උසාවිය දෙවනත් කළ ඇන්.ඇම්.ගේ ප්‍රකාශය - 02

ප්‍රජාතන්ත්‍රවාදී මන්ත්‍රණ සභාවක තීරණයකට හිතුවක්කාර ලෙස පයින් ගැසීමෙන් අප හිරකිරීමේ නිත්‍යානුකූලත්වය මඟ හැර තිබේ. නීතියේ නීත්‍යානුකූලත්වය නම් අධ්‍යාත්මික යථාර්ථයේ ප්‍රමාණත්වයයි. නිදහස නම් එවැනි ප්‍රමාණවත් නොවූ නීතිවලට විරුද්ධව කැරලි ගැසීමට ඇති අයිතිවාසිකම්ය.

 

මා කිසිසේත් වරදකරුවකු ලෙස නොව, මා ව්‍යාපාරයේ අධ්‍යාත්මික යුක්තිය හා මා ක්‍රියා කළාවූද, ක්‍රියා කරන්නාවූද ස්ථිර ප්‍රතිපත්ති උඩ මම නිවැරදිකරුවකු ලෙස පෙනී සිටිමි. රුවන්වැල්ලේ ඡන්දදායකයන් මා තෝරා පත්කර ගත්තේ මාගේ මේ ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග නිසාය. ජාතික නිදහස හා සම සමාජ ක්‍රමයක් පිහිටුවීමේ ව්‍යාපාරය සඳහා සටන් කිරීම අත් හිටෙව්වානම් මා අන්තයටම හෙළාදකිනු ලැබිය යුතුය.


ඡන්ද දායකයන් හා ලංකා කම්කරු ගොවි කරුවන්ගේ තීරණය අනුව ක්‍රියා කිරීමට මම සූදානමෙන් සිටිමි. එක් පුද්ගලයෙකුගේ හිතුවක්කාර මතයේ නියෝගයක් අනුව යටත් වීමට මා සූදානම් නැත. ඒ හිතුවක්කාරයා ශත වර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ, මෙරට ජනතාවගේ ලේ සාරය උරා බීමෙන් පුෂ්ටිමත් වූද, ශක්තිමත් වූද ක්‍රමයක නියෝජිතයා මිස අන් කිසිවකුගේ නියෝජිතයකු විය නොහැක.


1933 සිටම ශාස්ත්‍රීය සමසමාජ වාදයේ ප්‍රතිපත්ති පිහිටුවාලීමටත් ඒ අනුව සම සමාජ ක්‍රමයක් ගොඩනැගීම පිණිසත්, විප්ලවකාරී ව්‍යාපාරයක් පැවැත්වීමට අපි මුළු කාලයත්, සියළු අන්දමේ ශක්තියත් යොදා ක්‍රියා කළෙමු. ඒ කාලයේ ලංකාවේ දේශපාලන කටයුතු ප්‍රතිපත්ති උඩ නොව පුද්ගලයන් උඩ රඳා පැවතුණේය.


දේශපාලන කටයුතුත් ඒ පිළිබඳ සාකච්ඡාවත් කුරුඳුවත්තේ උගතුනට ද නුවරඑළියේ වූ සාමාන්‍ය ජනයාගෙන් නොකෙලෙසුණු පරිසරයක වෙසෙන්නන්ටද සීමා විය. දේශපාලන ශාස්ත්‍රයේ මූලික කරුණු අවබෝධ කරවීමෙන් සාමාන්‍ය මහජනයා දේශපාලනයට ඇදගත් අය අප යයි කීමට අපි ආඩම්බර වෙමු. එවකට පොදු මහජනයා අතර දේශපාලන සංවිධානයක් නොවීය. එබඳු මහජනයා අතර එකට බැඳී ගිය ව්‍යාපාරයක් ඇති කළ අයද අප යයි කීමට අපි සතුටු වෙමු. අප රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූවායින් පසු තවද අපට චෝදනා කළ හැකි වැරදි ගණනක්ම අප විසින් කරන ලදී.


පැන ගියේ ඇයි?


සිර අඩස්සියෙන් පැනයාම වනාහි අප විසින් කලින් සිතා බලා සලකා තිබුණු වැඩපිළිවෙළක් අනුවම කරන ලද්දකි. එනම් ඒ අවස්ථාවේ ඉන්දියාවේ පැනනැගීමට තිබුණු සටනට සහභාගී වීමටය. ඒ මහා දේශයේ නිදහස උදෙසා අපට කළ හැකි ටික හෝ කිරීමට අවස්ථාව ලැබීම ගැන අපි ප්‍රෞඪ වෙමු. ඉන්දියාවේ නිදහසින් තොර වූ ලංකාවේ නිදහසක් ගැන සිතීමටද නොහැකිය. මේ දෙසටන වෙන් නොකළ හැකිසේ එකට බැඳී පවතී. 
ඉන්දියා සටනේ ප්‍රථම අවස්ථාව දැන් නිසැකවම පසු වී ගොස්ය. මේ පළමු සටනේදී ඇති වූ ප්‍රතිඵල අනුව අධිරාජ්‍යවාදීන්ට ඇති වූ මහ නොසැනසිල්ල ඔවුන් විසින් වර්ණනා කර ගන්නවා විය හැකිය. එහෙත් දෙවැනිව අවසාන සටන වඩා ඈත නොවේ. අධිරාජ්‍යවාදීන් ඒ රටේ පය තබා කළ මෝඩකම ගැන ශෝක වන දවසක් පැමිණෙනවා ඇත.


අපට නගා ඇති සරදමක් නම් පැසිස්ට් වාදය අනුව මෙරට පාලනයට යෙදුනා නම් අප දැනට වඩා අමාරු අඩියකට වැටේවි කියා. මේ කීම වරින් වර අපට අසන්නට ලැබේ. අපි මේ කියමන කියන්නන්ගේ බොළඳකම ගැන පුදුම වෙමු. මේ කියමනේ බරපතළකම නොදැන මෙසේ කියන්නෝ එයින් ඔවුන්ගේ සියලු ප්‍රතිපත්ති බිඳවැටෙන බව නොදනිති.


ඔවුන්ගේ කියමන අප හොඳටම නොවරදවා තේරුම් ගත්විට පෙනෙන්නේ මේ දෙගොල්ලන්ගේ වරදේ ප්‍රමාණයේ වෙනසක් මූත් වර්ගයේ වෙනසක් නැති බවය. ‘පැසිස්ට්’වාදී ක්‍රියාමාර්ගයන්හි යෙදීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ඇති ඵලය කුමක්ද? මේ කාර්යයේ ප්‍රමාණවත් වෙනසක් හෝ තිබේද? අපි අතීතය ගැන තවත් පරීක්ෂාකර බලමු - බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය අනුව රෑට කොල්ලකෑමද, දවාලට තක්කඩිකම් කිරීමද නිසා දීර්ඝ කාලයක් මුළුල්ලේලේ වැගිරීම්වලින් තනන ලද අධිරාජ්‍යයක යටගිය කරුණු අපි වැඩියෙන් සඳහන් නොකරමු. මෑතදී ඉන්දියාවේ කරගෙන ගිය සටනේදී මේ අධිරාජ්‍යවාදීන් විසින් කළ දේවල් කල්පනා කර බලමු.  


ඉන්දියාවේ සටන


විමුර්හී මෑතදී සිදු වූ තොග ගණන් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණද පමණක් සැලකූ විට පවා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සුදු හුණු ගා ඒවා ලෙහෙසියෙන් අමතක කළ හැකි නොවේ. මිඞ්තපුර් නගරයේදී ශක්තිය ඇති මිනිසුන් සිර කිරීමෙන් පසු කාමයෙන් උමතු වූ අධිරාජ්‍ය සොල්දාදුවන් ගර්භනී ස්ත්‍රීන්ද, කුඩා ගැහැනු දරුවන් ද දූෂණය කළ ආකාරය විස්තර කිරීමට පවා නොහැකි තරම් උද්වේගකරය. මේ නම් ඉන්දියාවේ ටික හරියක ටික දවසක් තුළ සිදුවූ දේවල් සමහරෙකි. මේ තිරශ්චීන ක්‍රියාවන් හිට්ලර්ට අසන්නට ලැබුණොත් තමාගේ පැසිස්ට් ක්‍රියා එතරම් දරුණු නැතැයි ඔහු විසින් පවා කියනවා ඇත. වාසනාවකට මෙන් හෝ අවාසනාවකට මෙන් මේ සිද්ධීන් සමහරක් අපට දක්නට ලැබුණේය. මෙහි අර්ථය කුමක්ද? හිට්ලර්ගේ දුඹුරු කමිසකාරයන් රබර් බැටන් පොලුවලින් අසරණ යුදෙව්වන්ගේ පිට පතුරු ගසන විට ඒ පැසිස්ට්වාදයයි. 

 

එහෙත් බි්‍රතාන්‍ය සොල්දාදුවන් හා ඉන්දියන් පොලිස් භටයන් ඉන්දියාවේ ඉන්නා අගනා මනුෂ්‍යයන්ට හා ස්ත්‍රීන්ට තළා පෙළා හිරිහැර කරන විට එය ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ අන්දමේ හිරිහැර ලැබීමට ඉන්දියානුන් කරන ලද පව කුමක්ද?


ඔවුන්ගේ එකම අපරාධය නම් ඔවුන් ස්වකීය මාතෘ භූමියේ නිදහස ඉල්ලා සිටීමයි. ඒත් බි්‍රතාන්‍යයන් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යුද්ධයක් කරගෙන යන බවක් කියති. මේ යුද්ධය කනගාටුදායක නොවේ නම් සැබැවින්ම මේ ප්‍රකාශය සිනාවට සුදුසු එකකි.


ලංකාවේදී 


අප රට ගැන සිතා බැලුවත් මෙයට වඩා වෙනසක් ඇද්ද? ආණ්ඩුවේ කාකි ඇඳගත් බළඇණි විසින් රම්බඩ, වේවැස්ස වේවැල්හින්න සහ තවත් තැන්වල අහිංසක කම්කරුවන් තළා පෙළා කළ හිරිහැර අපේ සිත්තුළ කිසි කලෙක අමතක නොවන හැටියෙන් ඇඳී පවතී. මේ කම්කරුවන්ගේ වරද දැනට වඩා පඩියකුත් වැඩ කිරීමේදී දැනට වඩා හොඳ තත්ත්වයකුත් ඉල්ලීම පමණකි. මෙය පැසිස්ට්වාදය නොවේ නම් පැසිස්ට්වාදය යනු කුමක්ද?

 

 


මතු සම්බන්ධයි.

 

 

 

ඊ. එල්. ජයන්ත ද සොයිසා