IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආණ්ඩුවම කැලඹූ උතුරේ ආරංචිය

 

මීට වසර 20කට පමණ ඉහත උතුරේ ත්‍රස්තවාදී යුද්ධය උග්‍ර තත්ත්වයට පත්ව තිබූ එක්තරා දිනයක උතුරේ යුද මෙහෙයුම් කලාපයේ සිට කොළඹ ආරක්ෂක අමාත්‍යංශය වෙත එක්තරා නරක ආරංචියක් ලැබී තිබුණේය.


නිල වශයෙන් තහවුරු නොකළ එම නරක ආරංචිය වූයේ එවකට පැවැති ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ද වූ අනුරුද්ධ රත්වත්තේ මහතා ඇතුළු ඉහළම මට්ටමේ ආරක්ෂක ප්‍රධානීන් කීපදෙනෙක් ගමන් කළ යුද හමුදා හෙලිකොප්ටර් යානයක් කොටින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීම නිසා වැලිඔය ප්‍රදේශයේ මහ කැලයට කඩා වැටී ඇති බවයි.


ඇමැතිවරයා සමග එම හෙලිකොප්ටරයේ ගමන් කළ හමුදාපති රොහන් දළුවත්ත, පොලිස්පති ඩබ්ලිව්. බී. රාජගුරු, උතුරු ප්‍රදේශයේ හමුදා ආඥාපති මේජර් ජනරාල් අශෝක ජයවර්ධන ඇතුළු තවත් කීපදෙනෙකුම සිද්ධියෙන් මරණයට පත්ව ඇතැයි ද තහවුරු නොකළ එම පුවතෙහි වැඩිදුරටත් සඳහන් විය. ඒ බව දැනගත් චන්ද්‍රිකා ජනාධිපතිනිය කියා සිටියේ එය කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයක් බවය. 


“කොහොම වුණත් සිද්ධිය තහවුරු වෙනකං මෙය රහසක් හැටියට තියා ගන්න!” යි කී චන්ද්‍රිකා මැතිනිය කොළඹින් විශේෂ හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදවා වැලිඔය මහ කැලය පරීක්ෂාවට ලක්කරන ලෙස ආරක්ෂක මණ්ඩලයට නියෝග කළාය.
කෙසේ වුවද ඒ මොහොත වනවිටත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස නිරුපද්‍රිතව සිටියහ. සිදුවී තිබුණේ ඔහු ඇතුළු පොලිස් හා හමුදා ප්‍රධානීන් ගමන් කළ යානය ඒ වනවිට පැවැති අධික මීදුම් නිසා යා යුතු මග සොයාගත නොහැකිව වැලිඔය ප්‍රදේශයේ මහ කැලයට ඉහළ අහසේ ඉබාගාතේ පියාසර කරමින් තිබීමය. හෙලිකොප්ටරය පැදවූ කොටකදෙණිය නමැති නියමුවා අනුරාධපුරයට සහ වවුනියාවට කතා කර යායුතු ගමන් මග පිළිබඳව උපදෙස් පැතුව ද එම උත්සාහය අසාර්ථක වූයේ අදාළ ගුවන් සංඥා ක්‍රියාවිරහිතව පැවැති බැවිනි. ඒ මොහොතේ හෙලිකොප්ටරයේ තිබූ මාලිමා යන්ත්‍රය ද අක්‍රියව පැවතිණි.


හෙලිකොප්ටරය තවත් විනාඩි තිහක පමණ කාලයක් ඉහළ අහසේ ඉබාගාතේ පියාසර කරමින් තිබුණේය. ඒ වනවිට අහසේ පැවැති අධික වලාකුළු සහ මීදුම ද ක්‍රමයෙන් පහව යමින් තිබූ අතර ඊළඟ මොහොතේ දකින්නට ලැබුණේ පහළින් තිබූ පුනරීන් කඳවුරය. වැලිඔය බලා පියාසර කරමින් සිටි ඔවුන්ට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකින් පිහිටි පුනරීන් කඳවුර දර්ශනය වීමෙන් පැහැදිලි වූයේ මග වැරදීම නිසා තමන් නොදැනුවත්වම යාපනේ දෙසට ගොස් තිබෙන බවය.


“වහාම චොපර් එක හරවන්න. අපි යන්න ඕනෑ වැලිඔයට මිසක් පලාලිවලට නෙවේ”


රත්වත්තේ ඇමැතිවරයා එසේ කී විට නියමුවා යානය ‘යූ’ අකුරේ හැඩයට වටයක් කරකවා දකුණු දෙසට පියාසර කරවිය. ඒ වනවිට පහළින් තිබූ කොටි කඳවුරු පවා පැහැදිලිව දර්ශනය වූ අතර එහි සිටි කොටි භටයන් හදිසි ගුවන් ප්‍රහාරයකැයි සිතා කලබල වී සිටින බවක් පෙනී ගියේය. මේ වනවිට යානය ගුවන්ගතවී පැය තුනකටත් වැඩි කාලයක් ගතවී තිබුණේය.


“සර් ටැංකියේ තව තෙල් තියෙන්නේ විනාඩි පහකට විතරයි. ඊට වඩා ෆ්ලයි කරන්න ගියොත් කඩා වැටෙනවා.” 


යානයේ නියමුවා එසේ කී විට සියලුම දෙනාගේ ඇඟේ ලේ සීතල වී ගියේ ඉබේටමය.


“එහෙමනං ඉතින් වෙන කරන්න දෙයක් නෑ. අන්න අර පේන තැනට චොපර් එක ලෑන්ඞ් කරනවා!”


ඇමැතිවරයා අත දිගු කර පහළින් පෙනුණු මහ වනයේ ගස් කොළන්වලින් තොර තැනක් පෙන්වූ විට තුම්මුනින් දාඩිය පෙරාගෙන සිටි නියමුවා යානය නිරුපද්‍රිතව එතැනට ගොඩබස්වන ලද්දේ තම දෙනෙත් පීරිසි කෝප්ප දෙකක් තරමට මහත් කර ගනිමිනි.


“අපි චොපර් එක බැස්සුවේ හේනක් වගේ තැනකට. ඒ ළඟම කටුමැටි ගහපු ගේකුත් තිබුණා. ඒ ගෙදර හිටියේ දෙමළ පවුලක්. අපේ චොපර් එක බිමට බානවා දෙකලා ඒ අයත් හොඳටම බය වෙලා. පස්සේ අපි ගිහින් කැඩිච්ච දෙමළෙන් කතා කෙරුවට පස්සෙයි ඒ අයගෙ බය නැති වුණේ. කොහොම හරි එතැන ඉඳලා වවුනියාවට හැතැක්ම විස්සක් විතර දුරයි කියලා ඒ උදවියගෙන් තමයි අපිත් දැනගත්තේ.” යි අනුරුද්ධ රත්වත්තේ ඇමැතිවරයා පසුව මාධ්‍යට හෙළිකර තිබුණේය.


“සර් මෙතන ඉඳලා වවුනියාවට තියෙන්නේ හැතැක්ම විස්සක් නං ඒ දුර යන්න ටැංකියේ තියෙන තෙල් ටික ඇති” යි කී නියමුවා යළි හෙලිකොප්ටරයට ගොඩවී එය පණ ගැන්වීමට තැත් කළ ද අඩි දෙකක් හෝ තුනක් පමණ ඉහළට නැගුණු යානය යළිත් පහළට බැස්සේ සියලු දෙනාගේම බලාපොරොත්තු සුන් කරවමිනි. මේ වනවිට තුවක්කු කරේ දමාගත් කොල්ලන් කීපදෙනෙකු බයිසිකල්වලින් පැමිණ තරමක් දුරට වී ඒ දෙස බලා සිටින අයුරු ද ඔව්හු දුටුවහ.


එහිදී ඇමැතිවරයා යෝජනා කළේ හෙලිකොප්ටරය එම ස්ථානයේ අතහැරදමා පා ගමනින් වවුනියාවට යාම වඩාත් ප්‍රඥාගෝචර බවය.


“හැබැයි ඊට කලින් තව දෙයක් කරන්න ඕනෑ!” යි කී රත්වත්තේ තමන් අත තිබූ සැරයටියෙන් යානයේ ස්විච් බෝඩයට පහරදී කුඩු පට්ටම් කර දැම්මේය. සෙසු පිරිස ද තමන්ගේ අතට අසුවූ දෑවලින් පහරදී එහි තිබූ උපකරණ කීපයක්ම කඩාබිඳ දැමූහ. එවැනි හෙලිකොප්ටරයක වටිනාකම රුපියල් කෝටි ගණනක් වුවද ඔවුන් එසේ කළේ එය කොටින්ට අසුවුවහොත් ඉන්ධන පුරවා හෝ යළි පණ ගැන්වීමට නොහැකි වන පිණිසය.


මේ අතර පොලිස්පති රාජගුරුත්, ඔහුගේ ආරක්ෂකයාත් එම ස්ථානයෙන් අතුරුදන්ව සිටීම හැම දෙනෙකුටම පාහේ පුදුමයක් විය. ඔවුන්ට ඇසෙන සේ හඬනඟා කතා කිරීමට පවා නොහැකිවූයේ එසේ කළහොත් එය කොටින්ට ඇසීමට ඉඩ ඇතැයි සැක සිතූ බැවිණි.


මේ අතර කොළ අතු පෑගෙන හඬක් ඈතින් ඇසී ඒ දෙස බැලූ විට පොලිස්පතිවරයා කාගේදෝ කබල් බයිසිකලයක් තල්ලු කරගෙන ඔවුන් වෙත එමින් සිටියේය.


ඉතිරිය ලබන සතියට.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

ආණ්ඩුවම කැලඹූ උතුරේ ආරංචිය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site