1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

 

1987 වසර ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක වසරක් විය. අපකීර්තිමත් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම, බලය බෙදීමේ ව්‍යුහයක් ලෙස ඒ මගින් පළාත් සභා පිළිගැනීම, ඉන්දියානු හමුදා ලංකාවට කඩාවැදීම, දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ආරම්භ වීම ආදී බරපතළ සිදුවීම් රැසක් කරළිගත වූයේ, 1987 වර්ෂයේදීය.

 

1987 වනවිට ලංකාවේ දේශපාලනයේ බරපතළ සිදුවීම් රැසක් සඳහා තත්ත්වයන් පෙළ ගැසෙමින් තිබිණි. එය ජ.වි.පෙ නායකත්වය විසින් ඉතාම හොඳින් අවබෝධ කරගෙන ද තිබුණි ‘දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද?” නම් කෘතිය තුළ මේ තත්ත්වය රෝහණ සහෝදරයා විසින් ඉතාම පුළුල්ව විග්‍රහ කර තිබිණි. තම දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිටම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළේ, දැඩි ඇමරිකානු හිතවාදියෙකු ලෙසය, අතීතයේ දී ජයවර්ධනට ‘යැංකි ඩිකී’ යන හැඳින්වීම පටබැඳ තිබුණේ ද ඔහුගේ එක්සත් ජනපද ගැතිභාවය නිසාය. ජයවර්ධන ඇමරිකා එක්සත් ජනපද උපාය මාර්ගයට අනුව ඔවුන්ගේ රූකඩයක් බවට පත්වෙමින් කටයුතු කළේය. ඔහු ත්‍රීමලය වරාය හා ඒ අසල ඇති තෙල් ටැංකි සමූහය ඇමරිකාවට ලබාදීමට සූදානමින් සිටියේය. ඒ වන විටත් ඇමරිකානු හඬ (වොයිස් ඔෆ් ඇමරිකා) ගුවන් විදුලි සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළාසන්න ප්‍රදේශයක් (ඉරණවිල) එක්සත් ජනපදයට ලබාදී තිබිණි. මේ යුගයේ ලෝක දේශපාලනය තුළ කලාපීය බලවතා වූ ඉන්දියාව ස්ථානගත වී තිබුණේ, ඇමරිකානු විරෝධී හා සෝවියට් කඳවුරට පක්ෂපාතී දේශපාලනයකය. ඒ නිසාම දකුණු ආසියානු කලාපය තුළ එක්සත් ජනපද ආර්ථික, දේශපාලන හා යුදමය ආධිපත්‍යය තහවුරුවීම නොඉවසූ ඉන්දියාව, ලංකාවේ ආණ්ඩුව එක්සත් ජනපද ගැතිභාවයක සිට කටයුතු කිරීම ඉවසුවේ ද නැත. ඉන්දියාව උපක්‍රමික අර්ථයකින් ඇමරිකානු ගැති ජයවර්ධනට පාඩමක් ඉගැන්වීම සඳහා උතුරේ දෙමළ ඊළම් සන්නද්ධ කණ්ඩායම් යොදා ගනිමින් තිබිණි. මේ අනුව ලංකාව එක්සත් ජනපදයට නතුවීමේ අනතුර මෙන්ම ලංකාවට ඉන්දීය මැදිහත්වීමක අනතුරක් ද පැවතිණි. ජයවර්ධන ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහිව වඩමාරච්චි මෙහෙයුම ආරම්භ කළ අතර ඉන්දියාව ලංකාවට බලහත්කාරි ලෙස මැදිහත් වී එම මෙහෙයුම නතර කළේය. ඒ වන විට ලංකාවේ සිටි ඉන්දීය මහකොමසාරිස් න්‍ගභග ඩික්සිත් මහතා මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය. මේ වන විට ඉන්දියානු ආණ්ඩුව දෙමළ බෙදුම්වාදී සංවිධානවල තරුණ තරුණියන්ට ඉන්දියාව තුළ අවි පුහුණුවද ලබා දී තිබුණි.


ජයවර්ධන පාලනයේ අධිරාජ්‍යගැති හා ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලනය විසින් එක් අතකින් ලංකාව විදේශ ආක්‍රමණයක් වෙත රැගෙන යනු ලැබූ අතර අනෙක් අතින් ජයවර්ධන පාලනය ජ.වි.පෙට එරෙහි ප්‍රතිවිප්ලවීය ක්‍රියා මාර්ග ද උත්සන්න කරමින් ජ.වි.පෙ විනාශ කිරීමේ ක්‍රියාමාර්ග ද තීව්‍ර කරමින් සිටියේය. වර්ධනය වෙමින් පවතින මෙම සමස්ත දේශපාලන තත්ත්වය විසින් ජ.වි.පෙ විනාශ කිරීමේ  ක්‍රියාමාර්ග ද තීව්‍ර කරමින් සිටියේය. වර්ධනය වෙමින් පවතින මෙම සමස්ත දේශපාලන තත්ත්වය විසින් ජ.වි.පෙ ට සන්නද්ධ ක්‍රියාමාර්ග වෙත එළඹීමට බල කරන ලදී. විෂය මූලික යථාර්ථයන්ට අනුව කටයුතු කරන විප්ලවකාරී දේශපාලන පක්‍ෂයක් ලෙස රටේ  මතුවෙමින් එන තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් වීම හැර අන් විකල්පයක් ජ.වි.පෙට නොවීය. සන්නද්ධ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සංවිධානමය, මතවාදී හා ද්‍රව්‍යමය සූදානම් කිරීම සිදු කිරීමට ජ.වි.පෙ කටයුතු කළේ ඒ අනුවය.


1983 දී අයුක්ති සහගත ලෙස ජ.වි.පෙ තහනම් කළ එ.ජා.ප. ආණ්ඩුව එම තහනම ඉවත් නොකොට දිගටම පවත්වාගෙන ගියා පමණක් නොව මර්දනය තීව්‍ර කරමින් ප්‍රතිවිප්ලවකාරී ලෙස කටයුතු කරමින් සිටියේය. එහිදී ජ.වි.පෙ. සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම, පොලිස් ස්ථානවල දී පහරදීම හා මරා දැමීම, ඔත්තු සේවා සවිමත් කිරීම, විශේෂ මර්දනකාරී සන්නද්ධ ඒකක නිර්මාණය කිරීම, රෝහණ සහෝදරයා මරා දැමීමට සැලසුම් කිරීම ආදී කටයුතු රැසක් සිදුකරමින් තිබිණි. ඊට උදාහරණ රැසක් තිබේ.


1983 පක්ෂ තහනමෙන් පසු පොලිසිය විසින් මරා දැමූ පළමු ජ.වි.පෙ සාමාජිකයා වූයේ, අනුරාධපුරයේ දිසානායක සහෝදරයාය. ඒ 1984 දීය. ‘ජ.වි.පෙ තහනම ඉවත් කරනු’ යන පෝස්ටරය අලවමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු ඔහු අනුරාධපුර පොලිස් අත්අඩංගුවේ සිටියදී පහර දෙනු ලැබ මරා දැමිණි. එසේම 1985 මාර්තු මාසයේ දී මාතර තල්පාවිල ධර්ම සහෝදරයා ද අත්අඩංගුවට ගෙන වධ දී මරා දැමිණි. 1984 නොවැම්බර් 08 වැනිදා හම්බන්තොට හුංගම, දෙනියාය ප්‍රදේශයේ දේශපාලන සාකච්ඡාවක් කරමින් සිටිය දී ගුණපාල සතරසිංහ සහෝදරයා ඇතුළු 24 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුහු රඳවා තබන ලදහ. ජ.වි.පෙ සාමාජිකයන් රඳවා තැබීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත් පළමු අවස්ථාව එය විය. මෙම පිරිස මාස 15කුත් දින 8ක් රඳවා තබා ගන්නා ලදහ. ජ.වි.පෙට එරෙහිව මර්දනය දියත්වෙමින් ආ අයුරු එසේය.


මෙලෙස මතුවෙමින් ආ ජයවර්ධන පාලනයේ අධිරාජ්‍ය ගැති දේශද්‍රෝහී, ප්‍රජාතන්ත්‍රවිරෝධී, ප්‍රතිවිප්ලවකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව ජ.වි.පෙ පෙරමුණු කිහිපයක් හරහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටියේය. එක් අතකින් වෘත්තීය සමිති සම්මේලනය හා ශිෂ්‍ය ව්‍යාපාරය මගින් උද්ඝෝෂණ පෙරමුණක් ගොඩනැගීමට ද මැදිහත් විය. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය බිහිවූයේ ඒ අනුවය. 1986 අග හා 1987 මුල් කාලය තුළ මෙම ව්‍යාපාරයේ නායකයෝ ඊට මැදිහත් වූහ. එහිදී මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, දිනේශ් ගුණවර්ධන, එක්සත් ලංකා ජනතා පක්ෂයේ (එලංජප) ලේකම් ගාමිණී විජේසේකර හා සභාපති රුක්මන් සේනානායක ඇතුළු කිහිපදෙනෙක් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ. මව්බිම සුරැකීමේ, ව්‍යාපාරය පුළුල් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බිහිකිරීම සඳහා ආරම්භය සනිටුහන් කළ අතර එය මෙහෙයවනු ලැබූයේ. ජ.වි.පෙ විසිනි.
වර්ධනය වෙමින් එන දේශපාලන වටපිටාව තුළ විප්ලවකාරී පක්ෂයක් ලෙස එකී තත්ත්වයට අනුව කටයුතු කිරීමට ජ.වි.පෙ ට සිදුවිය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවීමත් සන්නද්ධ කටයුතු ආරම්භ වීමත් සිදුවූයේ මේ සියලු තත්ත්වයන් හා ක්‍රියාමාර්ග සිදුවන අතරය. පසු කලෙක ජ.වි.පෙ නොවන පිරිසක් ද මේ තුළ ඒකරාශී කළ ද මෙය ආරම්භ වූයේ ජ.වි.පෙ.නි 1987 අප්‍රේල් 15 වැනිදා පල්ලෙකැලේ යුධ හමුදා කඳවුරට පහරදීම මෙම ක්‍රියාවලියේ ප්‍රබල ආරම්භය සනිටුහන් කිරීමක් විය.

 

ඊළඟට 1987 ජූනි 07 වැනිදා රත්මලානේ කොතලාවල ආරක්ෂක පීඨයට හා කටුනායක ගුවන් හමුදා කඳවුරට එක විට ප්‍රහාර එල්ල කරනු ලැබීය. මේවා ප්‍රහාර ලෙස හැඳින්වූව ද ඇත්ත වශයෙන්ම ප්‍රහාරවලට වඩා ඒවා මෙම කඳවුරුවලට ඇතුළුවී අවි අත්පත්කර ගැනීම සඳහා කළ මෙහෙයුම් විය. 


හමුදා සොල්දාදුවන්ට හෝ නිලධාරීන්ට හානි නොකොට (ජීවිත හානි අවම කර ගනිමින්) අවි ලබා ගැනීම මෙම මෙහෙයුම්වල අරමුණ වූ නිසා හමුදාවේ කිසිවෙකුගේ ජීවිත හානි සිදු වූයේ නැත. එහෙත් කටුනායක ප්‍රහාරයේ දී ඊට සහභාගී වූ දේශප්‍රේමීහු හතර දෙනෙක් දිවි පිදූහ.


ආණ්ඩුවේ ආරක්ෂක අංශ වාර්තාවලට අනුව පල්ලෙකැලේ කඳවුරෙන් ටී-56 වර්ගයේ අවි 12 ක්ද සබ් මැෂින්ගන් වර්ගයේ අවි 07ක්ද රැගෙන ගොස් තිබූ අතර කොතලාවල ආරක්ෂක පීඨයෙන් ටී-56 වර්ගයේ අවි 15 ක්, සබ් මැෂින්ගන් 15 ක්, සැහැල්ලු මැෂින් තුවක්කු හා ීඛඍ වර්ගයේ අවි 07 ක් සබ් මැෂින්ගන් වර්ගයේ අවියක් හා පිස්තෝල 06 ක් රැගෙන ගොස් තිබිණි. ඉන් පැහැදිලි වූයේ, මෙම ප්‍රහාරයන්ගේ අරමුණ හමුදාවට හානි කිරිම නොව අවි ලබා ගැනීම බවය.


මේ අතර ආණ්ඩුවේ මර්දනය ද තීව්‍ර වෙමින් පැවිතිණි. 1987 මැයි දිනය ආණ්ඩුව විසින් තහනම් කරන ලදී. එය බරපතළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක් විය. එහෙත් එකී තහනම නොතකා මැයි දින තහනමට එරෙහිව ජ.වි.පෙ ට සම්බන්ධ වෘත්තීය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරය මැයි දිනය පැවැත්වීම සඳහා සූදානම් විය. පිරිස එකතු වූයේ නාරාහේන්පිට අභයාරාමයටය. මෙලෙස රැස් වූ පිරිසට පොලිසිය වෙඩි තැබූ අතර වෙඩිවැදීමෙන් දෙදෙනෙක් මිය ගියහ.


අභයාරාමය එසේ දේශප්‍රේමීන්ගේ ලෙයින් නහවන ලදී. මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වූ කිත්සිරි මෙවන් රණවකය. අනෙක් සහෝදරයා වූයේ, වෘත්තී්‍ය අංශ නියෝජනය කළ ලෙස්ලි ආනන්ද කිරිබත්ගොඩ සහෝදරයාය. කිත්සිරි මෙවන් රණවක ශිෂ්‍යයා පානදුර පදිංචිකරුවෙක් විය. පොලිසියේ බරපතළ බාධාකිරීම් මධ්‍යයේ ඔහුගේ අවමඟුල් කටයුතු විශාල ජන සහභාගිත්වයකින් යුතුව පානදුර දී සිදුකරන ලදි.  අවමඟුල් කටයුතු අවසන් කළ පිරිස පානදුර නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත් වූවේය.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්