ඇන්. ඇම්. පෙරේරා ඇය සමඟ සසඳත්දී සිටියේ දැඩි පරස්පරයකය. ඔහු කොළඹ තොටළඟ දිළිඳු පවුලක උපන්නෙකි. අතදිග හැර වියදම් කරන්නට ඔහු සතුව මිල මුදල් හෝ යානවාහන හෝ නොතිබිණ. එකී කාලවකවානුවෙහි පැවැති සමාජ වාතාවරණය අනුව අධිකාරම්වරුන්, කෝරාලවරුන්, ගම්මුලාදෑනිවරුන් මෙන්ම පන්සල් ආශ්‍රිත හිමිවරුන්ට පොදු මහජනතාවට බලපෑම් කිරීම ඉතා ලෙහෙසි පහසු වූවක් විය. එමෙන්ම මැරවර බලයද රාජ්‍ය පොලීස් සේවයේ බලයද වතු අධිකාරි බලයද ඇන්. ඇම්. ගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වෙත නොඅඩුව තිබිණ.


සමසමාජවාදීන් කෙරෙහි මේ වන විට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණේ ඔවුන් පන්සල් පල්ලි විනාශ කරන, ආගම දහම නොසලකන දේවදත්ත කණ්ඩායමක් ලෙසය. ගිහි බෞද්ධ නායකයකු ලෙස මුළු රටම පිළිගත් සර් ඩී. බී. ජයතිලක, මොලමුරේ කුමාරිහාමිගේ මැතිවරණ සටන මෙහෙයවමින් ගමක් ගමක් ගානේ යමින් සමසමාජවාදීන් ආගම දහම විනාශ කරන්නවුන් යැයි ජනතාවට ඒත්තු ගන්වන්නට විය.


හේවාගම් කෝරලයේ ජන ප්‍රධානියා වූ බොරඵගොඩ රාලහාමි මෙන්ම පිලිප් ගුණවර්ධන ගැනද ජනතාව තුළ තිබූ ගෞරව භක්තිය හා මැලේරියා වසංගතයේදී දීවා රෑ නොබලා පොදු ජනතාව අතරට ගොස් කළ උදාර සේවය හා වෙනත් සුදුසුකමක් රුවන්වැල්ල හා ඇන්. ඇම්. අතර නොතිබිණි. උදේ සිට හවස් වනතුරු ගෙයක් ගෙයක් ගානේ යමින් මැතිවරණ සටන මෙහෙය වූ ඇන්. ඇම්. රුවන්වැල්ල ආසනයේ හැම තැනකම එල්ලී ඇති කුමාරිහාමිගේ සුදු පැහැ කොඩිවැල් දැක පසුබට නොවීය.


රදල බලය, මැරවර බලය, ධන බලය පසුබස්වා රුවන්වැල්ල ආසනයට 1936 පෙබරවාරි 22 වැනිදා ඇන්. ඇම්. පත්වූයේ වැඩි ඡන්ද 2978ක් ලබා ගනිමිනි. පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනය ජයගත් අතර දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සහ ලෙස්ලි ගුණවර්ධන පරාජයට පත්වූහ.


ආසන හතරකට තරග කළත් ලබාගත හැකි වූයේ ආසන දෙකක් වුවත් මහජන ඡන්දයෙන් පත්ව සිටි මන්ත්‍රීවරුන් පනස් දෙනාත් පත් කළ මන්ත්‍රීන් දහතුන් දෙනාත් මහ ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් යන නිලධාරින් තිදෙනාගෙන් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පොදු මහජන හඬ ගිඟුම් දෙවන්නට පිලිප් ගුණවර්ධන හා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යන මන්ත්‍රීවරු දෙදෙනාට හැකි වූහ. 


1936 මාර්තු 16 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී “නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා වන මම ශ්‍රී ලංකාද්වීපයේ රාජෝත්තමයාණන් වන නෛකශ්‍රීන් විරාජමාන අටවැනි එඞ්වඞ් මහ රජ්ජුරුවන් වහන්සේටද උන්වහන්සේගේ ඇවෑමෙන් නීත්‍යානුකූලව රාජ පදප්‍රාප්ත වන්නන්ටද භක්තිමත් වන බවටත් අවංක අධ්‍යාශයෙන් පක්ෂපාත වන බවටත් බහුමාන සහිතවද අවංක ලෙසද සැබෑ ලෙසද ප්‍රකාශ කොට මෙයින් සහතික වන්නෙමි” යනුවෙන් ඇන්. ඇම්. දිවුරුම් දුන්නද එදිනම සේනානායක ජයතිලක කල්ලියට එරෙහිව තම බලය මන්ත්‍රණ සභාවේදී ප්‍රදර්ශනය කළේය.

 

පිලිප් ගුණවර්ධනට එරෙහිව තරග කළ පොරැස්ටර් ඔබේසේකර පරාජයට පත් වූයෙන් පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහුගේ තනතුරට රාජ නීතිඥ ප්‍රැන්සින් ද සොයිසා පත්කර ගන්නට සර් ඩී. බී. ජයතිලක - සේනානායක කණ්ඩායමට විරුද්ධව හඬ නැගුවේ ඔහු නිහඬ කිරීමේ අරමුණෙන්ය. සුළු ජාතික මන්ත්‍රීවරුන් හා එකතුව ජාතික සංගම් කාරයන් පරාජය කරන්නට හොඳම අවස්ථාව මෙය යැයි කල්පනා කළ සමසමාජ පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා එක්ව සභාපති තනතුර සඳහා සර් චෛත්‍යලිංගම් දොරේසාමි පත්කර ගැනීමට ගත් මහන්සිය සඵල විය. එම්. ජේ. කෙරීගේ නාම යෝජනාවෙන් හා ඇන්. ඇම්. පෙරේරාගේ ස්ථීරත්වයෙන් චෛත්‍යලිංගම් දොරේසාමි වැඩි ඡන්ද එකකින් සභාපතිත්වයට පත්විය. 


මන්ත්‍රණ සභාවේදී පොදු මහජන ප්‍රශ්න ගැන ඇන්. ඇම්. - පිලිප් දෙදෙනා ගෙන යන මෙහෙවර එයින් පිටතද ගෙනයනු අටියෙන් 1936 ජුලි 10 වැනිදා සමසමාජය පුවත්පත ආරම්භ කෙරිණි. සමසමාජවාදීන්ට මේ වන විට ජාතික සංගමය ඇතුළු විරුද්ධ බලවේග විසින් එල්ල කෙරුණු ප්‍රධාන චෝදනාව වූයේ ඔවුන් ආගම් විරෝධීන්ය යන්නය. මැතිවරණ සමයේ ඉදිරියට ආ මෙකී කරුණ මහජනයා අතර වඩාත් රසමුසු කර ප්‍රචාරය කිරීමට ඔව්හූ පෙලැඹී සිටියහ. මෙකී ප්‍රචාරයන්ට එරෙහිව සමසමාජය පුවත්පතේ පළමු පිටුවේම ඇන්. ඇම්. සහ පිලිප් එක්ව පළ කළ ලිපිය අවසන් කෙරෙන්නේ මෙපරිද්දෙනි.

 


“එහෙත් සමසමාජවාදය කිසි ආගමකට විරුද්ධ නැත. එසේම එය  කිසිම ආගමකට විශේෂ සම්බන්ධකමක්ද නැත. සමසමාජ ක්‍රමය යටතේ සියලු දෙනාටම තම තමන්ගේ ආගම ඇදහීමට සම්පූර්ණ නිදහස තිබේ.
සමසමාජ විරුද්ධව ව්‍යාපාරයෙහි ප්‍රධානියා වන සර් ඩී. බී. ජයතිලක මහතාට සමසමාජය දුප්පතුන් නඟා සිටුවීමට කරන ව්‍යාපාරයකැයි දේශනා කිරීමට නුපුළුවන. එබැවින් ඒ මහතාට සමසමාජය ආගම් විනාශ කිරීමට යැයි දේශනා කරන්නට සිදුවීම පුදුමයක් නොවේ. 


එහෙත් පුදුමය නම් මේ භක්තිවන්ත ලෝකයේ සියලු ආගම්වලට විරුද්ධව එංගලන්තයේ පවතින ‘රැසනලිස්ට් ප්‍රෙස් ඇසෝසියේෂන්’ නමැති සමිතියේ සාමාජිකයෙකු වී එයට මුදලින් ද ආධාර දීමය. මේ සමිතිය මඟින් නොබෝදා පළ කළ වාර්ෂික වාර්තාවෙහි සාමාජික ලැයිස්තු බැලුවොත් මේ සමිතියේ සිටින ලංකාවේ සභිකයින් විසි දෙනා අතුරින් මේ භක්තිවන්ත බෞද්ධයාද එක් කෙනෙකු බවත් පෙනී යනවා ඇත. එහෙත් ආගමක් නැතැයි ජයතිලක මහතාගෙන් චෝදනා ලබන එකම සමසමාජවාදියකුගේ නමක්වත් එහි ඇතුළත්ව නැත.”