IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අදට වඩාත් වැදගත් එදා සිටි මිනිසා

1970 දී ඩඞ්ලි සේනානයක රජය පරාජයට පත් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම නිල නිවසද නිල වාහනයද බාරදී සූට්කේසයකට තම ඇඳුම් ටික දමාගත් මේ එම්. ඩී. බණ්ඩා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගොස් තුන්වැනි පන්තියේ ටිකට් පතක් මිලදීගෙන දුම්රියෙන් පොල්ගහවෙලට ගියේය.

අද ඇතැම් දේශපාලකයින් ජනතාව ඉදිරියේ පවත්වන කතා ඉතා අසෝබනය. මොව්හු පාර්ලිමේන්තුවේදී කරන කතා බෙහෙවින් අසංවරය. ඇතැම් දේශපාලකයින් වේදිකා මතට නගින්නේ දුම්මල වරම අතට ගත් යකැදුරන් වගේය. යක්ෂාරූඪ වෙලාය. කියන තරමක් කියන්නේ අමූලික බොරුය. කැත කතා, ජරා කතා, කියන්නට මොවුන් උපන් හපන්නුය. දේශපාලන භූමිය අපවිත්‍ර කරන්නේ මොවුන්ය. 


ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා ගජබින්නාලංකාරය රස කර කර කියවන මෙවැනි දේශපාලකයින්ගෙන් රටකට වැඩක්, සුගතියක්, යහපතක් සිදුවේද? අනුවණ, අඥාන, වාචාල පුද්ගලයින් ඇමති තනතුරුවලට පත්වීම රටකට විපතකි. අභාග්‍යයකි. ලංකාවේ නම් මෙවැනි අභාග්‍ය සම්පන්න සිද්ධීන් අලුත් ආණ්ඩු පිහිටුවීමේදී නිතර සිදුවන්නකි. පාර්ලිමේන්තුවේදී, ඇමති මණ්ඩලයේදී පමණක් නොව ජනතාව ඉදිරියේදීද තනතුර අගෞරවයට පත් කරමින් හැසිරෙන, අපහාසයට මුල් තැන දෙන, කුණු කතා දෙසන දේශපාලකයින් යළි යළින් බලය ලබා ගැනීම රටකට අයහපතකි. ලංකාවේ මජර දේශපාලනයේ ඇතුළු පැත්ත මෙහෙමය.


මෙවැනි වාතාවරණයක් තුළදී අතීතයේදී ලංකාවේ සිටි මහත්මා ගතිගුණවලින් හෙබි දේශපාලකයෙකු පිළිබඳ සඳහන් කිරීමට සුදුසුම වකවානුවකි මේ. අතීතයේ සිටි ඇමතිවරුන් අතරින් ඉතා ගෞරවණීය නාමයක් දිනා ගත්, සංවර පුද්ගලයකු වශයෙන් ඇම්. ඩී. බණ්ඩා නමැති දේශපාලකයා හැඳින්විය හැක. ඔහුගේ සම්පූර්ණ නම මොහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩාය. ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සිටි අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, යූ. බී. වන්නිනායක වැනි අය මෙන්ම මා මේ කියන එම්. ඩී. බණ්ඩා නමැති දේශපාලකයාද නිහතමානී ගතිගුණවලින් හෙබි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි. විරුද්ධවාදීන්ට අපහාස නොකළ, ගුණ ගරුක විනය ගරුක ප්‍රාඥයෙකි. තනතුර නිසා ඔහු බැබළුනේ නැත. තනතුර බැබළුනේ ඔහු නිසාය.


ඔහු උපත ලැබුවේ 1914 මාර්තු 9 වැනිදාය. අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙනි. සත් කෝරලයේ පනලිය ගමේ උපත ලැබූ ඔහු ලන්ඩන් මැටි්‍රකියුලේෂන් විභාගයද සමත්ව ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධියක්ද හිමිකර ගෙන පසුව සිවිල් සේවා විභාගයෙන්ද සමත්ව දිවයිනේ ප්‍රදේශ කීපයක ඩී.ආර්.ඕ. (ආදායම් පාලක නිලධාරි) තනතුරුවල නිරත වූ බුද්ධිමතෙකි. වසර 24 ක් රට පුරා ඩී.ආර්.ඕ. තනතුරු හොබවා මහ දිසාපති තනතුරට උසස් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු රජයේ සේවයෙන් ඉවත් වී දේශපාලනයට පිවිසුණේය.


ඩී.ආර්.ඕ. තනතුර දරද්දී බොහෝ දෙනා ඔහුට ‘දිසා හාමුදුරුවෝ” යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබුවත් “ මම මහණ වෙලා නැහැ. මම හාමුදුරු කෙනෙක් නොවෙයි” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. 1940 ගණන්වලදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඔහු ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක සහ ඔහුගේ පුතා වූ ඩඞ්ලි සේනානායක යටතේද සේවය කළේය. අද දේශපාලනයට අවශ්‍ය මෙවැනි බුද්ධිමතුන්ය. නැණවතුන්ය.


1960 ආහාර සහ වෙළෙඳ ඇමතිවරයා වූයේ ඔහුය. 1965 සිට 1970 දක්වා කෘෂිකර්ම හා ආහාර ඇමති තනතුර දැරුවේ ඔහුය. ඔහු මෙන්ම ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ කැබිනට් මංඩලයේ සිටි ප්‍රවාහන ඇමති ඊ. එල්. බී. හුරුල්ලේ නමැති රජරට පුත්‍රයාද සිවිල් සේවා විභාගය සමත්ව ඩී.ආර්.ඕ. තනතුර හොබවා රජයේ සේවයෙන් ඉවත්ව දේශපාලනයට පිවිසි විශිෂ්ට ලංකා පුත්‍රයෙකි.


1970 දී ඩඞ්ලි සේනානයක රජය පරාජයට පත් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම නිල නිවසද නිල වාහනයද බාරදී සූට්කේසයකට තම ඇඳුම් ටික දමාගත් මේ එම්. ඩී. බණ්ඩා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගොස් තුන්වැනි පන්තියේ ටිකට් පතක් මිලදීගෙන දුම්රියෙන් පොල්ගහවෙලට ගියේය.

පොල්ගහවෙලින් බැස කඩයකින් පාන් රාත්තලක් මිලට ගත් ඔහු නිවසට ළඟා වුනේ දේශපාලකයින්ට හිමිවන බලය තාවකාලික බව අවබෝධ කරගනිමිනි. මෙය අද අප රටේ දේශපාලකයින් වැඩි දෙනෙකුට අවබෝධ වී නැති බව පෙනේ.


ඇම්. ඩී. බණ්ඩා නමැති මේ නිහතමානී මිනිසා කිසිමදාක වේදිකා මත නැග හෝ පාර්ලිමේන්තුවේදී හෝ අසංවර අයුරින් හැසිරුණේ නැත. බොරු දෙසා බෑවේද නැත. කතා කළේ සංවර අයුරිනි. දූෂිත ක්‍රියා සිදු නොකළේය. අපහාස උපහාය පිළිකුල් කළේය. ඔහු ජනතා දුක හඳුනාගත්තේ ගම් නියම් ගම්වල වසර 24 ක් තිස්සේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් දරමින් සිටියදීය. අද බොහෝ දේශපාලකයින් එම්. ඩී. බණ්ඩා වැනි හිටපු ඇමතිවරුන්ගේ ගුණ ගරුක චරිත ආදර්ශයට ගන්නේ නැත.


එදා 1970 එනම් මීට වසර 49 කට පෙර එම්. ඩී. බණ්ඩා නම් වූ ඇමතිවරයා නිල වාහනය හා නිල නිවාසය බාරදී පොල්ගහවෙලට දුම්රියෙන් ගිය ගමන සිහියට නැගෙද්දී අද ඇතැම් දේශපාලකයින් නටන නාඩගම් කරන විකාර පිළිකුල් සහගත බව කිව යුතුය. මා මෙසේ සඳහන් කළේ හිටපු ඇමතිවරුන් රාශියක් තවමත් කොළඹ නිල නිවාස හා නිල වාහන රජයට බාරදී නැති බවට ඉකුත් දා පුවත්පත්වල පළවී තිබූ වාර්තා සැලකිල්ලට ගනිමිනි.


ඇම්. ඩී. බණ්ඩා ඇමතිවරයා පිළිබඳව කිවයුතු දේ බොහෝය. ඩඞ්ලි සේනානායක අගමැතිවරයාට රටපුරා වගා සංග්‍රාමය ඇරඹීමට යෝධ ශක්තිය සැපයුවේ ඔහුය. 


1970 දී ගෙදර ගිය ඇම්. ඩී. බණ්ඩා වයස අවුරුදු 60 ක් සම්පූර්ණ වෙද්දී ඊට වසර 4 කට පසු එනම් 1974 දී ගරා වැටුණු ගෙයක අවසන් හුස්ම හෙළුවේය. ඔහු දේශපාලනයෙන් හරි හම්බ කරගත් දෙයක් නැත. ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණ පොල්ගහවෙල හරහා අනුරාධපුරයට යද්දී මේ කෘතහස්ත දේශපාලකයා මගේ සිහියට නැගුණේය.

 

ඇම්. ඩී. බණ්ඩා ඩඞ්ලි සේනානායක මහතා හමුවු මොහොතක්.

 


ඇම්. ඩී. බණ්ඩා කෘෂිකර්ම හා ආහාර ඇමති තනතුර දරද්දී වැදගත් සමුළුවකට සහභාගි වීමට විදේශ රටකට ගියේය. ඒ අතර ඔහුගේ පුත්‍රයෙකු බලවත් සේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර තිබුණේ බිරිඳ ප්‍රමුඛ පවුලේ ඥාතීන් විසිනි. 


සමුළුව අවසන් වී දිවයිනට ළඟා වූ ඔහුට රජයේ ප්‍රධානීන් පැවසුවේ පුත්‍රයා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කරන ලෙසයි. රජයේ රෝහල් තිබියදී පුද්ගලික රෝහලකට පුතා ඇතුළත් කළේ මන්දැයි ඔහු පවුලේ ඥාතීන්ට දොස් පැවරුවේය.


පුත්‍රයාට ශල්‍ය කර්මයක් සිදු කළේ ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ පී. ආර්. ඇන්තනීස්ය. එවකට ආසියාවේ විශිෂ්ටතම ශල්‍ය වෛද්‍යවරයා වූයේ ඔහුය. එම්. ඩී. බණ්ඩා ඇන්තනීස් වෛද්‍යවරයාට ගාස්තුව ගෙවීමට සූදානම් වූවිට වෛද්‍යවරයාම එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ “ඔබ වැනි විශිෂ්ට, නිහතමානී, විනීත, දේශපාලකයෙකුගෙන් ගාස්තුවක් අය කිරීම තම වෛද්‍ය වෘත්තියට අගෞරවයක්” බවය. වෛද්‍ය පී. ආර්. ඇන්තනීස්ගේ මෙම කියමන ඇම්. ඩී. බණ්ඩා නමැති යුග පුරුෂයා වෙනුවෙන් සිදුකළ උපහාරයක් නොවන්නේද? අද ලංකාවේ සිටින්නේ මෙවැනි දේශපාලකයින්ද? දේශපාලකයින් රාශියක් ඇමති තනතුර අහිමි වූ පසුවද කොළඹ හතෙන් තමන්ට ලැබුණ සුඛෝපභෝගි නිල නිවාස මෙන්ම නිල වාහනද රජයට බාර නොදී ඒවා පරිහරණය කරමින් “ඇමති ඌෂ්ණය’ තවමත් කරට ගෙන ක්‍රියා කරන යුගයක මෙවන් සටහනක් ලිවීම වඩාත් කාලෝචිත වන්නේය.

 

 


සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

අදට වඩාත් වැදගත් එදා සිටි මිනිසා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site