දයාරත්න රණේපුර වමේ කවියෙකි. තැන නොතැන නොබලා ඇත්ත ඇති සැටියෙන් කීමේ වැරැද්ද නිසා ඔහුට බොහෝ අවැඩ සිදුවිය. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් නොලැබුණද ඔහු පළාත් සභා මට්ටමෙන් පොදු ජනතාව අතර ගැවසුණු රැඩිකල්වාදී දේශපාලන චරිතයකි.
 
කලාකරුවන් ඔහු හඳුන්වන්නේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ලේකම්වරයා ලෙසය. ගරු මර්සලීනු ජයකොඩි පියතුමන් හා පී. මලල්ගොඩ වැනි ප්‍රබලයන් ඉසිලූ කවි සම්මේලන කිරුළ රණේපුරට පැවරුණේ ඔහුගේ ප්‍රතිපත්තිගරුක අභීත බව නිසාය.
 
වාම දේශපාලනය මෝදුවෙමින් පැවති වකවානුවේ 1937.8.14 වැනිදා පෑලියගොඩ දී ‘රජෙක්’ උපත ලැබීය. පෑලියගොඩ දුටුගැමුණු විද්‍යාලය කේන්ද්‍ර කරගත් තම ශිෂ්‍ය යුගය වාම දේශපාලනය පිළිබඳ අදහස්වලින් මුවහත් කරලීමට හේ සමත්විය.
 
රණේ සෞන්දර්යවාදියකු කිරීමේ ගෞරවය පෑලියගොඩ ගංගාරාමයටත් ගුණ නැණ බෙලෙන් පිරිපුන් මිනිසකු කිරීමේ ගෞරවය විද්‍යාලංකාර පිරිවෙනටත් හිමිවෙයි.
 
1960 දී ශ්‍රීලනිප ආණ්ඩුව එතෙක් පැවති පාරම්පරික ගම්මුලාදෑනි ක්‍රමය නැතිකර ග්‍රාමසේවක ක්‍රමය හඳුන්වා දුන්නේය. ‘රණේ’ ටද උපන් ගමේම පත්වීමක් ලැබිණ. 1965 දී යූ.ඇන්.පීය බලයට පැමිණි වහාම වමේ අයගේ පත්වීම් අවලංගු කෙරිණ. 1970 දී සමගි රජය ඔහු යළි තනතුරෙහි තැබීය.
 
රාජ්‍යසේවා එක්සත් ග්‍රාමසේවක සංගමය ගාලු පුරහලේදී රැස්විය. ඒ නියෝජ්‍ය ඇමැති සේනපාල සමරසේකරගේ ප්‍රධානත්වයෙනි. වේදිකාවේ ආරාධිතයන් අතර හිටපු අගමැතිවරයකු මෙන්ම රණේපුරට ග්‍රාමසේවක රස්සාව අහිමි කළ එදා යූ.ඇන්.පී  ආණ්ඩුවේ ස්වදේශ ඇමතිවරයා වූ ඩබ්ලිව්. දහනායක මහතා ද විය.
 
දහ තම කතාව ඇරඹීය.
 
ග්‍රාමසේවකයන් කියන්නේ දුක්විඳින අහිංසක පිරිසක්. ලැබෙන්නෙත් සොච්චම් ගාණක්. විධිමත් උසස් වීම් නෑ. ඔවුන් අසාධාරණයට විරුද්ධව නැගී සිටිය යුතුයි. එදාට මගේ වයස ගැනවත් නොසලකා බෙන්තර ගඟට පනින්න හරි මාත් එනවා” දහනායක සමගි රජයට ද බැණ වැදුණේය.
 
මෙම කතාව ඇසු රණේපුරට යකා නැංගේය. ඔහු මුලසුන ගැනවත් නොසලකා වේදිකවාට පැන්නේය.
 
‘තමුන්නැහැ කතාකරන්නෙ අනුන්ගෙ මඟුලකට ඇවිත් බත් බෙදනවා වගෙයි. බලය තියෙනකොට අපට ඔහොමද සැලකුවේ’ දහනායක තමන්ට එරෙහි වූ තරුණයා දෙස රවා බැලීය.
 
රණේ ඇඳ සිටියේ රතු කමිසයකි. කොණ්ඩය හා රැවුල වැවී තිබිණ.
 
‘තමුසෙ දිහා බැලුවමත් පේනවා රස්තියාදුකාරයෙක් බව. දැන්ම මෙතනින් නොගියොත් මං තමුසෙව සුන්කරනවා.’
 
දහනායක වෙව්ලමින් කෑගැසීය.
 
සභාව දෙබරයකට ගල්ගැසුවාක් මෙන් කලබල වූ අතර අමාත්‍ය සමරසේකර බලවත් වෙහෙසක් දරා එය සංසුන් කළේය.
 
මෙතුමාගේ හැසිරීම ගැන මං සමාව ඉල්ලනවා. ඒත් අවුරුදු ගාණක් දේශපාලන පළිගැනීමකින් පස්සෙයි රස්සාව එයාට ලැබුණේ. ඒ වේදනාවෙන් කෑගහන එකත් අසාධාරණ නෑ.
 
1977 දී යූ.ඇන්.පීය යළි බලයට පැමිණියේය. රණේපුර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණේය. එකම වෙනස වූයේ රතු කමිසය සුදු ජාතික ඇඳුමට මාරුවීම පමණි.
 
 
 
පාගමන් යන අවස්ථාවක විහාරමහා දේවි උද්‍යානයේ රුක් සෙවණක් යට දහනායක ගිමන් හරිමින් සිටිනු රණේපුර දිටීය. දහගේ සුපුරුදු ලොකු කළු කුඩය ද එහි දක්නට ලැබිණ.
 
‘ආ කොහොමද ඇමැතිතුමා’
 
රණේ දහට කිට්ටු වූයේ ලොකු සිනාවක් විහිදුවාලමිනි. දහනායක ඔහු හඳුනාගත්තේ නැත. රටේ නූතන දේශපාලනය ගැන දෙදෙනා තුරුසෙවණ යට හිඳ සාමිච්චියේ යෙදුණේය. රණේ ගැන පැහැදුණු දහ විමසිලිමත් විය.
 
“ඔබතුමාට මාව අඳුනන්න බැරිද? මං තමයි එදා ගාල්ලේ රැස්වීමේදී ප්‍රශ්න ඇහුවේ”
 
දහනායක පස්සට පැන ඔහු දෙස හොඳින් බැලීය. ඔහුගේ ස්වරූපය වෙනස්වනු පෙනිණ.
 
‘ඒ තමුසෙ ද?’ තමුසෙ මහ භයානක මිනිහෙක්”
 
එසේ පැවසූ දහනායක අඩියට දෙකට පියමැන අතුරුදන් විය.
 
කවි සම්මේලනයේ 55 වැනි ජාතික කවි උළෙල පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්විණ. යූ.ඇන්.පී ආණ්ඩුවේ දේශීය වෛද්‍ය ඇමැති ධුරය දැරූ විජමු ලොකුබණ්ඩාර මහතා ද ආරාධිතයන් අතර විය.
 
ලේකම්ව සිටි මලල්ගොඩ රෝගි වූ නිසා රණේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්ව තිබිණ. තම කතාවේදී රණේපුරගේ අවධානය යොමුවූයේ වි.ජ.මු.ටය.
 
තමුන්නාන්සේ ගැන මට තියෙන්නෙ ලොකු පුදුමයක් වගේම දුකක්. තමුන්නාන්සේ වගේ උගතෙක් තෙම්පරාදු වුණු සංස්කෘතියකින් ඔද්දල් වෙච්ච  පරගැති ආණ්ඩුවක ඇමැතිවරයෙක් වුණ නිසයි මට දුක. ඔබතුමා ඉන්න ඕන අපේ පිලෙයි.
 
මේ කතාව ඇසූ ගිහිපැවිදි විද්වත්හු බිරන්තට්ටු වී බලා සිටියේ එය අවකැපෙන වදනක් වේදෝයි බයෙනි.
 
එහෙත් විජමු කලබල නොවීය. නායකතුමා අපට කියල තියෙන්නෙ මේ වගේ මොහොතක වේදිකාවෙන් බැහැල යන්න කියලා. නැත්නම් කන පැලෙන්න ගහන්න කියලයි”
 
“මට පුදුම භාෂා දෙකටම සමතැන ඉල්ලන සමසමාජ පක්ෂෙන් ආව රණේපුර සිංහලකම ගැන කතාකරන එකටයි” එයාට ඒකට හයිය ආවෙ සම සමාජෙ නිසා නෙවෙයි. විද්‍යාලංකාර පිරිවෙනයි, කවි සම්මේලනයයි නිසයි” විජමු මිතුරා බේරාගෙන තමනුත් බේරුණේ එසේය.
 
 
 
 
රණේට යළි ග්‍රාමසේවක රස්සාව ලැබෙන විට ඔහු පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙකි. රස්සාවද මන්ත්‍රීකමදැයි තෝරා ගැනීමට ඔහුට සිදුවිය. අධිකරණයේ තීන්දුව වූයේ රස්සාව තෝරාගත යුතු බවයි. මන්ත්‍රීකම අහිමි වුවද පළාතේත් රට වටාත් ප්‍රගතිශීලී හා වාමාංශික අරගලවලදී රණේ පෙරමුණේ සිටියේය. ඒ කවියේ බලයෙනි.
 
රණේද වමේ ඡන්දයෙන් මන්ත්‍රී ධුරයට පත්විය. 1988 දී භීෂණ සමයේදී මැදියම් රෑ සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්වී අනූ නවයෙන් පණ නළ බේරාගත්තේය.
 
රණේ තම කවි බළමුළුව ‘කවිය’ පත්‍රය නමැති පළිහෙන් රැක ගනිමින් ගම් නියම්ගම් සිසාරා ගොස් තම බලය පෙන්නුවේය. ඔහුට දකුණත් උතුරත් එක හා සමාන විය. යුද ගිනිදැල්. භීෂණ, තර්ජන, පොලිස් ප්‍රහාර ඔහුට ආශිර්වාදයක් විය. දයාරත්න රණේපුර ‘අනාගත වාක්‍ය’ කියන්නකු ලෙසද ප්‍රගතිශීලීන් අතර ප්‍රකටය. ඔහු රටේ දේශපාලන තත්ත්වය ගැන වරින්වර පැවසූ අනාවැකි සැබෑ වූ අවස්ථා අපට මතකය.
 
 
 
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට වැරදි  උපදෙස් දෙන පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ඔහු තම මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ මෙසේය.
 
 
කුරහන් යාය වල් බිහිවන ලකුණු ඇත
ඔහොමම ගියොත් යන එන මං රටට නැත
මැද මුලනෙන් ගෙනා ඔසුවක් අතේ ඇත
කේවට්ටයන්ගෙන් ගැලවෙනු මැනවි පුත
 
 
තමා කෙසේ අවවාද කළත් මහින්ද ඇහුම්කම් නොදෙන බව රණේ කීවේ කනස්සල්ලෙනි.
 
 
සතුරන් මිතුරු වෙස ගනිමින්  ළඟාවෙන
හදි හූනියම් අණ වින දොස් නිවාරණ
ඔය යන ගමන මරු සමගයි  කඹේ යන
කුරහන් සළුවෙ මඩ ගෑවෙයි බලා ගෙන
 
 
අවසානයේදී මහින්ද රාජපක්ෂ රජය අකාලේ බිඳවැටුණු අතර ඔහු වටා සිටි පිරිසම අලුත් ජනාධිපති මෛත්‍රී වටා ඒකරාශි වූහ. රණේලා තම ප්‍රතිපත්ති පාවා නොදුන්හ.
 
 
ගැණගෙන දින සියය පායයි දවස්පති
ටික ටික අපෙන් ඈතට යයි බුලත්පති
අතහැර වෙණ පලුව හිනැහෙයි සරස්වති
දැන් හංසයන් පිට නැඟ අලි බුලක්කති
 
 
රණේගේ දේශපාලනය නිසා මුළු දරු පවුලම අසරණ වූ අවස්ථා එමටය. රණේගේ බිරිඳ තිලකාගේ සමුපකාර රැකියාවද අහිමි විය.
එහෙත් ඇය සැමියාගේ සෙවණැල්ල සේ නොසැලී ක්‍රියා කළාය. ඇය ද කවි සෙන්පතිනියකි. සම සමාජ කාරයෙක් ලේකම් කළොත් කවි සමුළුව එයාලගේ හොරණෑවක් වේවි’ ප්‍රතිගාමීන්ගේ බස් ඇසූ මර්සලීනු ජයකොඩි පියතුමා අපූරු පිළිතුරක් දුන්හ.
 
‘ලේකම් සමසමාජ වුණා කියල සමසමාජෙටවත් මා කතෝලික වුණා කියල පල්ලියටවත් කවි සම්මේලනය අරන් යන්නෙ නෑ’ කියාය. ‘රණේපුර’ ඔහුගේ නමටම ගැළපෙන ප්‍රචණ්ඩත්වයෙන් හා නායකත්ව ලක්ෂණයෙන් අනූන කලාකරුවෙකි. ඔහු උපහාසය හා අපහාසය පටලවා නොගත් කලාකරුවකු බැවින් දේශපාලන සතුරන් පවා ඔහුට දැක්වූයේ සුන්දර සබැඳියාවකි.
 
වරක් රණේපුරගේ ඡායාරූපයක් පත්තර කන්තෝරුවක මේසයක් මත තිබිණ. එහි පැමිණි වේහැල්ලේ පියතිලක කවියාට දැනගන්නට ලැබුණේ ‘රණේ’ මියගිය බවකි
 
මහත් කම්පාවට පත් වේහැල්ලේ පියතිලක රණේගේ ගුණ වනා කවිපෙළක් පත්‍රයට යැවීය.
 
 
“සසරේ වින්ද දුක්කඳ දැන් දුරුවූවා
සිහල කවි මඩුවෙ රන් කොත නැති වූවා
නොසිතූ විටෙක ඔබ හෙළ මව හැඬවූවා
නිවන් පුරය රස කවිමඩුවක් වේවා
 
 
නමුත් එදා රණේ සැබැවින්ම මියගියේ නැත. සමාජවාදී කඳවුරේ හා කවි සමුළුවේ විවිධාකාර ඡන්ද රැලි, කවිමඩු, සම්මේලන, උද්ඝෝෂණ හා සටන්වලට දායක වූ දයාරත්න රණේපුර නමැති මානව වාදියා 79 වසක් ආයු වලඳා පසුව පිළිකා මාරයාට අවනත විය.
රණේගේ අවසන් කවිය ලියැවුණේ මහරගම ගිලන් සයනේදීය.
 
 
ජන මෙහෙවරට ඉපදුණු ජීවිතය ගෙවී
කටයුතු නිමා වී ඇත යන ලකුණු මැවී
මොනවා කරන්නද තව මෙහි නතර වෙවී
ලෝවැඩ පිණිස විය ලියු කියු සියලු කවී
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි