මෙවර පැවැති මහා මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක ආන්දෝලනය රැව්දෙන්නට විය. දේශපාලන පක්ෂ අතරින් එක් පක්ෂයකට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොලැබුණහොත් වෙනත් පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවන බවට දේශපාලන අංශවලින් නිතර කියැවිණි. ප්‍රබල දේශපාලන පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වූ විට අන් දේශපාලන පක්ෂවල සහාය පැතීම සිදුවේ. බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබීම නිසා අනෙක් පක්ෂ කීපයක් එකතු කරගෙන රජයක් පිහිටුවීම ප්‍රථම වරට සිදුවූයේ එක්දහස් නවසිය හැටපහේ වසරේදීය.


ඒ අයුරින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවූයේ 1965 මාර්තු 22 වැනිදා පැවැති මහ මැතිවරණයේදීය. එවර මැතිවරණයේදී දේශපාලන පක්ෂ දහතුනක් තරග කිරීමට ඉදිරිපත්වී සිටියේය. ප්‍රබල දේශපාලන පක්ෂ දෙක වූයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය නමින් නව පක්ෂයක් ද බිහිවී තිබිණි. තරග කළ අනෙකුත් දේශපාලන පක්ෂ වූයේ ෆෙඩරල් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, ද්‍රවිඩ සංගමය, මහජන එක්සත් පෙරමුණ, ජාතික විමුක්ති පෙරමුණ, විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය, ඊළාම් තමිල් ඔට්රුමෛ මුන්නනි, වාමාංශික පෙරමුණ සහ කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) යනුවෙනි.


එවර මැතිවරණයේදී ආසන එකසිය හතළිස් පහක් විය. මන්ත්‍රීවරු 151ක් පත්වීමට නියමිත විය. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1,579,181 ලබා ආසන 66 ක් හිමි වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 1,226,833 ලැබී හිමි වූයේ ආසන 41 කි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කීපයක් එකතු කරගෙන ආසන සංඛ්‍යාව වැඩිකර ගනිමින් ජාතික රාජ්‍යයක් බිහිකිරීමට කටයුතු කළේය. එහිදී එජාපය හා එකතු වූ අනෙකුත් පක්ෂ වූයේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, මහජන එක්සත් පෙරමුණ සහ ජාතික විමුක්ති පෙරමුණය.


ඒ අනුව එජාප නායක ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරයට පත්වූ අතර ඇමැති මණ්ඩලය දාහතක් විය. රාජ්‍ය ආරක්ෂක, විදේශ කටයුතු සහ ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ තුනම අගමැතිවරයා යටතට පත්විය. ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමැතිවරයා වූයේ සී. පී. ද සිල්වා මහතාය. සී. පී. ද සිල්වා මහතා ඊට පෙර පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයෙන් ඉල්ලා අස්වී නව පක්ෂය යටතේ තරග කර ජාතික රජයට එක්වී සිටියේය.


එක්දහස් නවසිය හැටේ ජූලි මාසයේ පැවැති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 75 ක් ලබාගෙන තිබූ අතර එක්සත් ජාතික පක්ෂයට එවර හිමිවූයේ ආසන තිහක් (30) පමණි. පැවැති ආසන සංඛ්‍යාව එකසිය හතළිස් පහක් විය. එම රජයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වූ අතර, සභානායකවරයා වූයේ ප්‍රබල ඇමැතිවරයකු වූ සී. පී. ද සිල්වා මහතාය. ඒ මහතා කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමැතිවරයා ද විය.


එහෙත් වසර හතරක් ගත වීමත් සමග සී. පී. ද සිල්වා මහතා ශ්‍රිලනිප රජයෙන් ඉල්ලා අස්වීම එම රජය දෙදරා යාමට හේතු විය. එදා ආණ්ඩු පක්ෂය පරාජයට පත්වූයේ ගාල්ල මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතා රාජාසන කතාවට ඉදිරිපත් කළ සංශෝධන පරාජයට පත්වීම නිසාය. සී. පී. ද සිල්වා මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තවත් දාහතර දෙනෙක් රජයට විරුද්ධව ඡන්දය දුන්හ. ඡන්දය පැවැත්වීමට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇමතූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, රජය රැකගැනීමට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියාය. එහෙත් ආණ්ඩුවට පක්ෂව ඡන්ද හැත්තෑ හතරක් ලැබීමෙන් එම රජය පරාජයට පත්විය. ශ්‍රිලනිප රජය ඒ අයුරින් කඩාවැටීම නිසා ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය යළි බලයට පැමිණීමට කටයුතු යෙදුණි.


ඩඞ්ලි සේනානායක රජයේ රාජ්‍ය ඇමැති ධුරය ජේ. ආර්. ජයවර්ධන මහතාට හිමිවිය. ඇම්. තිරුචෙල්වම් මහතා පළාත් පාලන ඇමැතිවරයා විය. ඇමැති ධුර දාහතකින්ද සැදුණු එම ජාතික රජයේ රාජ්‍යාරක්ෂක, විදේශ කටයුතු සහ ආර්ථික හා ක්‍රම සම්පාදන උප ඇමැති පදවිය ලැබුණේද ජේ. ආර්. ජයවර්ධන මහතාටය. ආර්. ප්‍රේමදාස මහතා පළාත් පාලන උප ඇමැතිවරයා විය. උප ඇමැතිවරියක් ලෙස විමලා කන්නන්ගර මහත්මිය කාන්තා නියෝජනය ලැබ තිබිණි.


පළමුවෙන් ජාතික රජය බිහිවූයේ ඩඞ්ලි සේනානායක මහතා සිවුවැනිවරක් අගමැති පදවියට පත්වීමෙනි. ඒ වන විට සේනානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි අගමැතිවරයා බවට පත්වී තිබිණි.


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික රජයක් බිහිවීම 1965 මාර්තු 26 වැනිදා දවස පුවත්පත පළකර තිබුණේ මෙසේය.   


“පළමුවැනි ජාතික රජය බිහිවෙයි. අලුත් අගමැති දිවුරුම් දෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඞ්ලි සේනානායක මහතා ඊයේ දහවල් 1.28 ට රජගෙදරදී අලුත් ජාතික රජයේ අගමැති පදවිය භාරගත්තේය. සේනානායක මහතා නිදහස් ලංකාවේ නවවැනි අගමැතිවරයාය. එසේම ඒ මහතා අගමැති ධුරයට පත්වූ සිවුවැනි වතාව ද මෙය වෙයි.


ජාතික රජය බිහිවීම නිමිත්තෙන් මල්වතු පාර්ශ්වයේ සියම් මහා නිකායේ මහා නායක රාජගුරු ශ්‍රී විපස්සි නාහිමිපාණෝද විශේෂ ප්‍රකාශයක් කරමින් සුබ පැතූහ. එම නිවේදනය මෙසේ විය.


“ඉකුත් මාර්තු 22 වැනිදා පැවැත්වුණ මහා මැතිවරණය මේ රටේ අවුරුදු ගණනාවකින් පැවැත්වුණු ඉතාමත් තියුණු වූද තරගකාරී වූද මහා මැතිවරණයකි. වෙනත් වාරවලදීට වඩා වැඩි ඡන්දදායක සංඛ්‍යාවක් මෙවර ඡන්දය දීමට ඉදිරිපත් වී සිටියහ. මාක්ස්වාදී රජයන් මේ ධර්මද්වීපයේ ඇතිවුවහොත් එයින් ආගමික නිදහසට හා බුද්ධ ශාසනයට සිදුවන මහා විනාශය පිළිබඳව පොදු මහජනතාවට කරුණු කියාදීම සඳහා භික්ෂු පෙරමුණ මගින් අතිඋත්තම උත්සාහයක් දරන ලදී. එහෙත් ඇතැම් භික්ෂු පිරිසක් නොමග ගොස් මාක්ස්වාදීන්ට මුලාවී භේදභින්න වීම කනගාටුවට කරුණකැයිද සඳහන් කරමි.”


මහා මැතිවරණය ඉතාමත් අපක්ෂපාතීව මෙන්ම කාර්යක්ෂම අන්දමින් මෙහෙයවීම ගැන මැතිවරණ කොමසාරිස් ෆීලික්ස් ඩයස් අබේසිංහ මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතු බවද එහි සඳහන් විය. මැතිවරණ කාලය තුළදී නීතියත් සාමයත් රැකීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ගත් දැඩි උත්සාහයද පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හේතුවකි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ ජාතික රජයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් අද මේ රටේ ජනතාව ඉදිරියේ ඇති බැරෑරුම් ප්‍රශ්න පිළිබඳ වගකීමකින් යුක්තව ආගමේත් ජාතියේත් දියුණුව පතා එක්සත්ව එක්සිත්ව රටට සේවය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් නායක හිමියෝ සිය නිවේදනයේ සඳහන් කරති.


නව රජය ජාති ආගම් කුල භේදවලින් තොරව ලක්වැසි ජනතාවගේ පොදු යහපතට සේවය කරනු ඇතැයි බලාපොරොත්තු වන බැව්ද උන්වහන්සේ සඳහන් කරති.


යනුවෙන් එම නිවේදනය ද පුවත්පත් මගින් පළකරනු ලැබීය.