දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳව මේ සතියේ ද සාකච්ඡාවට ගනු ලැබේ. දිගින් දිගටම පළාත් සභා ඡන්ද කල් දැමීම ගැන ප්‍රබල විවාදයක් මේ වනවිට රට තුළ මතුව තිබේ. විපක්ෂය ඡන්දය ඉල්ලා කෑගසන විට ආණ්ඩුවේ සමහර මැති ඇමැතින් කියන්නේ ආණ්ඩුව කරන්නේ අපයි අප ඡන්දය තබන්නේ රජයට ඕනෑ දවසටයි කියායි. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මෙම ප්‍රකාශය මාධ්‍ය හමුවේ ද ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. මේ නිසා පවත්වන්නට නියමිත පළාත් ඡන්දය තැබීම අඩමාන තත්ත්වයකට පත්ව ඇත.

ප්‍රජාව විසින් ප්‍රජාව උදෙසා පවත්වාගෙන යනවා යැයි කියන ප්‍රජාතාන්ත්‍රික සමාජයක මැතිවරණ නිසි කලට නොපැවැත්වීම යහපත් දෙයක් නොවේ. ඡන්ද කල් දැමීම රටේ පරමාධිපත්‍යයේ උරුමකරුවන් වන ජනතාවගේ පරම අයිතිය යටපත් කිරීමකි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතාව සතු උත්තරීතර පරමාධිපත්‍ය අයිතිය අත්හළ නොහැකි බව සහ අන්සතු කළ නොහැකි බවයි. එසේනම් ආණ්ඩුව නිසි කලට ඡන්ද නොපැවැත්වීම ව්‍යවස්ථාවේ සඳහන් එම අයිතිය උල්ලංඝනයකි. අපේ ව්‍යවස්ථාව නෛතික වශයෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසයි. ව්‍යවස්ථාවේ එසේ සඳහන් වුවද තැබිය යුතු ඡන්ද කල් දමා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන මහ හඬින් දේශන පැවැත්වීම පමණක් අපට හතර අතින් අසන්නට ලැබේ.

මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ඡන්දය කල් දැමීම මැතිවරණ දූෂණයක් හා සමාන ප්‍රබල වරදක් බවයි. ඒ නිසා තමන්ගේ හදවත රිදුම් දෙන බව කී හෙතෙම ලබන නොවැම්බර් 10දාට පෙර පළාත් සභා ඡන්ද නොපැවැත්වුවහොත් තමන් ඡන්ද කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි 31ට පෙර පළාත් සභා ඡන්ද පවත්වන්නට විධිවිධාන සලසන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය නිකුත් වූ දාට පසුදාය. එලෙස ජනාධිපතිවරයාට හා මැතිවරණ කොමිසමේ සභාපතිට පළාත් සභා ඡන්දය පැවැත්වීමට තිබෙන උනන්දුව ආණ්ඩුවට නොමැති වීම කනගාටුවට කරුණකි. 2015දී යහපාලන ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම ගැන කියමින් ජනතාවගෙන් බලය ලබාගත් රජය තවදුරටත් මෙලෙස ඡන්ද කල් දමන්නට ගියහොත් යහපාලන දේශපාලන දර්ශනය ඉබේම නටබුන් වීමට ඉඩ තිබෙන බව සඳහන් කරනු වටී.

රටේ පළාත් සභා 9ක් ක්‍රියාත්මකය. ඉන් හයක නිල කාලය දැනටමත් හමාරය. ඉන් පළාත් සභා තුනක නිල කාලය අවසන් වී මාස 14ක් ගත වී තිබේ. ඉතිරි පළාත් සභාවල නිල කාලය නිම වී මාස 4ක් ගතව ඇත. ලබන මාර්තුවේ බස්නාහිර හා දකුණු පළාත් සභාවල ද ඔක්තෝබරයේ ඌව පළාත් සභාවේ ද නිල කාලය හමාර වෙයි. එවිට පළාත් සභා නවයේම ආයුෂ අවසන්ය. මෙහිදී විපක්ෂය චෝදනා කරන්නේ මේ ආකාරයට පළාත් සභා ඡන්ද කල් දමමින් ආණ්ඩුව කල් මරන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාධනය වන ඡන්දයක් පැමිණෙන තෙක් බවය. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව මැතිවරණ කොමිසමේ ප්‍රධානියාගෙන් රටේ ජනාධිපතිවරයා මැතිවරණ තබන්නට අමුතුවෙන් ඔට්ටු විය යුතු නොවේ. ක්‍රමානුකූලව නීතියේ හැටියට ඡන්දය පවත්වන්නේ නම් පළාත් සභා විසිරුණු සැණින් ස්වයංක්‍රීයවම ඡන්දයට ඉඩ සැලසිය යුතුය. දැන් සිදුවන්නේ විසිරී ගිය පළාත් සභාවල පාලනය ආණ්ඩුකාරවරුන් පිරිසක් යටතට පත්කොට සභාව අකර්මණ්‍ය කර දැමීමකි.

එහෙත් මෙහි ඇති වඩාත් හාස්‍යය දනවන කරුණ වන්නේ වත්මන් ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට තව තවත් බලය බෙදාහරින්නටත් බෙදා දී ඇති බලතල ශක්තිමත් කරන්නටත් උත්සාහ දැරීමයි. තිබෙන හතර මායිම් රැකගන්නේ නැතිව අලුත් මායිම් සලකුණු කරන්නට කතා කිරීම ගමේ භාෂාවෙන් කිවහොත් හතර හිනාවට කරුණකි. විශේෂයෙන් උතුරු නැගෙනහිර බහුතර දෙමළ මුස්ලිම් ජනතාවට දකුණේ සිංහල ජනතාවට වඩා සංවර්ධන හා ආර්ථිකමය ප්‍රශ්න ඇතැයි ඒ ප්‍රදේශවල මහජන මන්ත්‍රීවරු පවසති. ඔවුන්ට තිබෙන ප්‍රශ්න සම්භාරයෙන් ප්‍රාදේශීය වශයෙන් විසඳාගත හැකි ප්‍රශ්න විසඳාගන්නට පළාත් සභාව කදිම පාලන ව්‍යුහයකි. එනිසා මහත් අපේක්ෂා ඇතිව ස්ථාපනය කළ පළාත් සභා අකර්මණ්‍ය කර දමමින් ඒවායේ ඡන්ද අත්හිටුවීම බරපතළ දේශපාලන විලෝපයකි.
අප රටේ ඡන්ද කල්දැමීම ගැන ඉතිහාසයක් ද ඇත. 1970-77 අතර කාලයේ ක්‍රියාත්මක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුව උතුරේ අතුරු මැතිවරණ කිහිපයක් වසර ගණනක් කල් දැමීය. එම ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ 1970 සිට 1975 දක්වා කාලයට පමණක් වුවද 1972 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් දින සිට තවත් වසර 5ක් ආණ්ඩුවට ආයුෂ ඇතැයි අමුතු නීති තර්කයක් ගොඩනඟා 1975 පවත්වන්නට තිබූ ඡන්දය 1977 දක්වා කල් තැබිණ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1977 වනවිට මැතිනියගේ ආණ්ඩුව ජනතාවට තිත්ත වී තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩු පක්ෂය මන්ත්‍රී ආසන 8ට බස්සන ලද ත්‍රීවීල් පක්ෂයක් බවට පත්වීමයි. අඩුම තරමින් හිටපු අගමැතිනියට ලැබිය යුතු වූ විපක්ෂනායක ධුරය ලබා ගන්නටවත් ප්‍රමාණවත් ආසන හිමිවූයේ නැත.

1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ද 1982 දී ජනමත විචාරණයක් තබා පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර 6ක්ම දික් කළේය. එයින් උතුරේ මෙන්ම දකුණේ ද තරුණ අසහනය උග්‍ර කෙරුණි. උතුරේ තරුණයෝ සක්‍රීයව අරගලය විමුක්ති මාර්ගයක් ලෙසට තෝරා ගත්හ. දකුණේ තරුණයෝ ද අරගලයෙන් විමුක්තිය ප්‍රාර්ථනා කළහ. මේ සටන්වල අවසාන ප්‍රතිඵලය වූයේ රටට අතිශය ප්‍රයෝජනවත් භෞතික හා මානව සම්පත් තොගයක්ම සමාජයට අහිමි වීමයි. ඒ ආකාරයේ අත්දැකීම් සහ අහිතකර ප්‍රතිඵල ගැන තතු දත් දේශපාලකයන් අද කරන්නේත් පෙර කළ වරදමය. ‘බලය ඇතිවිට මොළය නැත’ යන කියමන සනාථ කරමින් ඔවුන් මේ කරන්නේ නැවතත් සමාජයේ අසහනය මෝරා යන්නට පාර කැපීමයි. සමාජ අසහනය මෝරා ගිය විට සමාජය ඊට පිළිතුරු දෙන්නේ ප්‍රචණ්ඩත්වයෙනි. අවනීතියෙනි. ඒ නිසා දැන්වත් අතීතයේ උගත් පාඩම් මෙනෙහිකොට පැවැත්විය යුතු ඡන්ද නිසි කලට පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සුරක්ෂිත කිරීම ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද හා වැටුප් ලබන දේශපාලන භවතුන්ගේ වගකීමය. යුතුකමය.