කාලීන වශයෙන් ඉතා යෝග්‍ය මාතෘකාවක් කරළියට පැමිණ තිබේ. එය මතුකර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. එහි ප්‍රස්තුතය වන්නේ සේනානායක යුගයේ එක්සත් ජාතික පක්ෂය අද නැති ද එයට කුමක්වීද විමසමින් එතුමා නොබෝදා කළ කතාවකිනි. ඒ මහතා මෙසේද කී බව මාධ්‍ය වාර්තා කළේය. “පොදු අපේක්ෂකයකු ලෙස එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන විට ඩී. ඇස්. හා ඩඞ්ලි සේනානායකවරුන් නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවට සිතුවද වර්තමාන එක්සත් ජාතික පක්ෂය ඩී. ඇස්. ගේ හෝ ඩඞ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බවට වැටහුණු බව ද ජනාධිපතිතුමා පවසා ඇත. අනාගතයේදී මෙරට සේනානායක යුගයේ පැවැති ආකාරයේ එක්සත් ජාතික පක්ෂයක් බිහිවේවායි ප්‍රාර්ථනය කරන බව ද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති දේශමාමක සේනානායකවරුන් උදෙසා ජාතියේ උපහාරය නම් උළෙලට එක්වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර ඇත. එකට අත්වැල් බැඳගෙන රට කරවන ජනපතිතුමාම කියන නිසා මෙම කථාව නොපිළිගැනීමට අපට හේතුවක් නොමැත. එහෙත් ඒ ගැන යමක් සිතා බැලීමට ද මෙම අවස්ථාව යොදා ගැනීමට කැමැත්තෙමි.


සේනානායක චින්තනය තුළ සපුරාම ගැබ්ව තිබුණේ දේශීය ඌරුවයි. ඔවුහු පොළවේ පය ගසාගෙන සිටි ජාතික සංස්කෘතිය මෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන සිටි නායකයෝ වූහ. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ජනතාව කෘෂිකර්මය මත යැපුණු බවත් මේ රට සංවර්ධනය කිරීමේ ඒකායන උපාය මාර්ගය විය යුත්තේ ගොවිතැන බවත් ඔව්හු දැන සිටියහ. ඒ අනුව කටයුතු කළහ.


පරාක්‍රම සමුද්‍රය ආදී මහ සයුර පරදන මහ වැව් තනා මෙරට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ මහා පරාක්‍රමබාහු රජු ආදර්ශයට ගනිමින් රට නගා සිටුවීමට සේනානායකවරු මුල සිටම කටයුතු කළහ. මේ රටේ මුල්ම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය වූ ගල්ඔය මුළුමනින්ම දේශීය මුදල්වලින් ඇති කිරීමට නායකත්වය දුන්නේ ඩී. ඇස්.ය. දුෂ්කර කටුක ප්‍රදේශයක් වූ දිගාමඩුල්ල කොළ පැහැයෙන් බබළන හරිත නිම්නයක් බවට පත් කෙරුණි. සීනි නිෂ්පාදනය කිරීමේ අපේක්ෂාව සාර්ථක නොවුණා වුවත් එහි මත්පැන් නිපදවීමට ගල්ඔය ව්‍යාපාරය යොදා ගැනීමට සේනානායකවරු බලාපොරොත්තු නොවූහ.


ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පිහිටුවන ලද කෘෂිකර්මය පිළිබඳ මන්ත්‍රී කාරක සභාවේ සභාපතිවරයා වීම නිසා කෘෂිකර්ම ඇමැති පදවිය හිමිවූවේ ඩී. ඇස්. සේනානායක මහතාටය. පැරණි ශ්‍රී විභූතිය මැකීගොස් අධිරාජ්‍යවාදී පාලනය යටතේ ශත වර්ෂ ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබුණු අපේ ගොවිතැන නැවත නගා සිටුවා ස්වයං පෝෂිත රටක් ගොඩ නැගීමට ඩී. ඇස්. ට අවශ්‍ය විය. වන ගහනයෙන් වැසී අලි කොටි වග වලසුන්ගේ කෙළි බිමක් බවට පත්ව තිබුණ රජ රට නැවතත් කෙත් යායක් බවට පත් කිරීමට ඉමහත් ධෛර්යයෙන් කටයුතු කළේ සේනානායක මහතාගේ පුරෝගාමිත්වයෙනි. පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කර පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට සේනානායක මහතා සමත් විය. ඒ සියල්ල කළේ දේශීය චින්තනයට මුල්තැන දෙමිනි.


සේනානායක පවුලෙන් මා වෙත භාරදෙන ලද කාර්යයක නිරත වෙමින් මම පොළොන්නරුවේ ගොවි ජනපදවල සංචාරය කළෙමි. ඒ මීට වසර දහයකට පමණ පෙරදීය. මට අවශ්‍ය වූවේ එම ගොවි ජනපදවල වෙසෙන මුල්ම ඉඩම්ලාභීන් කීප දෙනෙකු සොයා ගැනීමටය. එහෙත් මේ වනවිට ඔව්හු බොහෝ දෙනා මෙලොව හැර ගොස්ය. මට ලැබුණු තොරතුරකට අනුව දිය බෙදුම නගරයට ආසන්න ඉහකුලුවැව නම් ගොවි ජනපදයේ විසූ මාතාවක් වෙත මා යොමු කරනු ලැබුවේ එම ගමේ විහාරාධිපති හිමියෝය. ඉඩම්ලාභියා මියගොස් සිටි අතර ඔහුගේ බිරිඳ මට හමු වූවාය. ඇය කී විස්තරයට අනුව අපූරු වෘත්තාන්තයක් මට දැනගන්නට ලැබුණි. මාතලේ රත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් ගණනාවක් නාය යාමකට අසුවීමෙන් එම පවුල්වල සාමාජිකයෝ අසරණ බවට පත්වූහ. එවකට එම ප්‍රදේශයේ තැන්නේ රටේ මහත්තයාගේ මග පෙන්වීම අනුව ඔවුහු ඩී. ඇස්. සේනානායක කෘෂිකර්ම ඇමැතිතුමා හමුවූහ. මෙම පිරිසට දිය බෙදුම ව්‍යාපාරය යටතේ පැවැති ඉහකුලුවැව ප්‍රදේශයෙන් ඉඩම් අක්කර පහ බැගින් ගොඩ මඩ දෙකින් ලැබුණි. මෙම පෙදෙස්වල නිතර සංචාරය කරමින් සේනානායක ඇමැතිතුමා ජනපදවාසීන්ගේ සුවදුක් සොයා බැලීම එතුමාගේ පුරුද්දක් විය. ඉතා දක්ෂ හා ක්‍රියාශීලී ගොවියෙකු වූ මෙම ඉඩම්ලාභියා ගැන ඇමැතිතුමා මහත්සේ පැහැදී සිටියේය. ප්‍රදේශයේ උත්සවයකට හෝ රාජකාරියකට පැමිණියහොත් එම නිවසට පැමිණ තොරතුරු විමසීමට එතුමා අමතක නොකළේය. මෙම උත්සාහවන්ත ගොවියා ප්‍රථම කන්නයේදීම හොඳ අස්වැන්නක් ලබාගෙන තිබුණි. එම ආදායමෙන් රුපියල් 1500/- ක් ඉතිරි කොටගෙන පාවිච්චි කළ ට්‍රැක්ටරයක් මිලදී ගෙන තිබුණි. එය හොඳ ආයෝජනයක් ලෙස ඔවුහු සැලකූහ. මේ අතරවාරයේ ඩී. ඇස්. ඇමැතිතුමා ගිරිතලේ පාසලක උත්සවයකට පැමිණි ගමනේදී මෙම නිවසට පැමිණියේ ප්‍රදේශවාසීන්ගේ තොරතුරු සොයා බැලීමටත් සමගය. ඒ එනවිට තමන් අලුතෙන් මිලදී ගත් ට්‍රැක්ටරය මිදුලේ නතර කර තිබුණි. තමන්ගේ සාර්ථකත්වය ගැන ඇමැතිතුමා තමන්ට ප්‍රශංසා කරනු ඇතැයි ස්ථීරවම විශ්වාස කළ ගොවි මහතා තමන් ලද අස්වැන්න විකුණා ට්‍රැක්ටරයක් මිලදී ගත් බවත් මෙම ඉඩම් ලබාදීමේ අනුග්‍රහය පිළිබඳව පිං සිදුවන බව ස්තුති පූර්වකව ඇමැතිවරයාට ප්‍රකාශ කළේය. ඇමතිවරයා පැවැසුවේ “ආ ට්‍රැක්ටරයකුත් ගත්තාද?” කියා පමණි. ට්‍රැක්ටරය ළඟට ගිය සේනානායක මහතා නිය පිටින් එයට තට්ටු කර කියා ඇත්තේ මැෂිම නම් හොඳ ඇති. ඒත් පොළවට මුත්‍රා ටිකක්වත් වැටෙන්නෙ නෑනෙ කියාය. සේනානායක චින්තන එබඳුය. කුඹුරු සෑමට මී හරක් බානක් තබා ගන්නා ගොවියෙකුට ගොම මුත්‍ර පමණක් නොව එම සත්වයා කිරි සහ වෙනත් දේද ලබාදෙන කල්ප වෘක්ෂයක් වන බව එතුමෝ දැන සිටියහ. නව තාක්ෂණය අවශ්‍ය බව ඇත්තකි. එහෙත් එය කළ යුත්තේ එයට ඇබ්බැහිවීමෙන් නොවේ. අද පිටිසර ගමකවත් හරකෙකු දකින්නට නැත. ගව සම්පත සම්පූර්ණයෙන්ම විනාශව ඇත. ඒ අනවශ්‍ය පමණට තාක්ෂණය වැලඳ ගැනීම නිසාය. මට මගේ කුඩා මුනුබුරාට හරකෙකු පෙන්වීමට අවශ්‍ය වූ නමුදු පිටිසර ගමක් වූ මගේ අසල්වාසියේ හරකෙකු සිටියේ නැත. පෙර කී මාතාව කී මෙම සුළු සිද්ධියෙන් විශාල අර්ථයක් කියැවුණු බව මට වටහාගත හැකි විය. ඒ සේනානායක චින්තනයයි.
ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගැනීම නිසා අගමැතිධුරය භාරගත් ඩී. ඇස්. සේනානායක මහතා තමාගේ නව ඇමැති මණ්ඩලය සකස් කිරීමේ නියැළුණේය. ඔහු තමාගේ නියෝජ්‍ය නායකයා වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඇමැතුවේය. “මම ඇමැති මණ්ඩලය හදමිනුයි ඉන්නෙ. බණ්ඩා අපේ දෙවැනියනෙ දැන් බණ්ඩා මොකක්ද බලාපොරොත්තු වන අමාත්‍යාංශය?” සංවර්ධන වැඩක් කරන්න ඉඩකඩ තිබෙන නිසා මට කෘෂිකර්මය දෙන්න. මම ඒකට කැමැතියි. බණ්ඩාරනායක කීවේය. බණ්ඩා ඒක මම දරපු ඇමැතිකම. මම පටන් ගත්ත හුඟක් වැඩ එතන තියෙනවා. ඒවා නිමා කරන්න තව කල් යනවා. අගමැති නිසා ඒ අමාත්‍යාංශය ගන්නත් බැහැ. ඒක නිසා එය මට පාලනය කර ගන්න පුළුවන්. හැටියකට තියෙන්න ඔනෑ. ඒ නිසා ඒකට මට ඉඩදෙන්න. අනෙක් ඕනෑම ඇමැතිකමක් ඉල්ලන්න. ඒක දෙන්නම්. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. ට සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැති ධුරය හිමි විය. කෘෂිකර්ම ඇමැතිකම හිමිවූයේ දැදිගම මන්ත්‍රී ඩඞ්ලි සේනානායක මහතාටය. තවෙකෙකුගේ අමාත්‍යාංශයක කටයුතුවල ඇඟිලි ගැසීමට අගමැතිවරයාට වුවත් ඉඩකඩ නැත. එය බරපතළ අර්බුදවලට මග පාදන්නකි. ඒ බව දැන සිටි සේනානායක මහතා එම පදවිය පුතාට දුන්නේය. එතුමා තම පුත්‍රයා තරමටම මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුවට ආදරය කළේය.


අගමැතිවරයා පදිංචිව සිටියේ කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරයේය. ඒ ආසන්නයේ ගාලු පාරේ ගේබි්‍රයල් අයියාගේ බාබර් සාප්පුව පිහිටා තිබුණේය. ඉහළම පෙළේ ප්‍රභූවරුන් තම කොණ්ඩය කපා ගන්නට ගියේ එතනටය. ගේබි්‍රයල් අයියාගේ බාබර් සාප්පුවේ කොණ්ඩය කැපීම හැඩකාරවූවක් මෙන්ම ඔහුගේ මසාජ් කිරීමද අපූරුය. අගමැතිතුමා පොලිස්පති සර් රිචඞ් අලුවිහාරේ හමුදාපති ඇන්ටන් මුතුකුමාරු මෙන්ම කැබිනට් ඇමැතිවරු පැමිණෙන්නේ මෙම ස්ථානයටය. සරමකින් සහ අත්දිග මේස් බැනියමකින් සැරසෙන අගමැතිතුමා මෙතනට එන්නේ පා ගමනිනි. එසේ පැමිණෙන අගමැතිතුමා තම කොණ්ඩය කපා ගැනීමට පෝලිමේ සිටියි. තනතුරේ රශ්මිය පෙන්වා පෝලිමේ ඉදිරියෙන් යාමට එතුමා කිසිවිටෙක තැත් නොකරයි. එසේ නම් තනතුරේ මුවාවෙන් ධනය ඉපයීමට යම් යම් අවභාවිතයන්ට යොමු නොවන්නේමය. එහිදී පෙනුණු නිහතමානීත්වය මනාප ඡන්ද ලබා ගැනීමට නොවේ.


පනස්තුනේ හර්තාලය මෙරට දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස බොහෝ දෙනා සලකනු ලැබේ. එය රාජ්‍ය විරෝධී අරගලයක් තරමට වැඩී ආවේ සංවිධායකවරුන් පවා බලාපොරොත්තු නොවූ අයුරිනි. එයින් මතුවූ හේතු සාධක මත නව දෙනෙක් වෙඩි වැදී මිය ගියහ. නොපමාව එම කාරණයේ වගකීම භාරගත් ඩඞ්ලි සේනානායක අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූවේය. මෙරට දේශපාලනයේ හැට හැත්තෑ දහස් ගණන් මියගිය අවස්ථා ඇත. එහෙත් තනතුරු අතහැර ගිය කෙනෙක් නැත. එනිසා සේනානායක දේශපාලන දර්ශනය ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට අගනා පූර්වාදර්ශයක් එහි ඇත්තේය. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය යැයි එතුමා නම් කෙරුණේ එබැවිනි. මිනිසුන් මරමින් රට පාලනය කිරීමට මට අවශ්‍ය නැතැයි එම උදාර ප්‍රජාතන්ත්‍රවාදියා පැවසීය.


සිය ආදරණීය පියාණන් වූ ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ අභාවයෙන් පසු අගමැතිකම භාරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඩඞ්ලි සේනානායකයන්ට බල කළහ. එහෙත් ඔහු එකඟ නොවීය. එහෙත් පක්ෂයේ ඉහළ මට්ටමේ සිටි යාපහුව රජමහා විහාරාධිපතිව වැඩ විසූ කඳුබොඩගම සීලානන්ද නාහිමි, මාලේවන ඥාණිස්සර හිමි වැනි හිමිවරු මෙන්ම නුවර පාර්ශ්වලත් මහියංගණය, අනුරාධපුර ආදී ප්‍රදේශවල නායක හිමිවරුන් නිකායවල මහානායක හිමිවරුන් පෞද්ගලිකවම ඉල්ලීම් කරද්දී ඩඞ්ලි සේනානායකයන්ට නිහඬව සිටිය නොහැකි විය. ඔහු අගමැතිකම භාර ගත්තේ අකමැත්තෙනි. එහෙත් මෙම සිදුවීම සභානායක සර් ජෝන් කොතලාවලගේ නොසතුටට හේතුවිය. ඩී. ඇස්.ගේ දෙවැන්නා වශයෙන් සිටින තමා අගමැති තනතුරේ නිසි අනුප්‍රාප්තිකයා විය යුතු බවට ඔහු මැසිවිලි නගන්නට විය. ඩඞ්ලිට අගමැතිවීමට ජන වරමක් ලැබී නැහැ. ඔහු ආවේ පස්සෙ දොරෙන් මට හිමි අගමැතිකම ඔහු උදුරා ගත්තා. සර් ජෝන් කියන්නට විය. ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට ගුණාංගයක් පෙන්නුම් කරමින් ඩඞ්ලි පාර්ලිමේන්තුව විසුරුවා හැර ජන වරමක් පතා මැතිවරණයකට මුහුණ දුන්නේය. විශාල ජනතා සහයෝගයක් ලබමින් නැවතත් බලයට පත්විය.


දේශපාලනය අතහැර ගොස් සිටි සේනානායක මහතා 1956 මැතිවරණයට සම්බන්ධවූවේ නැත. එහි ප්‍රතිඵලය කවුරුත් දනිති. ආසන අටක් පමණක් ලබා අවමන් සහගත පරාජයක් උරුමකර ගැනීමට සර් ජෝන්ගේ යූ.ඇන්.පියට සිදු විය. ඔහුද දේශපාලනය අතහැර බි්‍රතාන්‍යයේ පදිංචියට ගියේය. නායකත්වයක් අහිමිව අසරණව සිටි පක්ෂයට ජීවය ලබාදිය හැකි එකම පුද්ගලයා ඩඞ්ලි සේනානායකයන් බව යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨයෝ වටහා ගත්හ. නැවතත් ආරාධනා කළහ. අවසානයේ නැවතත් අකමැත්තෙන් පක්ෂයේ නායකත්වය භාර ගත්තේ තනතුරු ලෝභයෙන් නොව පක්ෂය ගොඩ දැමීමට යැයි කියන ඉල්ලීම නිසාමය. ‘කලල ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත - තුමුල බලැති ගිජිඳෙකු හැර අන් කෙවත’ යැයි අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ කවියක් වේ. එහි අර්ථය වන්නේ මඩෙහි ගිලුණු ඇතෙකු ගොඩ ගත හැක්කේ තවත් ශක්තිමත් හස්ති රාජයෙකුට පමණක්ය යනුයි. එය එසේම විය. 


1960 මාර්තු 19 වැනිදා පැවැති මහා මැතිවරණයෙන් එජාපය ගොඩ ගියේය. පාර්ලිමේන්තුවේ ආසන පනහක් ලබා වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව හිමි බලවේගය බවට පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ආසන 46ක් හිමිව තිබුණි. කාටවත් බහුතරය නැත. සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල සහාය ශ්‍රීලනිපයට දෙන්නට තීරණය කිරීම නිසා වෙනස් දෙයක් සිදුවන්නට යන බව පෙනෙන්නට තිබුණි. උතුරු - නැගෙනහිර නියෝජනය කළ පෙඩරල් පක්ෂය අත්කරගෙන තිබුණු ආසන 15 ඉතා තීරණාත්මක විය. එහි සහයෝගය ලබා ගැනීමට ඉඩ තබා ගනිමින් සුළුතර රජයක් පිහිටුවාගෙන ඩඞ්ලි සේනානායකයන් අගමැති පදවිය භාර ගත්තේය. පෙඩරල් පක්ෂයේ ඉල්ලුම ඉහළ ගියේය. පාර්ශ්ව දෙකම සාකච්ඡා කරන්නේ පෙඩරල් සහාය ලබා ගැනීමටය. ඔවුන්ගේ කේවෙල් කිරීම බරපතළය. ඉල්ලීම් දෙන්නට තබා දෙන බවට පොරොන්දු වෙන්නටත් බැරිය. පාර්ලිමේන්තුවේදී රාජාසන කථා ස්තුති යෝජනාව පරාජය වීම නිසා එම රජයේ ආයු කාලය දින තිස් තුනකට සීමා විය. “සක්විති රජකම ලැබුණත් රට පාවා නොදෙන්නෙමි”යි කී ඩඞ්ලි පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාව ඉදිරියට ගියේය. 1960 ජූලි 20 වැනිදාට එම මැතිවරණය නියමිත විය. එජාපය පරාජය විය.


ඩඞ්ලි සේනානායක මහතා විපක්ෂ නායක තනතුර භාර ගත්තේය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ මගින් ඉදිරිපත් කර ඇත්තේ විරුද්ධ පක්ෂයේ පනතක් වශයෙනි. මේ ආකාරයෙන් විරුද්ධ පක්ෂයෙන් පනතක් පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළේ විපක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතාය. එයට ද අපූරු කතාවක් තිබේ. 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි