1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


 

එ.ජා.ප. ආණ්ඩුව විසින් සිදු කළ ඝාතනයන්ට හා අතුරුදහන් කිරීම්වලට එරෙහිව ජනතා විරෝධතාවක්ද මතුවන්නට විය. එම ජනතා විරෝධය සිය දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ශ්‍රී.ල.නි.පය යොදාගෙන තිබුණි. මෙහිදී චන්ද්‍රිකා කුමාරතුංග, මංගල සමරවීර හා මහින්ද රාජපක්‍ෂ යන අය ඒ අරමුණ වෙනුවෙන් සක්‍රීයව කටයුතු කළහ. මෙලෙස දේශපාලනය කෙමෙන් වෙනස් වෙමින් පැවති අතර 1994දී මහ මැතිවරණය පැවැත්වීමට එ.ජා.ප.යට සිදුවිය. ජ.වි.පෙ. නැවත ප්‍රසිද්ධ දේශපාලනයට ප්‍රවිශ්ට වූයේ, 1994 මහ මැතිවරණයත් සමඟය. 1994 මහ මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ආණ්ඩුව නිල වශයෙන් හදිසි නීතිය ඉවත්කර නොතිබිණි.

1994 මහ මැතිවරණය ජ.වි.පෙ.ට තීරණාත්මක දේශපාලන කඩඉමක් විය. සතුරා විසින් ජ.වි.පෙ. විනාශ කිරීමට ගනු ලැබූ ප්‍රයත්නය පරාජය කර පක්‍ෂය යළි ගොඩනැගිය යුතුව තිබිණි. සියලුම සංවිධාන විසිරී තිබූ තත්ත්වයක් තුළ, පක්‍ෂයේ නායකයින් සාතිශය බහුතරය ඝාතනය කරනු ලැබ තිබූ තත්ත්වයක් තුළ හා මර්දනකාරී වටපිටාවක් ඒ වන විටත් පවතින තත්ත්වයක් තුළ එය ඉමහත් දුෂ්කර කාර්යයක්ව තිබිණි. ජ.වි.පෙ. ප්‍රසිද්ධ දේශපාලනයට කඩා වැදිය යුතු අවස්ථාව පැමිණ තිබුණි. සීමිත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දේශපාලන වුවමනාව වෙනුවෙන් අත්පත් කරගත යුතුව තිබිණි. ඒ සඳහා ජ.වි.පෙ. ට ඉඩකඩ විවර කිරීමට කිසිවෙකු සුදානම් නොවූ තත්ත්වයක් තුළ ජ.වි.පෙ. විසින්ම එම ඉඩකඩ අත්පත් කරගත යුතුවිය. 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වීම කිසිසේත් අත්නොහැරිය යුතු තරමටම වැදගත් වූයේ ඒ නිසාය.


මේ වන විටද රට තුළ පක්‍ෂයට සංවිධාන මධ්‍යගතභාවයක් ගොඩනැගී තිබුණේ නැත. පක්‍ෂය පැවතියේ, විසුරුණු පිරිස් ලෙසය. එම විසිරුණු පිරිස් අතර තාවකාලික ගොනු කිරීමක් ඇතිකර ගනිමින් මැතිවරණයට මුහුණ දීමට පක්‍ෂයට සිදුවිය. මැතිවරණය සඳහා රට තුළ ක්‍රියාත්මක වූ සහෝදරවරුන්ට මැතිවරණයන්ට මුහුණදීම පිළිබඳ අත්දැකීමක් තිබුණේද නැත. එම කාර්යයට උරදීමට සිදුවූයේ, විදේශගතව සිටිමින් සෝමවංශ අමරසිංහ සහෝදරයාටය.


මැතිවරණයට ඉදිරිපත්වීමේදී තිබූ ඊළඟ බරපතළ බාධකය වූයේ, ජ.වි.පෙ. නිල අයිතිය පිළිබඳව වූ ගැටලුවය. පක්‍ෂයේ නායකයින් ඝාතනය වීමත් සමඟ පක්‍ෂයේ නිල අයිතිය පැහැර ගැනීමේ සතුරු කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙමින් තිබිණි. එහෙත් විදේශගතව සිටිමින් සෝමවංශ අමරසිංහ සහෝදරයා මැතිවරණ කොමසාරිස්වරයාට ලිපි ලියමින් පක්‍ෂයේ නිල අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කර තිබුණි. ඒ අනුව එම දිනවල පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සමඟ කටයුතු කළේ සෝමවංශ අමරසිංහ සහෝදරයාය. මැතිවරණයට නාමයෝජනා බාරදීමේදී ප්‍රධාන ලේකම්වරයා විසින් නාමයෝජනා අත්සන් කළ යුතු විය. එහෙත් ආරක්‍ෂාව මත සෝමවංශ අමරසිංහ සහෝදරයාට ඒ වන විට රටට පැමිණීම අවදානම්සහගත විය. ජ.වි.පෙ. ලෙස තරඟ වැදීමේ දුෂ්කරතාවයන්ද ඒ වනවිට මතුවී තිබුණි. එම දුෂ්කරතාව හා පැවති දේශපාලන තත්ත්වයද සලකා මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පෙරමුණක් ගොඩනැගීමට ජ.වි.පෙ. කටයුතු කළ අතර ආරිය බුලේගොඩ මහතාගේ ප්‍රගතිශීලී පෙරමුණ හා එක්ව ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ගොඩනගන ලදී.
ජනතා විමුක්ති පෙරමුණේ නිල අයිතිය උදුරා ගැනීමේ ප්‍රයත්න කිහිපයක්ම පැවතිණි. එබැවින් පක්‍ෂයේ නිල අයිතිය රැකගැනීම සඳහා විදේශගතව සිටියදීම සෝමවංශ සහෝදරයා කටයුතු කළේය. 1993 මාර්තු මාසයේ වාසුදේව නානායක්කාර විසින් “ජනතා විමුක්ති පක්‍ෂය” නමින් දේශපාලන පක්‍ෂයක් පිළිගත් පක්‍ෂයක් ලෙස ලියාපදිංචිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන ලදී. වාසුදේව නානායක්කාර ජ.වි.පෙ. කීර්ති නාමය කොල්ලකෑමට දැරූ උත්සාහය පරාජය කිරීමට සෝමවංශ අමරසිංහ සහෝදරයා කටයුතු කළේය. මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියූ ඔහු ජනතා විමුක්ති පෙරමුණට සමාන නමකින් පක්‍ෂයක් ලියාපදිංචි නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය. වාසුදේව නානායක්කරගේ කූට ප්‍රයත්නය පරාජය කිරීමට එමගින් පක්‍ෂයට හැකිවිය. නැවත 1994 සැප්තැම්බර් මස පක්‍ෂයේ නිල අයිතිය පිළිබඳ ගැටලුවක් මතුවිය. පක්‍ෂයේ නිල අයිතිය කොල්ලකෑමට ක්‍රියාත්මක වූ චන්දන ක්ලැරන්ස් පීරිස් හා සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ජනතා විමුක්ති පෙරමුණට අයිතිවාසිකම් ප්‍රකාශ කරමින් මැතිවරණ කොමසාරිස්තුමාට ලිපියක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මැතිවරණ කොමසාරිස්තුමා ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ හිමිකරුවන් කවුදැයි තීරණය කිරීම සඳහා පරීක්‍ෂණයක් කිරීමට තීරණය කොට ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ට එතුමා ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා ලිපියක් එවන ලදී. විද්ශගතව සිටි සෝමවංශ අමරසිංහ සහෝදරයා ඒ සඳහා එවකට පක්‍ෂයේ ඉදිරියෙන් සිටි කිහිපදෙනෙකුට ලිපියක් මඟින් බලය පවරා එම පරීක්‍ෂණයට සහභාගි කරවන ලදී. අවසානයේ පක්‍ෂයේ නම උදුරාගැනීමේ කුමන්ත්‍රණය පරදා එය රැකගැනීමට ඒ මඟින් පක්‍ෂයට හැකිවිය.


ජ.වි.පෙ. මුළු ඉතිහාසය පුරාම විවිධ අවස්ථාවල එහි නිල නාමය උදුරා ගැනීමට පක්‍ෂයේ සතුරන් කිහිප වරක්ම උත්සාහ දැරූ නමුත් ඒ සියලු උත්සාහයන් පරාජයට පත්කිරීමට හැකිවීම පක්‍ෂය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් විය.


1994 මහ මැතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණය පිළිබඳව විවාදයක් පැවතිණි. පවතින දේශපාලන තත්ත්වය හොඳින් විග්‍රහකර නොගත් සමහර සහෝදරවරු එම අවස්ථාවේ මැතිවරණයකට ඉදිරිපත්වීම තුළින් හෙළිදරව් නොවී සිටින සහෝදරවරුන්ද හෙළිදරව් විය හැකි බවත් ඔවුන් වෙතද මර්දනය පැමිණිය හැකි බවත් සඳහන් කරමින් ඔවුහු තරඟ වැදීමේ තීරණයට අකමැත්ත ප්‍රකාශ කළහ. එහෙත් මහ මැතිවරණය අපට යළි පක්‍ෂය ගොඩනැගීම සඳහා ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට ලැබී තිබෙන මගහැර යා නොහැකි, යා යුතු නැති අවස්ථාවක් නිසා කෙසේ හෝ තරඟ කළ යුතුය යන ස්ථාවරයේ සිටි සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු සහෝදරවරු තරඟ වැදීමේ තීරණය ක්‍රියාවට නැගූහ. ජ.වි.පෙ. සිය ඉතිහාසය තුළ ගත් ඉතාම නිවැරදි තීරණ අතර 1994 මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ගත් තීරණය ඉදිරියෙන්ම පවතින නිවැරදි තීරණයක් බව පසුව තහවුරු විය.
ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ නාම යෝජනා සකස්කර ගනිමින් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ ජ.වි.පෙ. තරඟ වැදුණු අතර මැතිවරණය නිමවූයේ, ජ.වි.පෙ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූරයක් දිනාගනිමිනි. එය ජ.වි.පෙ. ඉතිහාසයේ ලද පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විය. එය ඉතාම වැදගත් ජයග්‍රහණයක් වූ අතර ජ.වි.පෙ. ප්‍රසිද්ධ දේශපාලනය තුළ යළි ගමන් ඇරඹුවේ, එම මන්ත්‍රී ධූරයද සමගිනි. 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.