දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පියාණන් වූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් තමාගේ අත්දැකීම් ඔහු සම්බන්ධව සිටි බි්‍රතාන්‍ය යටත් විජිත පරිපාලනයේ යම් යම් කටයුතු ආදිය දැක්වෙන කදිම කෘතියක් සම්පාදනය කර තිබුණි. එහි නාමය වන්නේ සිහි කටයුතු පෙර දවස යනුවෙනි. 


මෙම අති දුර්ලභ ග්‍රන්ථයේ දැක්වෙන අන්දමට මහ මුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා ද දේශපාලන පක්ෂයක් ආරම්භ කර එයට නායක්තවය ලබා දී ඇත. 1920 දශකයේ දී ආරම්භ කර ඇති මෙම පක්ෂයේ නම සඳහන් වන්නේ යුනියනිස්ට් පාර්ටි යනුවෙනි. එම පක්ෂය පිහිටුවීමේ අරමුණ වශයෙන් මහ මුදලිවරයා සඳහන් කර ඇත්තේ ළඟදි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු ඩොනමෝර් කොමිසමට සාක්ෂි දීම සඳහා නියෝජිත මණ්ඩලයක් සහභාගී කරවීමයි. 


මෙම පක්ෂයේ සභාපතිධුරය මහ මුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකයන් දැරූ අතර ප්‍රකට දානපතියෙකු සහ සමාජ සේවකයකු වූ සර් මාකස් ප්‍රනාන්දු සහ පසු කලෙක ලංකාවේ මුදල් ඇමතිවරයෙකු වශයෙන් හා ප්‍රබල දේශපාලනඥයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහාතගේ මුත්තණුවන් වූ ෆීලික්ස් ඩයස් මහතා උප සභාපතිවරු වූහ. වාසල මුදලි ඒ. ඊ. රාජපක්ෂ ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ මුස්ලිම් ජනතාව නියෝජනය සඳහා පත් කර සිටි එකම මන්ත්‍රී වරයා වූ ඩබ්ලිව්. ඇම්. අබ්දුල් රහමන්, ලෙස්ලි ද සේරම්, (දේවගැති) ආචාර්ය ජී. බී. ඒකනායක පූජක තුමා ආචාර්ය ඬේවිඞ් රොක්වුඞ් කලක් මෙරට නීතිපති ධුරයේද වැඩ බැලූ ප්‍රකට නීති විශාරදයෙකු වූ ඩොනල්ඞ් ඔබේසේකර සහ ලයනල් ෆොන්සේකා යන මහත්වරු සම ලේකම්වරු ලෙස පත් වූ බව සඳහන් වේ. මෙම පක්ෂය කොතෙක් කලක් ආයු වැළඳුවද යන්න ගැන තොරතුරු සොයා ගැනීම දුෂ්කර වුවත් මෙම නිලධාරී මණ්ඩලය ගැන සැලකීමේදී වර්තමානයේදී එළැඹිය හැකි නිගමනයක් නම් දිගටම ක්‍රියාත්මක වූවා නම් මෙම ප්‍රබල ධනවත් පුද්ගලයන්ට ප්‍රබල දේශපාලන පක්ෂයක් ගොඩ නගා ගැනීමට හැකියාවක් තිබුණු බවයි. කෙසේ වුවත් බණ්ඩාරනායක පවුලේ සාමාජිකයෙකු නායකත්වය දෙමින් ආරම්භ කළ ප්‍රථම දේශපාලන පක්ෂය ලෙසද මෙම යුනියනිස්ට් පක්ෂය ඉතිහාසයට එක්ව තිබේ. 


පියාගේ පක්ෂය එසේ තිබියදීම සර් සොලමන්ගේ එකම පුත්‍ර ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1934 වසරේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් බව ලේඛනගතව තිබේ. එහි නාමය වූවේ සිංහල මහා සභාව යනුවෙනි. එය නමින් දක්නට ලැබෙන පරිදි කෙනෙකුට හැඟී යන්නේ සිංහල ජනයා වෙනුවෙන් පමණක් පෙනී සිටින ජාතිවාදී බලවේගයක් ලෙස විය හැකිය. එහෙත් එය එසේ නොවන බව සිංහල මහා සභාව පිළිබඳවත් එහි නායකයාගේ අදහස් උදහස් පිළිබඳවත් ගවේෂණය කිරීමේදී වටහා ගත හැකිය. මෙම යුගයේ මෙරට සිංහල ජන සමාජයේ බලවත් බෙදීම් පැවතුණි. විශේෂයෙන් උඩරට පහතරට වශයෙන් පැවති භේදය අතිශයින්ම තීරණාත්මක බෙදීමක් විය. එයිනුත් සිංහල ජනතා නියෝජනය උඩරට සහ පහතරට සිංහලයන් වෙනුවෙන් කියමින් බෙදීමක් දක්නට ලැබුණි.  


මෙවැනි පටු ආකල්ප වලින් බෙදී වෙන්ව ජීවත් වන සමාජයකට හෝ දේශයකට සංවර්ධනාත්මක ඉදිරි ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට කිසිඳු ඉඩක් නොමැති බව බුද්ධිමත් නායකයෝ වටහා ගෙන සිටියත් කුල භේදය ද සිංහල ජන සමාජයේ මනස අවුල් කළ තවත් ප්‍රබල සාධකයක් වූවේය. වැඩ වසම් යුගයේ යම් යම් වෘත්තීන්හි යෙදුණු සමාජ කණ්ඩායම් එම ගොනුවේම සිරගත කරමින් ඊනියා කැලීනයෝ අනෙකුත් කුලවල ජනතාව පහත් කොට සැලකූහ. පැවති සමාජ ආකල්පයන් එම සමාජ උපද්‍රවයන්ට තව තවත් පොහොර සැපයීය. මෙම අවාසනාවන්ත පසුබිම කෙතරම් උග්‍ර තත්ත්වයක පැවතියේද යත් සසර කෙටි කර ගැනීම පිණිස සසුන් ගත වූ මහා සංඝයා අතර පවා උග්‍ර කුල භේදයක් පැවතුණි. 


ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේලා සමහර කුල වලින් පැවිදි බිමට පත් සාමණේර හිමිවරුන්ට උපසම්පදාව දීම ප්‍රතික්ෂේප කළහ. එය රජ අණක් බව කියවුණි. බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් අබිබවා රජ අණ ලෙසින් කුල වාදය ශාසනය තුළ ද මුල් බැස ගෙන තිබුණි. සකල දෝෂයෙන් පිරුණු ගිහි සමාජය තුළ මෙම ග්‍රාම්‍ය හා පහත් සමාජ සීමාව කොතෙක් දුරට පැවතියේද යන්න අනුමාන කළ හැකිය. 


මිනිසෙකු විසින් තවත් මිනිසකු පෙළන මෙකී අමනෝඥ සමාජ පිළිලය තුරන් කර දැමීම නුදුරේදීම සිදුවිය යුත්තක් බව ප්‍රගතිශීලී මත දැරූ දේශපාලකයෝ දැන සිටියහ. මෙසේ අපමණ කුලවලට බෙදී විසිරී සිටින සහ උඩරට - පහතරට භේදයෙන්ද බෙදී සිටින සිංහලයා එම තත්ත්වයෙන් මුදවාගෙන එක්සත් කිරීම සිංහල මහා සභාවට පිහිටුවීමට ප්‍රධාන හේතුව වූ බව එහි නිර්මාතෘ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සඳහන් කර ඇත.
සිංහල මහා සභාව ගොඩනැංවීමේදී එහි මූලික ප්‍රතිපත්ති වශයෙන් කරුණු හතක් ඉදිරිපත්කර තිබුණි. එනම්


1. සම්පූර්ණ ජාතික නිදහස (ස්වරාජ්‍ය තත්ත්වයෙන්)
2. ඉංග්‍රීසිය රාජ්‍ය භාෂා තත්ත්වයෙන් ඉවත් කර ජාතික භාෂාවන්ට එම ස්ථානය හිමිකර දීම්, විශේෂයෙන්ම සිංහල රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශ කිරීම, දෙමළ භාෂාවටද සාධාරණ තැන ලබාදීම.
3. බහුතර ජනතාවගේ ආගම වන බුද්ධාගම, දියුණු කොට වඩා වර්ධනය කිරීම හා යටත් විජිත පාලනයේ බලපෑම් නිසා ආරක්ෂාව අහිමිවූ බුද්ධාගමට රජයේ ආධාර උපකාර ලබාදීමට සැලැස්වීම.
4. දුගී දුප්පත්කම දුරලා බහුතර දේශිය ජනතාවට ආර්ථික සමෘද්ධිය අත්කර දීම.
5. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිට රටින් ගෙන්වීම සහ බෙදා හැරීම රජයේ පරිපාලනයට යටත් කිරීම මගින් දේශිය ජනතාවට සහන සැලසීම.
6. භාෂා භේදය අනුව ඉංග්‍රීසි සිංහල අතර පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම. 
7. ජනතාවට සදාචාර සම්පන්න යහපත් මිනිසුන් වශයෙන් ජීවත් වීමට මඟ සැලැස්වීම සඳහා


» මත් පැන් උවදුර දුරු කිරීම 


»» බෙහෝ සෙයින්ම බි්‍රතාන්‍ය ආභාෂය නිසා ප්‍රචලිතව පවත්නා තුරඟ තරඟ ක්‍රීඩා (අශ්ව රේස්) ඔට්ටු ඇල්ලීම තහනම් කිරීම.


මෙවැනි පුළුල් දෘෂ්ටියකින් යුතුව රටේ උන්නතිය සමගිය හා දේශීය අනන්‍යතාව ගොඩ නැගීමත් සදාචාරවත් සුචරිතය ගරු කරන නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමත් අරමුණු කර ගත් උදාර ගමනක් ඒ අයුරින් ආරම්භ වූවේය. 


සිංහලයේ මහා කවියාණන් ලෙස විරුදාවලි ලබා සිටි ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා තුඩාවේ පණ්ඩිත ගුණවර්ධන, මෙරට පුවත් පත් කලාවේ ආදිතමයෙකු වු ඩී. ඩබ්ලිව්. වික්‍රමආරච්චි ජේ. පී. වික්‍රමතිලක ආදී බහුශ්‍රැත ජන ප්‍රධානීහු එයට සම්බන්ධව කටයුතු කළ බව පැරණි වාර්තාවන්හි දැක්වේ. 


යටත් විජිත යුගයේ පැවති දේශපාලන පසුබිමට අනුව ක්‍රීයාශීලී සහ ජනතාවාදී කාර්යභාරයක් ඉටු කිරීමට සිංහල මහා සභාවට හැකි විය. එදා නිදහස ලබා ගැනීම උදෙසාත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කණ ලබා ගැනීම පිණිසත් උද්ඝෝෂණ කළ ප්‍රධාන ධාරාව හා සාම්ප්‍රදායික නායකයන් ඒකරාශී වූ බල කඳවුර වුයේ ලංකා ජාතික සංගමයයි. විධිමත්ව හා පැහැදිලි ප්‍රතිපත්ති රාමුවකට අනුගතව දේශපාලන පක්ෂ ගොඩනැගී නොතිබුණු මෙම යුගයේ සිංහල මහා සභාවේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ලංකා ජාතික සංගමයත් එහි නායකයන් සමඟ එකමුතුව ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් ඇමතිධුර හෙබ වූ බවද අමතක නොකළ යුතුය. 


මෙම යුගයේ සර්වජන ඡන්ද බලය ලැබී තිබුණූ අතර රටට නිදහස ලැබීමට ආසන්න බවට පෙර නිමිති දක්නට ලැබුණි. එයට වටපිටාව සැලසීමටත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමටත් නිර්දේශ වුණු සෝල්බරි කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකාව ලහි ලහියේ සූදානම් වනු දක්නට ලැබුණි. බහු පක්ෂ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක කිරීමට නම් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක අවශ්‍යකම මෙරට ජනතා නායකයෝ අවබෝධ කර ගත්හ. එකල ප්‍රබලව සිටි ලංකා සම සමාජ පක්ෂය ලංකා කොමියුනිස්ට් පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂ හ නාගරික කම්කරු පංතිය නියෝජනය කළ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ලංකා කම්කරු පක්ෂයට ද මුහුණ දී නුදුරු අනාගතයේදී ඇති වන මැතිවරණය ජය ගැනීම මෙම නව පක්ෂය ඇති කිරීමේ අරමුණ බවට ප්‍රකාශ විය. ඩී. ඇස්. සේනානායක, ජෝර්ජ් ඊ. ද සිල්වා වැනි දේශපාලන ප්‍රභූන් නායකත්වය දුන් ලංකා ජාතික සංගමය, ටී. බී. ජයා, දොස්තර ඇම්. සී. ඇම්. කලීල් මහත්වරු නායකත්වය දුන් ලංකා යෝනක සංගමය සහ සිංහල මහා සභාවද ඒකාබද්ධ කර 1946 සැප්තැම්බර් 6 වැනිදා එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ලද්දේ ඒ අනුවය. ඩී. ඇස්. සේනානායක මහතා පක්ෂ නායකත්වයට පත් වු අතර ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නියෝජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා ලදි. ආරම්භයේ සිටම මෙය නොගැළපෙන හවුලක් බව පෙනෙන්නට තිබුණි. 1947 දී පැවති මහා මැතිවරණයේදී බොහෝ මන්ත්‍රී ආසන සඳහා එ.ජා.ප.යෙන්. නිල අපේක්ෂකයෝ එක් අයෙකුට වඩා තරග කළහ. පක්ෂ විනය හා ප්‍රතිපත්ති තහවුරු වී නොතිබුණු එදා එවැනි දේ සිදුවීම ස්වභාවික විය හැකි වූ නමුදු මෙහිදී වුයේ එය නොවේ. බණ්ඩාරනායක කඳවුර දුර්වල කිරීම සඳහා ගෙන ගිය කිසියම් ක්‍රියාමාර්ගයක් එයට මුල් වූ බව පැහැදිලි සත්‍යයක් විය. බණ්ඩාරනායකයන්ගේ සමීපතම සගයන් දෙදෙනෙකු වු බෙලිඅත්තට තරග කළ ඩි. ඒ. රාජපක්ෂ මහතාට සහ උඩුගම ආසනය තරග කළ ඩී. ඇස්. ගුණසේකර මහතාට එරෙහිව එ.ජා.ප. නිල අපේක්ෂකයෝ ඉදිරිපත්ව සිටියහ. එම මැතිවරණයේදී එජාපයට ආසන බහුතරයක් හිමි වූවේ නැත. ද්‍රවිඩ සංගමයේ ද ස්වාධීන මන්ත්‍රීවරු පිරිසකගේ ද සහාය ලබාගෙන රජයක් පිහිටු වීමට ඩී. ඇස්. සේනානායක මහතා සමත් වුවද රාජ්‍ය තුළ නිරන්තරයෙන්ම පාර්ශව දෙකක් ක්‍රියාත්මක වූ බව පැහැදිලි සත්‍යය විය. 

 

 

එක් දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතර වැනිදා බි්‍රතාන්‍ය අධිාරාජ්‍යයෙන් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත් විය. එහෙත් බණ්ඩාරනායක මහතාට පෙනී ගියේ නිදහස ලැබූ අනෙක් රට වල මෙන් දේශීයත්වයට දේශීය භාෂා වලට සංස්කෘතියට එම සාර ධර්මවලට නිසි තැන නොලැබෙන බවයි. සුද්දන්ගේ පාලන ක්‍රමයම ඉදිරියට යන බවයි. ඔහුගේම වචන වලින් කියතොත් “බෝතල් වෙනස් වූවාට වයින් වෙනස් නොවූ” බවයි. බි්‍රතාන්‍යය යුද කඳවුරු දෙකක් මෙරට ක්‍රියාත්මක විය. ත්‍රිකුණාමලය නාවික කඳවුර සහ කටුනායක ගුවන් කඳවුරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම වසර ගණනාවක් යන තුරු පමා වුයේ මෙම කාරණය නිසා බවද බණ්ඩාරනායක අවබෝධ කරගෙන සිටියේය. දේශීයත්වය අගය කරමින් යටත් විජිතවාදය නිසා එයට අහිමි වූ ස්ථානය ලබා දෙන ලෙස දක්වමින් රජය තුළ ඔහු ගෙන ගිය අරගලය ඵල දැරුවේ නැත. ඔහු අවසාන පියවර ද ගත්තේය. එනම් සිංහල මහා සභාවේ විශේෂ සභාවාරයක් හලාවත මාදම්පේ දී 1951 ජුලි මුලදී කැඳවා ප්‍රගතිශීලී යෝජනා මාලාවක් සකස් කර නොපමාව ක්‍රියාත්මක කරන ලෙස රජයට ඉදිරිපත් කිරීමයි. ඒවාද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුනේ නැත. මෙම සියලු කරුණු වල ප්‍රතිඵලයක් වශයෙන් 1951 ජුලි 12 වැනිදා බණ්ඩාරනායක මහතා තමා රජය තුළ දරමින් සිටි සෞඛ්‍ය හා පළාත් පාලන ඇමති ධුරයෙන් සහ පාර්ලිමේන්තුවේ සභා නායක ධුරයෙන් ද ඉවත්ව විපක්ෂයට පැමිණියේය. බෙලිඅත්ත මන්ත්‍රී ඩි. ඒ. රාජපක්ෂ මහතා ද ඔහු අනුගමනය කළේය. 


මෙම සිද්ධි මාලාවේ සමාප්තිය වූවේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති දේශපාලන බලවේගය ආරම්භ වීමෙනි. 1951 සැප්තැම්බර් මස දෙවැනිදා කොළඹ නව නගර ශාලාවේ පැවති සභා රැස්වීමකදී එම පක්ෂය ආරම්භ කිරීම සිදු විය. එහිදී ප්‍රකාශයක් කරමින් බණ්ඩාරනායක මහතා මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා ගතව තිබේ. “විසඳනවා ඇතැයි අප රටේ ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන ප්‍රශ්න වලින් කිසිවක් මේ ආණ්ඩුවෙන් නොවිසඳුනේය. ජීවන වියදම ඉහළ යාම නිසා නගර බදව මෙන්ම ගම්බදවද දුප්පත් හා මධ්‍යම පාන්තික ජනයාගේ තත්ත්වය රට බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයටත් වඩා අන්තය. කෘෂිකර්මය අතින් හෝ කර්මාන්ත අතින් රටේ ජාතික ධනය දියුණු කිරීමේ විධිමත් පරිශ්‍රමයක් කොහෙත්ම නොදැරුණේය. ඇත්ත වශයෙන්ම කියතොත් අපේ කෘෂිකර්මය භූමි ප්‍රමාණයෙන් මෙන්ම අස්වනු ප්‍රමාණයෙන් ද තව දුරටත් පිරිහුණේය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපයට මම විරුද්ධ වෙමි. නව පක්ෂය එයට විකල්පයකි.” 


එදා පත් කර ගත් නිලධාරී මණ්ඩලය මෙසේ වූ බව පුවත්පත් වල පළ විය. 


සභාපති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සම ලේකම්වරු බර්නාඞ් අළුවිහාරේ මහතා, බද්උද්දීන් මහමුද් මහතා, එස්. තංගරාජා මහතා, භාණ්ඩාගාරික ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා


සමස්තයක් වශයෙන් සැලකූ විට එදා දේශපාලන ක්ෂේත්‍රය හැඩ ගැසී තිබුණු ආකාරයටම මෙම නිලධාරී මණ්ඩලයේ සෑම දෙනාම පාහේ ප්‍රභූ පන්තියට අයත් වුවෝ වූහ. කලින්ද සඳහන් කළ පරිදි නව පක්ෂයේ නායකයා වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා යටත් විජිත පාලනයේ මහමුදලිවරයාගේ එකම පුත්‍රයා විය. එමෙන්ම බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා බැරිස්ටර්වරයෙකු ලෙස සමත් වූ අයෙකු විය. භාණ්ඩගාරික ජෝර්ජ් ආර්. ද සිල්වා මහතා වූ කලි බණ්ඩාරනායක පවුලේ සමීප ඥාතියෙකු වූ බව බණ්ඩාරනායක වංශාවලිය නමැති කෘතියේ දැක්වේ. ලේකම් බර්නාඞ් අළුවිහාරේ මහතා ද උඩරට සම්ප්‍රදායික රදල පවුලක සාමාජිකයෙකු මෙන්ම මහ නුවර රාජධානි සමයේදී රජුන් සමග සමීප ඇසුරක් පැවති නිල දැරූ පවුලකින් පැවත එන බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලද බැරිස්ටර්වරයෙක් වූවේය. 

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ