රුධිර තඩාගයේ ඇරැඹුණු ඉම්රාන් ඛාන්ගේ දෙවැනි ඉනිම - 02

 

සුන්දර කාශ්මීරයේ බහුතර ජනතාව මුස්ලිම්වරුන් වූ නිසා එම ප්‍රාන්තය ද පාකිස්ථාන් නව රාජ්‍යයට ඇතුළත් විය යුතු යැයි ජින්නා තර්ක කළේය. මේ වන විට එම ප්‍රදේශය පාලනය කළේ හරිසිං නම් වූ මහා රාජාය. ඔහු ෂික් සම්භවයකින් පැවතෙන්නෙකි.


මෙම රටවල් දෙක නිර්මාණය කිරීමේදී මහා රාජාවරුන්ගේ කැමැත්ත ද අතිශය තීරණාත්මක වූවේය. මේ අවස්ථාවේදී හරිසිං මහාරාජා කියා සිටියේ තමාට ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කාශ්මීරය පවත්වාගෙන යාමට අවශ්‍ය බවයි. මෙම රට බෙදීමේ කාර්යයේදී එම වගකීම දැරූ මවුන්ට් බැටන් සාමිවරයා කියා සිටියේ “ඔබ ස්වාධීන රාජ්‍යයක් පවත්වාගෙන ගියහොත් එය ඉන්දියාව, චීනය, පාකිස්ථානය, ටිබෙටය යන රටවල දේශ සීමාව බවට පත්වෙනවා. ඒ නිසා කාශ්මීරය සදාකාලික යුදපිටියක් බවට පත්වෙනවා. ඒකම ඔබේ අවසානය වනු ඇත.” යනුවෙනි. මෙම රට බෙදීමේදී ඉන්දියාවේ සියලුම මහා රාජාවරු ගිවිසුමකට අත්සන් කළ යුතු විය. එම අවස්ථාව “බඬේ අමාරුවක්” යැයි කියමින් හරි සිං මහා රාජා මග හැරියේය. ඒ නිසා කාශ්මීරය තවමත් ඉන්දියාවට අයත්ව තිබේ. එහෙත් නොයෙකුත් උපාය උපක්‍රම මගින් කොටසක් පාකිස්ථානය සතුකරගෙන තිබේ. එය හැඳින්වෙන්නේ අසාද් කාශ්මීරය වශයෙනි. අසාද් යනු “නිදහස්” යන්නට යෙදෙන උර්දු වචනයයි.


අගෝස්තු මස 15 වැනි දිනට ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම බි්‍රතාන්‍යය වෙතින් නිදහස ලැබෙන බව බි්‍රතාන්‍ය මහරජු වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියාවේ ප්‍රතිරාජයා වූ මවුන්ට් බැටන් සාමිවරයා නිවේදනය කළේය. මෙය අසාමාන්‍ය දික්කසාදයක් යැයි විචාරකයෝ පැවැසූහ. දික්කසාදයකදී අසීරුම කටයුත්ත වන්නේ දේපොළ බෙදාගැනීමයි. මෙම අසීරු ගැටලුවට මුහුණ දීමට මෙම කටයුත්තේ නියමුවා වූ මවුන්ට් බැටන් සාමිවරයාට සිදුවිය. මේ සඳහා හින්දු - මුස්ලිම් දෙපාර්ශ්වය වෙනුවෙන් බලය පවරන ලද නියෝජිතයන් දෙදෙනෙකු නම් කරන ලදී. ඒ දෙදෙනා වූවේ චෞද්රි මොහමඞ් අලි (මුස්ලිම්) සහ එච්. එම්. පතේල්ය (හින්දු). මෙම කාර්ය භාරයේදී මෙම දෙදෙනා ගුටි බැට හුවමාරු කරගත් බව ද ලේඛනගතව පවතී. නොයෙකුත් කොමිටිවල  වාර්තා පදනම් කරගනිමින් අවසාන නිගමනයට පැමිණීම මේ දෙදෙනාට භාරවිය. හින්දු පාර්ශ්වය දැඩි ලෙස කියා සිටි  කරුණක් වූවේ “ඉන්දියාව” යන නාමය තමන්ට අවශ්‍ය බවය. පාකිස්ථානය යන නමින් රාජ්‍යයක් අලුතෙන් බිහිවන නිසා ඉතිරිවන කොටස හින්දුස්ථානය යනුවෙන් නම් කළ යුතු යැයි  යෝජනාවක් ද ඉදිරිපත්ව තිබුණි. ශ්‍රී නේරු, මහත්මා ගාන්ධි, සර්දාර් පතේල් ආදී එකල සිටි සියලු නායකයෝ එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළහ. ඉන්දියාව යන ශ්‍රේෂ්ඨ නාමය හින්දුන්ට ලැබුණි. පන්ජාබය සඳහා :ඡ්* කාශ්මීරයට :ණ* කරච්චියද ඇතුළත් සින්ද් ප්‍රාන්තය :ී* බලුකිස්ථාන ප්‍රාන්තය :ඕභ* යන අකුරු එක් කර නව රාජ්‍යයට :ඡ්ණෂීඕභ*  යන නාමය නිර්මාණය කර තිබුණි. මේ වන විට ලෝක යුද්ධයෙන්  හෙම්බත්ව සිටි බි්‍රතාන්‍යය යුද්ධයේදී ඉන්දියාවෙන් ඩොලර් බිලියන පහක් ණය වී තිබුණි. මෙය ණය පිළිබඳව රාජ්‍යයන් දෙක අතර විසඳුමක් ඇතිකර ගැනීම අතිශය දුෂ්කර විය. අවසානයේ එම ණය බරෙන් සියයට 17 1/2 පාකිස්ථානයට බාර ගැනීමටත් ඒ වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇති මුදලින් 17 1/2% ක් එරටට ලබාදීමටත් ඔවුහු එකඟ වූහ. කෙටියෙන් සඳහන් කළහොත් තැපැල් මුද්දරයේ සිට සෑම භාණ්ඩයක්ම බෙදාගත යුතු විය. කාර්ය එතරම්ම බරපතළ වූවේය.


රට බෙදීම හේතුකොට ගෙන පාකිස්ථානයට අයත් වන ප්‍රදේශවල ජීවත් වූ හින්දුන් සහ ෂික්වරුන් ලක්ෂ ගණන් තම ගම්බිම් අතහැරදමා යාම ඇරඹුණි. ගෙන යා හැකි දෙයක් රැගෙන දරු මල්ලන් ද සමග පිටව යන අසරණයන්ගෙන් මංමාවත් පිරී ඉතිරී ගියේය. මහ මගම නිරාහාරව මිය ගිය අය දහස් ගණනක් වූහ. මෙම විප්‍රවාසය ඉන්දියාවේ සිට පිටව යන මුස්ලිම්වරුන් කෙරෙහිද බලපා තිබුණි. දශලක්ෂ ගණන් ජනයා මෙසේ දෙරටට මාරු වූහ. මෙම තත්ත්වය වචනයෙන් විස්තර කළ නොහැකි ඛේදවාචකයක් බවට පත්ව තිබුණි.


මෙම සියලු දෙයට සමගාමීව දෙපාර්ශ්වය අතර භීෂණය සහ ත්‍රස්ත ක්‍රියා වර්ධනය වූ බව කියනු ලැබේ. දහස් ගණන් වැසියන්ගෙන් පිරී පැමිණි දුම්රිය නවතා ගත් මුස්ලිම්වැසියෝ විශාල පිරිස් ඝාතනය කළහ. සත්ලෙජ් ගංගාවෙන් මෙගොඩට  පැමිණියේ මළකඳන් පටවා ගත් දුම්රියකි. එයට පළිගැනීමක් වශයෙන් අනෙක් පාර්ශ්වය දැක්වූ ප්‍රතිචාරය පුදුම උපදවන සුලුය. ඒ දිනවල නිතරම පාහේ විවිධ ආකාරයට තැනූ බෝම්බ පුපුරුවා හැරීම් සහ දමා ගැසීම් සිදුවිය. දිනක් මුස්ලිම් පිරිසක් ගැවසුණු ස්ථානයකට මෙවැනි යමක් දමා ගැසූ නාඳුනන පුද්ගලයෝ දෙදෙනෙක් පලා ගියහ. එම විශාල මෙවලම පතිත වීමෙන් බියවූ මුස්ලිම් වැසියෝ ද පණ බේරාගනු පිණිස පැන දිවූහ. එහෙත් එම “බෝම්බය” පිපිරුණේ නැත. ටික වේලාවකට පසු එතැනට පැමිණි පිරිස පිත්තල ලෝහයෙන් තනා තිබුණු එම භාජනය ගලවා බැලූහ. “අල්ලාහ් කරීම්” සැම දෙනාටම කියැවිණි. එහි පුරවා තිබුණේ කුමක්දැයි ඔබට සිහිනෙන්වත් අනුමාන කළ නොහැකි බවට මම කැට තබමි. එම බඳුන පුරවා තැන්පත් කර තිබුණේ මිනිසුන් සිය ගණනකගේ පුරුෂ ලිංගයන්ය. ඒවා සුන්නත් කර තිබුණු නිසා හිමිකරුවන් කුමන පාර්ශ්වයේ දැයි හඳුනාගැනීම දුෂ්කර වූවේ නැත. මේ එක අපරාධයක කොටසක් පමණි. මෙම වකවානුවේ සිදුවූ දස දහස් ගණන්  අපරාධයන්ගෙන් එකක් පමණක් වූවේය. සමස්ත භාරත භූමි තලයම එහි පුරවැසියන්ගේ රුධිරයෙන් තෙත්ව ගියේය. ඒවාට ගොදුරු වූ මිනිසුන්ගේ ගැහැනුන්ගේ සහ ළමා ළපටින්ගේ ගණන තවමත් අප්‍රකටය. මේ සියල්ල මැද රට බෙදීම සිදුවිය.

 


තවත් අර්බුදයක් මතු වී තිබුණි. මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන මෙම බෙදීමට යටත් කළ වයඹ දිග දේශ සීමා ප්‍රාන්තය, බලුකිස්ථානය, සින්ද් ප්‍රාන්තය සහ පන්ජාබය පිහිටියේ උත්තර භාරතයේ බටහිර කොටසේය. බෙංගාලය තිබුණේ නැගෙනහිර පැත්තේය. මෙම භූමි කොටස් එක රටක් ලෙස එක් කරන්නේ කෙසේද? මෙම කොටස් දෙක අතර පරතරය සැතපුම් දහසකි. ඉන්දියාව මුහුණකට උපමා කළහොත් පාකිස්ථානය කන් දෙකකට සමානය. මෙවැනි අස්වාභාවික රටක් මිහිපිට නැත. ආගම වශයෙන් එකක් වුවද සංස්කෘතිය, ගති පැවතුම්, සිරිත් හා සම්භවය ආදී සියලු කරුණු අතින් පමණක් නොව සිරුරේ බාහිර පෙනුම අතින් ද විශාල වෙනස්කම් දක්නට ලැබුණි. මෙම නොගැළපීම් 1971 දී සිදුවූ ඉන්දු - පාකිස්ථාන් යුද්ධය ද එමගින් බිහිවූ බංග්ලාදේශ රාජ්‍යය ගැන වූ කතාවෙන් අවබෝධ කරගත හැකිය. බංග්ලාදේශය යනු පාකිස්ථාන් රටෙන් වෙන්ව ගිය නැගෙනහිර පාකිස්ථානයයි. වෙනත් වචනවලින් කිවහොත් බෙදා වෙන්කරන ලද බෙංගාලයේ පාකිස්ථානයට අයත් වූ කොටසයි.

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.