දේශපාලන ලෝකය හොල්ලන “කාටූන්” 2

 

කාටුන් චිත්‍ර ශිල්පියා ජනතාවට කොකා පෙන්වන දේශපාලනඥයන්, නිලධාරීන්, මුදලාලිලා මෙන්ම විදේශ බලපෑම් ගැන ද එම තෙලිතුඩ මෙහෙයවන්නෙකි. නීතිරීති, උද්ඝෝෂණ, දේශන හෝ චක්‍රලේඛන සියයකින් කළ නොහැකි සමාජ ශෝධනය එක කාටුනයකින් කිරීමට තරම් කාටුන් ශිල්පීන් සමත් වූ බව පෙනේ.
දශක ගණනාවක් තිස්සේ කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් පළාතම ගිගුම් දෙන කතා පවත්වමින් උද්ඝෝෂණ, වර්ජන මෙහෙයවමින් කටයුතු කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට බණ්ඩාරනායක මැතිනියගේ කැබිනෙට්ටුවේ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමිණ.


“ඇන්. ඇම්. සහෝදරයා දැන් මුදල් ඇමැති නිසා අපේ ඉල්ලීම් පටස් ගාලා ඉටු කරලා දේවි.”
අදූරදර්ශී කම්කරුවෝ එසේ සිතූහ. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති හා චක්‍රලේඛවලට හිර වී සිටි ඇමැති ඇන්. ඇම්. ට කම්කරුවන්ගේ බලපෑම් මහත් හිසරදයක් විය.
“සහෝදරයා, එක පාරටම ප්‍රශ්න විසඳන්න මට තියා සක්කරයටවත් බෑ. රටේ තත්ත්වය භයානකයි. කොයි වෙලේ මගේ පට්ටමත් ගහල යයි ද දන්නෙ නෑ. ඒක නිසා තමුසෙලාත් පටි තදකරගෙන ඉන්නවා” ඇන්. ඇම්. කම්කරුවන්ට දුන් අවවාදයයි.


කම්කරුවන්ට යක්ෂාවේෂ වූයේ එවිටය. මෙම සිද්ධිය ජී. ඇස්. ප්‍රනාන්දු ලංකාදීපයට අපූරුවට ඇඳ තිබුණේය. එහිදී ඇමැති ඇන්. ඇම්. පුටුවේ වාඩිවී සිටින අතර, කම්කරු ඉල්ලීම් කුණු කූඩයට දමා තිබිණ. කම්කරු නායක ඇන්. ඇම්. ඒ අසල කෝපයෙන් වෙව්ලමින් සිටි ඔහු අත ඉල්ලීම් 21ක් අඩංගු විරෝධතා පුවරුවකි. ඔහු ඇන්. ඇම්. ඇමැතිගේ මේසයට මිට මොළවා ගසමින් බැණවදී.


ඇමැති ඇන්. ඇම්. ටයි කෝට් ඇඟලාගෙන සිටින අතර, කම්කරු ඇන්. ඇම්. සරමකින් හා බැනියමකින් සැරසී සිටින අයුරු රූපණය වී ඇත. ඊට යටින් කවි පද දෙකක් ද පළවිය.
“ඉල්ලපු අයයි දෙන්නට දැන් සිටින්නේ
අවතාරයක් වාගෙයි දැන් පෙනෙන්නේ”


දේශපාලනඥයන් බලය ලැබෙන්නට පෙර ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීමට බලය ලැබුණු පසු නොහැකි වීම අදට ද බලපායි.


ජී. ඇස්. ගේ කාටුන් ගැන කතා කිරීමේදී ලංකාදීපයටම 50 දශකයේදී අඳින ලද තවත් අපූරු දේශපාලන කාටුනයක් මා මතකයට එයි. එය නම්කර තිබුණේ “සර් ජෝන් (රැලේ) සහ එළිසබෙත් රැජින” යනුවෙනි.


පළමුවෙනි එළිසබෙත් මහ රැජින බි්‍රතාන්‍යය පාලනය කරමින් සිටි යුගයේ ද නිවට නියාලු ප්‍රතිපත්ති ඇති අනුගාමිකයන්ගෙන් අඩුවක් නොවීය. සර් වෝල්ටර් රැලේ නම් ආණ්ඩුකාරවරයා එවැන්නෙකි.


වරක් මහ රැජිනට ගමන් කරන්නට වූ පාරේ මඩ වළක් තිබූ බැවින් සර් වෝල්ටර් රැලේ තම කබාය ගලවා ඇයට පාවඩ පිණිස මඩ වළ මතින් දැමූ බව කියනු ලැබේ. ඒ දිනවල ලෝකයේම මාධ්‍ය එම සිද්ධිය වාර්තා කළේය. ලංකා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මෙරටට පැමිණෙන මහ රැජින පිළිගැනීමට මහත් ධනස්කන්ධයක් වැය කර සුඛෝපභෝගී අයුරින් කටයුතු කළමනාකරණය කළේය.


යටත්විජිතවාදී මනසකින් යුතුව ධනස්කන්ධයකින් එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ක්‍රියා කරන අන්දම දුටු විරුද්ධ පක්ෂයේ සමාජවාදීහු ඊට එරෙහිව ජනතාව දැනුම්වත් කළහ. රට පුරා කළු කොඩි එසවීම, විරෝධතා පෙළපාළි යාමට සැලසුම් කළහ. “සර් ජෝන් ජාතික ධනය විනාශ කරනවා” ඇන්. ඇම්. කෙළින්ම විරෝධය පළ කළේය. සංවිධායකයෝ ද එම විරෝධයෙන් තිගැස්සුණහ.


“සර් ජෝන් හදන්නේ තවත් රැලේ කෙනෙක් වෙන්නයි” පුවත්පත් වාර්තා කළ අතර, ජී. ඇස්. එම තත්ත්වය කාටුනයට නැගීය.


කලිසම් කෝට් ගලවා අඩ නිරුවතින් සිටි සර් ජෝන් තම ඇඳුම් ආර්ථික දුෂ්කරතා නමැති මඩ වළේ අතුරා මහ රැජිනට එය උඩින් ගමන් කිරීමට සලසන අයුරු එහි නිරූපණය විය. එහි මෙම කව ද පළව තිබිණි.


“ගොහොරු මඬේ පාවඩයට
කෝට් දමා කළ බැතිපුද
සර් වෝල්ටර් රැලේවරුන්
මෙරට වුවත් නැති වේවිද”


ජාතික ගීතය පිළිබඳව ආනන්ද සමරකෝන් කලාකරුවාත් එම ගීතය මුලින්ම ප්‍රකාශනය කළ කුමුදිනි සඟරා ප්‍රකාශක පී. කේ. ඩබ්. සිරිවර්ධනත් අතර පැවති අර්බුදය නිසා ඒ සඳහා වූ රුපියල් 2500ක කර්තෘ භාගය සිරිවර්ධන අතට පත්කිරීමට ගත් තීන්දුවට එරෙහිව ජී. ඇස්. අපූරු කාටුනයක් ලංකාදීපයට ඇන්දේය.

 

 


ජාතික ගීය බිහි කළ අම්මා සහ වැඩූ අම්මා අතර අර්බුදයට ලක්වූ කුඩා දරුවකු සේ නිරූපණය කෙරෙන මෙම කාටුනයේ විනිශ්චයකරු තම තීන්දුව දීගත නොහැකිව බලා සිටින අයුරු පෙනේ. මෙම විනිශ්චයකරු කවරෙක් දැයි සඳහන් නොමැති වුවත් රජයේ දේශපාලනඥයකු විය හැකිය.


හුණුවටයේ කතාව නාට්‍යයේ ජවනිකාවක් ලෙස අම්මලා දෙන්නා දරුවා දෙපැත්තට අදින අයුරු රූපණය වී ඇති අයුරු අපූරුය.


නිදහස ලැබීමට පෙර මෙරට දේශපාලන කාටුන් කලාවක් තිබූ බවට සාධක අඩුය. 1947ට පෙර ඔසපැි දf ක්‍ැහකදබ පුවත්පතේ ෂිලිං නමැති කාටුන් ශිල්පියකු සිට ඇත. නිදහස ලැබූ පසු කොලට්, ජී. ඇස්. හා අමිත හා ඩබ්. ආර්. විජේසෝම දේශපාලන කාටුන් ඇන්දාහ. එම නිදහස ඔවුන්ට ලැබුණේ ටික කලක් පමණි.


ඒ දේශපාලනඥයන්ගේ අතපෙවීම් නිසාය. කාටුන් නරඹා තමන්ගේ අඩුපාඩු හදාගන්නවාට වඩා කාටුන් ශිල්පීන් හා පත්‍ර අයිතිකරුවන් සොයා බලපෑම් කිරීම වැඩි විය.
“මා කරන්නේ වැරදි ඇති තැනට විකට චිත්‍රයෙන් පහරදීමයි. මගෙ රටේත් දිගු කලක් සිදුවූ පරිදි මොට්ට ආයුධයකින් පහර දීම නොවෙයි”


මෙසේ කියන්නේ ඇමෙරිකානු කාටුන් ශිල්පී ඔලිපන්ට්ය. එසේ වුවත් ඇතැම් කාටුන් ශිල්පීන් තමන් සේවය කරන ආයතනයේ ඉත්තන් බවට පත්ව සිටින බවත් අපරදිග රටවල ස්වාධීන කාටුන් ශිල්පීන්ගේ නිර්මාණ බෙදාහරින සමාගම් ඇති බවත් විජේසෝම පවසයි.


සාමාන්‍ය පිළිවෙත නම් කතුවැකිය පළවන පිටුවෙහිම මාණ්ඩලික කාටුන් ශිල්පියාගේ නිර්මාණය ද පළකිරීමය. බාහිර කාටුන් ශිල්පියකුගේ නිර්මාණ වෙනත් පිටුවක පළ වේ. මෙම පිළිවෙත කඩ කර කාටුන් චිත්‍ර වෙනත් තැන්වල පළකිරීම දැන් දැන් සිදු කෙරේ.


දේශපාලන කාටුනයක් සාමාන්‍යයෙන් පළවන්නේ පුවත්පතේ පළවන වාර්තාවක් හෝ කියමනක් තේමා කරගෙනය. යුද සමයේ “කොටි” නමින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හැඳින්වුණු අතර, කාටුන් ශිල්පියා ද කොටි රුවක් ඇන්දේය. මෙලෙස බූරුවා, වඳුරා, හරකා, පරෙවියා, කපුටා, නරියා, අලියා, සර්පයා, බල්ලා, ගොරිල්ලා, සැළලිහිණියා කාටුන් සඳහා යොදා ගැනිණි. මෙම සතුන්ගේ නම් පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල ද රැව් පිළිරැව් නැගෙන බව නොරහසකි.


එක්තරා ආර්යාවකගේ මුහුණ ගවයකුට යෙදූ කාටුන් එකක් පිළිබඳව මහත් ආන්දෝලනයක් තිබිණ. වරක් සර් ජෝන් කොතලාවල ගොවිපොළක උත්සවයකට ගියේය. එහිදී ගොවිපොළේ සිටි පට්ටි ගොනුන් දුටු ඔහුට “අනේ බං මාත් පට්ටි ගොනෙක් වුණා නම් කියල හිතෙනවා” යැයි පැවසූ බව මාධ්‍යවල පළ විය. පසුදා ජී. ඇස්. ගේ කාටුනයේ වූයේ ගව පට්ටියක එළදෙනුන් මැද සිටි ජෝන් කොතලාවලගේ ගොන් රුවයි.


ඇතැම් දේශපාලනඥයෝ තමන් ගැන තමාම පම්පෝරි ගැසීම සිරිතකි. මෙවැනි දේශපාලනඥයකු දුටු විට කාටුන් ශිල්පියා බොහෝ විට අඳින්නේ හුළං බටයකින් හුළං ගසා තමාවම පුම්බා ගන්න හදන මන්ත්‍රීවරයකුගේ රුවයි. දුප්පතා ඉරුණු ඇඳුමක් ඇඳ පොට්ටනියක්, බෙලෙක් පිඟානක්, කූඩයක් හෝ මල්ලක් රැගත් පිට බඩට ඇලෙන තරම් කැහැටු පුද්ගලයකු හා එවැනිම පවුලේ උදවියයි.


මන්ත්‍රීවරයා බොහෝ විට ජාතික ඇඳුම ඇඳි මහත දෙනෙත මුව පුරා පුළුල් හිනාවක් ඇත්තෙකි. කළු කඬේ මුදලාලි හෝ බස් මුදලාලි සරමට උඩින් කළු කබායක් ඇඳගත්තෙකි.
වරක් සෝවියට් සංගමයේ කාටුන් චිත්‍ර සඟරාවේ මූලස්ථානයට :ණරදන්ාසක* ගිය ඇමරිකානු කාටුන් ශිල්පියෙක් සඟරාවේ කර්තෘගෙන් මෙසේ අසා ඇත.
“රුසියාවේ කාටුන් ශිල්පීන් ඉතා දක්ෂ අය බව නම් පේනවා. එයාල බටහිර රටවල නායකයන්ගේ රූප ඇඳලා තදින් විවේචනය කරනවා. ඒත් ඇයි සෝවියට් දේශයේ නායකයන්ගේ රූප කාටුන්වල නැත්තේ?”


ඒ ගැන පිළිතුරු දීමට මඳ වේලාවක් ගත විය. අන්තිමට පිළිතුර සූදානම් කර ගැනිණ.


“අපේ කාටුන් ශිල්පීන් අඳින්නේ වැරැදි කරන දේශපාලනඥයන් විතරයි. වාසනාවකට අපේ කොමියුනිස්ට් නායකයෝ වැරැදි වැඩ කරන්නේ නෑ.”


කාටුන් ශිල්පියා පක්ෂග්‍රාහී පුද්ගලයකු නොවිය යුතුය. ඔහු කළ යුත්තේ ජනතාවගේ ඇසින් දකින කනින් ඇසෙන දෙයට අරුතක් දීමට යෝජනා කිරීමකි. පුවත්පතක්  අතට ගත් කල ඇතැම්හු මුල සිට අගටත්, අග සිට මුලටත් පෙරළති. ඇතැමුන් බලන්නේ පළමු පිටුව පමණි. ඇතැමුන් ජන කතාවට ලොල්ය. බොහෝ බුද්ධිමත් පාඨකයෝ නොවරදවා කියවන හා නරඹන තැන් දෙකකි. එකක් කතුවැකියයි. අනෙක කාටුනයයි. ඒ දෙක පුවත්පතක ජීවය නිසාය.

 

 


සටහන සහ ඡායාරූප :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි