මෙරට හිටපු සංස්කෘතික ඇමතිවරයකු මෙන්ම වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ද වූ ටී.බී. ඒකනායක මහතා විවිධ කලා කුසලතාවලින් හෙබි රසවතෙකි. ඔහු ටෙලිනාට්‍ය නළුවකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වේ.
ගීත ගායනයට සහ කාව්‍යකරණයටද ටී. බී. තුළ ඇත්තේ අගනා හැකියාවකි. එසේම ඔහු අතිදක්ෂ වූෂු සටන්කරුවකු ද වේ.


ඔහු සංස්කෘතික ඇමැති ධුරය දරන කාලයේ කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසක පදිංචි වී සිටි අතර සෑම සිකුරාදා දිනෙකම සවස්වරුවේ මහව ප්‍රදේශයේ පිහිටි තම නිවසට යාමට පුරුදුවී සිටියේය.


“අනේ මට මේ කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේ එක දවසක් ඉන්නවයි කියන එකත් මහ වධයක්..” යි නිතරම කී ටී. බී. ඒකනායක සිකුරාදා සවස්වරුවේ ගමට ගිය පසු ආපසු කොළඹ ඒමට පුරුදුවී සිටියේ සඳුදා සවස්වරුවේය. බොහෝවිට ඔහු තමන්ගේ රාත්‍රී කෑමවේලද නිවසින්ම රැගෙන ආවේ ඔය තෙල් කෑම කනවට වඩා මේ ගෙදරින් ගේන බත්මුල කොයිතරම් අපූරුද? යි අසමිනි.


දිනක් තම අමාත්‍යංශයේ පැවති හදිසි රැස්වීමකට සහභාගි වූ ඔහු නිල නිවාසයට ගොස් මුහුණ කට සෝදාගෙන ඉඟුරු දැමූ කහට තේ කෝප්පයකින්ද සප්පායම් වී ගමට යාම සඳහා නිවසින් එළියට බසිනවිට රාත්‍රී 10.00 කණිසමටද එළඹෙමින් තිබුණේය.


කවදත් ඔහු සමග ගමන් කරන ආරක්ෂක නිලධාරියා සහ රියැදුරා රාත්‍රී කෑම කා අවසන් කර තිබුණද තමන්ගේ රෑ කෑම වේල බිරිඳ විසින් නිවසේ සූදානම් කර ඇති බව දැන සිටි ටී. බී. වාහනයට ගොඩවී හරිබරි ගැසුණේ ගෙදර ගිහිල්ලම කන්න බැරියැ යි කියමිනි.


ඔහු එලෙස තරමක් දුර ගමන් යනවිට දිවුල්ගනේගේ ගීත ඇසීමට වඩාත් ප්‍රිය කළේය. එසේත් නැත්නම් ඔහු කැමැත්තක් දැක්වූයේ ගුණදාස කපුගේ ගායනා කරන ගීත ඇසීමටය. එසේම දිවුල්ගනේගේ හෝ ගුණදාස කපුගේ ගීතයක් වාදනය කෙරෙන විට ඉදිරිපස අසුනේ සිටි තම ආරක්ෂක නිලධාරියාට මෙන්ම රියැදුරාටද ඔවුනොවුන් හා කතාබස් කිරීමද හෙතෙම සපුරා තහනම් කර තිබුණේය. ඒ තමන්ගේ රසවින්දනයට බාධාවක් වන බැවිනි.
කොහොම හරි ගිරිඋල්ලත් පහුවෙනකංම දිවුල්ගනේගේ මම ආසම සින්දු ටිකක් තමයි එක දිගට වාදනය කෙරුණේ. දැන් ඔය හරියෙ තියෙනවා වෙල්යායක් අද්දර පෙට්ටි කඩයක්. එතැන ඉඟුරු එහෙම දාල සැරට හදල දෙන ප්ලේන් ටී එක හරි රසයි. ඉතින් ඩ්‍රයිවර්ටත් නින්ද යන්න පුළුවන් නිසා මම කිව්වා අර පෙට්ටි කඩෙන් ප්ලේන් ටී එකක් බීල යමු කියලා. ඒ සැරේ ඩ්‍රයිවර් වාහනේ කඬේට ටිකක් එහායින් නතර කෙරුවම මම රුපියල් සීයක් දුන්නා. ඔයගොල්ලොත් මොනව හරි කාලා මටත් ප්ලේන් ටී එකක් ගේන්න කියලා.


ටී. බී. එසේ කියන්නේ තමන් රෑබෝවී ගෙදර යන බොහෝ අවස්ථාවලදී තේ බීමට නතර කරන සුපුරුදු පෙට්ටි කඩය ළඟ නතර කර එදිනද තේ පානය කළ අයුරු සිහිපත් කරමිනි. තම රියැදුරා මෙන්ම ආරක්ෂක නිලධාරියාද තේ බීමට යන්නේ තමන් තේ පානය කර හිස් පීරිසි කුට්ටම පවා ආපසු දුන් පසුව බව හෙතෙම පළපුරුද්දෙන්ම දැන සිටියේය. රියැදුරා විසින් ගෙන ආ තේ කෝප්පය බී අවසන් කළ ටී. බී. එහෙම නං ඔයගොල්ලොත් ඉක්මනට තේ බීල එන්න යි කියමින් රියේ දොර හැර මදක් බිමට බැස්සේ බුලත්විටක් සැපීමේ අදහසිනි.


එදා හරි ලස්සනට හඳ පායලා තිබුණා. මම හිතන්නේ තව දවස් දෙකක් විතර තිබුණා පසළොස්වක පෝය ලබන්නත්. ඈතින් පෙනුණු කඳු වළල්ල අතරින් පායා තිබුණ හඳ එළිය හැතැක්ම ගණනාවක් එක දිගට පැතිරුණු බණ්ඩි ගොයම මතට වැටුණම ඒ ලස්සන වචනවලින් කියන්න බෑ. ඒ තරමටම ලස්සනයි. මම බුලත්විටත් හප හපා ඒ දිහා වශීවෙලා වගේ ටිකක් වෙලා බලාගෙන ඉන්න කොට මට එක පාරටම ඇහුණා මම ආපු වාහනේ සුරුස් ගාල අද්දල යනවා. මම කලබල වෙලා ඒයි ඒයි කියලා පාරට දුවගෙන එනකොට ඈත යන ජීප් එකේ රතු ලයිට් දෙක විතරයි පෙනුණේ.


ෂි... හ්.. මේ යක්කු මාව දාලා ගියානේ.... යි තමන්ටම කියාගත් ටී. බී. ඒකනායක ඇමතිවරයා එසැණින් සාක්කුවට අත දැමුවේ ජංගම දුරකථනය එහි තිබේදැයි බැලීමටය. තමන් තේ පානය කරද්දී ජංගම දුරකථනය අසුන මත තැබූ බව ඒ සමගම ඔහුගේ මතකයට නැගිනි. තම වමතෙහි බැඳි අත්ඔරලෝසුව දෙස බැලූ ඔහුට පෙනුණේ ඒ වන විට වේලාව මැදියම් රැයටත් ආසන්නවී ඇති බවය.


දැන් ඉතින් මොකක්ද කරන්නේ. යි තමාගෙන්ම අසාගත් ටී. බී. පෙට්ටි කඩය අසලට එන විට කඬේ මුදලාලි එහි දොර ලෑලි වසමින් සිටියේය. 


දැන් බස් එකක් ගියෙත් නැහැනේ. මහත්තය කොහොමද ආවේ?


කඬේ මුදලාලි එසේ අසන ගමන් දොර වසා යතුර අතට ගත්තේ ඔහු ඊට පෙර ටී.බී. ඒකනායක දැක නොතිබුණ බැවිනි. ඊට පිළිතුරු දීමට නොගිය ඔහු සාක්කුවෙන් ලේන්සුව ගෙන දාඩියෙන් පෙඟී තිබූ මුහුණ පිසදමා ගත්තේය.


‘මේ කොයි හරියෙද මුදලාලි..?’


හැම සතියකටම දෙවරක් එම ස්ථානය පසුකර යතත් එම ප්‍රදේශය ගැන එතරම් නිනව්වක් නොතිබුණු ඔහු එසේ අසද්දී විමතියට පත් මුදලාලි අතේ තිබූ විදුලි පන්දම දල්වා ටී. බී. ගේ මුහුණ දෙස බැලුවේ ඔහු කවුරුන්දැයි වඩාත් හොඳින් දැක බලා ගැනීමටය.


ඒ සමගම කුරුණෑගල පැත්තේ සිට අධික වේගයෙන් පැමිණි ඔහුගේ නිලධාරිය මහ හඬින් තිරිංග තද කර නතර කරන ලද්දේ ටී. බී. ඒකනායකගේ ඔළුවට යක්ෂයා ආරූඩ කරවමිනි.


“කොහේද යකුනේ තොපි මං මෙතන දාලා යන්න ගියේ”යි ඇසූ ටී. බී. “යන්නම් මුදලාලි”යි කියමින් රිය තුළට වැදී දඩාස් ගා දොර වසා ගත්තේය.


අන්තිමේදී බලන විට සිදුවී තිබුණේ කඩෙන් තේ පානය කර ආපසු පැමිණි ආරක්ෂක නිලධාරියා සහ රියැදුරා ලොක්කා රියෙන් බිමට බැස ස්වාභාව සුන්දරත්වයේ සුවය විඳගනිමින් සිටියදී ඒ බව නොදැන සැතපුම් හත අටක දුරක් ගමන් කර තිබීමය.


“සර් අලුත් සී.ඩී. එකක් දාන්නද” කියල අහන්න පස්ස බලනකොටයි සර් වාහනේ නැති බව අපි දැනගත්තේ.. යි ආරක්ෂක නිලධාරියා නිදහසට කරුණු කියද්දී මුවට නැගුණු නොසරුප් වචනය ගිලගත් ඇමතිවරයා ‘යකෝ ඉක්මන් කරල යමවු, බඩ පණුවො බොක්සිං ගහනවා’ යි කියමින් මහ හඬින් බිරුසන් දුන්නේය.

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි