන වත්මන් ආණ්ඩුව 2015 දී ගනු ලැබූ ඒ ඒ පියවර හේතුවෙන් අපේ රට කෙරෙහි බටහිර සහ යුරෝපීය බලවත් රටවලින් එල්ල වූ ආක්‍රමණශීලී බලපෑම්වල උණුසුම බොහෝදුරට සිසිල් විය. පසුගිය වසර කිහිපයේම ඒ බව පෙනෙන්නට තිබිණි. ලංකාව ජිනීවා දංගෙඩියට ගෙනයන තුරු නින්ද නොයන තත්ත්වයක සිටි දමිළ ඩයස්පෝරාව ද කරකියා ගත නොහැකි තත්ත්වයට පත්වුණේ එබැවිනි. මෙවර ජිනීවා සැසියේදී රජය කටයුතු කළ යුතු වන්නේ මේ සියලු කරුණු පිළිබඳ නිසි ලෙස කරන අධ්‍යයනයකින් පසුව පමණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ කියා තිබුණේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ. ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන බවය. ස්ථීර සහ කල් පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට තමන් තුළ ඇති කැපවීම සහ අධිෂ්ඨානය ශ්‍රී ලංකාව අඛණ්ඩවම ප්‍රදර්ශනය කර ඇති බව ද එම දීර්ඝ නිවේදනයේ සඳහන් වී තිබිණි. ඒ කෙසේ වුවද මානව හිමිකම් කොමසාරිස්වරිය හයිබ්‍රිඩ් උසාවියකට මෙවර ද සිය වාර්තාවෙන් යෝජනා කර තිබෙන බව අමතක කළ නොහැක. එසේම දෙමළ ජාතික සන්ධානය ද සිය මතය ප්‍රකාශ කරමින් දක්වා ඇත්තේ ජිනීවාහිදී සම්මත වූ යෝජනාව පරිදි ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට මේ ලැබී ඇත්තේ අවසන් අවස්ථාව බවයි. එය රජයට අවවාදයක් ද අනතුරු හැඟවීමක්දැයි පැහැදිලි නැත.

මේ රටේ උතුරේත් දකුණේත් සියලු වැසියන් ජිනීවා උණුසුමෙන් හෙම්බත්ව සිටින බව යථාර්ථයයි. අඳුරු අතීතය තුළ සැමදා රැඳී සිටිනවා ද නැතහොත් ඉදිරි අනාගතය යහපත් කරගැනීමේ අරමුණින් අලුත් ප්‍රවේශයකින් කටයුතු කරනවා ද යන්න රටේ සියලු දෙනා එක්වී තීරණය කළයුතු සන්ධිස්ථානයකට දැන් රට තල්ලුවෙමින් සිටී. මෙහිදී ජාත්‍යන්තරයට මත දෙකක් රැගෙන යාම රටේ ස්ථාවරය දුර්වල කිරීමක් විය හැකිය.