IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇන්. ඇම්.ට එපා වුණ ඇන්. ඇම්.ගේ අයවැය

1970 මැයි මස 27 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප.ය. ප්‍රමුඛ සමගි පෙරමුණු සන්ධානයට එවකට පැවැති පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් 2/3ක බලයක් හිමි වී තිබුණේය. ඒ අනුව දේශපාලන පක්‍ෂ තුනකින් සමන්විත සමගි පෙරමුණට මන්ත්‍රී ධුර 116ක් ලැබුණු අතර 1965 - 70 දක්වා පැවැති එ.ජා.ප.ය ට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17කට පමණක් සීමා විය.


එහිදී මෙරට බහුතර ජනතාව අභිනවයෙන් පත්වූ ආණ්ඩුව කෙරෙහි රඳවා තිබුණේ උණුසුම් බලාපොරොත්තු කන්දරාවකි. විශේෂයෙන්ම එවර මුදල් ඇමැති ධුරයට පත්වී සිටි ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මෙරට නැතිබැරි ජනතාවගේ සිතුම්පැතුම් මල්ඵල ගන්වන පෙරළිකාර අයවැයක් ඉදිරිපත් කරනු ඇතැයි වැඩි දෙනකුගේ අභිලාෂය විය.


එසේ වුවද ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ මංගල අයවැය ජනතාවගේ එම උණුසුම් බලාපොරොත්තු සුන්කරවන සුලු ඉලක්කම් හරඹයක් වූ බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට පෙනී ගොස් තිබුණේය.


“මොකද්ද මල්ලී මේක නිකං පුස්ස බින්ද වගේ අයවැයක් නේ. කිසිම කමකට නැති ඉලක්කම් හරඹයක් විතරයි...”


එවර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටි ගම්පොළ මන්ත්‍රී දි. මූ. ජයරත්න තමන් අසල සිටි මහියංගණය මන්ත්‍රී එඞ්වින් වික්‍රමරත්නගේ කනට කොඳුරා එසේ කීවේ දැඩි අප්‍රසාදයකිනි.
“නැතුව... නැතුව.... මිනිස්සු අපිට ඡන්දෙ දුන්නේ කොයි තරම් බලාපොරොත්තු ඇතුවද?” යි ඇසූ ඔහු ඊළඟට කියා සිටියේ ආණ්ඩුවේ මංගල අයවැය ගැන අසා යූ.ඇන්.පී කාරයන් දෙකොනින්ම සිනාසීමට ඉඩ ඇති බවය.


මේ අතර දිමූ පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනකු දෙස හැරී බැලුවේය. ඊට සුළු වෙලාවකට පෙර සිනාසෙමින් හා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විහිළු කරමින් සිටි ඔවුන්ගේ මුහුණු බෙරිවී තිබෙන අයුරු ඒ සමගම ඔහුට දැකගත හැකි විය.


අයවැය කතාව අවසන් වී තේ පැන් සංග්‍රහයට සහභාගි වීම සඳහා යමින් සිටි දිමුලාට ඇමැතිවරුන් කීපදෙනෙකු ද සමග සිටි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඇසගැසුණේ මේ අතරතුරය.
“කොහොමද දිමු හොඳයි නේද අපේ අයවැය?


පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු සමග සිටි දිමු දුටු අගමැතිනිය මදසිනාවක් පාමින් එසේ ඇසුවාය.


“මොන හොඳක් ද මැඩම්.... අපිට තමයි ගම්වල මිනිස්සු බණින්නේ. දිමු මුහුණ පුළුටු කරගෙන එසේ කියද්දී පුදුමයට පත්වූ අගමැතිනිය ඉද්දගැසුවාක් මෙන් නතර වී ඔහු දෙස බැලුවේ තරමක් නොපහන් හැඟීමකිනි.


රටේ මිනිස්සු යූ.ඇන්.පී එක ගෙදර යවල අපේ ආණ්ඩුවක් පත්කර ගත්තේ ලොකු බලාපොරොත්තුවකින් ඒත් මෙදා අයවැයෙන් ජනතාවට මොනවද දීලා තියෙන්නේ.”යි ඇසූ දිමු ඊළඟට තම නායිකාවගේ මුහුණ දෙස නොබලාම කියා සිටියේ තමන්ට නම් අයවැයට පක්‍ෂව ඡන්දය දීමට හිත හදාගත නොහැකි බවය.


“පිස්සු වැඩ කරන්න එපා දිමු! අනික ආණ්ඩුවෙ ඉඳගෙන ඔයා කොහොමද අයවැයට පක්‍ෂව ඡන්දෙ නොදී ඉන්නේ? යි කියමින් දිමු දෙසත්, ඔහු සමඟ සිටි පසුපෙළ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනා දෙසත් නොරිස්සුම් සහගත බැල්මක් හෙලූ අගමැතිනිය එහි මොහොතක්වත් නොරැඳී භෝජනාගාරය දෙසට ගියාය.


එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකු නවාතැන් ගෙන සිටියේ ශ්‍රාවස්ති මංදිරයෙහිය. දිමු එදින වාහනයෙන් බැස තම කාමරය වෙත යන අතරම තමන් හමුවීමට පැමිණෙන්නැයි එහි සිටි පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුටම සේවකයෙකු අත පණිවුඩයක් යැවීය. තවත් ටික වේලාවකින් ඔවුන් දිමුගේ කාමරය වෙත පැමිණියේ “ඇයි දිමු මොකක්ද ප්‍රශ්නය?” යි අසමිනි, එදින ප්‍රකාශයට පත් කෙරුණු අය වැය ලේඛනය තමන් බලාපොරොත්තු වූ මට්ටමේ නැතැයි ඔහු කී විට එම මන්ත්‍රීවරුන් කියා සිටියේද තමන්ටත් එසේ දැනුණු බවය.

 

 

“ඒත් එහෙම වුණයි කියල අපේ ආණ්ඩුවේ අයවැයට අපි කොහොමද විරුද්ධ වෙන්නේ?” යි ඇසූ ඔවුහු ඒ ගැන නිහඬව බලා සිටීම හැර තමන්ට වෙනත් විකල්පයක් නැතැයි වැඩිදුරටත් කියා සිටියහ.


“මම දන්නෙ නෑ ඔය ගොල්ලො මොනවගේ තීරණයක් ගනීද කියලා. හැබැයි මම නං මේ අයවැයට පක්‍ෂව ඡන්දෙ දෙන්නෙ නැහැයි කියල අද හවස ලොක්කිගෙ මූණටම කිව්වා.... යි දිමූ කී විට ඔවුන් තුළද යම් උනන්දුවක් ඇති වූ බවක් මුහුණුවලින් පෙනෙන්නට තිබුණේය.


ඒ සමඟම වාගේ දිමු.. දිමු.. ඇරපන් මචන් දොර’යි කියමින් කිසිවකු  පිටත සිට දොරට ගසන හඬ ඇසුණේය. ඒ ල.ස.ස.පයේ දෙණියාය මන්ත්‍රී සුමනපාල දහනායක බව හඳුනාගත් පිරිස එසැණින් වෙනත් කතාවක් ඇදගත්තේ ඔහු මේ ගැන ලොක්කාගේ කනේ තබනු ඇතැයි සැකයෙනි.


ඔහු එහි සිටි මන්ත්‍රීවරුන් කීපදෙනා සමඟ මද වේලාවක් කතා කරමින් සිට ආපසු ගිය පසු පිරිස තීරණය කරන ලද්දේ තමුන්ගේ යෝජනා ඇතුළත් සංදේශයක් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ මාර්ගයෙන් අගමැතිතුමිය වෙත භාරදීමය. තමන් ඇතුළු කීපදෙනා ඒ සංදේශයට ඇතුළත් විය යුතු කරුණු කාරණා ගැන කියද්දී එම ලිපිය කෙටුම්පත් කරන ලද්දේ රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා බව දිමුට තවමත් මතකය. සමාගම් වතු රජයට පවරා ගැනීම, එක් පුද්ගලයෙකුට ගෙවල් දෙකකට වඩා ඇත්නම් ඒවා රජයට අත්පත් කරගැනීම සහ සමාගම් වතු ජනතාව අතර බෙදාහැරීම වැනි ප්‍රගතිශීලී යෝජනා කීපයක්ම ඒ අතර තිබුණේය. එම යෝජනා සියල්ලම සමගි පෙරමුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණු බව හෙතෙම පවසයි.


“කොහොම හරි අපි මේ සංදේශය ඊට පහුවදාම ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක ඇමැතිතුමාට බාරදුන්නා. ඒ වැඬේ අපි ඉතාම රහසිගතවයි කෙරුවේ. මොකද ඒ ගැන පත්තරකාරයන්ගේ කනට වැටුණොත් ලෝක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් බව අපි දැනගෙන හිටියා. ඒ සැරේ අපි හිතුවා මේ ගැන මුදල් ඇමැතිතුමාටත් කියන්න. ඊට පස්සෙ අපි පහුවදා රෑම කොටාරෝඞ් එකට ගිහින් ඇන්.ඇම්. සහෝදරයා හමුවුණා.....!” යි කියමින් එම සිද්ධිය ආවර්ජනය කරන දිමු ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි දී මුදල් ඇමැතිතුමා තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් හෙළිකළ බවය.


“ආ..... අපේ මන්ත්‍රීතුමන්ලා මොකද මේ පැත්තේ?” යි අසමින් තම නිවසේ කන්තෝරු කාමරයෙන් එළියට ආ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කටපුරා සිනාසෙමින් ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරුන් පිරිස පිළිගත්තේය. අනතුරුව ඔහු තම සේවකයෙකුට කියා සිටියේ සීනි අඩුවෙන් දැමූ සැරකිරි කෝපි කෝප්ප හත අටක් සූදානම් කරන ලෙසය.

 

 

“අනේ සර්, අපට නං දියවැඩියාව නැහැ. ” යි ඒ ඇසූ නන්ද එල්ලාවල ලොක්කාට විහිළුවක් කළ බවද දිමුට මතකය. “සර්, අපි ආවේ, අයවැයට අපට එකඟ වෙන්න අමාරු බව කියන්නයි...”
දිමු කිරි කෝපි කෝප්පය තොලගාන අතරම වචන අහුලාගෙන කියා සිටියේ තරමක සැකයකින්ද යුතුවය. එසැණින් ඇන්. ඇම්. සහෝදරයා කෝප වී තමන්ගේ ඇඟට කඩා පනිනු ඇතැයි හෙතෙම අනුමාන කළේය.


“ඔව් අයිසේ.... තමුන්නාන්සේලා හරි, මමත් ඒ අයවැයට එකඟ නෑ....!” යි කී ඇමැතිවරයා ඉතා සැහැල්ලුවෙන් සිනාසුණේය. ඔහු කී කතාව ඇසූ දිමුලා ඇස් උඩ තියාගෙන බලා සිටියහ.
“අයිසේ... ඒකේ තිබුණ යෝජනා වැඩි හරියක් මිසිස් බී ගෙයි, ෆීලික්ස් ගෙයි. මගේ යෝජනා තියෙන්නේ බොහොම ටිකයි. මන්ත්‍රීතුමන්ලාට ඒක දැනිච්ච එක ලොකු දෙයක්”
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එසේ කියද්දී තමන් අයවැයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත විශේෂ ලිපියක් ද එදින උදෑසන භාරදුන් බව කී දිමුලා ආපසු ශ්‍රාවස්තියට එනවිට රාත්‍රි 11.00ත් පසු වී තිබුණේය.


ඊට පසුදා උදෑසනම ඔවුන් ගොස් තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව, ටී. බී. ඉලංගරත්න, ටී. බී. සුබසිංහ සහ ටී. බී. තෙන්නකෝන් වැනි ප්‍රගතිශීලී ඇමැතිවරුන් කීප දෙනෙකු හමුවීමටය. එහිදී ඔවුන් කියා සිටියේද තමන් බලාපොරොත්තු වූ අන්දමේ සමාජවාදී යෝජනා කිසිවක් ඇන්.ඇම්. ලොක්කාගේ අයවැය ලේඛනයේ නොමැති බවය. එහෙත් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වශයෙන් තමන්ට ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට නොහැකි බව ඔවුහු කියා සිටියහ.

 

මේ වන විටත් දිමුලාගේ ලිපිය අගමැතිනිය වෙත ලැබී තිබුණේය. ඇය ඒ ගැන වඩාත් කෝප වී සිටියේ තමන්ගේ සුවච කීකරු ගෝලයකු වූ අක්මීමන මන්ත්‍රී සේනපාල සමරසේකරද එම සංදේශයට අත්සන් කර ඇති අයුරු දැකීමෙනි. පසුව ආරංචි වූයේ තමන් ඊට අත්සන් කරන ලද්දේ දිමු ගේ බල කිරීම මතයැයි කියා ඔහු ඇඟ බේරා ගෙන ඇති බවය.


මේ අතර අගමැතිනිය කළේ එවකට තමන්ගේ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරියා වූ අනුරුද්ධ රත්වත්තේ යවා දිමු ඇතුළු එම ලිපියට අත්සන් කර තිබූ සියලුම මන්ත්‍රීවරුන් තමන් හමුවට කැඳවා ඔවුන්ට හොඳටම බැණ වැදීමය.


“මැඩම් මේක මම හොරෙන් කරපු දෙයක් නෙවි. මම අයවැය ලේඛනය ගෙනාපුදාම ඔබතුමියට ඒ ගැන කිව්වා.


දිමු එසේ කී විට අගමැතිනිය මඳක් සංසුන් වූ අතර ඇයට ඉන් අනතුරුව වහාම අවශ්‍ය වූයේ අයවැය ගැන විරෝධය දක්වන ඇමැතිවරුන් ගැන දැනගැනීමටය. එහෙත් තමන් ඔවුන් පිළිබඳව කිසිවක් නොකී බව හෙතෙම පවසයි. “හරි ඉතින් අයවැයට පක්‍ෂව ඡන්දෙ නොදී කොහොමද එයාලා කැබිනට් එකේ ඉන්නේ.” යි කී අගමැතිනිය ගස්සා ගෙන ගෙතුළට ගියාය.


“ලොක්කි අරහෙම කිව්වෙ අපටත් එක්කයි... රොස්මිඞ් මැදුරේ සිට ආපසු එන අතරතුර එඞ්වින් වික්‍රමරත්න මන්ත්‍රීවරයා එසේ කීවේ දිමුගේ කනට කොඳුරමිනි. 


අන්තිමේදී ප්‍රශ්නය යළිත් වරක් ඇවිස්සුණේ ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම අතරතුරය.


“කවුද අර අයවැයට ඡන්දෙ නොදෙනවයි කියන අපේ ඇමැතිතුමන්ලා.....?” යි ඇසූ අගමැතිනිය ඊළඟට කියා සිටියේ ආණ්ඩු පක්‍ෂයේ පොදු තීරණවලට එකඟ නොවන මැති ඇමැතිවරුන්ට තමන්ගේ හිතට එකඟව අදහස් පළ කිරීමට දැන් ඉඩ ලැබෙන බවය. එහි දී හෙක්ටර් කොබ්බෑකඩුව, ටී. බී. තෙන්නකෝන් සහ මෛත්‍රීපාල සේනානායක වැනි ඇමතිවරුන් කීපදෙනෙකුම විවෘතව තම අදහස් පළකළ අතර ඉලංගරත්න මහතා පමණක් නිහඬව සිටි බව දිමුට මතකයි. 


එම ඇමැතිවරුන් සහ දිමු ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම අදහස් පළ කරද්දී. මුලින් කෝප වූ අගමැතිනිය පසුව සංසුන් වූවාය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ දිමුලාගේ විකල්ප අදහස් සහ යෝජනා පිළිගත් රාජ්‍ය නායිකාව එම යෝජනා කීපයක් සංශෝධිත අයවැය යෝජනා ලෙස මැති සබයට ඉදිරිපත් කරන්නැයි මුදල් ඇමැතිවරයාට ඒ මොහොතේදීම උපදෙස් දීමය.

 

 

 

 

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

ඇන්. ඇම්.ට එපා වුණ ඇන්. ඇම්.ගේ අයවැය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site