“දේශපාලන උණ” බෝ කළ මැලේරියා උණ - 02

 

වසරක් දෙකක් ගෙවී යන විට සූරිය මල් ව්‍යාපාරයේ දියුණුව සඳහා වැදගත් බහුජන එකමුතුවක් ගොඩනැගෙනු දක්නට ලැබුණි. විදේශ අධ්‍යාපනය නිමවා මෙරටට පැමිණ සිටි උගත් ධනවත් තරුණ පිරිසක් සූරිය මල් ව්‍යාපාරය වෙත ආකර්ෂණය වූහ. 


දොස්තර වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන ලෙස්ලි ගුණවර්ධන ආදීහු මෙහි ප්‍රමුඛයෝ වූහ. මේ වන විට එංගලන්තයේ සිට පැමිණ මාතර රාහුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සමාජ මෙහෙවරක් ඉටු කරමින් සිටි බි්‍රතාන්‍ය ජාතික ඩොරින් යංග් නමැති වියත් කාන්තාවක් ද මෙම කණ්ඩායමේ සිටියාය. 


එතෙක් කලක් බි්‍රතාන්‍යය අධිරාජ්‍යයට කිසි අයුරකින් අභියෝග නොකළ පසුබිමක් තිබුණු රටක සූරිය මල් ව්‍යාපාරය හරහා ගොඩනැගෙමින් පවත්නා සටන්කාමී බව, ජාතික විමුක්තිය පිළිබඳව දැක්වූ උනන්දුව ගැන සැලකූ විට මෙය හොඳ පදනමකට සරු පොහොරක් ඇති ක්ෂේත්‍රයකැයි ඇන්. ඇම්. පිලිප් කොල්වින් සහ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ආදී නායකයෝ වටහා ගත්හ. එය එසේ සිදු වෙද්දී සූරියමල් ව්‍යාපාරය අතහැර දැමීමට සේවාමුක්ත භටයන්ගේ සංගමය තීරණය කළේය. මේ අවස්ථාවේදී වමේ තරුණ නායක පිරිස ඉදිරිපත්ව සූරිය මල් ව්‍යාපාරය නව ජවයකින් යුතුව සංවිධානය කළහ. 


එහි ආරම්භක සභාපතිවරිය ලෙස අධ්‍යාපනඥ ඩොරින් යන්ග් මහත්මිය තෝරා ගන්නා ලද අතර ඒ වන විට ඇය කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළාය. නොබෝ දිනකින් මොරවක ආසනයේ රාජ්‍ය මන්ත්‍රී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා සමග විවාහ වීමෙන් පසු ක්‍රියකාරී දේශපාලන බිමට පිවිසියාය. ඇගේ සභාපතිත්වය යටතේ සූරියමල් ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම සඳහා විල්මට් ඒ. පෙරේරා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, වික්‍රමසිංහ ආදී සම සමාජ නායකයිනුත් රොබින් රත්නම් සුසාන් ද සිල්වා, ජෝර්ජ් කල්දේරා, රෝයි ද මෙල්, හැරල්ඞ් පීරිස්, ආතර් වීරසේකර ආදී නායකයෝ ද සූරියමල් ව්‍යාපාරය දැඩි අධිරාජ්‍ය විරෝධී බලවේගයක් වශයෙන් පෝෂණය කළහ. යුද්ධයට සහ වහල්භාවයට විරුද්ධව නිදහස සහ සාමය උදෙසා යන සටන් පාඨයෙන් යුතුව විමුක්තිකාමී ජනතා සිත් සතන් අවදි කරවීමට සූරියමල් ව්‍යාපාරය ආරම්භයේ සිටම සමත් විය. 


මෙසේ මෙම බලවේගය මගින් සූරියමල් විකුණා ලැබූ මුදල්වලින් කොටසක් එවකට උග්‍ර කුල පීඩනයට ගොදුරු වූ තරුණයන් කීප දෙනෙකුට උසස් අධ්‍යාපනයට යොමු කිරීම සඳහා වැය කළ බවද වාර්තාවල සඳහන් වේ.  
මේ වන විට රට පුරා පැතිර යමින් පැවති මැලේරියා උණ වසංගතය නිසා බෙහෙත් හේත්, නිසි සාත්තු සේවක පහසුකම් හෝ පෝෂ්‍ය දායක ආහාර පාන හිඟය නිසා දිනපතා දහ දහස් ගණනින් මරණයට පත් වෙමින් සිටි අහිංසක දුප්පත් ජනතාවගේ ජීවිත ගලවා ගැනීම සඳහා නායකත්වය හා තම සහාය ලබා දීමට සූරියමල් ව්‍යාපාරයේ පුරෝගාමීහු තීරණය කළහ. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතු වෛද්‍ය පිරිසක් නිවෙසක් පාසා ගොස් වසංගතයෙන් මිය ගොස් කුණු වී යමින් තිබුණු මළ සිරුරු ඉවත් කර ඒ අතර වූ පණ ඇති අය තෝරා ගෙන පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම සිදු කළහ. එමෙන්ම එම ව්‍යාපාරයේ බොහෝ දෙනා පරිප්පු, මාමයිට් ආදී පෝෂ්‍ය දායක ආහාර වර්ග ගෝනි පිටින් කර තබාගෙන නිවෙස් පාසා යමින් ඒවා බෙදා දුන්හ. එසේ පරිප්පු බෙදා දීමට පුරෝගාමී වූ නිසා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා තුන් කෝරළේ වැසියන් විසින් හඳුන්වනු ලැබුවේ පරිප්පු මහත්තයා යන ආදර නාමයෙනි. සමහර ගම්වල තාවකාලික රෝහල් පිහිටුවා ප්‍රතිකාර කිරීමට කටයුතු යොදන ලදී. කොළඹ උසස් විද්‍යාලවල ඉගෙන ගනිමින් සිටි සිසු දැරියෝ මෙන්ම සූරිය මල් ව්‍යාපාරයේ නායිකාවෝ මෙම රෝහල්වල හෙදියන් මෙන් කටයුතු කළහ. පසු කාලීනව මෙරට වාමාංශික දේශපාලන නායිකාවන් බවට පත් වූ විවියන් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, සෙලීනා පෙරේරා ආදී නායිකාවෝ ඒ අතර වූහ. 


පසු කලෙක ඇන්. ඇම්. මැතිවරණයකට ඉදිරිපත් වන විට ඔහුගේ නාම යෝජනා පත්‍රයට අත්සන් කළ අතුරලියේ සුවඳා මහතා ඒ සමයේ අත්දැකීම් ගැන කියා ඇත්තේ මෙසේය. 


“ඒ මැලේරියා වසංගතය කාලය. තුන් කෝරලයේ මැලේරියා වසංගතය පැතිරුණා. දුප්පත් මිනිස්සු මැලේරියා වසංගතයෙන් හරි හැටි දුක් වින්ඳා. කැඳ ටිකක්වත් උයා දෙන්න කෙනෙක් නැතිව බේතක් හේතක් නැතිව මේ වසංගතයෙන් මැරුණු අය එමට හිටියා. කිසිම කෙනෙක් ඒ කාලයේ අපේ දුප්පත් මිනිස්සු මැලේරියා නිසා විඳපු දුක් ගැන හෙව්වේ බැලුවේ නැහැ.” 


“මට ඇන්. ඇම්. සහෝදරයා හමු වුණේ ඔන්න ඔය කාලේදියි. මගේ ගම එදා රුවන්වැල්ල ආසනයේ කොටසක්ව තිබුණු අද දෙහිඕවිට ආසනයේ ඇහැලියගොඩ විලේගොඩයි. මම ඒ කාලයේ අපේ ගමේ ගම් සභා නියෝජිතයා.”


පහත් යැයි සම්මත කුලයකයි කියලා සමාජය අපව හොඳටම කොන් කරලායි තිබුණේ. මුළු ගමටම ඒ කාලේ උළු සෙවිලි කරපු ගෙයක් තිබුණේ අපේ ගෙදර විතරයි. දවසක් දා අපේ ගේ ගාවට ඇවිත් කණ්ඩායමක් මට කතා කළා. ඒ කණ්ඩායමේ පිලිප් ඇන්. ඇම්. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ යන සහෝදරවරු සිටියා. 


ඔය කණ්ඩායම මට කතා කරලා කිව්වා අපි ආවේ මැලේරියාවෙන් දුක් විඳින අයට සාත්තු සප්පායම් කරන්ට. බේත් හේත් දෙන්න කියලා. ඒ ගොල්ලන්ගේ පිටි පස්සෙන් ගෝනි කර ගහගත්තු අයත් හිටියා. ඒ ගොල්ල මගෙන් ඉල්ලා සිටියා ඒ අයට පාරවල් පෙන්වන්න කියලා. ඇවිත් තියෙන වැඬේ හොඳ හින්දා මම පාරවල් පෙන්නන්ඩ කැමති වුණා. 


ඒ කාලයේ මේ මහත්වරු නොසෑහෙන්න දුක් වින්ඳා. ගෙයක් ගෙයක් ගානෙ ගියේ කූඩැල්ලන් කඩ කඩා. ගිහින් හාල් පරිප්පු මාමයිට් සීනි තේ කොළ වගේ දේවල් බෙදලා දුන්නා. ඒ විතරක් නෙවෙයි සාත්තුවට කෙනෙක් නැති ගෙවල්වල හිටපු ලෙඞ්ඩුන්ට කැඳ උයලා පොවපු හැටිත් මට අද වගේ මතකයි. 


ඒ දවස් වල ඒ කණ්ඩායමට නතර වෙන්න තැනක් වත් තිබුනේ නැහැ. හැමදාම උදේට ඇවිත් ගම්වල ඇවිදලා ලෙඞ්ඩුන්ට සාත්තු සප්පායම් කරලා හැන්ඳෑවට ගිහින් පහුවැනිදා උදේම ආයෙත් එනවා.” 


මැලේරියා වසංගතය නිසා මිය ගිය ලාංකිකයන්ගේ ගණන ලක්ෂ කීපයකැයි පසුව ප්‍රකාශයට පත් විය. මේ වසංගත රෝග මැද ඇන්. ඇම්. ලා පිලිප්ලා කටයුතු කලේ එහෙමය. අද ගංවතුරට කොටු වුණු අනාථයින්ට කෙසෙල් ගෙඩියක් දෙන්නේත් දෙන්නාගේ නම සහ මනාප අංකය ඇතුළත් ස්ටිකරයක් ඇලවීමෙන් පසුවය. මෙම සහනාධාර දීමෙන් පසුව ඇන්. ඇම්. ලා දේශපාලනය කළ බව ඇත්තය. ඒ කළ ගුණ දත් මිනිසුන්ගේ ආශිර්වාදය නිසාය. 


තිස් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද එකොළාස් වසරක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ද සටන් කරමින් තුන් කෝරලයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවෙග්ම නිදහස සමානාත්මතාව සහ යුක්තිගරුකව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළේය. ඒ සියල්ල කළ හැකි වූවේ 1931 දී මෙරට විනාශයට පත් කරමින් රට පුරා පැතිර ගිය මැලේරියා උණ රෝගයෙන් ඇති වුණු සුවිශේෂී තත්ත්වයන් නිසාය. අද පැතිර යන උණ රෝගයද වහා නිවාරණයට පත් වේවායි පැතිමට ද මෙය අවස්ථාව කර ගනිමි.

 

 

 

 

සිරිල් වික්‍රමසිංහ