IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දහනායකගේ දහම් ගැට

ගාල්ලේ කීර්තිමත් පුරවැසියෙකු වූ විජයානන්ද දහනායක මහතා මෙරට ජාතික දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර පාසල් ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළේය. කාලයක් තිස්සේ ගුරු වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම ලංකා සම සමාජ පක්ෂය ඔස්සේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ගාලු මහ නගර සභාවට තේරී පත්වීමට සමත් වූවේය. අනතුරුව එහි නගරාධිපති ධූරයටද පත්වූ දහනායක මහතා එකල පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට මුලින්ම තරග කරන ලද්දේ ගාල්ලෙන් සැතපුම් සීයකටත් වඩා දුරින් පිහිටි බිබිල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයටය. 1944 මාර්තු මස 12 වැනිදා පැවැති එම මැතිවරණයෙන් හෙතෙම පරාජයට පත්විය.


නාඳුනන පළාතකට තට්ට තනියම ගොස් ඉදිරිපත්ව එම ඡන්දයෙන් පරාජය වුවද එම ජයග්‍රාහී මන්ත්‍රීවරයා ඡන්ද පෙත්සමකින් පරාජය කිරීමට දහනායක මහතා සමත් වූවේය. අනතුරුව එම වසරේම නොවැම්බර් මස 14 වැනිදා පැවැති අතුරු මැතිවරණයෙන් තම ප්‍රතිවාදියා වූ එස්. ඒ. පීරිස් මහතා පරාජය කළේ වැඩි ඡන්ද 1108ක් ලබා ගනිමිනි. එහෙත් 1947 දී ක්‍රියාත්මක කෙරුණු සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ බිබිල ආසනය අහෝසි කර තිබුණෙන් 1947 පැවැති මහ මැතිවරණයේදී ඔහු ගාල්ල අසුනට ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් නාම යේජනා භාර දෙන්නේය. එම මහ මැතිවරණයේදී තිබූ විශේෂත්වය වූයේ එය සෝල්බරි කොමිසම මඟින් මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ලද පාර්ලිමේන්තු ක්‍රමය යටතේ පැවැත්වෙන මුල්ම මහ මැතිවරණය වීමයි. ගාල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ධන කුවේරයෙකු වූ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා ඔහු සමඟ ඡන්ද සටනට එක්වූ ප්‍රතිවාදියා විය. හෙතෙම තරග කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙනි.


“ඔය ජාතික ඇඳුම් කාරයාට පුළුවන්ද මාත් එක්ක හැරෙන්නවත්..?” යි අසමින් තම මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ අමරසූරිය මහතා ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේය. ඔහු යන යන තැන ප්‍රදේශවාසීන් රැස්වූයේ බුරුතු පිටිනි. ඊට හේතුව වූයේ ඔහු වටා සිටි ආධාරකරුවන්ට මිල මුදලෙන් පමණක් නොව කෑමෙන්, බීමෙන් හා මත්පැන්වලින් නොඅඩුව සංග්‍රහ කිරීමය.


අමරසූරිය මහතා වෙනුවෙන් තම ගෙවත්තේ ඡන්ද කාර්යාලයක් ඉදිකිරීමට ඉඩදෙන ඕනෑම ප්‍රදේශවාසියෙකුට රුපියල් පන්සීයක මුදලක් ලැබුණු අතර ඡන්ද කාර්යාලය ඉදිකිරීම සඳහා අවශ්‍ය ලී දඬු පොල් අතු, සැරසිලි සඳහා අවශ්‍ය සියලුම කළමනා සහ රාත්‍රී කාලයේදී දැල්වීම සඳහා පෙට්‍රොමැක්ස් ලාම්පු දෙක බැගින් ද සැපයුණේ අමරසූරිය මහතාගේ නිවසිනි.


එසේම ඒ මහතා වෙනුවෙන් ඡන්ද රැස්වීමක් සංවිධානය කරනු ලැබුවහොත් ලැබෙන ගාස්තුව රුපියල් දෙදහසකට ආසන්න විය. ඒ කාලේ හැටියට රුපියල් දෙදහසක් යනු වර්තමානයේ රුපියල් ලක්ෂයකටත් වැඩි වටිනාකමකින් යුත් මුදලක් විය. 


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එකල ගාල්ල ප්‍රදේශයේ රජයේ රැකියාවන් හි නියුතු වූවන් පවා තම පෞද්ගලික නිවාඩු පමණක් නොව වැටුප් රහිත නිවාඩු දමාගෙන අමරසූරිය මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සහභාගිවීමයි.
“ඉතින් මොකෝ මුළු මාසෙම නෝපේ ගියත් නැති වෙන්නේ අපේ පඩිය විතරයිනේ. ඒ වෙනුවට අමරසූරිය මහත්තයගෙන් පඩිය වගේ දහගුණයක් ලැබෙනවනේ!” යි කී එම පිරිස ලොක්කාට බැඳගෙන වැඩ කිරීමට පෙලඹී සිටියේ හුදෙක් තමන්ට ලැබෙන ආර්ථිකමය වාසිය සලකාගෙනය.


ධන කුවේරයකු වූ අමරසූරිය මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වූ ඔහුගේ ආධාරකරුවන් සියලුම දෙනාට එවැනි සැප පහසුකම් ලැබුණද දහනායක මහතාගේ පාර්ශ්වයේ සිටි තරුණ පිරිසට එවැනි කිසිදු ප්‍රතිලාභයක් නොලැබිණි. ඔහු වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ල.ස.සපයේ. තරුණ භට පිරිසට දහනායක මහතාගෙන් තේ කෝප්පයක් පවා ලැබුණේ කලාතුරකිනි. ඔවුන් බොහෝවිට එම කටයුතුවලට සම්බන්ධ වූයේ තමන්ගේම අතින් වියදම් කර ගෙනය.


“උඹල ඉතින් දහනායක මහත්තයගෙ පැත්ත අරගෙන පූරුවෙ පවු ගෙවනවා. අර බලහල්ලකෝ අමරසූරිය මහත්තයට වැඩ කරන අයට තියෙන සැපයි!” කියමින් අමරසූරිය මහතාගේ ආධාරකරුවන්ට ලැබෙන සුව පහසුකම් ගැන කියන ඇතැම් වැඩිහිටියන්ගේ පුරසාරම් කතා අසන එම රතු භටයන් කියා සිටියේ මුදලට ශ්‍රමය නොවිකුණන තමන් මතු පරපුරේ යහපත උදෙසා ජාතික මෙහෙවරක යෙදෙන බවය. 


ඔවුන් එසේ කීවේ “ඔන්න මම ගාල්ලේ සල්ලි ගහක් හෙලෙව්වා. කැමැති කෙනෙක් අහුල ගනිල්ලා!” යි දහනායක මහතා විසින් කර තිබූ ප්‍රකාශයක් ගැන ද සඳහන් කරමිනි.


මේ අතර දෙපාර්ශ්වය අතර සිදුවන ඡන්ද කෝලාහල ගැන ද ඉඳහිට හෝ අසන්නට ලැබුණේය. කෙසේ වෙතත් ඒවා බොහෝ විට සීමාව තිබුණේ ඡන්ද කාර්යාල ගිනි තැබීම්, දෙපාර්ශ්වය හූ කියා ගැනීම් වැනි සුළු සුළු සිදුවීම්වලටය.


මේ අතර ඡන්දය පැවැත්වෙන දිනය ද අත ළඟටම පැමිණෙමින් තිබුණේය. ඒ අනුව දෙපාර්ශ්වයම තමන්ගේ අවසාන ජයග්‍රාහී ඡන්ද රැස්වීම පැවැත්වීමට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ. කෙසේ වෙතත් ගාලු මහජන ක්‍රීඩාංගණයේ රැස්වීම පැවැත්වීමට ඉඩ ලැබී තිබුණේ අමරසූරිය මහතාගේ පාර්ශ්වයට නොව දහනායක පාර්ශ්වයටය. ඊට හේතු වූයේ ඔවුන් කල්තියා නගර සභාවට මුදල් ගෙවා ක්‍රීඩාංගණය වෙන්කරගෙන තිබීමයි.


එම රතු රැලිය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුදා සවස 3.00 සිටය. දහනායකගේ රතු බළ ඇණිය ඊට පෙරදා රාත්‍රිය මුළුල්ලේම නොනිදා එකා මෙන් වැඩ කරමින් රැස්වීම් වේදිකාව ඉදිකළ අතර මුළු ක්‍රීඩාංගණයම රතු පැහැති කොඩිවලින් සරසා තිබුණේය. ල.ස.ස.ප. නායක ඇන්. ඇම්., කොල්වින්, බර්නාඞ් වැනි පක්ෂයේ ප්‍රබලයන් කීපදෙනෙක්ම එම අවසන් රැලිය ඇමතීමට නියමිතව සිටියහ.


එදින රාත්‍රී 11.00ට පමණ අවසන් රැලිය පැවැත්වෙන ස්ථානයට ගොස් එම රතු භටයන්ට ගුරුහරුකම් දුන් දහනායක මහතා පාන්දර 1.00ට පමණ රිච්මන්ඞ් කන්ද අසල පිහිටි තම නිවසට ගොස් නින්දට වැටුණේ සියල්ල හොඳින් සිදුවී ඇතැයි පෙනී ගිය පසුවය. 


එහෙත් පසුදා උදෑසනම ඔහුගේ නිවස වෙත දුවගෙන ආ තරුණයන් කීප දෙනෙකු හති දමමින් කියා සිටියේ අමුතුම කතාවකි. 


‘සහෝදරයා ඊයෙ රෑ යූ.ඇන්.පී කාරයන් හරි වැඩක්නේ කරලා තියෙන්නේ. උන් පිට්ටනිය වටේටම අපට බැණලා බැනර් එල්ලලා! 


‘අපට බැණලා බැනර් එල්ලලා...? කියමින් ඒ කතාවම කීපවරක් ප්‍රතිරාවය කළ දහනායක මහතා මුහුණ කට සෝදා ගැනීම සඳහාවත් ප්‍රමාද නොවී තමන්ට හිතවතෙකුගෙන් ලැබී තිබූ කබල් මොරිස් මයිනර් රියට නැගී එම රතු භටයන් ද සමඟ ගාලු ක්‍රීඩාංගණය වෙත ගියේය. එහිදී ඔහුට දැක ගැනීමට ලැබුණෙ තම පක්ෂයටත්, පක්ෂයේ ප්‍රතිපත්තිවලටත් පහර ගසමින් ලියා තිබූ වැකි සහිත යෝධ බැනර් මුළු ක්‍රීඩාංගණයම වටා එල්ලා ඇති අයුරුය.


‘මාක්ස්වාදී රකුසාගෙන් ඔබේ දරු මුනුපුරන් බේරා ගන්න!’

‘ආගම අබිං ලෙස සලකන මාක්ස්වාදීන් ගෙන් පන්සල් පල්ලි රැකගන්න!’

‘මුළු ගාල්ලම කලඹන මාක්ස්වාදීන් අතුගා දමමු!’

‘වාමාංශිකයන් එළවා දමා දකුණු ලකේ අගනගරය නිදහස් කර ගනිමු!’

 

පවට බර මාක්ස්වාදීන් ගාල්ලෙන් පන්නමු!’.... ආදී වශයෙන් සඳහන් යෝධ බැනර් මුළු ක්‍රීඩාංගණයම වටකොට එල්ලා තිබෙන අයුරු එහිදී දකින්නට ලැබුණේය. මේ අතර තම තමන්ගේ දෛනික රාජකාරී කටයුතු සඳහා දිනපතා ගාලු නගරය වෙත පැමිණෙන ජනතාවගේ මෙන්ම බස් රථ, වෑන් රථ වැනි වාහනවලින් ගාල්ල පසුකර යන අයත් ඒ දෙස බලමින් යන අයුරු දුටු දහනායක මහතා එමඟින් තම ඡන්ද ව්‍යාපාරයට සිදුවිය හැකි හානිය ද එසැණින් වටහා ගත්තේය. 

‘මේ සහෝදරයා මේ ගැන පොලිසිය දැනුවත් කෙරුවෙ නැද්ද?’යි තම ප්‍රචාරක කටයුතු භාරව සිටි තරුණ නීති ශිෂ්‍යයාගෙන් ඇසූ දහනායක මහතාට ඔහුගෙන් අසන්නට ලැබුණේ නීතියට පටහැණි දෙයක් එමඟින් සිදුවී නැති බැවින් තමන්ට ඒ ගැන කළ හැකි දෙයක් නැතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂකයා කියා සිටි බවය. 


‘ඒ විතරක් නොවේ මේ බැනර් අයින් කරන්න ගියොත් අනවශ්‍ය ගැටුමක් ඇති වෙන්නත් ඉඩ තියෙන බවයි පොලිසිය කිව්වේ!


‘ඔව් ඉතින් ඒකත් හරිනේ.... යි කියමින් තම අවසන් රැස්වීම පැවැත්වෙන වේදිකාව ඉදිරියෙන් කීප වතාවක් එහාට මෙහාට ගිය දහනායක ලොක්කා තම පසුම්බිය හැර එහි තිබූ මාරු කාසි ගැන බලා රුපියල් දහයක් අතට ගත්තේය.


මෙන්න මේ රුපියල් දහය දීලා සුදු රෙදි යාර පහක් ගේනවා!යි කී ඔහු ඊළඟට කියා සිටියේ සවිමත් ලණු කැරලි හත අටක්ද රැගෙන එන ලෙසය.


තවත් විනාඩි දහයකටත් අඩු කාලයක් තුළ එම සියලු කළ මනා සූදානම් වූ අතර තමන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා අවශ්‍ය බැනර් සහ පෝස්ටර් අඳින බොකුටු හිසකෙස් සහිත කෙසඟ තරුණයා ඇමතූ ඔහු ‘දැන් ඔය සුදු රෙද්දේ පුළුවන් තරං ලොකු අකුරෙන් මෙහෙම ලියනවා!’ යි කියමින් පහත් හඬින් යමක් පැවසීය. 


ඔහු පැයකටත් අඩු කාලයක් තුළ එම කර්තව්‍යය අවසන් කළ අතර එම යෝධ බැනරය යූ.අන්.පී. කාරයන්ගේ බැනර්වලට වඩා ඉහළින් එල්ලන්නැයි හෙතෙම උපදෙස් දුන්නේය. එහි රතු පැහැති අකුරින් ලියා තිබුණේ ‘මේ හැම ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාගන්න!’ යනුවෙනි.


මේ අතර දහනායක මහතාගේ ප්‍රතිවාදීන් දත මැදගෙන බලා සිටියේ තමන් විසින් එල්ලන ලද ප්‍රකෝපකාරී වදන් සහිත බැනර් දැක රතු සහෝදරන් කෝපවී ඒවා ගලවා දැමුවහොත් ඔවුන්ට පහරදී රතු රැලිය පැවැත්වීමට නියමිත වේදිකාව පවා කඩා බිඳ දැමීමටය. එහෙත් දහනායක මහතාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා එවැන්නකට ඉඩක් නොලැබුණ අතර එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එදින සවස ල.ස.ස.ප නායක කාරකාදීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් මහ රැලියට මුළු ගාලු මහජන ක්‍රීඩාංගණයම පිරී ඉතිරී යන අයුරින් විසිපන් දහසකටත් අධික ජනතාවක් සහභාගීවී සිටීමය.


එවර පැවැති මැතිවරණයෙන් ඡන්ද 16,588ක් ලබාගත් විජයානන්ද දහනායක මහතා එ.ජා.ප.යේ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා වැඩි ඡන්ද 2469කින් පරාජය කරමින් ගාල්ලේ මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත්ව තිබුණේය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

දහනායකගේ දහම් ගැට

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site