ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08

 

මාර්තු මස අට වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර එම දිනය උදා වන්නේ 107 වැනි වතාවටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය පිළි ගැනීමට සමගාමිව සමස්ත ලෝක වාසී කාන්තා පරපුරේ ප්‍රගමනය උදෙසා විශාල කාර්ය භාරයක් ඉටු වූ බව කියනු ලැබේ. මෙවර කාන්තා දිනය උදා වන්නේ ශ්‍රී ලංකා කාන්තා පරපුර මහත් ඇගයීමකට ලක් වෙමින් තිබෙන අවස්ථාවක වීම සුවිශේෂී සංසිද්ධියක් ලෙස සැලකිය හැක.


ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය සියයට විසි පහක ප්‍රතිශතයක් දක්වා වැඩි කිරීමට සමස්ත දේශපාලන ක්ෂේත්‍රය ප්‍රතිපත්තියක් වශයෙන් එකඟව සිටී. එහි ප්‍රථම අදියර වශයෙන් නොබෝදා පැවති පළාත් පාලන මැතිවරණයේදී මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන ලදි. මෙරට දේශපාලන ආයතනයන් අතරින් පහළම මට්ටම වන පළාත් සභාවල සියයට විසි පහක නියෝජිත ප්‍රතිශතයක් ඇති කිරීමට අපේක්ෂාවෙන් කටයුතු සිදු කෙරුණි. එය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු පැන නැගී ඇතත් ආරම්භයක් වශයෙන් එක්තරා වර්ධනයක් පෙන්නුම් කරයි.

 
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව සලකන විට කාන්තාවගේ දේශපාලන අයිතිය පිළිබඳව ලෝකයටම පරමාදර්ශයක් වූ බව සතුටින් සිහිපත් කළ හැකිය. ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහි වූයේ මෙරටිනි. එය ආදර්ශයට ගනිමින් ඊට පසුව ඉන්දියාව මහා බි්‍රතාන්‍ය, ඊශ්‍රායලය, පාකිස්ථානය වැනි රටවලින් කාන්තාවෝ රාජ්‍ය නායක පුටුවට පැමිණියහ. එයට අමතරව ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි කිරීමට කටයුතු කළේ ශ්‍රී ලංකා ජනතාවය. ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කනිටු දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූවාය. 


බලවත් රාජ්‍යයක් වූ බි්‍රතාන්‍යය තම කාන්තා පරපුරට සර්වජන ඡන්ද බලය ලබා දුන්නේ 1918 තරම් මෑත වකවානුවකදිය. එහෙත් ශ්‍රී ලංකාවේ එය ක්‍රියාත්මක වූයේ ඒ ආසන්නයේම 1931 දී වීම අපට මහත් වූ ගෞරවයකි. ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශය පරිදි එම අයිතිය ලැබුණු බව අපි දනිමු. එම ඡන්ද අයිතිය ලබාදීමට කෙළින්ම සහාය දුන්නේ කම්කරු පක්ෂයේ නායක ඒ. ඊ. ගුණසිංහ මහතා පමණකි. එකල සිටි සම්ප්‍රදායික දේශපාලකයෝ බොහෝ දෙනෙක් කාන්තාවනට ඡන්ද බලය හිමි කර දීම ගැන බලවත් සේ විරුද්ධ වූහ. 


මෙම යෝජනාව ගැන ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් රටේ කීර්තිමත් දේශපාලනඥයෙක් වූ සර් පොන්නම්බලම් රාමනාදන් මහතා ඒ ගැන ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේදී මෙසේ පැවසූ බව වාර්තා ගතව ඇත. කොළඹ නගර සභාවේදී ඩොනමෝර් කොමසාරිස්වරුන් හමුවන ලෙස මට දැනුම් දී තිබුණි. කොමිසමේ හතර දෙනෙක් සිටියහ. එක් අයෙක් මගෙන් මෙසේ ඇසීය. “කාන්තා ඡන්ද බලය ඇතුළු සර්වජන ඡන්ද බලය දීම ගැන ඔබ කියන්නේ කුමක්ද?”  


මගේ පිළිතුර වූයේ එය ලෝකයේ වෙනත් රටවල ප්‍රචලිතව පවතින නිසාම අපේ රටටද ගැළපිය යුතු යැයි නොකියන බවය. ඔවුහු කාන්තා ඡන්ද බලය ගැන මා දරන මතය විමසූහ. මම මෙසේ පිළිතුරු දුනිමි. අපි අපේ වනිතාව ගැන දරන තැන වෙනස් කිරීමට නොකැමැත්තෙමු. දෙවියන් ගැහැනිය ලොවට දුන් පරමාර්ථය ඔබ නොදන්නවා විය හැකිය. මේ ජිවිතයට ඉතා වැදගත් පූජනීය තනතුරක් දරන්නීය. 


අපේ සියලු අවධානය, ස්ථානෝචිත ප්‍රඥාව ගෙදර යහපත සඳහා අවශ්‍ය වෙයි. එසේ නොවුනහොත් සමාජයේ දියුණුවක් ඇති නොවේ. සිය පවුලේ කටයුතුවලින් ගැහැනිය ඈත් කිරීමෙන් ඔබ කරන්නේ ඇගේ ශ්‍රේෂ්ඨත්වයට කැළැල් කිරීමක්. ගැහැනියට හිමි තැනින් ඇය වෙනස් කිරීමෙන් ලෝකයේ සිදු වී ඇති විපත් කොපමණද? මහා අධිරාජ්‍යයන් නටබුන් බවට පත්ව ඇත. හීබෘ කැරිබියානු, ඇසිරියානු මිසර යන ශිෂ්ටාචාර විනාශයට පත්වූවේය. අපගේ අදහස දෙවියන් සකස් කර ඇති රටාවට අනුරූප ආකාරයට අප කටයුතු කළ යුතු බවයි. අපේ කාන්තාව ඇයට නොගැළපෙන ක්ෂේත්‍රයකට යාමෙන් වැළැක්විය යුතුය. 


එංගලන්තය ඇමරිකාව වැනි ලෝකයේ විවිධ රටවල් ගණනාවකට මා ගොස් ඇත. ඒ රටවල මුල් බැස ගෙන ඇති මතය වන්නේ ගැහැනියට ද පිරිමියා යෙදෙන හැම කාර්යයකම ක්ෂේත්‍රයකම යෙදවීමට අවකාශ තිබිය යුතුය යන්නයි.  


මම මුලින්ම ඇමරිකාවට ගියෙමි. කරුණු කීපයක් නි්සා එහි සමාජයේ පවුල් ජීවිත ඉහිරී ගොස් ඇති සැටි මම දුටුවෙමි. එයින් එක් කරුණක් කුහුල දනවන්නකි. එහි නෝනාවරුන්ට හැදිච්ච වැඩකාරියන් සොයා ගැනීමට ඇති අපහසුව එම කාරණයයි. පවුල් ජීවිත ගෙන යාමට වැඩකාර සහාය අත්‍යවශ්‍ය වී ඇත. යුරෝපයේ රටවල විවාහය හුදෙක් අවස්ථාවේ අවශ්‍යතාව උදෙසා කෙරෙන්නකි. අහම්බයෙන් මුණගැසී අහම්බෙන් විවාහ වෙති. පසුව මාස කීපයකින් පසු දික්කසාද වෙති. ඔබ කාන්තාවන්ට ඡන්ද බලය දීමට විරුද්ධද? එක් කොමසාරිස්වරයෙක් මගෙන් ඇසීය. 


ඇත්තෙන්ම මා විරුද්ධයි. මම කීවෙමි. අපි පවුලේ පාරිශුද්ධිය ගැන සැලකිලිමත් වෙමු. කාන්තා ඡන්ද බලය ඔබේ රටට ගැළපී ඇති නිසාම අපේ රටටත් ගැළපේ යැයි මම පිළි නොගනිමි. මා කී දෙයින් කොමසාරිස්වරුන් අන්ද මන්ද වූ බවක් පෙනිණ. ඔවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විය හැකිය. 


තමා දරන තත්ත්වය කෙතරම් උසස් වුවද ආධ්‍යාත්මික පැවැත්මෙන් හෝ ආධ්‍යාත්මික ප්‍රතිපත්තිවලින් හෝ තොරව පටු කල්පනාවෙන් මිදිය නොහැකිය. 


කෙසේ වුවත් ඩොනමෝර් කොමිසම කිසිදු භේදයකින් තොරව කාන්තාවට ඡන්ද අයිතිය නිර්දේශ කළේය. ඒ වයස අවුරුදු විසි එකට වැඩි අයටය. 1931 දී මෙම ක්‍රමය නීති ගත විය. එහෙත් වැඩි කල් නොගොසින්ම එනම් 1931 නොවැම්බර් 14 වැනිදා පැවති අතුරු මැතිවරණයේදි රුවන්වැල්ල ආසනයේ දී ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි ජයග්‍රහණය කිරීමෙන් ව්‍යවස්ථාදායකයේ ප්‍රථම කාන්තා නියෝජනය ආරම්භ විය. ඊළඟ වසරේ නොවැම්බර් දොළොස්වැනි දින පැවති උතුරු කොළඹ අතුරු මැතිවරණයේදී නේසන් සරවනමුත්තු මහත්මිය ජයග්‍රහණය කිරීමෙන් දෙමළ කාන්තා නියෝජනය සම්පූර්ණ විය. ඒ නිසා සර් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මතවාදය දෙමළ ජන සමාජය පවා පිළි නොගත් බව පෙනී ගියේය. 


සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මෙරට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය බිහි කිරීම අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදදේ 1947 දීය. එහිදී ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස තෝරා පත් කර ගැනුණේ කිරිඇල්ල ආසනය වෙනුවෙන් ලංකා සම සමාජ පක්ෂයෙන් තරග කර ජය ගත් ෆ්ලෝරන්ස් සේනානායක මහත්මිය වේ. පසුව කුසුමා ගුණවර්ධන මහත්මිය ද අවිස්සාවේල්ල ආසනය වෙනුවෙන් මැති සබයට පත් වූවාය. ඇය අයත් වුවේද ලංකා සම සමාජ පක්ෂයට වීම විශේෂ සිදුවීමකි. ඇයගේ ඥාති ලේළිය වූ විවියන් ගුණවර්ධන මහත්මිය ද පසුව මැති සබයට පිවිසියාය.

 

 

මෙරට මාක්ස්වාදී සහ විප්ලවවාදී දේශපාලනය අනුගමනය කරමින් මෙම පුරෝගාමී කාන්තාවෝ මෙරට ජාතික නිදහස උදෙසාත් වමේ ව්‍යාපාරයේ උන්නතිය පිණිසත් තැළෙන පෑගෙන ගොවි කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම සඳහාත් අප්‍රමාණ කැප වීමකින් කටයුතු කළහ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සටන් කිරීම නිසා අත් අඩංගුවට පත් වීමෙන් වැළකීම සඳහා මොවුහු ඉන්දියාවට පලා ගියහ. එහිදී වෙස් වළාගෙන රහසේ ජීවත්වෙමින් පොලිසි නොමඟ යවමින් කටයුතු කළ ආකාරය වීර වික්‍රමාන්විතයක් වශයෙන් වෘත්තාන්තගතව ඇත. රහසිගතව ජීවත් වූවා පමණක් නොව ඉන්දියාවේදී සිර අඩස්සියට පත් වීමෙන් දැඩි දුක් විඳීමට මොවුන්ට සිදු විය. කුසුමා ගුණවර්ධන මහත්මිය තම ප්‍රථම දරුවා බිහි කළේ ද ඉන්දියාවේ දී වන අතර එම බිළිඳාද සමග සිරගෙදර ජීවත් වූ බව සඳහන් වේ. එම දරුවාට ‘ඉන්දික’ යනුවෙන් නම් තැබුවේද ඒ නිසා යැයි කියති. කෙසේ වුවත් මෙම අය වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ ද කටයුතු කරමින් සේවක අයිතිවාසිකම්, සමාන සේවයට සමාන වැටුප්, නිවාඩු සහ සුබ සාධනය සඳහා ද කටයුතු කළහ. 


කැබිනට් ඇමති ධුරයක් දැරූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එකතු වන්නේ 1956 දී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජයේ සෞඛ්‍ය ඇමති ධුරයට පත් විමලා විජේවර්ධන මහත්මියයි. ඉන් පසුව කැබිනට් ඇමතිනියන් ගණනාවක් ද පත් වූ බව වාර්තා වන්හි දැක්වේ. විමලා කන්නන්ගර, අමරා පියසීලි රත්නායක, ශිවා ඔබේසේකර සහ රේණුකා හේරත් මහත්මීන් ඒ අතරින් කීප දෙනෙකි. 


ව්‍යවස්ථාදායකගේ කටයුතු කිරීම පමණක් නොව තවත් නොයෙක් ක්ෂේත්‍රවලින් කාන්තාවන් සමාජ සේවය කර ඇත. සමාජ සේවය අධ්‍යාපන සේවය වෛද්‍ය සේවය ද ඒ අතර වේ. ක්ලාරා මොට්වානි ඩොරීන් යන්ග් ආදී සුදු ජාතික ගුරුවරියෝ මෙරට දහස් ගණන් දියණියන්ට සිප් සතර කිරි පොවා නැණ නුවණ පැදීමට කටයුතු කළහ. ඒ අතරින් ඩොරින් යන්ග් මෙනෙවිය මෙරට දේශපාලනයේ පතාක යෝධයෙකු වූ කොමියුනිස්ට් නායක දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා සමග විවාපත්වීම නිසා ඩොරින් වික්‍රමසිංහ නම් වූවාය. ඇය මහජන ඡන්දයෙන් අකුරැස්ස මන්ත්‍රී ධුරයට ද පත් වූ බව සිහිපත් කළ යුතුය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මකවීමට පෙර යුගයේදී කාන්තාවක් වීම ඡන්දය අහිමිවීමට හේතුවක් බව මැතිවරණ නීතියේම සඳහන්ව තිබූ බව කියවේ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පුරවැසියෙකු නොවීම මෙන්ම කාන්තාවක් වීමද එම අයිතිය අහිමි වීමට හේතු වන බව සඳහන් විය. තවත් හේතු ද ඒ අතර විය. එවැනි යුගයක් නිමාවට පත් කරමින් සර්වජන ඡන්ද බලය හිමි වීම ඉබේ සිදුවූවක් නොවේ. එයද විශාල අරගලයක ප්‍රතිඵලයක් බව සඳහන් කළ යුතුමය. ඒ සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ ඬේසි ඇස්ලින් බණ්ඩාරනායක ආර්යාව ජෝර්ජ් ඊ. ද. සිල්වා මැතිනිය, ඒ. සී. ජී. විජේකෝන් මැතිනිය ආදී පුරෝගාමී චරිත ද මෙම අවස්ථාවේදී සිහිපත් කිරීම උචිතය. 


‘තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කෙරේ’ යයි කියනු ලැබේ. එයින් අදහස් කරනුයේ ඕනෑම පාලකයෙකු පාලිකාවක තනන්නේ මවක විසින් බවයි. එපමණක් නොව ලෝකයාගේ පාදාභිවන්දනයට පාත්‍ර වන මහා පුරුෂයන් වූ සියලු ආගම්වල ශාස්තෘන් වහන්සේලා ද කිසියම් මවකගේ දරුවෙකි. එනිසා සමාජයේ ප්‍රගමනයට හේතු වන කාන්තාවගේ සුබ සිද්ධිය, යහපැවැත්ම චිර ජීවනය වෙනුවෙන් මෙම කාන්තා දිනයේදී අපි ඔවුන්ට සුබ පතන්නෙමු.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ