හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම හිටපු ඇමැතිවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1970 මහ මැතිවරණයෙන් ගම්පොළ අසුන ජයග්‍රහණය කරමිනි. එකල පසුපෙළ මන්ත්‍රීවරයෙකු වූ ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියේ තරමක් නහර කාරයෙකු වශයෙනි.


මේ කාලය වන විට මෙරට අධ්‍යාපන ඇමැතිවරයා වූයේ අල්හාජ් බද්උද්දීත් මහමුද් මහතාය. කෙසේ වෙතත් ඒ දිනවල දිමු අධ්‍යාපන ඇමැතිවරයා සමඟ හිත නොහොඳින් පසු වූයේ ඔවුන් දෙදෙනා පමණක් දැන සිටි හේතුවක් මුල්කර ගෙනය.


“තමුසෙ.. තමුසේ... මේ පැත්ත පළාතක එන්න එපා. කී අධ්‍යාපන ඇමැතිතුමා දිමුට එවකට මැලේ වීදියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය තහනම් කලාපයක් කර තිබුණේය.


“මගේ බල්ලවත් එන්නේ නෑ ඕයි. තමුසෙ වගේ මිනිහෙක් හම්බවෙන්න” යි ඊට පිළිතුරු වශයෙන් මහ සද්දයක් දමා ආපසු ගිය දිමු ඉන්පසු තමන්ගේ ඡන්දදායකයන්ගේ අවශ්‍යතා ඉටුකර ගනු ලැබුවේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිධුරය ඉසිලූ බී. වයි. තුඩාවේ මහතා මගිනි. එසේත් නැත්නම් එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතාගේ මාර්ගයෙනි.


දිනක් බද්උද්දීත් ඇමැතිවරයා අමාත්‍යාංශයේ නොසිටින වෙලාවක් බලා අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් තුඩාවේ මහතා හමු වී ආපසු එමින් සිටි දිමුට එවකට මහියංගණයේ මන්ත්‍රී එඞ්වින් වික්‍රමරත්න මහතා හමුවූවේය.
’‘හලෝ දිමු....“ යි කියමින් ඔහු සමඟ කතාවට වැටුණු මහියංගණයේ මන්ත්‍රීවරයා අධ්‍යාපන ඇමැතිවරයාට පමණක් නොව ඔහුගේ අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ට පස්පඩංගුවේ බැණ වැදුණේය...


“මෙතන ඉන්න ඔක්කොම එකයි. අපි මොනව හරි කිව්වොත් ඒක නොකෙරෙන විදියටමයි උන්දලා හැම එකාම කතා කරන්නේ. ” යි කී ඔහු දීමුගෙන් සමුගෙන අමාත්‍යාංශය ඇතුළට ගියේ, අදනම් මම දෙකෙන් එකක් බේරගෙන තමයි ආපහු යන්නේ... යි කියමිනි.


මේ අතර එදින සවස්වරුවේ දීමුට පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට නියමිතව තිබුණේය. පුස්තකාලයට ගොස් ඒ සඳහා අවශ්‍ය කරුණු රැස්කර ගැනීමට තිබුණෙන් හෙතෙම වැඩි වේලාවක් මග නොරැඳී ඉක්මනින් පාර්ලිමේන්තුවට ගියේය.


ඊට මඳ වේලාවකට පසු ඔහු පාර්ලිමේන්තු පුස්තකාලයේ සිටියදී අන්න පොඩි පුතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කෙකුට ගහලා කොම්පඤ්ඤවීදියේ පොලිසියට ගෙනැල්ලා.... කවුදෝ කියනු ඇසුනෙන් හෙතෙම මඳක් කර පොවා ඒ දෙස බැලුව්ය. පොඩි පුතා යනුවෙන් හැඳින්වූයේ මහියංගණයේ මන්ත්‍රීවරයා බව දැන සිටි දීමුට එසැණින් සිහිපත් වූයේ ඊට ටික වේලාවකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඔහු තමන් සමග කී දෙකෙන් එකක් බේරා ගැනීමේ කතාවය.


ඒකත් එකටම මේ යකා අද මොකක් හරි ලෙඩක් දමාගෙන වගෙයි. කී දිමු තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ද සමග එක්ව කොම්පඤ්ඤවීදිය පොලිසියට කතාකර එම සිද්ධිය ගැන වංහුං ඇසුවේය.


“ඔව් සර්. මහියංගණයේ මන්ත්‍රීතුමා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුට ගහලා හොඳටම තුවාලයි. අපි දැන් මන්ත්‍රීතුමා පොලිසියට ගෙනාවා. හෙට උදේම උසාවි දාන්නයි ඉන්නේ.


දිමුලාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් කොස්තාපල්වරයා එසේ කියද්දී වැඬේ තරමක් දුරදිග ගොස් ඇතැයි ඔවුන්ට සිතුණේය. යම් ලෙසකින් පොඩිපුතා උසාවියට ඉදිරිපත් කළහොත් දින කීපයක් ඔහුට රිමාන්ඞ් භාරයට පත්වීමට සිදුවන බව වටහා ගත් දිමු සෙසු මන්ත්‍රීවරුන් කීප දෙනා සමග එවකට අධිකරණ අමාත්‍යධුරය ඉසිලූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ නිල කුටියට ගියේය.


ෆිලික්ස් ඩයස් ඇමැතිවරයා ඒ මොහොතේ සිටියේ තම නිල කුටිය තුළ ලිපි ගොනුවක් පෙරළා බලමිනි. තමන් හමුවට අනවසරයෙන් කඩා වැදුණු මන්ත්‍රීවරුන් කීප දෙනා දෙස බැලූ ඔහු තම කෝපය යටපත් කරගෙන ඔවුන් කී කතාවට සාවධානව කන් දුන්නේය.


“මන්ත්‍රී කෙනෙක් වුණු පළියට එයාට එහෙමත් පුළුවන් ද? ආණ්ඩුවේ කාර්යාලයකට ගිහින් නිලධාරියෙකුට ගහන්න?


“නෑ...සර් අපේ එඞ්වින් නම් එහෙම දෙයක් කෙරුවයි කියල හිතන්න අමාරුයි. සමහර විට එයා ටිකක් තදින් කතා කරන්න ඇති”


දිමු එසේ කියද්දී “අපොයි මං නොදන්නවය එයාගේ හැටි?” යි කී ඇමැතිවරයා ඒ මොහොතේම කොම්පඤ්ඤවීදිය පොලිසියේ ඕ.අයි.සී. ට කතා කර ඒ ගැන විස්තර ඇසුවේය. අනතුරුව දුරකථනය ආපසු තැබූ ඔහු දිමුලා දෙස හෙළුව් තරමක නොරිස්සුම් බැල්මකි.


“අන්න අර තමුන්ලාගේ යාළුවා තදින් කතා කරපු පාරට ඒ නිලධාරියගේ ඔළුවත් පැලිලා....” යි කී ෆීලික්ස් ඩයස් තමන් කියවමින් සිටි ලිපි ගොනුව යළි පෙරළා ගත්තේය.


“හරි සර්, ඒත් අපේ මිනිහ එවන්න කියල සර් ඕ.අයි.සී. ට කිව්වේ නැහැනේ”


ඒ ඇසූ ඇමැතිවරයා “හරි අයිසෙ‘ මිනිහා ඒවි.” යි කියමින් තමන් පෙරළා බලමින් සිට ලිපි ගොනුව පසෙකින් තබා වෙනත් ලිපි ගොනුවක් අතට ගත්තේය.


ඔහු සඳහන් කළ අයුරින්ම තවත් විනාඩි පහළොවක් හෝ විස්සක් ඉක්ම යාමටත් මත්තෙන් එඞ්වින් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පොලිස් වාහනයකින්ම පාර්ලිමේන්තුවට ආවේය.


අන්තිමේදී බලන විට සිදුවී තිබුණේ පොඩි පුතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකුට පහර දී ඔහුට බරපතළ තුවාල සිදුකර තිබීමය. කෙසේ වෙතත් තම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු රජයේ උසස් නිලධාරියෙකුට පහර දීමේ හේතුව මත සේවක වැඩවර්ජනයක් පැන නැගීමේ අවදානමක් ඇතැයි වටහා ගත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකු රජයේ කාර්යාලයකට ගොස් නිලධාරින් හමුවීමට නොයා යුතු යැයි තම මන්ත්‍රී කණ්ඩායමට තහංචියක් පැනවීම එහි අවසන් ප්‍රතිඵලය විය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි