ලොව අබියස රට කළු කළ කළු ජූලිය - 02

ඔහු තමාගේ සුවිශේෂී භටයන් කීප දෙනෙකු කැඳවා ගත්තේය. ඒ 1983 ජුලි 23 වැනිදා මධ්‍යම රාත්‍රියයි. යාපනය පලාලි මාර්ගයේ තිරුනෙල්වෙලි නම් ස්ථානය ඔවුන් අරමුණු කළ තැන විය. සෙල්ලකිලි, ලිංගම් බසීර් කකා, රන්ජන්, පුලේන්ද්‍රන්, සන්තෝසම්, ගනේෂ්, පොනේනම්මන්, වික්ටර්, කිට්ටු, අප්පයියා ආදී ත්‍රස්තවාදීහුත් ප්‍රභාකරනුත් මෙම කුමන්ත්‍රණයට එක් වූහ. ඔවුන් තිරුනෙල්වෙලිහි මහා මාර්ගය හාරා විශාල බිම් බෝම්බයක් වළලා පාරෙන් ඉවතට වී රැක සිටියහ. 


ඒ හමුදා වාහනයක් එන තුරුය. ටික වේලාවකින් අශුභ මොහොත උදා විය. යාපනය පලාලි මාර්ගයේ ආරක්ෂක සේවයේ නියැළෙන ෆෝ ෆෝ බ්‍රාවෝ භට ඛණ්ඩයට අයත් හමුදා පිරිසක් රැගත් රථයක් සහ හමුදා ජීප් රථයක් එතැන පසු කර ගෙන යාමට පැමිණියේය. වහා ක්‍රියාත්මක වූ ත්‍රස්තයෝ පළමුවෙන් පැමිණී ජීප් රිය බෝම්බය වළලා ඇති ස්ථානයට සමීපවත්ම එය පුපුරුවා හැරියහ. එයින් ජීප් රිය සම්පූර්ණයෙන්ම පුපුරා විනාශ විය. ට්‍රක් රථය ද ආසන්නයේම පැමිණි නිසා එයටද විශාල ලෙස හානි සිදු විය. අසල සැඟවී සිටි ත්‍රස්තවාදිහු ඒ වෙතට වෙඩි තැබූහ. අත් බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මාරාන්තික හානියකට මුහුණ දී සිටිමින් වුවද විරෝධාර රණවිරුවකු විසින් තබන ලද වෙඩි පහරකින් ත්‍රස්ත නායකයෙකු වූ සෙල්ල කිළි එතනදීම මරු මුවට පත් විය. මෙම සිද්ධීයේදී ලුතිනන් වාස් ගුණවර්ධනගේ නායකත්වයෙන් ගිය මෙම හමුදා ඛණ්ඩයේ ඔහුද ඇතුළත්ව දහ හතර දෙනෙක් මරු වැළඳ ගෙන සිටයහ. දෙදෙනෙක් පමණක් දිවි බේරා ගත්හ. ඒ දෙදෙනා නම් කෝප්‍රල් ආර්. ඒ. යු. පෙරේරා සහ ලාන්ස් කෝප්‍රල් අයි. ඇම්. සුමතිපාල යන දෙදෙනාය. 


මෙම බරපතළ විනාශයෙන් රජය තැති ගත්තේය. මියගිය හමුදා සෙබළුන්ගේ මළ සිරුරු ඔවුන්ගේ නෑදෑයන් හට භාර දී අවසන් කටයුතු ඔවුන්ගේ ගම් බිම් වල සිදු කළහොත් මෙම සිද්ධීයට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබී ජනතාව ප්‍රකෝප වීමෙන් අනවශ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනු ඇතැයි රජය බියට පත් වූවා සේය. ඔවන්ගේ තිරණය වූයේ හමුදා භටයන් දහ තුන් දෙනාගේ සිරුරු ගුවන් මගින් කොළඹට ගෙන ගොස් රහසේම කොළඹ කනත්තේ මිහිදන් කිරීමය. මෙම සාපරාධී ඝාතනයේ ආරංචිය කොළඹ ජනතාව දැන ගත් වහාම ඔවුහු ප්‍රකෝපයට පත් වූහ. කුමන හෝ ක්‍රමයකින් හමුදා භටයන්ගේ සිරුරු කොළඹ කනත්තේ භූමදාන කටයුතු සිදු කිරීමට යන බව ඔවුන්ට දැන ගන්නට ලැබී තිබුණු නිසා බොහෝ දෙනා කනත්තට රැස් වූහ. මෙසේ ඒකරාශී වූ පුද්ගලයෝ දහස් ගණනින් කණ්ඩායම් සැදී නගරයේ සංචාරය කළහ. දෙමළ මිනිසුන්ගේ කඩවලට ප්‍රහාර එල්ල කළහ. මුළු මහත් කොළඹ නගරයම භීතියෙන් ඇළලී ගියේය. මනුෂ්‍ය ඝාතන බොහෝ සිදු විය. ද්‍රවිඩයන්ගේ නිවාස රාශියක් ගිනි දෙවියාට බිලි වුණි. මැරයෝ දෙමළ නිවෙස් සොයා සොයා පහර දුන්හ. මෙය ආරංචි වූ තදාසන්න ප්‍රදේශවලට ද මෙය පැතිර ගියේය. ජාතිවාදී ගිනි ජාලාවක් බවට මුළු රටම පත් වූයේය. දේශප්‍රේමය, ජාති ආලය කෙසේ වුවත් දමිළයන්ගේ දේපළ මංකොල්ලය යස රඟට සිදු විය. තත්ත්වය පාලනය කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් විය. 


මෙම ජාතිවාදී අර්බුදය ගැන දැන ගන්නට ලැබුණු වහාම ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි දුරකථනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඇමතුවාය. තත්ත්වය පාලනය කර දෙමළ ජනයාට එල්ල වන ප්‍රහාරය නොපමාව අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ඇය ජේ. ආර්. ගෙන් ඉල්ලා සිටියාය. ඇය තමාගේ විදේශ ඇමැති නරසිංහ රාම් ලංකාවට එවුවාය. බොරු තොරතුරුවලට මුළා වූ බටහිර රටවල් රැසක අනුකම්පාව කොටින් වෙත යොමු විය. එයින් උපරිම ප්‍රයෝජනය ගත් කොටි තව තවත් දෙමළ පිරිස් එම රට වලට ගෙන ගොස් අනාථයන් ලෙස පදිංචි කළහ. බි්‍රතාන්‍යය ප්‍රංශය ජර්මනිය ඔස්ටි්‍රයාව, පින්ලන්තය ඉතාලිය යන රටවල මෙසේ පදිංචි කරවනු ලැබූ ජනයා නිසා දෙමළ ඩයස්පෝරාව නිර්මාණය විය. මෙය කොටින්ට ධන උල්පතක් වූයේ නිරායාසයෙනි. නිතිපතා කොටින්ට කප්පම් මුදලක් ගෙවීමට මෙම පිරිසට සිදු වූ අතර මෙම පිරිසටද එම රටවල රැකියා කරමින් සුවපහසු ජීවිත ගත කරමින් ශ්‍රී ලංකාව ගැන බොරු ප්‍රචාරගෙන ගියහ. 


දකුණු ඉන්දියාවේ කොටි පුහුණු කඳවුරු පැවැත්වෙන බව දැනගත් සමහර තරුණයෝ ද කොටි සංවිධානයේ පෙලඹවීම මත එහි ගොස් යුද පුහුණුව ලැබූහ. කොටින්ට පුහුණු සටන් කරුවන් ලැබුණේ ඒ අයුරිනි. 
හමුදා භටයන් 13 දෙනාගේ ඝාතනයක් සමග ඇති වූ කලකෝලාහල තත්ත්වය කවුරුත් විසින් වුවද හඳුන්වනු ලැබුවේ කළු ජූලිය නමිනි. මෙයින් සිදු වූ විනාශය තිස් අවුරුද්දක යුද්ධයකට මඟ පෑදීය. යුද්ධය නිමා වන විට රටම ලේ විලක් බවට පත්ව තිබුණි. නැසී ගිය ස්ත්‍රී පුරුෂ ළමා ළපටින් ගණන කිසි දිනක අනාවරණය නොවනු ඇත. විදේශීය අත පෙවීම් සාම දූත මෙහෙවර සටන් විරාම කොතෙකුත් සිදුවිය. ජාත්‍යන්තර තලයේ සිදුවන ලුහු බැඳීම් අදටත් නිමා වී නැත. 

 

 

නියෝජ්‍ය ඇමති ලලිත් ඇතුළත් මුදලි විදේශ කටයුතු ඇමති ඒ. සී. ඇස්. හමීඞ් යන මහත්වරුන් හමු වී සාකච්ඡා කළ බව මාධ්‍යවල පළ විය. 


රජයේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව මෙම අරගලයේදී පුද්ගලයෝ හාරසිය හැත්තෑ එකක් (471) මිය ගියහ. 3769ක් තුවාල ලැබූහ. ලක්ෂයක පමණ ජනතාවක් අනාථයන් බවට පත්ව කඳවුරු වල ගාල් වුහ. මේවා විවිධ පාර්ශව මගින් විවිධ ආකාරයේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. කෙසේ වුවත් සිදු වූ විනාශය අති මහත්ය. 


හමුදා භටයන්ගේ ඝාතනය ගැන පුවත ඉවතට ගියේය. ලොව පුරා ජනතාව අතර ප්‍රචාරය වූ මතය වූයේ ශ්‍රී ලංකාවේ සිංහල ජනයා දෙමළ මිනිසුන් නිරපරාදේ මරා දමමින් දේපළ මංකොල්ල කන බවයි. එය රටට මහත් අපකීර්තියක් වූවා පමණක් නොව ත්‍රස්තවාදීන්ට මහඟු ප්‍රතිලාභයක් ද වූයේය ඔවුන් බෝට්ටු යොදා ගනිමින් උතුරේ ජනතාව ඉන්දියාවට රැගෙන ගොස් දේශපාලන අනාථයන් බව ප්‍රකාශ කරමින් තමිල්නාඩු වල කඳවුරු වලට ගාල් කළහ. ලක්ෂ ගණනක් වූ මෙම දෙමළ ප්‍රජාව ඉන්දියාවට මහ බරක් වූ අතර ඒ වෙනුවෙන් මැදිහත් වීමට එම රජය කටයුතු කළේය. මෙරටට සීමා වී තිබුණු ත්‍රස්තගැටලුවට ඉන්දියාවද පාර්ශ්ව කරුවෙකු වීම නිසා එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් විය. ලෝරන්ස් තිලකර් වැනි ඇල්.ටී.ටී.ඊ. ප්‍රකාශකයෝ රස කරමින් තලු මරමින් ප්‍රචාරය කළහ. 


කළු ජූලියේ සිදුවීම් මාලාවේ වගකීම එවෙලේ රජය විසින් පවරනු ලැබූවේ ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සහ නව සම සමාජ පක්ෂය යන මාක්ස්වාදී බලවේග වෙතටය. ඒ ගැන කතා කරමින් කොමියුනිස්ට් පක්ෂයේ කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවගම මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ කොමියුනිස්ට් වාදින්වූ අපට මේ එල්ල කර තිබෙන චෝදනා දරා ගත නොහැකිය. අප මිනීමරුවාය. කියන්න සොරකම් කළාය. කියන්න ස්ත්‍රී දූෂණ සිදු කළාය කියන්න. එම චෝදනා අපට දරා ගත හැකියි. එහෙත් අප ජාතිවාදය ඇවිස්සුවාය. කියා නොකියන්න .එය අපට දරා ගත නොහැක. මක් නිසාද යත් අප මාක්ස්වාදය පිළිගන්නා කොමියුනිස්ට් වාදීන් වන නිසාය. 


බලධාරීන් විසින් ගනු ලබන සමහර අමනෝඥ තීරණ නිසා සිදු වන විපාක අති මහත්ය. ඒවා වචන හරඹ මගින් අනුනට දමා ගැසීමට දරන දුර්වල ප්‍රයත්නයන් පුහු වෙඩි බවට පත් වනු නියතය. තිස් පස් වරක් ගතව ඇත. කළු ජූලියෙන් අපට සිදු වන බලපෑම් තවමත් අවසන් නැත. දැනට පවතින ගැටලු විසඳා ගැනීමටත් නිසි කළමනාකරණය සහ බුද්ධි ගෝචර වීම අත්‍යවශ්‍යය. කළු ජූලිය අපට කියා දෙන පාඩම එයයි.

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ