IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මොස්කව් හෝටලයේ වැසිකිළියෙත් රුසියන් ඔත්තුකාරයෙක්

වත්මන් රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා මුල්වරට මෙරට පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ 1989 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. එවකට සිටි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ අතර, රංජිත් මද්දුම බණ්ඩාර වැටී සිටියේද ඒ ගොඩට ය.


“අඩුම වශයෙන් ඒ දවස්වල අපේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කතා කරන්නවත් ජනාධිපතිතුමා හම්බවෙන්න මාස ගණනක් බලාගෙන ඉන්න වුණා. ඒ විතරක් නෙවි නිතරම වගේ පැවැත්වෙන ගෘප් මීටින් එකේදී පවා ජනාධිපතිතුමා අපි ගැන වැඩිය හොයල බැලුවෙ නෑ. කොටින්ම ඒ මුල් කාලයේ එතුමා අපි ගැන සැලකුවේ දෙකේ කොලයට දමලයි” කියමින් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මුල් කාලයේ තමන් වැනි පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමාගෙන් ලැබුණු අඩු ලංසුවේ සැලකිල්ල ගැන පෙන්වා දෙන රංජිත්ලාට අදහාගැනීමට පවා නොහැකි දෙයක් 1992 වසරේදී සිදු විය. ඔහුට මතක ඇති අන්දමට එම පෙරළිය සිදුවූයේ ලලිත් - ගාමිණි සහ ප්‍රේමචන්ද්‍ර යන ජ්‍යෙෂ්ඨයන් විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයෙන් පසුවය.


ඒ දෝෂාභියෝගය අසාර්ථක වුණත් ආණ්ඩු හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් හැටකටත් වැඩි පිරිසක් ඊට අත්සන් කර තිබුණා. ආණ්ඩු පක්ෂයේ අත්සනුත් විසිඅටක් තිහක් විතර තිබුණා කියලයි අපට දැනගන්න ලැබුණේ. ඒ අයගෙන් සමහර මන්ත්‍රීවරුන් තමයි දිවුරුම් සහතික දීලා තමන්ගේ අත්සන් ඉවත්කර ගත්තේයි කියන රංජිත් සඳහන් කරන අන්දමට ජනාධිපතිතුමා තමන්ගේ දරදඬු ප්‍රතිපත්තිය වෙනස් කරගෙන තිබුණේ මින් ඉදිරියට එවැනි දෝෂාභියෝග වැනිදෑ ඉදිරිපත්වීම කල්තියා වළක්වා ගැනීමේ පියවරක් වශයෙනි.
“දැන් ලොක්කා කලින් හිටියට වඩා සෑහෙන්න හොඳයිනේ....” ලලිත් සහ ගාමිණීලාගේ දෝෂාභියෝගයට මුලින් අත්සන් කර පසුව දිවුරුම් සහතිකයක් මගින් එම අත්සන ඉවත් කරගත් එක් පසුපෙළ මන්ත්‍රීවරයක් රංජිත් සමග කියා තිබුණේය.


ඔහුගේ අදහස වූයේ ජනාධිපතිතුමා මුල සිටම එසේ කටයුතු කළා නම් තමන් ලලිත්ලාගේ දෝෂාභියෝගයට අත්සන් කරනවා තියා ඒ ගැන හිතන්නේවත් නැති බවය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හැම දෙනෙකුටම එක් එක් අමාත්‍යංශ බාරදී ඒවායේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වශයෙන් පත් කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබුණේය.


අපට තමුන්නාන්සේලාට දීමනාවක් ගෙවන්න දැන්ම පුළුවන්කමක් නෑ. ඒත් අපි මේ හැමදෙනාටම අලුත් වාහනේකුයි ඊට අවශ්‍ය ඉන්ධනයි ලබාදෙනවා”යි කී ප්‍රේමදාස ජනාධිපතිවරයා නොකියා කියා සිටියේ අනාගතයේදී යම් දීමනාවක් ගෙවීමට ද ඉඩ ඇති බවය.


ඒ වැඩපිළිවෙළ යටතේ මාව පත්කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී හැටියට. විජමු ලොකු බණ්ඩාර ඇමතිතුමා යටතෙයි මට වැඩ කරන්න සිද්ධ වුණේ... යි කියන රංජිත් මද්දුම බණ්ඩාර ඔහු සමග සහයෝගයෙන් කටයුතු කළේය.


මේ කාලයේදීම මටයි, උපාලි පියසෝමටයි රුසියාවේ අධ්‍යයන චාරිකාවක යෙදෙන්නත් අවස්ථාවක් ලබාදී තිබුණා.


රංජිත් එසේ කියන්නේ තමන්ට රුසියාවේ අධ්‍යයන චාරිකාවක යෙදීමට ලැබුණු මුල්ම අවස්ථාව ගැනය. ඔවුන් දෙදෙනා සමග රුසියාවේ සංචාරය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන දොස්තර ජයලත් ජයවර්ධන ද එක්වී සිටියේය.


ලොක්කා දෝෂාභියෝගයෙන් පස්සේ අලුත් මන්ත්‍රීලාට දිගට හරහට පිටරට යන්න ඉඩ දෙනවා. හැබැයි කලින් නං අලුත් මන්ත්‍රීලට ෆොරීන් ටුවර් එකක් දෙනව තියා ඒ ගැන හිතන්නෙවත් නෑ... යි කියමින් සිනාසුණු ජයලත් ජයවර්ධන විනාඩි දහයකටත් අඩු කාලයකදී නැවත මන්ත්‍රීවරුන් දෙදෙනා සමග කුළුපග වූවේය.


කෙසේ වෙතත් ඔහු ඊට පෙරද වතාවක් හෝ දෙකක් රුසියාවේ සංචාරය කර තිබුණේය. එහෙයින් ඔහුගේ උපදෙස් තමන්ට ඉතා වැදගත් වූ බව රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
මල්ලිලා මේ දවස්වල මොස්කව්වල හරිම සීතලයි. ඒ නිසා ස්වීටර් දෙක තුනක් බ්ලැන්කට් එකක් මතක ඇතුව ගේන්න”යි ජයලත් ජයවර්ධන තම ගමන් සගයන් දෙපළට කල්තියා උපදෙස් දී තිබුණේය.


අපි කටුනායක ඉඳලා මොස්කව්වලට යනකොට පැය 9 ක් නැත්නම් දහයක් විතර ගියා. වාඩිවෙලා ඉඳලා අපේ කකුල් දෙකත් හිරිවැටිලා. කොහොම හරි අපි මොස්කව් එයාපෝර්ට් එකෙන් බැහැල එනකොට රුසියන් ආණ්ඩුවේ නිලධාරීන් කීපදෙනෙක්ම හිටියා අපිව පිළිගන්න. ඒ එක්කෙනෙක් තමයි අපේ භාෂා පරිවර්තකයා වුණේ. එයා කියපු හැටියට එයාපෝර්ට් එකේ ඉඳලා කිලෝමීටර් පහක විතර දුරකින් තිබුණු හෝටලයක් තමයි අපට නතරවෙන්න වෙන්කර තිබුණේ.


ඔවුන් එම හෝටලය වෙත යනවිට සවස 5.00 පමණ වුවද හාත්පසම අඳුරින් වටවී තිබුණේය.


මොස්කව්වල මේ කාලයට මෙහෙම තමයි.


එසේ කී භාෂා පරිවර්තකයා රාත්‍රී 7.00 ට පමණ රෑ කෑම සූදානම් කෙරෙන බව කියා විදුලි සෝපානයට නැගී පහළට ගියේ ඔවුන් සඳහා වෙන්කළ කාමර තුනද වෙන් වෙන් වශයෙන් පෙන්වා දෙමිනි.


එදා රෑ අපට කෑමට ලැබුණේ සොසේජසුයි, අර්තාපලුයි, තක්කාලියි. ඉතින් අපි වෙනසකටත් එක්ක වොඞ්කා වීදුරු දෙකක් විතර බීලා බඩ පිරෙන්න සොසේජසුයි අර්තාපලුයි කාලා වේලාසනින්ම නින්දට ගියා. ඇඟේ පතේ වෙහෙස නිසාම අපේ භාෂා පරිවර්තකයා ඇවිත් දොරට ගහනකංම අපට ඇස් ඇරුණෙ නෑ. ඊළඟට අපි උදේ මූණ සෝදන්න ගිහින් දෝතට ගත්ත වතුර මූණට ළං කරන කොටම අයිස් කැටයක් වෙලා. උණු වතුරත් එහෙමයි. කොහොම හරි අපි ඇඳ පැලඳගෙන උදේට කන්න ගියාම මෙන්න ආයෙමත් තියෙන්නේ සොසේජසුයි අර්තාපලුයි තක්කාලියි. ඊට අමතරව සෝස් ජාතියකුත් තිබුණා. හැබැයි ඒ සෝස් කටේ තියන්න බෑ තිත්ත රහයි... ඒත් ඉතින් මොනව කරන්නද කියලා කෑවා..
කෑම ගෙන අවසන් වූ පසු රුසියන් මාර්ගෝපදේශකයාත්, භාෂා පරිවර්තකයාත් ඔවුන් කැඳවාගෙන ගියේ විදේශ අමුත්තන්ගේ මුදල් රූබල්වලට මාරුකරදෙන ස්ථානයකටය.
ඩොලර් එකකට රූබල් 8 ක් ගෙවනවා යි භාෂා පරිවර්තකයා කී විට “අයි හෑව් නෝ ඩොලර්ස්”යි කී ජයලත් ජයවර්ධන පස්ස ගැසූ අතර රංජිත් හා උපාලි තමන් විසින් ගෙනගිය ඩොලර් වලින් හරි අඩක්ම රූබල්වලට මාරුකර ගත්තේය.


“මොකක්ද මල්ලී ඒ කරගත්තේ ”යි අසමින් දෑස් උඩතියාගත් ජයලත් ජයවර්ධන සිංහලෙන් කියා සිටියේ ඩොලර් එකක් සඳහා රූබල් 40 බැගින් පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි බවය.


මේ අතර සිවිල් ඇඳුමෙන් සැරසුණු තවත් කීපදෙනෙකු තරමක් දුරින් සිට ඔවුන් දෙස විමසිල්ලෙන් බලා සිටින අයුරු රංජිත් අවස්ථා කීපයකදීම දැක තිබුණේය.


රුසියානු රජයෙන් එවා තිබුණු භාෂා පරිවර්තකයාත් මාර්ගෝපදේශකයාත් ඔවුන් මොස්කව් නගරයේ වැදගත් ස්ථාන කීපයක්ම නැරඹීම සඳහා කැඳවාගෙන ගොස් තිබුණහ. රතු චතුරශ්‍රය, ක්‍රෙම්ලිනය සහ ලෙනින් ස්මාරකය වැනි රුසියාවේ වැදගත් ස්ථාන කීපයකටත්, රජයේ කර්මාන්ත ශාලාවක් සහ කිරි ගොවිපොළක් නැරඹීම සඳහා ගිය ඔවුන්ට දුරතියා තමන් දෙස බලාසිටි රුසියන් ජාතිකයන් කීපදෙනෙකුම හැම ස්ථානයකදීම දැකගත හැකිවිය.


මුන් නං කේ.ජී.බී. කාරයන් වෙන්න ඕනෑ යි සිතූ රංජිත් ඒ ගැන සැකහැර දැනගැනීම සඳහා භාෂා පරිවර්තකයාගෙන් වැසිකිළිය තිබෙන ස්ථානය ගැන අසා ඒ තුළට රිංගා ගත්තේය.


“මෙන්න අර මිනිහෙකුත් ටොයිලට් එක ඇතුළට ඇවිත් දෑත් සෝදන්න පටන්ගත්තා.”


ඔහු එසේ කියන්නේ සිනාසෙමිනි. මේ වනවිට ඔවුන් මොස්කව් නගරයට පැමිණ දින 3 ක් පමණ ගතවී තිබුණු අතර නතරවී සිටි හෝටලයෙන් ලැබුණු හැම කෑම වේලකටම සොසේජස්, අර්තාපල් සහ තක්කාලි යොදා තිබුණේය. මේ වනවිට රංජිත් සහ උපාලි ද තමන් සතු ඉතිරි ඩොලර් නෝට්ටු කළු කඩයට දී රූබල් 40 ගණනේ මාරුකර ගෙන තිබුණේය.


“අපි මුන්ගේ ඇහැ වහලා රෑට මොස්කව්වල ටිකක් ඇවිදින්න යමු”යි තම සගයා සමග රහසින් කතා කරගත් රංජිත්, ජයලත් ජයවර්ධන තම කාමරයට වැදී දොර වසාගත් විගස උපාලිගේ අතින් ඇදගෙන බිම් මහලට ආවේය.


එතකොට වෙලාව රෑ 9.00 ට විතර ඇති. අපි හෝටලයෙන් පිටවෙලා සීතලේ ගැහි ගැහී ටික දුරක් ඇවිදගෙන ආවා. මට මතක හැටියට අපට කිලෝමීටරයක් වත් යන්න ලැබුණේ නෑ. මෙන්න එක සැරේටම හිම කුණාටුවක් ආවා. අහල පහල හිටපු මිනිස්සුත් ඒ ළඟම තිබුණු බස්නැවතුම්පොළක් වගේ තැනකට දුවනවා දැකලා අපිත් එතෙන්ට දුවගෙන ගියා. එතකොටම වගේ එතන මුරකාරයා වගේ කෙනෙක් ඇවිත් යකඩ දොර සරාස් ගාලා පහළට ඇදලා වහල දැම්මා. දැන් අපිත් එක්ක රුසියන් කාරයෝ විසිපහක් තිහක් ඇතුළේ. මට මතක හැටියට පැය තුන හතරක් විතර ඒ විදියට හීතලේ ගැහි ගැහී ඉන්න ඇති. 


අපි ගිහින් අර මුරකාරයට අතින් පයින් කිව්වා අපට එළියට යන්න දොර අරින්න කියලා. ඒත් ඒ මිනිහ දොර ඇරියෙ නෑ. අපි කියන දේ මිනිහට තේරෙන්නෙ නෑ. මිනිහ කියන දේ අපට තේරෙන්නෙත් නෑ. ඒ සැරේ පැය පහකට විතර පස්සේ හිම කුණාටුව නතර වුණාමයි ඒ මිනිහා යකඩ දොර ඇරලා අපට යන්න දුන්නේ. මම හිතන්නේ අපි දෙන්න එළිවෙන කිට්ටුවයි අපි නතර වෙලා හිටපු හෝටලයට ආවේ. අපි හෝටලයට එනකොට මුළු ඇඟම සීතලෙන් පුපුරු ගහනවා. ඇඳුම් හිම කැටවලින් වැහිලා.


මේ වනවිට ඔවුන්ගේ භාෂා පරිවර්තකයා ඔවුන් තිදෙනා සමග හොඳටම මිත්‍රවී සිටියේය. එම මිත්‍රත්වයට හේතුවක් වූයේ රංජිත්ලා විසින් මෙරටින් ගෙන ගොස් තිබුණු ගල් අරක්කු බෝතලයකි.


මුලින් අපි ඩි්‍රන්ක් එකකට කතා කරාම මිනිහ එක සැරේටම බැහැයි කිව්වා. පස්සෙ ටිකක් පෙරැත්ත කළාම මිනිහා නිකංම අපිත් එක්ක සෙට්වුණා. ඒත් ලස්සන වැඬේ කියන්නේ අපි මෑන්ගෙ ඇස් වහලා ගිය හැම හොර ගමනක් ගැනම තමන් ඇස් දෙකෙන් බලාගෙන හිටිය වගේ අපිත් එක්කම කිව්ව එකයි. පස්සෙ බලනකොට අර අපි ගැන ඇහැගහගෙන හිටපු කේ. ජී. බී. කාරයන් ඒ හැම තැනකටම අපේ පස්සෙන්ම ඇවිල්ලා... යි තමන් මොස්කව් නගරයේදී ලැබූ අත්දැකීම් විස්තර කරන රංජිත් මද්දුම බණ්ඩාර කියන්නේ ඔවුන් වැසිකිළියට ගිය අවස්ථාවලදී පවා කේ. ජී. බී. ඔත්තුකරුවන් තමන් දෙස විමසිල්ලෙන් බලා සිට ඇති බවය. එම මොස්කව් සංචාරය අවසන් කර ආපසු පැමිණි තමන් ඇතුළු පිරිසට තවත් වසරකටත් වැඩි කාලයක් ගතවනතුරු සොසේජස් සහ අර්තාපල් දකින විටත් ඔක්කාරයට ආ බව හෙතෙම පවසන්නේ කට ඇඹුල් කර ගෙනය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

මොස්කව් හෝටලයේ වැසිකිළියෙත් රුසියන් ඔත්තුකාරයෙක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site