ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

11 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

මාව ත්‍රිකුණාමලයේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් 3 වැනිදාය. එදින බන්ධනාගාර බසයෙන් අපව රැගෙන ගිය නමුත් ගලෙන්බිදුණු වැව නගරයේ දී බසය නවතා අපව නැවත අනුරාධපුර බන්ධනාගාරයටම ගෙන එන ලදී. මා ඇප මත නිදහස් කර ගැනීම සඳහා එදින මගේ භාර්යාව රතු අම්මා හා ඇයගේ වැඩිමහල් දියණිය වන සේපාලිකා ගුණසේකර මහත්මිය ද 2 වැනිදා ත්‍රිමලේ ගොස් තිබුණි. ඔවුන් මා පදිංචිව සිටි නිවසේ රාත්‍රි නැවතී පසුදින උසාවියට ගොස් තිබුණි. එහිදී සහකාර ඉංජිනේරු වේරගම මහතාගේ ගෙදරට ගිය විට ඔහු නීතිඥ මහතෙකු අල්ලා තිබුණු බවත් ඒ අය හමුවන ලෙසත් ඔවුන්ට කියා තිබුණි. එවිට උසාවියෙන් දන්වා තිබෙන්නේ මා එදින උසාවියට ඉදිරිපත් නොකරන බවත් කෙසේවත් ඇප නොදෙන බවත්ය. මොවුන් එදිනම ආපසු අනුරාධපුර පැමිණ තිබුණි.


මා සිරභාරයට ගත් කාලයේ සිරගෙදරට ඇතුළු කර ගන්නා විට ව්‍යාපාරය සඳහා අත්අඩංගුවට ගත් අයට වචනයකින්වත් සිත් නොරිදවා බන්ධනාගාර නිලධාරීහු සුහදව කටයුතු කළෝය. එසේ නමුත් වෙනත් වැරදි සඳහා සිරගෙදරට එන අයට පහරදීම් හා බැණවැදීම් කරනු අපි දුටුවෙමු. 


අප්‍රේල් 5 වැනිදා පමණ වනවිට අනුරාධපුර සිරගෙදර සිටියේ ව්‍යාපාරය සම්බන්ධ අත්අඩංගුවට ගත් අය විස්සකට අඩු ගණනකි. අප්‍රේල් 5 වැනිදා පහරදීම ගැන ව්‍යාපාරය මගින් අපට දන්වා තිබූ අතර ඔවුන් අපව මුදා ගන්නා බව ද කියා එවා තිබුණි. 


පස්වැනි දින පහරදීම අසාර්ථක වීම නිසා සිර ගෙදර තුළ තත්ත්වය දරුණු අතට හැරෙන්නට වුණි. සෑම දවසකම වාගේ දිනකට දහයක් පහළොවක් පමණ පිරිසක් බන්ධනාගාර ගත කෙරුණි. එවිට අප සියලු දෙනා වෙනම වාට්ටුවකට මාරු කරන ලදී. ව්‍යාපාරය සම්බන්ධ සිරකරුවන් පිරිස එකසිය පහළොවක් (115) පමණ වූහ. අප සිටි සිර මැදිරිය සිරකරුවන් තිස්පහක් (35) සඳහා වෙන්කර තිබූ එකකි. එහෙත් අප සියලු දෙනාම සිටියේ මෙම ශාලාවේය. රෑට නිදා ගැනීමට සිදුවූයේ පැත්ත හැරී ටින් එකක අසුරන ලද සැමන් මාළු ලෙසින් එකිනෙකාට තදබදවය. අපි සමහර විට ඉඩ මදි නිසා රාත්‍රියේදීත් නැගිට වාඩිවී සිටියෙමු. මේ වනවිට සිරගෙදර තත්ත්වය ද වෙනස් වෙමින් තිබුණි. පහරදී අත පය කඩා දමා සිටි සහෝදරවරුන් ද එලෙසම වාට්ටුවට ගෙනවිත් දැමුවේය. අපි ඔවුන්ගේ ලේ පිසදා ඇඳුම් පවා මාරු කළෙමු. රාජාංගණයේ ඉ.සං.දෙ. සේවය කළ සිල්වා සහෝදරයා ගෙන ආවේ උස්සාගෙනය. ඔහුගේ කකුල කැඩී ඇට එළියට විත් තිබුණි. ඔහුව පිරිසිදු කර මා ළඟ තිබුණ කමිසයක් හා තව සහෝදරයකු ළඟ තිබුණ සරමක් ඇන්දවූයෙමු. වේදනාවෙන් සිටි ඔහු රෝහලට ගෙන ගියේ පසුදාය. 


අනුරාධපුර බන්ධනාගාරයේ සිටි එක් නියාමක මහතෙකුට සිරකරුවන් රත්තරන් මහත්තයා කියා නමක් පටබැඳ තිබුණි. ඔහු සේවයට පැමිණෙන විට අපට බුලත් විට දෙක තුනක් පවා ගෙනැවිත් දුන්නේය. 


අප සිටි වාට්ටුවේ වැසිකිළිය පිහිටා තිබුණේ ශාලාව ඇතුළේමය. එහි එක් අද්දරකට වෙන්න අඩි දෙකක් පමණ උසට බැඳ තිබූ කොටසක වූ බාල්දි වැසිකිළියක් විය. මෙය සුද්ධ කර ගැනීම ද භාරකර තිබුණේ අපටමය. අපි හත් අට දෙනෙක් උදේට එකතුවී මෙය සුද්ධ කළෙමු. මෙසේ එය පිරිසුදු කිරීමට යන ඔව්හු එය පිරිසුදු කර නාන්න යනවිට මට කථාකර මට ද නාන්න අවස්ථාව සලසා දුන්නෝය. මේ වනවිට සිර ගෙදර සිටි සහෝදරවරු අතර මා පංති කර තිබූ කිහිප දෙනෙක් ද සිටියෝය. ඔවුන් අනෙක් සහෝදරවරුන්ටත් මා ගැන කියා තිබූ නිසා මා හට විශේෂ සැලකිල්ලක් තිබුණි. සිරගෙදර නෑමට ගෙන ගියේ කණ්ඩායම් වශයෙනි. නියාමක ජේලර් මහතා නළාව පිඹින විට නෑම පටන් ගත යුතු වූ අතර නැවත නළාව පිඹින විට නවත්වා සබන් ගාගත යුතු විය. අපට සිරගෙදර හදන සබන් ලබාදී තිබුණි. නැවත නළාව පිඹින විට නෑම යළි පටන් ගෙන අවසාන වශයෙන් නළාව පිඹිනවිට නැවැත්විය යුතු විය. 


මා සිරගතවීමෙන් ටික කලකට පසු මගේ භාර්යාව හා දරු දෙදෙනා අම්බලන්ගොඩ පෝරඹ භාර්යාවගේ අම්මා ළඟට ගොස් තිබුණි. අප කාර්යාලයේ සිටි සහෝදර නිලධාරි මහතුන් මාස්පතා මුදල් එකතු කර භාර්යාවට යැවූ බව මට පසුව දැන ගන්නට ලැබුණි. 


මේ කාලය වනවිට පියසේන සහෝදරයා හා පවුලේ අයත් අම්බලන්ගොඩ පෝරඹ කුලී නිවසකට පදිංචියට පැමිණ සිටියහ. මාගේ පවුලේ අයට ඔවුන්ගෙන් ද උදව් ලැබුණි. මේ වනවිට සුනන්දට අමතරව ව්‍යාපාරයේ පූර්ණ කාලීන වැඩ කිරීමට බදුල්ලට ගොස් සිටි ඔහුගේ නංගී වූ කමනී ද සිටියේ අත්අඩංගුවේය. මගේ දැනීමේ හැටියට අපේ ව්‍යාපාරය වෙනුවෙන් මුලින්ම පූර්ණකාලීන වැඩ කිරීමට ගිය ගැහැනු ළමුන් වූයේ කමනී හා ඇය සමග ධර්මාශෝකයේම ඉගෙනුම ලැබූ සම්පතීය. 


අනුරාධපුර සිරගෙදර සිටි ව්‍යාපාරයේ අප සියලු දෙනා මැයි මාසයේ දී විදද්‍යොදය විශ්වවිද්‍යාලයේ කඳවුරට රැගෙන යන ලදී. අපව මෙසේ රැගෙන ගිය බව ගෙවල්වලට දැන්වීමට ක්‍රමයක් තිබුණේ නැත. මෙම විද්‍යොදය කඳවුරට ගාල්ල, බදුල්ල සිර ගෙවල්වල සිටි කැරැල්ල සම්බන්ධයෙන් රඳවා සිටි අය ද ගෙනවුත් තිබුණි. මෙහිදී මට අම්බලන්ගොඩ අපේ ගම්වැසියෝ වූ සුනන්ද, ලක්ෂ්මන් මාදුවගේ, කුරුඳුවත්තේ ධනසිරි, ආඳාදොල රුවන් හෙවත් සුනිල්, මහලදූවේ කුලසිරි  යන සහෝදරවරුන් ද හමුවූහ. 


මෙම කඳවුරේ වඩා හොඳ පහසුකම් තිබුණි. ශාලා හතක අප නතර කරන ලදී. මෙම කඳවුරේ ව්‍යාපාරයට සම්බන්ධ නැති වෙනත් වැරදි සඳහා දඬුවම් ලැබූ පිරිසකුත් සිටිහය. ඒ අය මීට ඉහත සිර දඬුවම් ලබා තිබුණි. ඒ අය මුළුතැන්ගෙයි වැඩකළහ. ජේලර් නියාමක මහතුන් හා වැසිකිළි සුද්ධ කිරීමට එන කොළඹ නගර සභාවේ බවුසර්වල සේවක මහතුන් හරහා මොවුහු ගංජා වැනි දෑ ගෙන්වා ගත්හ. කඳවුර තුළ සිගරැට් හා ගංජා වෙළඳාම කිරීම අපේ අය විසින්ම තහනම් කර තිබුණි. ඊට හේතුව ඒ කාලයෙ හිදී ව්‍යාපාරයේ කිසිවකු සිගරට්වත් බීවේ නැති නිසාය. එනමුත් ක්‍රමයෙන් අපේ සහෝදරවරු අතරින් සමහරෙක් මේවාට ඇබ්බැහි වූහ. 


මුළුතැන්ගෙයි වැඩකළ මෙම සිරකරුවෝ අපගේ අය පාලනය කිරීමට හා සුළු දෙයටත් බැණ වැදීමටත් පටන් ගත්හ. ඔවුන්ට බන්ධනාගාර නියාමක මහතුන්ගේ සහාය ඒ සඳහා ලැබුණි. එක් දිනක් හදිසියේම දෙපිරිස අතර ආරවුලක් ඇතිවිය. අපේ සහෝදරවරු එම පිරිසට හොඳටම පහර දුන්හ. එම පිරිස එවිට ගේට්ටුව ළඟට දුවගෙන ගියෝය. එම අවස්ථාවේ කඳවුර මුරකරමින් සිටි හමුදා සෙබළු කඳවුර ඇතුළට වෙඩි තබන්නට පටන් ගත්තෝය. එවිට පහරදීම සඳහා ඉදිරිපසට පැමිණ සිටි සියලු දෙනා ශාලාව ඇතුළට දිව ගියහ. ඉන්පසුව ගේට්ටුව ළඟට ගොස් සිටි පිරිසක් තෝරාගෙන වෙනත් කඳවුරකට ගෙනයන ලදී. හමුදාව වෙඩි තබා තිබුණේ සිරකරුවන්ට පහරදීම අපේ පිරිසක් පැනයාම සඳහා දරන උත්සාහයක් යයි සැකයක් නිසා බව පසුව දැන ගන්නට ලැබුණි. 


මේ කාලය වනවිට සුනන්දගේ මව ඇන්ටිනෝනා මහත්මිය හා පියා වූ පියසේන සහෝදරයා, සුනන්ද හා නංගි කමනි සොයමින් කඳවුරු ගාණේ ගොස් තිබුණි. අප සිටි කඳවුරට පිටතින් ගමන් කරන විට පියසේන සහෝදරයා සුනන්ද, මා, ලක්ෂ්මන් මාදුවගේ යන අය කඳවුර මිදුලේ සිටිනා බව දැක තිබුණි. ඉන්පසු සුනන්ද ඇතුළු පිරිස අත වනමින් සංඥා කර තිබුණි. පසුව ඔවුන් ලක්ෂ්මන්ලාගේ ගෙදරටත් අපේ ගෙදරටත් මේ බව දන්වා තිබුණි. අපේ නිවෙස්වල අය අප සිටින තැන් දැනගෙන ඇත්තේ එම දැනුම්දීමෙන් පසුවය. 


ටික කලකට පසු අපව බැලීම සඳහා මාසයකට එක් වරක් ඥාතීන්ට අවසර දුන්නේය. මේ සඳහා ලිපියක් යැවීමටත් එක් අයකුට එක බැගින් බන්ධනාගාරයේ ලිපිනය සහිත මුද්‍රිත සුදු කඩදාසි ලබා දුන්නේය. ඉන්පසු සෑම මාසයකට වරක් අපව බැලීමට නිවෙස්වලින් පැමිණියේය. 


මේ කාලයේ කඳවුරේ සිටි තවමත් ව්‍යාපාරයට බැඳී සිටි අය එක්වී සාකච්ඡා කර මෙහි සිටින හිතවත් සහෝදරයින් එක්රැස් කර මාක්ස්වාදය පිළිබඳ දේශන පැවැත්වීමට අපි තීරණය කළෙමු. කඳවුරෙහි කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි සාමාජික ද්‍රවිඩ සහෝදරයෙක් සිටියේය. මා ඔහු සමග කථාකර මාක්ස්වාදී දේශන පැවැත්වීමට ඔහු එකඟ කරවා ගැනීමට සමත් විය. කඳවුර තුළ ඉංග්‍රීසි පංති ද තැන් තැන්වල පවත්වන ලදී. අම්බලන්ගොඩ කන්දේගොඩ විදුහල්පතිවරයකු වූ ප්‍රේමරත්න සහෝදරයා අප කිහිප දෙනෙක් සඳහා ඉංග්‍රීසි පංතියක් පැවැත්විය. 


වැඩි කාලයක් නොගොස් නැවත වරක් බන්ධනාගාර නිලධාරීන් හා අප අතර අරගලයක් ඇති විය. එම අවස්ථාවෙහිදී අපේ සහෝදරවරු හමුදාවෙන් පැමිණ ඔවුන් රැගෙන යනතුරු බන්ධනාගාර නිලධාරීන් කාමරයක් තුළ සිරකර තබා ගත්තෝය. මේ අවස්ථාවේ දී කඳවුරේ පාලනය හමුදාවට බාර ගන්නා ලෙස කඳවුරේ සිටි පිරිස් ඉල්ලා සිටියහ. ඒ අනුව කඳවුරේ පාලනය එතැන් පටන් හමුදාව භාරයේ පැවතුණි.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.