IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලණු ගිල කඹ ඇදපු ආණ්ඩුවක අවසන් ඉරණම

 

අපේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ 1947 දීය. ඩී. ඇස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු වූ එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන ගණනක් දිනා ගෙන රජයක් පිහිටුවීමට සමත් විය. අගමැතිවරුන් වෙනස් වෙමින් වුවද දිගින් දිගටම රජය ගෙන යාමට එම පක්ෂය සමත් වූවේය. තුන්වැනි මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 1957 වසරේ වුවත් එවකට සිටි අගමැති සර් ජෝන් කොතලාවල මහතා 1956 මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට උපදෙස් දුන්නේය. ඒ අනුව ඡන්දය පැවැත්වුණේ 1956 අප්‍රේල් 5, 7 සහ 10 යන දිනවලය. එකල එක්සත් ජාතික පක්‍ෂයේ රජය හැඳින්වුණේ මහාමේරුව මෙන් සෙලවීමට නොහැකි පක්ෂයක් වශයෙනි. එම කියමනේ යම් සත්‍ය්‍යක්ද තිබුණි. විපක්ෂය අතිශයින්ම භෙද භින්නව තිබුණි. යම් තරමකට හෝ ශක්තිමත්ම සිටියේ මාක්ස්වාදීන්ය. ඔව්හු නොයෙකුත් මතවාද පෙරදැරි කරගෙන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින් එකි නෙකා සමග සටන් කළහ. 


ලංකා සම සමාජ පක්ෂය විප්ලවකාරී සම සමාජ පක්ෂය ලංකා කොමියුනිස්ට් පක්ෂය ආදී වශයෙන් විවිධ නම්වලින් ඒවා හැඳින්වුණි. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කර තිබුණු නමුදු එයට තිබුණේ සුළු බලයක් පමණි. මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් පවතිද්දී මෙම පක්ෂවල බිම් මට්ටමේ පිරිස්වල දැඩි ඉල්ලුමක් වූවේ යු.ඇන්.පී. විරෝධී සියලු බලවේග සමගියෙන් යුතුව එකම බලවේගයක් වශයෙන් සන්ධානගතව තරග කළහොත් ප්‍රබල සතුරා පරාජය කළ හැකි බවය. එහෙත් මෙම විපක්ෂ බලවේගවලට එකට සන්ධාන ගතවීමට නොහැකි ප්‍රතිපත්තිමය බාධාවන් රැසක් තිබුණි. එයින් ප්‍රබලම ගැටලුව වූවේ භාෂා ප්‍රශ්නයකි. එය එකල බරපතළ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබුණි.


ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී පක්ෂ වූ බැවින් සිංහල, දෙමළ භාෂා දෙකටම සමතැන දිය යුතුය යන ප්‍රතිපත්තියට ඔවුහු එකතු වූහ. එනිසා දෙමළ ප්‍රදේශවල ද ඔවුන්ට යම් ඡන්ද පදනමක් ද තිබුණි. එහෙත් විප්ලවකාරී සම සමාජ පක්ෂය පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතුව සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය යන මතයේ සිටියේය. මේ අතර තවත් කුඩා පක්ෂයක් භාෂා පෙරමුණ නමින් හැඳින්වුණි. එහි ප්‍රබලයන් වූවේ කලින් සම සමාජ පක්ෂයෙන් ගාල්ල ආසනය නියෝජනය කර පසුව එයින් නෙරපා දමා සිටි විජයානන්ද දහනායක මහතාත් ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් මාතර ආසනය දිනාගෙන සිට පසුව එයින් ඈත්ව සිටි මහනාම සමරවීර මහතාත්ය. එකල උග්‍රව පැවැති ජාතික ප්‍රශ්නය මෙම භාෂා ගැටලුව වූ නිසා එම පක්ෂයේ නමද භාෂා පෙරමුණ යනුවෙන් සඳහන් වූ අතර එහි ප්‍රතිපත්තිය වුවේ ද සිංහලය පමණක් රජ බස කළ යුතුය යන්නය. මේ වන විට සේනානායක පවුලේ අය එජාපයේ නොවූහ. ඩී. ඇස්. සේනානායක මහතාගෙන් පසු පක්ෂ නායකත්වයට  හා අගමැතිධූරයට පත් ඩඞ්ලි සේනානායක මහතා මේ අවධිය වන විට දේශපාලන කරළියෙන් ඉවත්ව සිටියේය. අගමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා කටයුතු කළේ ද සේනානායක විරෝධියකු පරිද්දෙනි. මේ දිනවල දේශපාලනයේ සිටි ආර්. ජී. සේනානායක මහතා යූ.ඇන්. පිය සමග මතභේද ඇති කරගෙන සිටියේය. ඒ දිනවල ප්‍රකට කියමනක් වූවේ සේනානායකලාටත් එපාවුණු යූ.ඇන්.පිය අපට කුමකට ද? යනුවෙනි. උග්‍ර භාෂා ප්‍රේමියෙකු ලෙස ප්‍රකටව සිටි ආර්. ජී. සේනානායක මහතා ද විපක්ෂයේ ප්‍රබලයෙක් විය.
පනස් තුනේ හර්තාලය සාර්ථක වී අගමැති ඩඞ්ලි සේනානායක මහතාට සහ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතාට ඉල්ලා අස්වීමට සිදුවීම තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස වාමාංශිකයෝ සැලකූහ. මෙසේ දිරිමත් වූ එම පාක්ෂිකයෝ සමගි වී එක් පෙරමුණක් ගොඩ නගාගෙන ළඟ එන මැතිවරණයට මුහුණ දී යූ.ඇන්.පීය පරාජය කරන ලෙස නායකයන්ට බලකිරීමට පටන් ගත්හ. එය බලවත්ව නැගී එද්දී විශාල මහජන මතයක් බවට පත්වුණි. එතෙක් කල් විවිධ තර්ක මත බෙදී සිටිය කට්ටිවාදී න්‍යායන් අමතක කිරීමට ඔවුන්ට සිදු විය. ඒ අනුව සමගි වී සන්ධානයක ගොනු විය යුතුය, යන පොදු මතයට එකඟවන්නට සැවොම තීරණය කළහ. භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව සමාන මත දැරූ පිලිප්ගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් භාෂා පෙරමුණත් එක්ව මහජන එක්සත් පෙරමුණ නමින් සන්ධානයක් පිහිටුවා ගන්නා ලදී. එය සමග සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂ දෙක නිතරඟ ගිවිසුමක් මගින් ආසන බෙදා ගෙන තරග කළ අතර ආර්. ජී. ද ම.එ.පෙ.ට එක් විය.


එතෙක් කල් කිසිවිටෙක ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ දක්නට නොලැබුණු මෙරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමක් ද බණ්ඩාරනායක කඳවුර දිනවීම සඳහා පෙරට පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණි. ඒ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. දේශීය සංස්කෘතියත් සිංහල භාෂාවත් බෞද්ධ උරුමයත් වෙනුවෙන් හඬ නැංවූ උන්වහන්සේලා මැතිවරණ වේදිකාවේ අදහස් දැක්වීමෙන් පමණක් නොනැවතී ගෙයක් ගෙයක් පාසා වඩිමින් තම දායක කාරකාදීන් දැනුවත් කිරීමට කටයුතු කළහ. මෙම තත්ත්වය තවත් තීව්‍ර කරමින් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ තමා බලයට පත්වුවහොත් පැය විසි හතරක් ඇතුළත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට මහත් ආකර්ෂණීය පොරොන්දුවක් දුන්නේය. එය කිසිසේත්ම කළ නොහැකි ප්‍රායෝගික නොවන ප්‍රකාශයක් බව කිසිවෙකු සිතුවේ නොමැති තරම් විය. බි්‍රතාන්‍යයන්ට යටත් වූ දින සිටම රට පාලනය කිරීමට උපයෝගී කර ගත්තේ ඉංග්‍රීසියයි. එසේ සිය වස් එකහමාරකට ආසන්න කලක් රාජ්‍ය භාෂාව වශයෙන් පැවැති ඉංග්‍රීසිය එම ස්ථානයෙන් ඉවත් කර පැය විසිහතරෙන් සිංහලය රාජ්‍ය භාෂාව පනවන්නේ කෙසේද? යන්න කුතුහලයක් වූ නමුදු එය මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය විය. 1956 සිංහල අවුරුද්ද එළඹෙද්දී නව රජයක් බලයට පැමිණ තිබුණි. පැවැති යූ.ඇන්.පී. රජයට ලැබුණේ ආසන අටක් පමණි. අති විශාල බලයක් ආසන මට්ටමින් ලබාගත් මඑපෙ සන්ධානය රජයක් පිහිටුවේය.


ආරම්භයේ සිටම එය “යාදෙක නොරත රත” ගණයේ ආණ්ඩුවක් විය. මෙරට මාක්ස්වාදයේ පියා යැයි විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධන මහතා කෘෂිකර්ම සහ ආහාර ඇමැතිවරයා වූ අතර ඔහුගේ කිට්ටුම සගයා වූ පී. එච්. විලියම් ද සිල්වා මහතා කර්මාන්ත ඇමැති විය. උග්‍ර දක්ෂිණාංශික මතධාරී ස්ටැන්ලි ද සොයිසා මහතා මුදල් ඇමැති විය. එම කඳවුරේ දහනායක පැරණි සිවිල් නිලධාරියෙකු වූ සී. පී. ද සිල්වා වැනි අය එකම කැබිනට් මණ්ඩලය තුළ නියෝජනය විය.


ආරම්භක ප්‍රශ්නය පැන නැගුණේ භාෂාව පිළිබඳ ගැටලුවෙනි. එයත් පැමිණීයේ මිතුරන් අතරිනි. “පැය විසිහතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කරන බව කීවා. මාස ගණනින් කාලය ගෙවී යනවා. වහාම මෙය ඉටු කරන්නැ”යි උද්ඝෝෂණ පැන නැගුණි. අගමැතිතුමා ඒ පිළිබඳව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහෙත් තමන් බලාපොරොත්තු වන ආකාරයේ විසඳුමක් එහි ගැබ්ව නැතැයි ද සිදුව ඇත්තේ දෙමළ ජනතාවට රට පාවා දීමක් පමණක් යැයි ද පවසමින් රජයේ උප ඇමැතිවරයෙකු ද වූ වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතා සහ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය මහතා ද උපවාසයක් ආරම්භ කළහ. මෙම පනත නිසා දෙමළ ජනතාව හා එම භාෂාව විනාශ කිරීමක් සිදුවුණේ යැයි කියමින් දෙමළ පාර්ශ්වයෙන් ද සත්‍යග්‍රහයක් ඒ ආසන්නයේම පැවැත්වීමට දෙමළ ජනතාව නියෝජනය කළ ෆෙඩරල් පක්ෂය කටයුතු කළේය. නායක ඇස්. ජේ. වී. චෙල්වනායගම්, ඊ. ඇම්. වී. නාගනාදන් ඒ. අමිර්තලිංගම් වී. ඇන්. නවරත්නම් ආදී මන්ත්‍රීවරු රැසක් එයට සහභාගි වූහ. මෙම සත්‍යග්‍රහයට පහර දෙන ලදුව නාගනාදන් මහතා තුවාල ලැබීය. ශ්‍රී අකුර සහිත නොම්මර තහඩුවල තාර ගෑමේ ව්‍යාපාරයක් උතුරේ දියත් වූ අතර දෙමළ නාම පුවරුවල තාර ගෑම දකුණේ ආරම්භ විය. දෙමළ පාර්ශ්වයේ ඉල්ලීමට කන්දීමක් වශයෙන් බණ්ඩාරනායක අගමැතිවරයා ද්‍රවිඩ නායක ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතා සමග ගිවිසුමක් අත්සන් කරන ලදහ. කොන්දේසි හතරකින් සමන්විත එම ප්‍රකාශනය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම නමින් ප්‍රසිද්ධියට පත් විය. දෙපාර්ශ්වයේම අන්තවාදී කොටස් මෙම ගිවිසුමට එරෙහිව සටන් වදින ආකාරයක් දක්නට ලැබුණි. මෙම අරගලය මහා ජාතිවාදී ගිනි ජාලාවක් බවට පත්වීමට ගතවුවේ ඉතා කෙටි කාලයකි. ඉතා දීර්ඝ කාලයක් දුක සැප බෙදා ගනිමින් සහෝදරත්වයෙන් ජීවත් වූ සිංහල, දෙමළ ජනතාවෝ එකිනෙකා මරා ගත්හ. දේපළ කොල්ල කෑහ. කඩ සාප්පු ගිනි තැබූහ.


රට අරාජික විය. එදා පැවැති ව්‍යවස්ථාව අනුව හදිසි නීතිය පැනවූ වහාම ක්‍රියාත්මක වෙන්නේ රැජිනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයාගේ බලයයි. එවකට ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක තමාගේ බලය නිසි පරිදි යොදවමින් හමුදාව සහ පොලිසිය මෙහෙයවා අර්බුදය කළමනාකරණය කර ගත්තේවී නමුදු දෙපාර්ශ්වයේම ජීවිත දහස් ගණනක් විනාශව ගියේය.


මේ අතරවාරයේ තවත් පසෙකින් දේශපාලන අර්බුදයක්ද මෝරා ආවේය. එයට මුල්වූවේ පිලිප් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කුඹුරු පනතයි. එම යුගයේ ගම්බද ජනතාව බහුතරයක් ජීවිකා වෘත්තීය ලෙස කරනු ලැබුවේ ගොවි තැනයි. වැඩි දෙනා දිළිඳු ජනයා වූ නිසා ඔවුහු ධනවත් අයගේ කුඹුරු අඳ ක්‍රමයට වගා කළහ. අස්වැන්නෙන් භාගයක් ගොවියාට හිමි විය. අඳ අයිතිය ද ස්ථීර නොවීය. කුඹුරුහිමියාට රිසි අවස්ථාවක ගොවියා නෙරපා හැරීමට ඔහුට හැකියාව තිබිණි. එනිසා ගොවියාගේ පවුලේ අයට පවා බලපෑම් එල්ල වූ බව එකල රහසක් නොවූවේය. ජීවත්වීම සඳහා කුඹුර වැඩ කර ගැනීමේ අවශ්‍යතාව මත මේ බලපෑම් දරා ගැනීමට අසරණ ගොවියාට සිදුවිය. සාධාරණ මිනිස්සු ද කලාතුරකින් සිටියහ. අද අයිතිය ස්ථාවර කිරීමටත් එම අයිතිය තහවුරු කිරීම සඳහා ගොවි කාරක සභා පිහිටුවීමටත් කුඹුරු අඳය වශයෙන් ගොවියාට අස්වැන්නෙන් හතරෙන් තුන් පංගුවක් ලැබීමටත් කුඹුරු හිමියාට අස්වැන්නෙන් හතරෙන් එකක් පමණක් ලැබීමටත් විධිවිධාන සැලසෙන පරිදි කෘෂිකර්ම ඇමැති පිලිප් ගුණවර්ධන මහතා කුඹූරු පනත සම්පාදනය කර තිබුණි. අක්කර දහස් ගණනක ඉඩම් හිමියෙකු වුවත් අගමැති බණ්ඩාරනායක මහතා තමාට වන පෞද්ගලික පාඩුව නොතකා මහජන සුබ සෙත පතා පිලිප්ට අනුග්‍රහය දැක්වූවේය. මෙම පනත ගැන බොහෝ සෙයින්ම කෝපයට පත්වූවේ එක්තරා භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකි. බොහෝ පැරණි පන්සල්වලට රජ සමයේ පූජා කළ විහාරගම් ද දේවාලවලට දේවාලගම්ද හිමිව තිබුණි. එම නිසා මෙම පිරිස සටනට වන්හ. රට කොමියුනිස්ට් රාජ්‍යයක් වන්නට යන්නේ යැයි ද බුද්ධාගම විනාශ වනු ඇතැයි ද ඔවුහු මැසිවිලි නැගුහ.


පිලිප් ගුණවර්ධන කෘෂිකර්ම ඇමැතිවරයා වූ කලි ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය විෂය පිළිබඳව උසස් ගෞරව උපාධි ලැබූවෙකු විය. සමාජවාදී දේශපාලන සංකල්පය මත දුගී දුප්පත් ජනතාවට සහනයක් සැලසීමේ දැඩි උවමනාවකින් පෙළෙමින් සිටි නායකයෙකු ද විය. එනිසා මෙවැනි ගැඹුරු අපේක්ෂාවකින් යුතුව ඉදිරිපත් කළ කුඹුරු පනතට එරෙහිව නොයෙක් දෙනා කඳවුරු බැඳගත්හ. මෙහි තවත් පැත්තක් ද තිබුණි. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන සෑම දෙනාම මහජන සේවය සැලසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතු වූවෝ නොවෙති. එය එදත් අදත් කවදත් දක්නට ලැබෙන සංසිද්ධියකි. එමගින් ජාවාරම් කිරීමට ධනය උපයා ගැනීමට පොහොසතුන් වීමට බලා සිටින දුෂිතයෝද බොහෝ වෙති. 


1956 මහා මැතිවරණයේදී මඑපෙ ජයග්‍රහණය සඳහා ඇප කැපවී ක්‍රියා කළ කැලණිය රජ මහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමි ඇතුළු පිරිසක් එවැනි ප්‍රයත්නයක් දරමින් සිටියහ. එකල ලංකාවට හාල් සපයන ලද්දේ බුරුමයයි. වර්තමාන මියන්මාර් රාජ්‍යයයි. එරටින් රැගෙන එන සහල් ලංකාවට ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව තමන් නමින් ලියාපදිංචි කර ඇති සමාගමක් වෙත ලබාදෙන ලෙස මෙම බලවත් පිරිස අගමැතිවරයාට බලපෑම් කළහ. ආහාර ඇමැති වශයෙන් පිලිප් මෙම ජාවාරමට එක හෙළා විරුද්ධ විය. නැව් නැති කොම්පැනියකට හාල් ප්‍රවාහනය භාර දුන්නොත් රටටම හාමතේ සිටින්නට සිදුවෙනු ඇතැයි අගමැති බණ්ඩාරනායක මහතා කී බව පුවත්පත්වල පළවිය. එහෙත් රටේ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා මහතා පවා මෙම ටෙන්ඩරය ලබාදීමට එකඟතාව පළ කර තිබුණි. පිලිප්ගේ විරෝධය නිසා අගමැතිවරයාද බුරුලක් නොදුක්වන බව තේරුම් ගත් ජාවාරම්කරුවෝ ඇමැතිවරයා කෙරෙහි වෛර බැඳ ගත්හ. 


කුඹුරු පනත ගැන ආරවුල පිළිබඳ පුරෝගාමීහු මොවුහූ වුහ. කොළඹ කොටුවේ රජගේ ඉදිරිපිට ගෝඩන් උදානයේ දැවැන්ත ගොවි පෙළපාළියක් පැවැත්වුණු බව වාර්තා විය. අමුඩයෙන් සැරසී උදලු කර තබාගත් මෙම ගොවියෝ පොළොන්නරුව ප්‍රදේශයෙන් ගෙන්වා ගත් පිරිසක් බව කියවුනි. එකල පොළොන්නරුව මන්ත්‍රීවරයා වූවේ බණ්ඩාරනායක රජයේ දෙවැන්නා වූ ඉඩම් ඇමැති සී. පී. ද සිල්වා මහතාය. ඔහු පිලිප්ට විරුද්ධව කල්ලියේ ප්‍රබලයකු බව ප්‍රසිද්ධ රහසක් විය. මෙම පෙළපාළිය ගැන ආරංචි වූ වහාම කොළඹ වරායේ පිලිප්ගේ වෘත්තිය සමිති සාමාජිකයෝ සිය ගණනක් එම ස්ථානයට දුව ආහ. හොඳ හැටි පහර දුන්හ. වරාය කම්කරුවන් සමග ගැටෙන්නට පොළොන්නරුවේ ගොවීන්ට ශක්තියක් නොවීය. ඔවුහු උදලු මල්වත්තේ දමා පැන දිවුහ. මෙම ගොවි පෙළපාලියේ මූලිකත්වය ගත්තේ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් බව ඡායාරූප සහිතව පුවත්පත්වල පළ විය. ඇමැතිවරියක් ද එහි පෙරමුණේම වූවාය. පහර කෑමෙන් පිරිසක් තුවාල ලැබූහ. ඔවුන් කැඳවාගෙන ආ සී. පී. ද සිල්වා මහතා දැඩි අසීරුතාවකට මුහුණ පෑවේය. අගමැතිවරයාගේ සහාය නිසා පිලිප් මැඩ පැවැත්විය නොහැකි බව විරුද්ධවාදීහු වටහා ගත්හ. පිලිප් ගුණවර්ධන මහතා සහ ඔහුගේ සගයා වන විලියම් සිල්වා මහතා ඇමැති මණ්ඩලයෙන් නෙරපා හරින ලෙස බහුතර ඇමැතිවරු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. පිලිප්ගේ ප්‍රතිපත්තිවලට ප්‍රසාදය පළ කරමින් සිටි අගමැති බණ්ඩාරනායකයන්ට පිලිප් විලියම් දෙපොළ ඇමැති ධූරවලින් නෙරපා දැමීම කළ නොහැකි කටයුත්තක් විය. එනිසා විරුද්ධවාදීන්ගේ කෝපාග්නිය අගමැතිවරයා කෙරෙහි ද එල්ල විය. පිලිප් විලියම් දෙදෙනා ඉවත් කරන තුරු තමන් ඇමැති මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි නොවන බව ප්‍රතිවාදීහු දැනුම් දුන්හ. අගමැතිවරයා අසරණ විය. අගමැතිට පක්ෂව සිටියේ අතේ ඇඟිලි ගණනටත් අඩු ඇමැති සංඛ්‍යාවකි. අති බහුතරය බිලි බා ගැනීමට කුමන්ත්‍රණ කරුවෝ සමත්ව සිටියහ.

 

 


මේ වකවානුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාර්ෂික සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ කුරුණෑගලදීය. එහිදී බණ්ඩාරනායක මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කර අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතා පත් කිරීමට වැඩ පිළිවෙළක් කැලණියේ නායක හිමියන්ගේ මූලිකත්වයෙන් දියත්ව තිබුණි. එම ප්‍රයත්නය සාර්ථක කිරීම අපහසු වුවත් එවැනි මතයක් කරළියට පැමිණීම පමණක් වුවද විශාල අභියෝගයක් විය. කළ හැකි අන් දෙයක් නොමැති තැන බණ්ඩාරනායක මහතා මැයි මස 19 වැනිදා පිලිප් විලියම් දෙදෙනා ඇමැති තනතුරුවලින් ඉවත් කර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කළේය. පිලිප්, විලියම් විපක්ෂයට ගියහ. ඒ කණ්ඩායමක් ද සමගය. කුසුමා ගුණවර්ධන (කිරිඇල්ල) පී, තෙන්නකෝන් (මහනුවර) ඩී. ඇෆ්. හෙට්ටිආරච්චි (නිවිතිගල) ඩී. ඒ. රාජපක්ෂ (බෙලිඅත්ත) සාගර පලන්සූරිය (හොරණ) ඇම්. පී. හේරත් (දැදිගම) යන මන්ත්‍රීවරු ද විපක්ෂයට ගියහ.


දෙපසකට බෙදී කඹ ඇඳ ගැනීම නිසා ආණ්ඩු පක්ෂය හොඳටම දුර්වල විය. වාමාංශික මත දැරූ අධිකරණ ඇමැති ඇම්. ඩබ්ලිව්. එච්. සිල්වා මහතා ද රජයෙන් ඉල්ලා අස්විය. ඔහු උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ අයෙකි. පිලිප් විරෝධීහු එක් කඳවුරකට ගොනු වූහ. ඔවුහු අගමැති බණ්ඩාරනායක මහතා කෙරෙහි පෞද්ගලිකවම වෛර බැඳ ගත්හ. ඔහු මෙලොවින් තුරන් කිරීම මගින් පළිගත යුතු යැයි ඔවුහු තීරණය කළහ. එහි ප්‍රතිඵලය වූවේ රොස්මිඞ් පෙදෙස් නිවසට පැමිණි චීවරධාරියෙකු 1959 සැප්තැම්බර් 25 වැනිදා උදෑසන අගැමතිවරයාට වෙඩි තැබීමයි. මාරාන්තික තුවාල ලැබූ අගමැතිවරයා පසුදින උදෑසන ජාතියෙන් සමු ගත්තේය. වෙඩි තැබීම සිදුවන විට බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නගරය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය. එනිසා වැඩ බලන රාජ්‍ය නායකයා වශයෙන් විජයානන්ද දහනායක මහතා නම් කරමින් අග්‍රාණ්ඩුකාරවරයාට ලියකියවිලි ද භාරදී තිබුණි. අගමැතිවරයා ජීවිතයෙන් සමු ගනිද්දීම නව අගමැති ලෙස දහනායක මහතා පත්වූවේය. එම පාලනය හරි හැටි ස්ථාපිතවීමටවත් කාලයක් නොලැබුණි. ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බහුතරය නොමැති බව දැනගත් විපක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා නොයෙකුත් කරුණු මතුකරමින් විශ්වාස භංග යෝජනා මාලාවක් දිගින් දිගටම ඉදිරිපත් කළේය. එයින් එකකින් රජය බේරුණේ එක වැඩි ඡන්දයකිනි. ඒ රජයෙන් පත් කළ මන්ත්‍රීවරුන් සය දෙනෙකුත් සිටියදීය. ආණ්ඩුවට තවදුරටත් පැවැත්මක් නොමැති බව වටහාගත් අගමැති දහනායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට උපදෙස් දුන්නේය. 1960 ජනවාරි 05 වැනි දින එය සිදුවිය. මහා මැතිවරණය 1960 මාර්තු 19 වැනි දිනට නියම විය.


විශාල බලාපොරොත්තු සහිතව 1956 මහා මැතිවරණයෙන් නව රජයක් බලයට පත් කර එමගින් බස් ජනසතුව, වරාය ජනසතුව වැනි ජනතා හිතවාදී කටයුතු රාශියක් සිදු කරමින් තිබිය දී එම රජය තුළ කට්ටිවාදය මතුවීම නිසා දෙපසට බෙදී කඹ ඇදීමට පටන් ගැනීම හේතු කොටගෙන එම රජය මුහුණ පෑ අවාසනාවන්ත ඉරණම කෙටියෙන් සඳහන් කළ හැක්කේ ඒ ආකාරයටය.


උපවාස විරෝධතා ජාතිවාදී සිදුවීම් විශ්වාසභංග ආදී එම කතාවේ සමහර සිදුවීම් දැනට ද සිදුව ඇත. කැබිනට් අර්බුද ගැන ද අසන්නට ලැබේ. ජනතාවගේ යහපත උදෙසා මෙම අර්බුද මෙතෙකින් අවසන් වේවායි ඉත සිතින් පතමි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ලණු ගිල කඹ ඇදපු ආණ්ඩුවක අවසන් ඉරණම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site