මාක්ස්වාදය, තිඹිරි ගෙයින් එළියට පනිත්ම, ප්‍රජාතන්ත්‍රවාදය බිලිගන්නා වලසෙකු බවට හඳුන්වා දුන් බටහිර රටවල එහි භීෂණත්වය මවා පෑම, හැම මාධ්‍යයක් තුළින්ම ඉස්මතු කර දැක්වූයේ ජනතාව බියෙන් තැතිගැන්වෙන අන්දමටය.


ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඞ් සොයිසා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන් වැනි මාක්ස්වාදය වැළඳගත් තරුණ උගතුන්ගේ සාරගර්භ දේශනයන් හා ජනතා හිතවාදී ව්‍යාපාර නිසා විශේෂයෙන්ම ගැමි ජනතාව, ඔවුන් වටා රොක්වීම වළක්වා ගැනීම උගහට විය. රටේ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව හඬ නැගීමේ ප්‍රතිඵලයක් වශයෙන් එවැනි මාක්ස්වාදී නායකයන් සිරබත් කෑමත් පාලනයේ ඇස් වසා රටින් පලා යෑමත් වීරත්වයෙන් සැලකූ ජනතාව කොමියුනිස්ට්වාදයට නැඹුරු වූවා පමණක් නොව, මෙරට දේශපාලන පිටියේදී ඔවුන් කළ සටනට සහාය දක්වමින් මැති සබයට පවා යැවීමට පසුබට නොවූහ. දෙවන ලෝක සංග්‍රාමයේදීද මාක්ස්වාදීන් දියත් කළ සූරියමල් ව්‍යාපාරය, කෙතරම් ජනතා හිතකාමී වීද යත් එය ජන සෙතක්වූ තරමටම මාක්ස්වාදී නායකයන්ට දේශපාලනයේ රැඳී සිටීමට සුදුසු වේදිකාවක්ද විය.


නවසිය තිස් හතළිස් ගණන්වලදී ඇරඹි මාක්ස්වාදය, ව්‍යාප්ත වීමෙන් පසු භීෂණ වලසෙකු මෙන් පෙන්වූ නමුත් සුරතල් බළල් පැටවෙකු තරමට ජනතාවට ළං වූ අතර නිදහසින් පසු සමහර දේශපාලන පක්ෂ විසින්ද, වක්‍රාකාරයෙන් ළංකර ගැනීමටද බිය නොවීය.


1956 දී බණ්ඩාරනායක රජයට, ප්‍රබල මාක්ස්වාදී නායකයෙකුවූ පිලිප් ගුණවර්ධන සහ පී. එච්. විලියම් ද සිල්වා එක්වී ඇමැතිකම් ලබාගත්හ.


එසේම 1965 මහ මැතිවරණයෙන් බලයට පත් ඩඞ්ලි සේනානායක රජයේ වගකිවයුතු ඇමැති පදවියක් දැරීමට පිලිප් ගුණවර්ධනට හැකිවිය. සමාජවාදය ඔස්සේ මාක්ස්වාදය දැඩිසේ ප්‍රතික්ෂේප නොකළ, 1956 රජයේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සමග හවුල් වූ පිලිප්ට ඔහු සමග තෙවසරකට වඩා දීග කෑමට අපහසු වුවත් සේනානායකවරුන් නයාට අඳුකොළ මෙන් සැලකූ පිලිප්, ඩඞ්ලි සමග ආණ්ඩුවේ වසර පහම සම්පූර්ණ කළේ දීගයට අබමල් රේණුවක තරමින් වත් බලපෑමක් නොවන ලෙසිනි.


1970 දී බිහිවූ සිරිමා බණ්ඩාරනායක රජයට එක්වීමට ඇරයුම් ලද ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඉතාමත්ම වගකිව යුතු ඇමති ධූරයක් වන මුදල් ඇමැතිකමට පත්විය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු කණ්ඩායම, වසර දෙක තුනක් ඇවෑමෙන් ඇමැති ධුර වලින් විසිවූ නමුත් තනතුරු දරමින් සිටි සීමිත කාලයේ වුවද අමතක නොවන තීරණ තීන්දු ගැනීම අමතක කළ නොහැක.

 

මුදල් ඇමැති වශයෙන් රුපියල් 100 - 50 මුදල් නෝට්ටු අවලංගු කරමින් රට පුරා බැංකු ඉදිරියේ දිග පෝලිම් හැදෙන අයුරින් කටයුතු කිරීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් නමුත් සැඟවුණු මුදල් කන්දරාවක් එළියට ඇදගත්තේ තුඹසෙන් සර්පයින් ඇද ගත්තාක් මෙනි.


එසේම රටපුරා දෝෂ දර්ශනයට ලක්වූ තීරණයන්ද මුදල් ඇමැති වශයෙන් ඇන්. ඇම්. නොගත්තා නොවේ. සභාග රජයේ කුළුඳුල් අය - වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති ඇන්. ඇම්. හැම පුරවැසියෙකුටම කිතුලක් මැදගන්නට බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කළේය. මෙය ආගමික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද දැඩි කතා බහකට ලක්වූ අතර හාල් පොලු, මිරිස් පොලු හා පාන් පෝලිම් වලින් හෙම්බත්ව සිටි ජනතාවගෙන් බැටකමින් සිටි සිරිමා රජයට එල්ල බලා ඔළුවට වැදුණු තරු විසිවෙන තවත් මුගුරු පහරක් විය. එමගින් ඇන්. ඇම්. මෙම දහම් දිවයින, සුරා සොඬුන්ගේ පාරාදීසයක් බවට පත් කරවමින් කඳට වැදුණු පණුවෙකු එය හප කරන මෙන් සිරිමා රජයට වැදී අනුක්‍රමයෙන් පාලනයට අත ගැසීමට අර ඇඳීමකැයි කතිකාවක්ද රටේ ඇතිවිය.


ඇන්. ඇම්. සූක්ෂම ලෙසින් කරනු ලැබූ තවත් ගුප්ත වික්‍රමයක් වූයේ බාලාංශ පන්තියේ දරුවන්ගේ පටන් මනස විකෘති කර දේශයටත්, ජාතියටත් ආගමටත් සුවිශාල සේවයක් සලසමින් අපරාජිත අපරාධීන ආඩම්බර රටක් කිරීමට තම ධනය බලය පදවි හා දිවි පවා පුදමින් කටයුතු කළ හෙළයේ වීරෝදාර උතුමන්ගේ සදානුස්මරණීය නාමයන් අකාමකා දමා ඉතිහාසයේ නව පරිච්ජේදයක් තම නාමයෙන් පටන් ගැන්මට රජයේ මුද්‍රණාලයෙන් පිටවූ ළමා හෝඩිපොත උපයෝගී කර ගැනීමය.


නොඑසේ නම් තම කාලය තුළ බාලාංශ දරුවාගේ හෝඩි පොතට, මාක්ස්වාදය හඳුන්වාලීමේ අලුත් මුහුණුවරක් කැවීමය.


එහි එක් පාඩමක නිමල් මේරි පෙරේරා නමින් වචන තුනක අකුරු කරණයට දරුවා යොමුකොට, නිමල් (ඇන්) මේරි (ඇම්) පෙරේරා වශයෙන් සිඟිති දරුවන් තුළට කාවද්දා මාක්ස්වාදී නායකයෙක් හැටියට නව ඉතිහාසයක් ආරම්භ කිරීම, මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ අරමුණ වූවාට සැක නැත. මෙය ඉතා රහසිගතව ක්‍රියාවට නැංවෙන බිහිසුණු එකක් බවට මුළු රටේම අධ්‍යාපනඥයන්ගේ මෙන්ම සෙසු උගතුන්ගේද පිළිගැනීම විය.


1970 අප්‍රේල් මස 06 වැනි දින ඉරිදා ‘උදය’ නමින් පළවූ පත්‍රය මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, හය හතර නොදන්නා කුඩා දරුවන් අතට යන පොතෙන් පවා ඇන්. ඇම්. බලාපොරොත්තු වූයේ විෂම අදහස් කැවීම නොවේද? මාක්ස්වාදී ඇමැතිවරයා විසින් කරන්නට ගිය එම වැඩපිළිවෙළටද එදා ජනතාව දැක්වූයේ බලවත් විරෝධතාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සභාග ආණ්ඩුව ඇද වැටෙන තැනට කරුණු සැලසුණි.


ඇන්. ඇම්. ලාගේ ඊළඟ ප්‍රයත්නය වූයේ, පුවත්පත් ඒකාධිකාරිය නැති කිරීමේ මුවාවෙන් පුවත්පත්වලට විලංගු ලෑමේ පනතක් ගෙන ඒමය. කියවීමේ හා ලිවීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී රටක සුබදායක ලක්ෂණයක් වන අතර පාලනයේ අඩුපාඩු දැක්වීම හා විවේචනය කිරීම එහි ඇති මාධ්‍ය ලක්ෂණයක් විය.


මෙවන් නිදහසක් නොමැති රටක් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර පුවත්පතේ මුකවාඩම් බැඳීම යනු ජනතා හඬ පිට නොවන සේ කටට ඉබි යතුරු දැමීමකි. එහිදී මතුවන්නේ ඒකාධිපති දරදඬු පාලකයන්ගේ යකඩ සපත්තු අඩියේ මුද්‍රාව තැබෙන සහමුලින්ම මාක්ස්වාදී මිලිටරි පාලනයකි.


මෙම ඒකාධිපති තත්ත්වය ඇති වන්නට ප්‍රථම ඇන්. ඇම්. ප්‍රමුඛ මාක්ස්වාදීන්ට සභාග රජයෙන් එළියට බසින්නට සිදුවිය.


පාර්ලිමේන්තු විවාදයෙන් පසු පුවත්පත් පනත 1964 දෙසැම්බර් 04 වැනි දින පැවැත්වුණු ඡන්ද විමසීමේදී සිරිමා ආණ්ඩුවේ කතානායකගේ ඡන්දයද ලැබී වැඩි ඡන්ද එකෙන් පරාජයට පත්වී සිරිමාටද කොට්ට පැදුරු හකුළාගෙන අරලියගහ මන්දිරයෙන් දොට්ට බැසීමට සිදුවීම නිසා ආණ්ඩුවේ සිටිමින් ඇන්. ඇම්. ලා දුටු මාක්ස්වාදී ආණ්ඩු සිහිනය, සබන් බෝලයක් මෙන් පිපිරී ගියේය.

 

 

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර