ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනී යන විශේෂ කරුණක් වන්නේ 19 වැනි සියවස පුරාම එකතැන පල්වෙමින් තිබූ දේශපාලනික තත්ත්වය 1920 ගණන් වන විට උද්වේගි කරවූත්, වෙනස්කම් බහුලවූත්, කාලපරිච්චේදයක් වූ බවයි. 1919 දී ලංකා ජාතික සංගමය පිහිටු වූ අතර ඒ හේතුවෙන් සීමිත ඡන්ද අයිතීන්ද පළල් නියෝජනයක්ද දිනාගන්නා ලදී. 1921 දී පත්කර ගන්නා ලද නව ව්‍යවස්ථාදායක සභාවට දේශීය ධනේශ්වරයේ ප්‍රධාන නායකයන් වූ පිරිමින්ගෙන් බොහෝ දෙනෙක් එම සභාවේ මන්ත්‍රීවරු ලෙස පත්වූහ. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් 19 වැනි සියවස අගභාගයේ ජීවත් වූ ධනපතියන්ගේ සහ ඉඩම් හිමියන්ගේ පුත්තු හෝ බෑනාවරුන් වූ අතර අනෙකුත් අය උසස් රැකියාවල නියුතු හා කම්කරු නායකයෝ වූහ.

 

දේශීය ප්‍රාග්ධනයේ ප්‍රාසාරණය, ආයාත හා නිර්යාතයන්ගේ වර්ධනය හා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයන්ට ජාත්‍යන්තරව ගෙවනු ලැබූ මිල වැඩිවීමට සමාන්තරව සිදුවූ තවත් දෙයක් නම්, කම්කරු ව්‍යාපාරය ආශ්වාදජනක පිපිරීමක් ලෙස වර්ධනය වීමයි. 1923 මහා වැඩවර්ජනය මෙහි එක් අංගයක් වූ අතර එයින් පසුව කම්කරු පංතියේ මූලික අංශවල වර්ජන ගණනාවක් ද, සටන්කාමී වෘත්තීය සමිතියක් වූ ලංකා කම්කරු සංගමය පමණක් නොව ලංකා කම්කරු පක්ෂය එහි සමරූපී බි්‍රතාන්‍ය පක්ෂය මගින් ආස්වාදය ලැබ පිහිටුවීම ද සිදුවිය.


කුල බේද වලින් තොරව සාමාජිකයන් දේශපාලනයට පිවිසීමත් සමගම සාමාජීය වශයෙන් සම්ප්‍රදායික ධූරාවලින්වල හා සිරිත් විරිත්වල දෙදරීම් සිදුවිය. ඒ අනුව පෙර කාලපරිච්ඡේදවල දී සමාජය තුළ කිසිදු පිළිගැනීමක් නොමැතිව සිටි බොහෝ දෙනෙක් පංතිය හෝ කුලය හේතු කොට ගෙන දේශපාලන හෝ කම්කරු නායකයන් ලෙස සමාජයේ ඉහළ තත්ත්වයන් ලබාගත්තේ පැරණි සාම්ප්‍රදායිකවාදීන්ගේ නොසතුටට හේතුවන පරිදිය. මධ්‍යම පාංතික කාන්තාවෝ සාම්ප්‍රදායිකවාදීන් විමතියට පත්කරමින් හැසිරුණහ. ඔවුහු උසස් අධ්‍යාපනය ලැබූ අතර බයිසිකල් පැද්දාහ. කාර් එළවූහ. විදේශවල සංචාරය කළහ. නවකතා ලිවූහ. අශ්ව රේස්වලට ගොස් ඔට්ටු ඇල්ලූහ. අලුත් බටහිර පන්නයේ ඇඳුම් ඇන්දාහ. මේ මගින් ඔවුහු නැගී එන අනෙකුත් නව ස්ත්‍රීන් සඳහා පුරෝගාමී මාවත් සකස් කළහ. අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකාවේ සිදුවූ වෙනස වූයේ කලින් දශකවල පිරිමින් සිදුකළාක් මෙන් දේශපාලන අයිතීන් ඉල්ලා සිටි ගැහැනුන්ට හිමිව තිබූ සමාජ තත්ත්වයෙහි පරිවර්තනයක් සිදුවීමයි.


විශේෂයෙන් 1917 සරෝජිනි නායිදු, මාගරට් කසීන්ස් හා තවත් ස්ත්‍රීහූ කණ්ඩායමක් ද සමග එක්වී ඉන්දියාවේ ප්‍රධාන බි්‍රතාන්‍ය පාලකයා වූ විසුරේවරයා මුණගැසී ඉන්දියාවේ ස්ත්‍රීන්ට ඡන්ද බලය දිය යුතුය යන ඉල්ලීම ඉදිරිපත් කළහ. ඉන්දීය ජාතික සංගමය ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාදීමේ ඉල්ලීමට සහය ලබාදුන් අතර 1919 දී ලබාදුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට අනුව මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ප්‍රාදේශීය ව්‍යවස්ථාදායක සභාවලට පවරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මදුරාසිය 1921 දී ප්‍රථම වරට ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාදුන් පළාත විය. 1926 දී ප්‍රථමවරට එහි ස්ත්‍රීන්ට ව්‍යවස්ථාදායක සභාවට ඇතුළුවීමේ අයිතිය ලබාදෙන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිය දිනාගනු ලැබුවේ බාධක අතරිනි. විශේෂයෙන් ස්ත්‍රීන් අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය සම්බන්ධයෙන් වැදගත් ඉදිරි පියවර ගෙන තිබුණ නමුත්, ඔවුනට ඡන්ද බලය හා ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනයක් නොතිබීම හේතුවෙන් 1920 ගණන්වල ඡන්ද බලය දේපල අයිතිය පිළිබඳ සීමාවන්ට යටත් වුවත් මෙන්ම ස්ත්‍රීන්ට අහිමි වූවන්ද ලෙස සැලකිණි. මෙම අඩුපාඩුව නිසා 1920 ගණන්වල සිටම ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රීන්ගේ ඡන්ද බලය ලබාගැනීමේ උද්ඝෝෂණ ව්‍යාපාර බිහිවිය. මෙවැනි උද්ඝෝෂණයන් කිරීම සඳහා දේශීය හේතුන් ඕනෑ තරම් තිබූ අතර විදේශීය උද්ඝෝෂණ ව්‍යාපාර ද මෙම ව්‍යාපාරයට ආස්වාදය ලබා දුන්නේය.


1922 දී රැඩිකල් දේශපාලනඥයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ නායකත්වය දුන් ලංකා කම්කරු සංගමය සංවිධානය කළ ලංකාවේ ප්‍රථම මහා වැඩවර්ජනයේ දී කම්කරු ස්ත්‍රීහු ක්‍රියාශීලීව සහභාගි වූහ. ඒ. ඊ. ගුණසිංහ හා තවත් අය විසින් පිහිටු වනු ලැබූ ලංකා කම්කරු පක්ෂයේ සාමාජිකයන් බවට තම ස්වාමි පුරුෂයන්ගේ උනන්දු කිරීම් මත පත්වූ මධ්‍යම පංතික ස්ත්‍රීහු ද ගණනාවක්ම සිටියහ. ඒ අතරින් ඇග්නස් ද සිල්වා (ඇගේ සැමියා ජෝර්ජ් ඊ ද සිල්වා වූ අතර මොහු එවකට කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහගේ කිට්ටුම සගයෙක් විය.) දොස්තර නල්ලම්මා සත්‍යවාගීස්වර අයියර් (වතු කම්කරු නායක නටේස අයියර්ගේ බිරිඳ) කැරොලිනා ගුණසිංහ (ඒ. ඊ. ගුණසිංහගේ බිරිඳ) සිල්වා මහත්මිය, (ඒ. ඊ. ගුණසිංහගේ කිට්ටුතම සගයෙකුගේ බිරිඳ) ඇන්. එලිසබෙත් පෙස්ටන් (ඉංග්‍රීසි ජාතික පරම විඥාර්තවාදිනියක් හා අධ්‍යාපනඥවරියක් වූවාය) ඊවා සහ ජෙනි ෆර්ජිඩිනැන්ඩො සහ හෙදියක් වූ මැඞ්ලින් ජයවර්ධන ඒ අතර වූහ. මෙම මධ්‍යම පාන්තික ස්ත්‍රීන් නාගරික හා වතුකම්කරුවන්ගේ ප්‍රශ්න ගැන මැදිහත්වීම හා කම්කරු පක්ෂයේ සහ ලංකා කම්කරු සංගමයේ සාමාජිකත්වය දැරීම පාලකයන්ගේ හිසරදයට හේතු විය. මොවුන් වීදිවල පෙළපාළි පැවැත්වීම වැනි දේවල් කළා පමණක් නොව තමන්ගේම සංවිධාන ගොඩනැගීමටත්, ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමටත්, තම අයිතීන් ඉල්ලා සිටීමටත් එඩිතර වූහ.


1920දී සියලු පන්තිවල ගැහැනු පිරිමින් සඳහා සර්වජන ඡන්ද බලය ඉල්ලා ඒ. ඊ. ගුණසිංහ වැනි කම්කරු නායකයෝ ද, කාන්තා සංවිධානයක් ද ලංකා ජාතික කොංග්‍රසයට බලපෑම් කළහ. 1925 දී සැසිවාරයක දී මල්ලිකා කුලඟන සමිතිය සීමාන්තික ඡන්ද බලය මුළු රටේම කාන්තාවන් සඳහා දීර්ඝ කළ යුතු යැයි යෝජනා කළේය. එහෙත් මෙම ව්‍යාපාරය අසාර්ථක විය. මධ්‍යම පාංතික දේශපාලනඥයන්ට කාන්තා හෝ දිළිඳු පංතියේ අයට ඡන්ද බලය ලබාදීම ගැන කිසිදු කැමැත්තක් තිබුණේ නැත. මොවුන්ගේ ව්‍යාපාරයන්ට දිගටම උදව් ලැබුණු අතර සමහරක් මැද පන්තියේ කාන්තාවන් ප්‍රධාන වශයෙන්ම වෘත්තීන්හි නියැළිවූවන් සහ ප්‍රධාන පිරිමි දේශපාලනඥයන්ගේ භාර්යාවන් හා වෙනත් නෑදෑ කාන්තාවන් සංවිධානය වී 1927 දෙසැම්බර් මස 7 වැනි දින කාන්තා සමස්ත සංගමය ඇරඹූහ. ඩොනමෝර් කොමිසම පැමිණීමෙන් සති දෙකකට පසුව මෙය පිහිටුවන ලද අතර එය රැස්වූයේ ග්‍රීන්පාත් හි පැවති ගර්ල් ෆ්‍රෙන්ඞ්ලි සොසයිට් (ස්ත්‍රීන්ගේ මිත්‍ර සංගම් ශාලාව) ශාලාවේදීය. ස්ත්‍රීන්ගේ ඡන්ද අයිතිය ගැන සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලුම ජන සමූහවල අය පැමිණ සිටියහ. ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන්නාවූ ප්‍රතිසංස්කරණ යටතේ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාගැනීම තහවුරු කරගැනීම් වස් ලංකාවේ ස්ත්‍රීන් එක්සත් විය යුතු අතර මෙම සංගමය කාන්තා ඡන්ද සමිතිය යනුවෙන් නම් කළ යුතු යැයි යන යෝජනාව ඊ. ආර්. තම්බිමුත්තු මහත්මිය ඉදිරිපත් කළාය. ජෝර්ජ් ඊ. ද සිල්වා මහත්මිය එය ස්ථිර කළ අතර එම යෝජනාව සම්මත කෙරිණි. ඒ අනුව පහත නම් සඳහන් නිලධාරී මණ්ඩලය පත්කරගන්නා ලදී.


සභාපති - ඬේසි බණ්ඩාරනායක ආර්යාව
උප සභාපතිවරු - ඩබ්. ඒ. ද සිල්වා මහත්මිය සහ ඊ. ආර්. තම්බිමුත්තු මහත්මිය
භාණ්ඩාගාරික - ඒ. සී. ඒ. විජේකෝන් මහත්මිය
ලේකම්වරු - දොස්තර නල්ලම්මා සත්‍යවාගීස්වර අයියර්, ජෝර්ජ් ඊ. ද සිල්වා මහත්මිය, ඩී. එම්. ගුණසේකර මහත්මිය
කමිටුව - දොස්තර මේරි රත්නම් මහත්මිය
සී. එච්. එස්. ප්‍රනාන්දු මහත්මිය
එස්. ඩබ්. ඉලංගකෝන් මහත්මිය
ඒ. ඊ. ගුණසිංහ මහත්මිය
සී. එච්. ජොලිෆේ මහත්මිය
කොපල්ස්ටන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය
ඊ. ඕ. ෆෙල්සිංජර් මහත්මිය
ලයනල් ෆොන්සේකා මහත්මිය
ආර්. ශ්‍රිනියර් මහත්මිය
ලයනල් ද සිල්වා මහත්මිය
වයලට් බාවා මෙනෙවිය
අයි. ඬේවිඞ් මහත්මිය
ඇම්. ඒ. අරුලානන්දන් මහත්මිය
ආර්. එස්. එස්. ගුණවර්ධන මහත්මිය
ටී. එච්. වේදවනම් මහත්මිය


මෙහිදී මේරි රත්නම් මහත්මිය අවධාරණය කළේ, ඡන්ද අයිතිය ලබාගැනීමට සෑම ජන සමූහයකම ස්ත්‍රීන් එකමුතු වී ඇතැයි කියාය. රටේ නීති වලින් බොහෝමයක්ම ස්ත්‍රීන්ට හා ළමයින්ට අදාළ වන නිසා ඒ සම්බන්ධව අදහස් දැක්වීමට ස්ත්‍රීන් ඉදිරිපත් වීම නිවැරදි බවද නමුත් පළමුවෙන්ම ස්ත්‍රීන්ට ඡන්ද බලය දීමේදී වයස, දේපල, අයිතිය අධ්‍යාපනය, වැටුප ආදී සුදුසුකම්වලට යටත්ව දිය යුතු බවත් ඇය පැවසුවාය. ඒ අනුව වයස අවුරුදු 25ට වැඩිවීම, සාමාන්‍ය සාක්ෂරතාව සහිත රුපියල් 10,000ට නොඅඩු වත්කම් තිබිය යුතු වීම මාසයකට රුපියල් 100කට නොඅඩු වැටුපක් ලැබීම, බි්‍රතාන්‍ය උපාධිධාරීන් වෛද්‍ය නීති උපාධිධාරීන් පළමු ශ්‍රේණියේ පුහුණු ගුරුවරියන් ඡන්ද අයිතිය ලැබීමට සුදුසු අය බව ඇය ප්‍රකාශ කළාය. තවත් සමහරුන්ගේ මතය වූයේ මේ නිර්දේශිත සුදුසුකම් ඕනවට වඩා ඉහළ ඒවා බවත් මේවා තවත් පහත් කර එමගින් ස්ත්‍රීන් වැඩි සංඛ්‍යාවකට අයිතිය දීම කළ හැකි බවයි.


ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් විවිධ අයගේ අත්සන් එකතු කර ඩොනමෝර් කොමිසමට ලිඛිත ප්‍රකාශයක්ද ඉදිරිපත් කරන ලදී. මෙම අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයේ ඇග්නස් සිල්වා සහ නෙලී ගුණසේකර යන මහත්මීන් මූලිකත්වය ගෙන කටයුතු කළ බවත්, එහි ප්‍රථම අත්සන ඬේසි ඩයස් බණ්ඩාරනායක මහත්මිය තැබූ බවත් සඳහන්ය. මෙසේ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාදීම සම්බන්ධයෙන් ඩොනමෝර් කොමිසම තුළ කළ විවාදයන්හි එයට පක්ෂව මෙන්ම විපක්ෂ මතද ඉදිරිපත් විණි. 


ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාදිය යුතුය යන මතයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ අය අතර වාමාංශික නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතාත් උතුරු පළාත නියෝජනය කරමින් සිටි ඇස්. රාජරත්නම් මහතාත් සිටි බව සඳහන් කළ යුතු අතරම එයට විරුද්ධව කටයුතු කළ අය අතර සර් මාක්ස් ප්‍රනාන්දු මහතාත්, සර් පොන්නම්බලම් රාමනාදන් මහතාත් වූහ. මොවුන් මෙයට විරුද්ධව, අපහාසාත්මක අයුරින් කොතෙක් කටයුතු කළේද කියතොත්, සර් පොන්නම්බලම් රාමනාදන් මහතා කළ ප්‍රකාශය සඳහන් කළ හැක. එනම් ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබාදීම ඌරන් ඉදිරියේ මුතු විසිකිරීම වැනි ක්‍රියාවකි. යන්නය. මෙම ප්‍රකාශය ගැන කතා කළ ඇග්නස් ද සිල්වා මහත්මිය නියම ඌරන් නම් ස්ත්‍රීන් නූගත් යැයිද කිසි දෙයක් නොදත් අය යැයි ද සිතන්නාවූ අගතිගාමී පුරුෂයින් බව පවසමින් ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබීමේ එක් ප්‍රතිඵලයක් නම් තමන්ට සුදුසු හොඳම පුරුෂයා තෝරා ගැනීමේ හැකියාවක් ස්ත්‍රීයට ලැබීමයි යන්න ප්‍රකාශ කළාය.


මෙම ආරම්භක රැස්වීමෙන් පසුව මසක් ඉක්ම ගියපසු කාන්තා ඡන්ද සමිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දීමට ඉදිරිපත් වන බව සැලවීමත් සමගම සභාවේ සිටි අයගේ උනන්දුව වර්ධනය විය. කෙසේ වුවද කාන්තා ඡන්ද සමිතිය ඩොනමෝර් කොමසාරිස්වරු හමුවීමට අදිටන් කර නොතිබූ නමුදු ජෝර්ජ් ඊ. ද සිල්වාගේ මැදිහත්වීම නිසා 1928 ජනවාරි 11 වන දින මෙම සංගමයට කොමිසම ඉදිරියේ පෙනී සිටීමේ ආරාධනයක් ලැබිණි. ඒ අනුව මෙම සංවිධානය ඩොනමෝර් කොමිසම අභිමුඛයට ගොස් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පදනම් කරගෙන සියලුම කාන්තාවන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඉල්ලා සිටින ලදී. මෙම කොමසාරිස්වරුන් හමුවීමේ ඓතිහාසික සිද්ධිය ඇග්නස් ද සිල්වා පසුව මෙසේ විස්තර කරයි.


“අපි ගියේ ආගම සඳහා ගෙන යන යුද්ධයකට සැරසුන ලෙසය. ඩොනමෝර් සාමිවරයා අපගෙන් ප්‍රශ්න කරමින් වතුවල වැඩ කරන ඉන්දියානු කම්කරුවන්ට ඡන්ද බලය ලබාදීමට කැමති දැයි ඇසීය. මම උත්තර දෙමින්, ඇත්තෙන්ම ඔවුන් කාන්තාවන් නොවේදැයි? පිළිතුරු දුනිමි.


කොමිසම ඉදිරියට ගිය කාන්තා ඡන්ද සමිතියේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, නෙලී ගුණසේකර මහත්මියයි. ඇය ඉදිරිපත් වූයේ ඬේසි බණ්ඩාරනායක ආර්යාව හා ෆ්ලොරින්ඩා විජේකෝන් මහත්මිය මේ අවස්ථාව වන විට විදේශ ගතව සිටි නිසාය. විශේෂයෙන් කාන්තා ඡන්ද සමිතිය කොමිසමට ඉදිරිපත් කළ ලේඛනය මගින් ඉල්ලා සිටියේ පාසල් හැරයාමේ සහතික පත් විභාගයට සමාන සුදුසුකමක් ඇති ස්ත්‍රීන්ට පමණක් ඡන්ද බලය ලැබිය යුතුය යනුවෙනි. එහෙත් වයස අවුරුදු 30ට වැඩි ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබිය යුතුය යන කොමිසමේ නිර්දේශය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව ඇග්නස් ද සිල්වා ප්‍රකාශ කළේ, “අප කිසිසේත් නොසිතූ අන්දමේ ජයග්‍රහණයක්” ය යනුවෙනි.


1931 අප්‍රේල් 14 වැනි දින ශ්‍රීමත් ග්‍රීම් තොම්සන් නව ලංකාණ්ඩුකාරවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු වයස 21ට වැඩි ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් වෙත සර්වජන ඡන්ද බලය පිරිනැමෙන ඓතිහාසික රාජ්‍ය මන්ත්‍රණ සභා පනත ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කරන ලදී. මෙසේ විශාල සටන් ව්‍යාපාර හරහා ලබාගත් ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් 1931 ශ්‍රී ලාංකීය ස්ත්‍රීන්ට ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණි. නමුත් 1931 ජුනි මස පැවති මහ මැතිවරණය ඡන්ද කොට්ඨාස 50ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් ඉදිරිපත් වුවත්, එක් අපේක්ෂිකාවක්වත් මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් නොවුණි.
එහෙත් 1931 නොවැම්බර් මස 14 වැනි දින පැවති අතුරු මැතිවරණයට රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් ඇඞ්ලින් මොලමුරේ මහත්මිය තරඟ කරමින් ජයග්‍රහණය කළාය. ඡන්ද 13,866ක් ලබා ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ප්‍රථම කාන්තාව වීමේ අවස්ථාව උදාකර ගැනීමට ඇයට හැකි විය. මෙය ශ්‍රී ලාංකීය ස්ත්‍රී දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. ඉන් පසුව 1932 මැයි 28 දින පැවති අතුරු මැතිවරණයෙන් තේසම් සරවනමුත්තු මහත්මිය උතුරු කොළඹ ආසනය නියෝජනය කරමින් වැඩි ඡන්ද 8701ක් ලබා ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු වූ දෙවන ස්ත්‍රිය මෙන්ම ප්‍රථම ද්‍රවිඩ ස්ත්‍රිය ද වූවාය.
මේ අනුව ස්ත්‍රීන්ගේ මූලිකත්වයෙන් පිරිමින්ගේ ද සහයෝගය ඇතිව එදා ගෙන ගිය විශාල සටන් ව්‍යාපාරවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීය ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබා ගැනීමට හැකිවිය. මෙය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ස්ත්‍රීන් ලැබූ විශාල ජයග්‍රහණයකි.

 

 

 

 

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.