මැති ඇමැතිවරුන්ට ලබා දී තිබෙන එස්.ටී.එෆ්. (විශේෂ පොලිස් කාර්ය බළකායේ) ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි අපගේ සහෝදර ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබුණි. කල් පසුවී හෝ රජය ගත් කාලෝචිත තීරණයක් ලෙස මෙය හැඳින්විය හැක. පසුගිය කාලයේ මෙබඳු ආරක්ෂකයන් පිරිවරාගත් මැති ඇමැතින් හැසිරුණේත් මහ මඟ ගමන් කළේත් ඉන් පොදු ජනතාවට සිදුවන හිරිහැරය ගැන වගේ වගක් නැතිවය. 2009 වසරේ යුද්ධය හමාරවීමෙන් පසුවත් ආරක්ෂක රැකවරණය අවශ්‍ය අයත් අනවශ්‍ය අයත් තමන්ගේ දේශපාලන ආටෝපය රටට පෙන්වන්නට මෙබඳු ආරක්ෂක රැකවලුන් පිරිවරාගෙන හැසිරෙන ආකාරය බහුතර ජනතාව පිළිකුලෙන් බලා සිටියහ.
උතුරේ කුරිරු යුද්ධය දරුණුව පැවැති සමයේ දිවංගත රවි ජයවර්ධන මහතා විසින් 1984දී අතිශූර ආරක්ෂක සෙබළුන් 50 දෙනකුගේ දායකත්වයෙන් විශේෂ කාර්ය බළකාය ආරම්භ කළේ දේශපාලනඥයන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීමට නොවේ. කුඩා කණ්ඩායම් වශයෙන් ත්‍රස්තවාදීන්ගේ අඩවියට කඩා වැදී ප්‍රබල හානියක් කිරීමට හැකි සෙබළ මුළුවක් වශයෙනි. පසුකාලයේ එය දියුණු තියුණු වී විශේෂ පොලිස් සේනාංකයක් බවට පත්වූයේය. ඉන්පසු රාජ්‍ය නායකයන් වැනි ඉහළම ගණයේ ප්‍රභූන්ගේත් විදේශීය රාජ්‍ය අමුත්තන්ගේත් රැකවරණය සඳහා ද ඔවුහු උපයෝගී කර ගනු ලැබූහ. පසුකාලයේ කොටි ඝාතන ඉහළ යද්දී විශේෂ කාර්ය බළකායේ සෙබළු මැති ඇමැති රැකවරණයට ද යෙදවූහ.
යහපත් දේශපාලනඥයෝ නිවී සැනසිල්ලේ මෙම රැකවලුන්ගෙන් සිය රැකවරණය සලසා ගත්හ. එහෙත් ඇතැම් අවර ගණයේ දේශපාලන කටයුතුවලට නම් දැරූ ජනපීඩක දේශපාලනයක නියැළුණු ඇතැම්හු සිය රැකවලුන් තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් පිරිමසා ගන්නට යොදා ගත්හ. මෙවැනි ඇතැම් සිදුවීම් පොලිසි, උසාවි ගිය අවස්ථා ද අපට මතකය.

දැන් රටේ යුද්ධයක් නැත. ඒ නිසා යුද සමයේ මෙන් දේශපාලනඥයන්ට විශේෂ රැකවරණයක් අවශ්‍ය නොවේ. එහෙත් ඔවුන් තමන්ගේ මහන්තත්ත්වය පෙන්වීමට සිය වාහනයට ඉදිරියෙන් හා පසුපසින් රැකවලුන් සහිත වාහන ඇතිව මහ මඟ ඉගිලී යන්නේ තමන් බලයට පත්කළ ජනතාවට සිදුවන හානිය පයිසෙකට මායිම් නොකරය. ජනාධිපතිවරයාට අගමැතිවරයාට විපක්ෂනායකවරයාට ඉහළ අධිකරණ විනිසුරන්ට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් වැනි අයට සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුය. එහෙත් කිසිදු ආරක්ෂක තර්ජනයක් නැති මැති ඇමැතින්ට කෝටි ගණන් ජනතා මුදල් වැයකොට එස්.ටී.එෆ්. ආරක්ෂාව ලබාදෙන්නේ ඇයි? රජයේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා ගත් තීන්දුවකට අනුව මින් ඉදිරියට එස්.ටී.එෆ්. රැකවරණය ලබන්නේ දේශපාලනඥයන්ට ඇති තර්ජන විමර්ශනය සඳහා පත්කෙරෙන කමිටුවක නිර්දේශ සලකා බැලීමෙනි. කමිටුවෙන් නිර්දේශ නොවනා සෑම මහජන මන්ත්‍රීවරයකුටම දැනට ලබාදී තිබෙන සාමාන්‍ය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රැකවරණය වෙනුවට පොලිස් නිලධාරීන් හතර දෙනකුගේ රැකවරණය ලබාදීමට ද රජය තීන්දු කළේය. එතරම් ආරක්ෂාවක් මන්ත්‍රීන්ට අවශ්‍යද යන්නද ප්‍රශ්නයකි. තමන් ජනතා නියෝජිතයන් ලෙස සැබැවින්ම ජනතාවට මානව හිතවාදීව සේවය කරන්නේ නම් ඒ අය රකින්නට නිරන්තරයෙන්ම ජනතාව සූදානමින් සිටිති. එවන් කෘතගුණ දත් ජනතාවක් සිටින රටක දේශපාලනඥයන් ආරක්ෂක රැකවලුන්ට මුවාවී දේශපාලනය කරන්නේ ජනතාවට බියෙන්ද යන්න ප්‍රශ්න කළ යුතුය.

මෙරට යුද්ධය ආරම්භ වන්නට පෙර කාලයේ සිටි ප්‍රභූ දේශපාලනඥයන්වත් අනවශ්‍ය ලෙස ආරක්ෂක රැකවලුන් පාවිච්චි කළේ නැත. රැකවලුන්ගේ රැස්වළල්ලට මුවාවන දේශපාලනඥයන්ට තමන්ගේ ගෞරවය හිමිනොවන බව පැරැණි ඉස්කෝලේ දේශපාලනඥයෝ දැන සිටියහ. හිටපු ඇමැති ආචාර්ය විජයානන්ද දහනායක, හිටපු ඇමැති ඩඩ්ලි සේනානායක වැනි මහත්වරුන්ට පෞද්ගලික ආරක්ෂකයන් සිටියේ දෙතුන් දෙනෙකි. ඔවුහු ජනතාව අතරට යනවිට කිසිදු ආරක්ෂක භටයකු රැගෙන ගියේ නැත. ඩඩ්ලි වගා සටන කරන්නට පොළොන්නරු ගියේද, දහනායක, එම්.ඩී. බණ්ඩා, යූ.බී. වන්නිනායක වැනි ප්‍රබල ඇමැතිවරුන් ගමන් බිමන් ගියේද තනිවමය. හේතුව ඔවුනට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොවීමය. ජනතාව ඒ අයගේ හොඳම ආරක්ෂකයෝ වූහ.

එහෙත් අද වනවිට දේශපාලනයේ හර පද්ධතිය මෙන්ම වටිනාකම්ද හෑල්ලු වී ගර්හිත තත්ත්වයට පත්ව තිබේ. මහජනයා තුළ දේශපාලනඥයා ගැන තිබෙන ප්‍රතිරූපය බෙහෙවින් දුර්වර්ණ වී ඇත. ජරමරවලට බර බාල දේශපාලකයන්ට නම් ප්‍රබල ආරක්ෂක රැකවරණයක් අවශ්‍ය වෙන්නට පිළිවන. රාජ්‍ය නිලධාරීන් ගස් බඳින්නට, රාජ්‍ය ආයතනවලට කඩා වැදී යකා නටන්නට තැත් කරන දේශපාලන බම්මන්නන්ට විශේෂ රැකවරණයකින් තොරව මහ පාරට බහින්නට බැරි බව ඇත්තය. එස්.ටී.එෆ්. රැස්වළල්ලට මුවාවී වැජඹෙන්නට යන්නෝ එවන් පුද්ගලයෝය. එහෙත් යහපත් දේශපාලනයක යෙදෙන්නන්ට නම් වැඩි ආරක්ෂාව වදයකි. ජේ.ආර්. ජයවර්ධන මහතා කී ලෙස තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම එස්.ටී.එෆ්. වැනි ආරක්ෂක සංවිධානයක ආරක්ෂාව ලැබීමට වඩා ප්‍රශස්තය. ඒ නිසා රජයේ ආරක්ෂක මණ්ඩලය ගත් මෙම තීරණය බහුතර ජනතා ප්‍රසාදය පිණිස හේතුවන්නක් බව නොකියා සිටිය නොහැක.