චන්ද්‍රිකා කතා කරයි

06 කොටස

 

 

‘ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන්’ යන යෙදුම යොදනු ලබනුයේ ආණ්ඩුවේ ලංසු කැඳවා නොමැති විටක සහ කිසියම් විශේෂිත ලංසුකරුවෙකු ආණ්ඩුව විසින් ගෙවීමෙ පදනම මත ආණ්ඩුවට යම් විශේෂිත භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම භාරගැනීමට ඉදිරිපත්වන අවස්ථාවක් සම්බන්ධයෙනි.


ආයෝජන මණ්ඩල නීතිවලට සහ මධ්‍යම පරිසර අධිකාරියෙහි නීතිවලට අනුව ව්‍යාපෘතිය පරිසර බලපෑම් තක්සේරුවට යටත් වූ අතර මහජන අදහස්වලට සවන් දෙනු ලැබිණි.
(තෙවන වගඋත්තරකරුවන ආයෝජන මණ්ඩලයේ දිවුරුම් ප්‍රකාශය සමග 3 ආර් 13 ඒ, 3 ආර් 13 සී, 3 ආර් 13 ඩී, 3 ආර් 13 ඊ සහ ආර් 13 එෆ් යනුවෙන් සටහන්කර ඉදිරිපත් කර ඇති ලේඛන සහ මගේ දිවුරුම් ප්‍රකාශය සමග ව්‍යාපෘතිය සඳහා අදාළවන ඉඩම ‘මුළුමනින්ම රහසිගත’ ආකාරයකට පිරිනමා ඇතැයි යන පෙත්සම්කරුවන්ගේ ප්‍රකාශය මුළුමනින්ම ව්‍යාජ සහ පදනම් විරහිත බව ස්වයං ප්‍රත්‍යක්‍ෂ කරුණකි.


පරිසර බලපෑම් තක්සේරුව අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ පෙත්සම්කරුවන් හෝ මැදිහත්කාර පෙත්සම්කරුවන් කිසිවකුත් මෙකී මහජන අදහස් විමසීමේදී මගේ පාර්ශවයෙන් සිදුකෙරුණ කිසිදු වැරදි ක්‍රියාවක් පිළිබඳව පැමිණිලි කර නැති බවයි. යම් හෙයකින් ඔවුන් වෙත අවංක දුක්ගැනවිල්ලක් තිබිණි නම් මීට විරෝධතාවන් මතු කිරීමට ඔවුන්ට තිබූ පළමු ප්‍රසිද්ධ අවස්ථාව එයයි. එහෙත් ඔවුන් එසේ කළේ නැති.


අධිකරණය මගින් තීරණය කර ඇති ආකාරයට මේ ආයතන ද්විත්වය එනම් ආයෝජන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය හිටපු ජනාධිපතිවරියගේ නියෝග සහ/ හෝ නියමයන් පරිදි කටයුතු කර තිබුණේ නම් දැන් ඒ ආයතන මගේ පාලනයෙන් බැහැරව පවතින තත්ත්වයක් යටතේ නිසැකවම ඔවුන් එවන් තොරතුරු, අදාළ වන පරිදි, අධිකරණයේ අවධානයට ඉදිරිපත් කරනු ඇති බව ඉතා පැහැදිලිය. එහෙත් ඔවුන්ද එවැන්නක් කර නැත.


අධිකරණය මේ සියලු කරුණු නොතකා හරිමින් යළිත් වරක් කටයුතු කළේය. එසේම අධිකරණය මවිසින් මේ මාර්ගෝපදේශ හඳුන්වාදෙන ලද්දේ ඒ.පී.ජී.සී. ව්‍යාපෘතියට අසාධාරණ ලෙස පහසුකම් සැලසීමට යැයි ප්‍රකාශ කරන දුරකට ගමන් කළේය. යළිත් වරක් ඒ මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයකි. ඉහත දක්වන ලද විශේෂ සහන සඳහා වන උක්ත යෝජනා අනුමත කරන ලද්දේ ඒ.පී.ජී.සී. ව්‍යාපෘතිය සිය යෝජනාව ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට දෙවසරකට පෙරදීය. මෙයද අධිකරණය යළිත් වරක් නොදුටු සේ සිටි කරුණකි.
අත්පත් කරගත් කාර්යයට පටහැණිව ප්‍රශ්නගත ඉඩම පවරා දෙන ලදැයි පෙත්සම්කරු විසින් කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් ගත් කල නාගරික සංවර්ධන අධිකාරිය (තෙවැනි වගඋත්තරකරු) මේ අද දක්වාම ස්ථිර ලෙසම දරන ස්ථාවරය වන්නේ අදාළ ඉඩම පවරා දෙන ලද්දේ ‘නාගරික සංවර්ධන අධිකාරියෙහි සංවර්ධන ක්‍රියාකාරකම්’ යටතේ වන කාර්යයන් සඳහා බවයි. මේ ස්ථාවරය පෙත්සම්කරුවන් විසින් අභියෝගයට ලක් කර නැත. තත්ත්වය එසේ නම් අනිසි ලෙස විශේෂ සහන ප්‍රදානයක් සිදුව ඇත්තේ කොහිද?
මවිසින් අනිසි සහන යනාදිය කිසිවක් පිරිනැමීම පිණිස මගේ බලතල භාවිත නොකළ බව මෙන්ම බලතල අපහරණ නොකළ බව සහතික කිරීම පිණිස මම ඉදිරිපත්ව ඇත්තෙමි. එසේම ඉහත පැහැදිලි ලෙසම සඳහන් කර ඇති ආයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, සිවුවැනි වගඋත්තරකාර සමාගම සහ සයවෙනි වගඋත්තරකරු විසින් ඉදිරිපත් කරන ලද ලේඛන මගින් ආයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (විසිවැනි වගඋත්තරකරු), යනාදී අය විසින් උක්ත ව්‍යාපෘතිය සඳහා අවසරය දීමේදී සහ ඒ අනුව කටයුතු කිරීමේදී පනවා ඇති සියලු රෙගුලාසි සහ පටිපාටි නිසි ලෙස අනුගමනය කර ඇති බව ප්‍රදර්ශනය කර ඇතැයි ඉතා මැනවින් අනාවරණය වන බවද පවසා සිටියෙමි.


ඉදින් තවත් ඇවැසිව ඇත්තේ මොනවාද? මේ පැනයට ඇති අපක්ෂපාතී, සාධාරණ, වාස්තවික මෙන්ම නිසැක පිළිතුර වනුයේ කිසිත් නැති යන්නයි.


2001 වසරේදී ආණ්ඩුව වෙනස්වීමෙන් අනතුරුව ඒ.ජී.පී.සී. ව්‍යාපෘතිය ඇක්සස් හොල්ඩින්ග්ස් වෙත අලෙවි කිරීම හේතුවෙන් පැන නැගුණු ‘ව්‍යාපෘතියෙහි භෞතික පිරිවැය’ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් නොකරන ලදැයි මට දෝෂාරෝපණ එල්ල වෙයි.


සිදු කරන ලද වෙනස්කම් මුළුමනින්ම නොදැන සිටි තත්ත්වයක් යටතේ මට ව්‍යාපෘතියෙහි සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව කිසිවකුටත් දැන්වීමට හැකියාවක් නොවීය.
මම මේ පිළිබඳව හේතු, එනම් ජනාධිපති එක් පක්‍ෂයකින් සහ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව වෙනත් පක්‍ෂයකින් පත්ව පවත්වාගෙන යන ලද හවුල්කාර ආණ්ඩුවක් පැවති සමයක එසේ මගේ ජනාධිපතිධූරයට එරෙහිව සිටි පක්‍ෂයක් විසින් ගෙනයන ලද ආණ්ඩුවක් මගින් මගේ දැනුමකින් තොරව උක්ත අලෙවියට අනුමැතිය දෙන ලදැයි මගේ ලිඛිත කරුණු දැක්වීම් මගින් පැහැදිලි කර ඇත්තෙමි.


ආණ්ඩුව මගේ ජනාධිපතිධූරය සමගින් විශාල ආරවුලක් ඇතිකරගෙන සිටි බව ඉතා ප්‍රසිද්ධ කරුණකි. ආණ්ඩුවේ තීරණ සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මට දැනුම්දීමක් සිදු වුණේ නැත. මේ තත්ත්වය ආණ්ඩුව බලයෙන් පහකර පාර්ලිමේන්තුව විසුරුවාලීමට මට බල කරන තත්ත්වයක් උදා කළේය.


ඒ.පී.ජී.සී. ව්‍යාපෘතිය ඇක්සස් හොල්ඩින්ග් ආයතනයට අලෙවි කිරීමේ කටයුත්ත අනුමත කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය කේ.එන්. වොක්සි මහතා විසිනි. මවිසින් මුලසුන උසුලන ලද අමාත්‍ය මණ්ඩලයට කිසිදාක හෝ මේ ගනුදෙනුව ගැන දැනුම් දුන්නේද නැත. නිලනොවන මාර්ගයන්ගෙන් මේ ගනුදෙනුව ගැන ආරංචි වූ විගසම මම ඒ.පී.ජී.සී. ව්‍යාපෘතියෙහි නෛතිකභාවය පිළිබඳව පරීක්‍ෂා කිරීම පිණිස පරීක්‍ෂණ කමිටුවක් පත්කරන මෙන් ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට 2002 ජූලි 3 දින සංදේශයක් ඉදිරිපත් කළෙමි. මවිසින් කරන ලද මහත් බල කිරීම් හමුවේ කමිටුවක් පත්කරනු ලැබිණි. මේ සටහනෙහි මුලදී සඳහන් කර ඇති පරිද්දෙන්ම කිසිදු අවභාවිතාවක් සිදුව නොමැති බව ඔවුහු වාර්තාකර සිටියෝය.


ඉන්පසු, ආණ්ඩුව වෙනස්වීමෙන් පසු, මේ ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියෙහි මුල් නිර්දේශයන්ට පටහැණිව කටයුතු කරන බව දන්වමින් 2004 ජූලි 28 වැනි දින තවත් සංදේශයක් ඉදිරිපත් කළ මම (මගේ විරෝධතා ප්‍රකාශය සමග 1 ආර් 3 ලෙස සලකුණු කර ගොනු කරනලද) සිවුවැනි වගඋත්තරකාර සමාගම සමග ඇති ගිවිසුම අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියෙමි.


ඒ අනුව සිවුවැනි වගඋත්තකාර සමාගම සමග ඇති කරගෙන තිබූ ගිවිසුම අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය බලය ලබා දුණි. එහිදී නාගරික සංවර්ධන අධිකාරිය නීතිපතිගේ උපදෙස් පැතූ අතර සිවුවැනි වගඋත්තරකරු සමග ඇති කරගෙන තිබූ ගිවිසුම ඒ කාලයේ පැවති තත්ත්වයන් යටතේ අවසන් කළ නොහැකි බවට උපදෙස් ලැබී තිබිණි. මේ මතය සමග එකඟ නොවූ මම ගිවිසුම අවසන් කළ යුතු බවට අදාළ අමාත්‍යවරයාට අඛණ්ඩව බල කරන්නට වීමි.


මෙහිදී මහත් සේ සිත අසහනයට පත් කරන කරුණ වනුයේ මගේ අහිංසක බව පෙන්වාදීමට වැදගත් වූ මේ වඩා තීරණාත්මක සාක්ෂිය අධිකරණය විසින් නොසලකා හරිනු ලැබීමයි.