රටපුරා පැතිර යන උණ රෝගයකින් ජනතාව මහත්සේ පීඩාවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරන්නේ සති කීපයක සිටය. ඉන්ෆ්ලුවන්සා නම් උණ රෝගය මෙසේ පැතිර යන බවද එයින් දැනටමත් කුඩා දරුවන් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තාවල සඳහන් වේ. දකුණේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුලින්ම ආරම්භව දැනට මාතර දක්වා ද ව්‍යාප්තව ඇති මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මාතර දිසාවේ පෙර පාසල් තවත් දින කීපයක් වසා තබන ලෙස බලධාරීහු නියෝග කළහ. එයද මෙම අසහනකාරී තත්ත්වය පාලනය කර ගැනීම උදෙසා ගත් යහපත් පියවරක් ලෙස බොහෝ දෙනාගේ අගය කිරීමට ලක්ව ඇත. 


අනෙකුත් බොහෝ සමාජ ගැටලුවලට මෙන්ම මෙම උණ වසංගතය කෙරෙහි ද දේශපාලන මති මතාන්තර එක්වීම නොවැළැක්විය හැකි සිදුවීමක් විය. අපේ රටට ආවේණිකව පවතින හැම කාරණයක් සඳහාම දේශපාලන කෝණයෙන් සහ එම පාට කණ්ණාඩියෙන් බලා තීන්දු තීරණ ගැනීමේ අවිචාරවත් පිළිවෙතකට ගොදුරු නොවී රටේ දරු පරපුර මෙම ව්‍යවසනකාරි තත්ත්වයෙන් මුදවා ගැනීම පිණිස කව්රුත් එකඟතාවෙන් යුතුව කටයුතු කිරීමට එකඟවීම වාසනාවකි. මේ රටේ දේශපාලන ගමන් මග වෙනස් කිරීමට පවා මහත් සේ බලපෑ උණ වසංගතයක් පිළිබඳව අපේ මතකය මේ මොහොතේ යොමු වන්නේ නිරායාසයෙනි. 


එක් දහස් නවසිය තිහේ දශකය ඇරඹෙද්දී ශ්‍රී ලංකාව පැවතියේ බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙනි. එම අධිරාජ්‍ය බලවතුන්ගේ ඕනෑ එපාකම් මත එරටින් පැමිණ සිටි ආණ්ඩුකාරවරයෙකුගේ අභිමතානුසාරී බලයට යටත්ව ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවක් 1931 දී මෙරටට නිර්දේශව තිබුණි. 1931 ආරම්භය පමණ වන විට ලංකාවේ ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශවලින් මැලේරියා නම් උණ වසංගතයක් පැතිර යන බවට නොයෙකුත් වාර්තා ලැබෙමින් තිබුණි. පළමුවැනි ලෝක මහා යුද්ධයෙන් හොඳටම බැටකා නමට පමණක් ජයග්‍රහණයක් ලබා තිබුණු මහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යුද්ධය නිසාම ඇතිව තිබුණු ලෝකයම ගිලගත් මහා ආර්ථික පරිහානියකට ද මුහුණ දීමට සිදුව තිබුණි. යළිත් යුද්ධයක් ඇති වේ යයි පැවති බිය සැක නිසාත් තම යටත් විජිතවලින් පැනනැගෙන නිදහස් අරගල මැඩ පැවැත්වීමට ද අවධානය යොමු කිරීමට සිදුවීම නිසා කුඩා විජිතයක පැතිර යන උණ වසංගතයක් ගැන සිතා බැලීමට බි්‍රතාන්‍ය පාලකයන්ට වැඩි ඉස්පාසුවක් නොවීය.


කලින් ශත වර්ෂ ගණනක් මුළුල්ලේ මේ රටේ අග්‍ර රාජධානිය වශයෙන් සමෘද්ධියෙන් ආඪන්‍ව, පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් විරුදාවලිය ලැබ තිබුණු රජරට ශිෂ්ටාචාරය බිඳ වැටී එම වටිනා ප්‍රදේශ වනගහනයට යට වී නොසැලකිල්ලට ලක්ව පැවතියේය. එනිසා එම ප්‍රදේශ නිරන්තරයෙන්ම මැලේරියා උණ සහිත ප්‍රදේශ බවට ප්‍රචලිතව තිබුණි. උඩරට මහා කැරැල්ල යයි නම් ලත් ජාතික විමුක්ති අරගලයේ දී ඇති වූ මහජන නැගිටීම මර්දනය කිරීමට සරුසාර ඌව වෙල්ලස්ස ගිනි තබා විනාශ කිරීමට බි්‍රතාන්‍යයෙන් ගත් අමනෝඥ පියවර නිසා අතීත රුහුණු රාජ්‍යයේ ශ්‍රී විභූතිය රැගත් යුදගනාව, මොණරාගල, බුත්තල වැල්ලවාය වැනි ප්‍රදේශ ද මැලේරියා රකුසාගේ නිත්‍ය ජයභූමි බවට පත්ව තිබුණි. මෙම ප්‍රදේශ ජනගහනයෙන් තොර, වන ගහණයෙන් වැසුණු දුෂ්කර ප්‍රදේශ වශයෙන් පැවතුණි. මේ දිසාවන්හි පමණක් නොව ඈත රුහුණ පවා මැලේරියාව යනු සැමදා දක්නට ලැබෙන සාමාන්‍ය රෝගී තත්ත්වයක් ලෙස බහුතර ජනයා විසින් සලකනු ලැබීමට පුරුදුව සිටියහ. 


එහෙත් මෙවර මැලේරියා උණ වසංගතය පැන නැගුණේ, තෙත් කලාපයට අයත් ජනාකීර්ණ ගම්මාන පිහිටි පිරිසිදු ජලය සහිත ගංඟා මිටියාවත් බහුල කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. රට මැද මධ්‍යම කඳුකරයේ සමනළ ගිර අසලින් පැන නැගී කොළඹ නගරය ආශ්‍රිතව මුහුදට එක්වන කැලණි නදියේ සුපිරිසිදු දිය දහරින් පෝෂණය වන කෑගලු දිස්ත්‍රික්කයට අයත් රුවන්වැල්ල යටියන්තොට කිතුල්ගල දෙහිඕවිට දැරණියගල ආදී ප්‍රදේශ අයත් වන තුන් කෝරලය ප්‍රදේශයයි. උණ වසංගතය ආරම්භ වූ දිනවලම වාගේ තුන් කෝරලයේ ගම්මානවල පමණක් දස දහසක පිරිසක් මිය ගිය බවට වාර්තා පළ විය. එහි සෑම නිවසකම පාහේ රෝගීහු හය හත් දෙනා වැතිර සිටියහ. සමහරු මිය ගොසිනි. සමහරු පණ අදිති. මළ ගිය අයගේ සිරුරු ඔසවාගෙන යාමට ශරීර ශක්තියක් ඇති අය එම ගම්වල නොවූහ. ගමේ සෑම ගෙදරකම පැවතියේ මෙවැනි අනුවේදනීය තත්ත්වයකි. මිය ගිය මෑණියන්ගේ සිරුරේ වියළී ගිය පියවුරුවලින් කිරි උරා බීමට තැන් කරන බිලිඳුන්ගේ දර්ශන එවැනි ප්‍රදේශවල සුලබ දසුනක් වී යයි සහන කටයුතුවල යෙදුණු අය සටහන් කර තිබුණි. එකල කෑගල්ලේ උප දිසාපතිව සිටි ඇෆ්. සී. ගිබ්සන් සිය පාලන වාර්තාවේ මෙසේ සටහන් කර තිබුණු බව ප්‍රකට ලේඛකයෙක් පසුව සඳහන් කළේය. “මා ගිය එක් ගමක පළමුවන නිවසේම ගැහැනියක් දරුවෙකු ප්‍රසූත කර සිටියා. මවට හෝ දරුවාට සාත්තු කිරීමට කිසිවෙකු එහි නැත. සිටි සියල්ලෝම සිටියේ මැලේරියාවෙන් ගැහෙමිනි. මවද දරුවාද මරණය කරා ළඟා වෙමින් සිටියහ. එවුන් වැඩි වේලාවක් ජීවත් නොවනු ඇත. ඊළඟ නිවසේ ඊට ස්වල්ප වේලාවකට පෙර දරුවෙක් මිය ගොස්ය. පවුල් සාමාජිකයෝ උණෙන් ගැහෙමින් විලාප තියති. මිනිය වළ දැමීමට තරම් ශක්තියක් ඒ කිසිවෙකුට නැත. තවත් ගෙයක සය දෙනෙකුත් අතර පණ ඇතිව උන්නේ කුඩා බිලිඳෙකු පමණි. වළ දැමීමට කිසිවෙකු ඉදිරිපත් වන තුරු මළ සිරුරු පහ තැන් තැන්වලය. පණ ඇති බිලිඳු මළ මවගේ තන පුඩුව උරමින් කිරි පොදක් බීමට නිෂ්ඵල ප්‍රයත්නයක යෙදෙයි. 


මේ වන විට රටේ උද්ගතව පැවති තවත් නව දේශපාලන ප්‍රපංචයක් ගැනද සඳහන් කළ යුතුමය. 1900 පමණ ඉතා බලවත් අධිරාජ්‍යයක් වූ ඔස්ට්‍රො හන්ගේරියන්     අධිරාජ්‍යයේ   මහාධිරාජිනිය වූ මාරියා තෙරේසා මුළු මහත් ලෝකයටම බලය පා ක්‍රියා කළ හැකි පාලිකාවක වූවාය. ඇයගේ එක් දියණියක වූ මාරි ඇන්ටොනයිට් ප්‍රංශයේ දහසය වැනි ලුවී රජු සමග විවාපත්ව සිටි නිසා ප්‍රංශ අධිරාජ්‍යය සමග ද විශාල සම්බන්ධයක් මාරියා තෙරේසා අග රැජිනට තිබුණි. මෙයට කාලයකට පෙර සිදු වූ ප්‍රංශ මහා විප්ලවයේදී නැගී ආ ජනතා සටන් රැල්ලට අසු වී මාරි ඇන්ටනයිට් සහ දහසය වන ලුවී යන රජ යුවළම මරණයට පත්කොට ජන රජයක් පිහිටුවනු ලැබ තිබුණි. 
එහෙත් ඔස්ට්‍රොහංගේරියන් අධිරාජ්‍යය මහත් සේ බලවත්ව වැජඹෙමින් පැවති බව කියවේ. ඕස්ටි්‍රයාව කේන්ද්‍ර කර ගනිමින් පැවති එම අධිරාජ්‍යයට ඉතාලියේ කුමාරවරුන්ගේ රාජ්‍ය ගණනාවක් ද නැගෙනහිර යුරෝපයේ හංගේරියාව, බොස්නියාව  හර්ෂ ගොවිනාව ආදී රාජ්‍ය සමූහයක් තුළ ක්‍රියාත්මක විය. 1910 පමණ වන විට මාරියා තෙරේසාගේ පුත්‍ර ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඞ් කුමාරයා සිය දේවිය ද සමග තම යටත් විජිතයක් වූ බොස්නියා හර්ෂගොවීනා රාජ්‍යයේ සංචාරයක නියැළෙමින් සිටියේය. මෙම අධිරාජ්‍ය පාලනය නොඉවසූ එක් අන්තවාදී තරුණයෙකු විසින් වෙඩි තබන ලදුව ඕස්ටි්‍රයානු සිහසුනේ උරුමක්කාර ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඞ් සහ එම දේවිය මරා දමනු ලැබූහ. මේ වන විට ජර්මානු රාජ්‍යය ද බිස්මාක් නම් යුදකාමී බලවතෙකු යටතේ දේශපාලන වශයෙන් ද කර්මාන්ත හා වාණිජ වශයෙන් ද විශාල දියුණුවකට පත්ව සිටියේය. එම රටට යටත් විජිත සහිත අධිරාජ්‍යයක් නොමැතිවීමේ අසහනයෙන් පෙළෙමින් අර්බුදකාරීව හැසිරෙමින් සිටි බව සඳහන් වේ. 


ඓතිහාසික වශයෙන් සලකන විට ඕස්ටි්‍රයාවද ජර්මානු ජන වර්ගයක් ලෙස පිළිගනු ලැබේ. ඒ නිසා 1914 ජුනි මාසයේ දී බොස්නියාවේ සර්ජෙවෝ නගරයේදී ෆ්‍රැන්සින් ෆර්ඩිනන්ඞ් මහාදිපාදවරයා සහ එම දේවිය මරා දැමීමේ සිදුවීම් හේතු කොටගෙන 1914 අගෝස්තු මස 04 වැනිදා පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ විය. ප්‍රංශය බි්‍රතාන්‍යය සහ රුසියාව එක් පාර්ශ්වයකටත් ජර්මනිය ඔස්ටි්‍රයාව ඉතාලිය සහ තුර්කිය අනෙක් පසටත් බෙදී වසර හතරක් මුළුල්ලේ පැවති විනාශකාරී යුද්ධය නිසා ලෝකයට මහත් විනාශයක් අත් විය. කෝටි සංඛ්‍යාත ජීවිත විනාශයක් මෙන්ම මෙතකැයි කිව නොහැකි සම්පත් විනාශයක් ද සිදු විය. මෙම විනාශකාරී යුද්ධය 1918 නොවැම්බර් 11 වැනිදා අවසානයට පත් විය. බි්‍රතාන්‍යය ප්‍රමුඛ ජයග්‍රාහකයෝ යුද ජයග්‍රහණ දිනය වශයෙන් මෙම දිනය සැලකීමට පුරුදුව සිටියහ. 


ලංකාව ද බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටස්කරුවෙකුව සිටි නිසා යුද ජයග්‍රහණය සැමරීම ලංකාවේදී ද සිදු විය. අධිරාජ්‍ය පාලනයේ අනුග්‍රහය යටතේ එදිනට පොපි මල් අලෙවි කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වූ අතර පොපි මලක් මිලදී ගෙන තම ඇඳුමේ පැලඳ ගැනීම ප්‍රභූත්වය අඟවන ක්‍රියාවක් ලෙස බොහෝ දෙනා විසින් සලකන ලද බව කියවේ. මෙසේ පොපිමල් අලෙවි කිරීමෙන් උපයා ගත් මුදල් යුද්ධයේ දී අනතුරට පත් සොල්දාදුවන්ගේ සුබ සාධනය පිණිස බි්‍රතාන්‍යයට යවන ලදී. මෙසේ විශාල අරමුදලක් එකතු කොට බි්‍රතාන්‍යයට යැවූ බව පැරණි වාර්තාවල දැක්වේ. 


වසර දහයක් පමණ අධිරාජ්‍යයේ යුද ජයග්‍රහණ දිනය සැමරීමේ සම්ප්‍රදායික පොපිමල් දිනය පැවැත්වී තිබිණි. ඒ 1919 සිට 1929 දක්වා වසර වලය. 1930 දශකය උදා වන විට මෙරට අධිරාජ්‍ය විරෝධී හැඟීම් සහ නව ප්‍රගතිශීලී හා වාමවාදී රැඩිකල් අදහස් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළින් ආරම්භ වීමට පටන්ගෙන තිබුණි. එහි එක් පියවරක් වශයෙන් පොපි මල් ව්‍යාපාරය වෙනුවට නොවැම්බර් 11 වැනි දිනයේ සූරිය මල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදු කිරීමට එක් කණ්ඩායමක් කටයුතු ආරම්භ කරනු දක්නා ලදී. 


ප්‍රථම ලෝක යුද්ධයේ දී බි්‍රතාන්‍ය රාජකීය පාබළ හමුදාවේ ක්‍රියාන්විතයන්ට දායක වෙමින් සේවයේ යෙදී සිටි යුද්ධ භටයෝ යුද්ධය නිමාවෙන් පසු සේවයෙන් ඉවත් කර සිටි ඒලියන් පෙරේරා නමැති සේවා මුක්ත යුද භටයෙක් සහ කොළොන්නාවේ පදිංචිව සිටි අධ්‍යාපනඥයෙකු ප්‍රගතිශීලී මතවාදියෙකු සහ සමාජ නායකයෙකු ද වූ ටෙරන්ස් ඇන් ද සිල්වා යන දෙදෙනා සූරිය මල් ව්‍යාපාරයේ ආරම්භක නායකයන් බවට ඉතිහාසයට එක්ව සිටිති. අධිරාජ්‍යාවාදී යුද්ධයට සහාය දීම නිසා අංග විකලව සහ මරණයට පත් වූ බි්‍රතාන්‍ය සොල්දා -දුවන්ගේ සුබ සාධනය සඳහා අලෙවි කරන පොපි මල් මිලදී නොගන්නා ලෙස ඔව්හු මෙරට අධිරාජ්‍ය විරෝධී ජනතාවගෙන් ඉල්ලා සිටියහ. 


ඒ වෙනුවට සූරිය මලක් පැලඳීමෙන් අධිරාජ්‍යවාදයට තමන්ගේ ඇති විරෝධයත් ජනතාවගේ හා රටේ නිදහසට තමන්ගේ පක්ෂපාත බව ප්‍රදර්ශනය කරන ලෙසත් ආයාචනය කළහ. මෙම ක්‍රියාවෙන් ලැබෙන මුදල් යුද්ධයේ දී විපතට පත් ශ්‍රී ලාංකේය යුද භටයන්ගේ සුබ සාධනය සඳහා යොදවන බවත් සූරිය මල් ව්‍යාපාරයේ පුරෝගාමීහු ප්‍රකාශ කළහ. ජනතා ප්‍රතිචාරය අතිශයින්ම සතුටු දායක බව පෙනෙන්නට තිබුණි. ඒ වන විටත් යුරෝපයේ සිට ආසියාව අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව දෙසට හමා එමින් තිබුණු 1917 සිදු වූ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණයන් පිළිබඳ ආශ්වාදයෙන් ද ලොව වෙනස් කි්රීමේ ගාමක බලවේගය ලෙස කටයුතු කළ තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ මෙම නව ක්‍රියා මාර්ගය අතිශය ජනප්‍රිය වූවේය.


ඉහළම ධනපති පන්තියේ දරුවන් අධ්‍යාපනය ලැබූ රාජකීය විද්‍යාලයේ සිට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල් කඩ වූ කොළඹ ආනන්ද විද්‍යාලය දක්වා වූ බොහෝ පාසැල්වල ශිෂ්‍යයෝ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට තමන්ගේ ඇති විරෝධය ප්‍රකාශ කිරීමේ සංකේතයක් වශයෙන් සූරිය මලක් මිලදී ගෙන පැලඳ සිටීමට තරම් නිර්භිත වූහ. කොළඹ සහ තදාසන්න නගරවල අවබෝධයකින් යුතු තරුණ පරපුරද ඉතා කැමැත්තෙන් මෙම ව්‍යාපාරයට එක් වන ආකාරය දැක ගත හැකි විය.

 

 


මතු සම්බන්ධයි.

 

 


සිරිල් වික්‍රමසිංහ