ශ්‍රී ලංකාවේ වෘත්තීය අරගලයන්හි ආරම්භය සිදුවූයේ වර්ෂ 1893 දී එච්.ඩබ්ලිව්. කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවන් ආරම්භ කළ කම්කරු පන්ති අරගලයෙනි. 1986 දී ලොන්ඩරි කම්කරුවන් ආරම්භ කළ අරගලය අගනුවරටම දැනෙන පීඩනයක් ගෙන දුණි. 1909 දී මුළුමහත් වෙළෙඳ ආර්ථිකයම මෙහෙය වූ භාණ්ඩ ප්‍රවාහනයේ එකම සාධකය වූ බර කරත්තකරුවන්ගේ වර්ජනයට දිනක් තුළදී බර කරත්තකරුවෝ පන්දහසක් පමණ එක්වී සිටියහ. 1912 දී දුම්රිය සේවක වර්ජනය අඩපණ කිරීමට රජය නීතිරීති පැනවුවද ජාතික සංගම් කාරයන්ට කළහැකි දෙයක් නොවීය.


මේ අතර ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් 1922 ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා කම්කරු සංගමය වැඩ වර්ජන කිහිපයක්ම මෙහෙයවීය. 1923 දී දුම්රිය සේවක වර්ජනය, 1926 දී වැල්ලවත්තේ රෙදි මෝලේ වර්ජනය, 1928 දී කොළඹ වරාය සේවක වර්ජනය, 1929 දී ට්‍රෑම් රථ වර්ජනය ජයග්‍රාහක වෘත්තීය සටන් විය. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වූයේ මෙකී සටන් ව්‍යාපාරයන්හි නායකත්වය ගත් සියලු දෙනාම කම්කරුවන්වීමය. 


එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ විලියම් හර්මානිස්, මාෂල් අප්පුහාමි, ජේ. සොලමන් පෙරේරා, ජෝර්ජ් සිල්වා, යකා ජෝන්, හම්බන් විලියම්, මර්තේලිස් පෙරේරා, පේදුරු අප්පු එදා වෘත්තීය අරගලයන්හි නායකයෝ වූහ. 
වෘත්තීය පනත නීතිගත වුවද මේ වනවිට කම්කරු පන්තිය සිය ජයග්‍රහණයන් අත්පත් කරගෙන තිබුණද දේශපාලනමය වශයෙන් ඔවුන් පසුවූයේ ඉතාමත් පහළ මට්ටමකය. 


කම්කරු නායකයකු ලෙසින් පෙනී සිටියත් ගුණසිංහගේ කම්කරු සටන් ව්‍යාපාරය ඉන්දියානු විරෝධී ජාතිවාදය කරපින්නාගෙන තිබුණි. 


ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ 1931 දී පැවති මහා මැතිවරණය පැවැත්වූයේ මෙබඳු පසුබිමක් ඔස්සේය. සූරියමල පිපුණේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පොපිමල් ව්‍යාපාරයට එරෙහිව මෙම කාලවකවානුවේදීය. 
එවකට තරුණ සංගම් නායකයෝ කම්කරු ජනතාවට දේශපාලන නායකත්වයක් ලබා දුනහොත් නිසැකවම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මේ දෙරණේ නිදහස් අරුණැල්ල කරා යොමු කරගත යුතුය යන දැඩි විශ්වාසයක පිහිටියෙන් නිරන්තරව මේ පිළිබඳ කරුණු කතාබස් කළහ. මේ වන විට තරුණ සංගම් ව්‍යාපාරයේ නායකයන් වූයේ ටෙරන්ස් එන්. ද සිල්වා, ඩී. ඩී. සභාරත්නම්, රොබින් රත්නම්, ඒලියන් පෙරේරා, ජෝර්ජ් කල්දේරා යන අයවලුන්ය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, වර්ණන් ගුණසේකර යනාදීහු මේ වන විටත් තරුණ සංගම් ව්‍යාපෘතියෙහි ප්‍රබලයන්ව සිටියහ. 
‘තරුණ ලංකා’ නමැති මාසික සඟරාව එළි දැක්විණි. මෙහි උද්ධෘතයින් වූයේ ආර්ථික විමුක්තිය, ජාතික ස්වාධීනත්වය මෙන්ම ජාතික සමෘද්ධිය උදාකර ගන්නා ආකාරයයි. ඒ සියලුම ලිපි සකසනු ලැබුයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා විසිනි. 

 

1932 අවසානය වන විට උදාසීනව තමන්ගේ කටයුතු අත්හැර දමන්නට තීරණය කළෙන් දකුණු කොළඹ තරුණ සංගමය සූරිය මල් ව්‍යාපාරය සියතට ගෙන ඒ සඳහා අභිනව ක්‍රියාකාරී කමිටුවක්ද පත්කර ගති. මොරවක රාජ්‍ය මන්ත්‍රී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ බිරිඳ වූ ආනන්ද බාලිකා විදුහල්හි විදුහල්පතිනි ඩොරින් වික්‍රමසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම නව ක්‍රියාකාරි කමිටුවට විල්මට් ඒ. පෙරේරා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, රොබින් රත්නම්, සුසන් ද සිල්වා, ජෝර්ජ් කල්දේරා, රෝයි ද මැල්, හැරල්ඞ් පීරිස්, ආතර් වීරසේකර ආදීහු එක්ව සිටියහ.

 


සූරිය මල විකසිත වන්නට පටන් ගති. මෙම සූරිය මල් ව්‍යාපාරය බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව පැන නැගුණු පළමුවැනි සමස්ත මහජනතා විරෝධයේ දෝංකාරයයි. 


පළමුවැනි ලෝක මහා සංග්‍රාමයෙන් ජීවිතක්‍ෂයට පත්වූවන් වෙනුවෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදින් පොපි මල් ව්‍යාපාරය ආරම්බ කරනු ලැබුයේ එක් අතකින් අධිරාජ්‍ය විරෝධී හැඟීම් මතුවෙමින් තිබෙද්දී එය සලකනු සඳහා මෙරට ජනතාවගේ සහයෝගය ලබාගනු අටියෙනි. අනික් අතින් එමගින් අධිරාජ්‍ය ගැති මෙරට ජනතාවගේ මුදල් සූරාකෑමට ය. 


ඒලියන් ඒ. පෙරේරා තරුණ සංගම් ව්‍යාපාරයේ නායකත්වය දැරීය. ඔහු ටෙරන්ස් එන්. ද සිල්වාගේ සහාය ලැබ පොපි මලට එරෙහිව සූරිය මල ඉස්මතු කරමින් සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කෙරිණි. ලංකා සේවා මුක්ත භටයන්ගේ සුබසාධනය උදෙසාත්, කුලහීන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසාත් මෙමඟින් ලැබෙන මහජනාධාර උපයෝගී කරගන්නා බව ඔවුහු ජනතාව හමුවේ ප්‍රකාශ කළහ. 


“අප රටේ මාක්ස්වාදී, සමාජවාදී ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුයේ මෙම සූරිය මල් ව්‍යාපාරය තුළිනි. ටෙරන්ස් එන්. ද සිල්වා එදා සූරිය මල් ව්‍යාපාරය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ එක් කොටසක මෙසේ සඳහන් වේ. සූරිය මලක් පලඳින්නා අධිරාජ්‍යයටත්, යුද්ධයටත් විරුද්ධත්වය දක්වන්නකු පමණක් නොව නිරාහාරව, දුකින් නග්නව, නූගත්කමින් හා රෝග භීතියෙන් පෙළෙමින් සිටින ලාංකික අසරණ සහෝදර සහෝදරියන්ට අනුකම්පා කරන්නෙක්ද වන්නේය. නිදහසත් ආත්ම ගෞරවයත් අපේක්ෂා කරන ඔබ විසින් නොවැම්බර් 11 වැනිදා සූරිය මලක් පලඳින්නට අමතක නොකරන්න” 


සූරිය මල් ව්‍යාපාරය තුළින් මෙතෙක් කලක් නොතිබූ අන්දමේ පොදුජන එකමුතුවක් ඇතිවන ආකාරය දුටු අධිරාජ්‍යවාදී පාලකයෝ නිසැකවම මෙය ඉදිරි අනාගතයේදී තමන්ට එරෙහිව වන පුළුල් බලවේගයක් වනු ඇතැයි අවබෝධ කරගත්හ. කිසිදු ක්‍රිස්තියානි පාසලකට සූරිය මල් විකිණීමට එන පිරිසට ඉඩ නොදුනි. සූරිය මල් පැළඳගෙන බි්‍රතාන්‍ය වෙළෙඳ සමාගම්වලට ඇතුළුවීමට සේවකයන්ට තහනම් විය. ඉහළ පැලැන්තියේ සිංහලයෝ පොපි මල් පැලඳගෙන උජාරුවෙන් ගමන් ගත්හ. මෙය අලුත් දේශපාලන ගමනක මූලාරම්භයක් විය. 


එහෙත් මෙම ව්‍යාපාරයේ පුරෝගාමීන් වූ සේවා මුක්ත භට කණ්ඩායම 1932 අවසානය වන විට උදාසීනව තමන්ගේ කටයුතු අත්හැර දමන්නට තීරණය කළෙන් දකුණු කොළඹ තරුණ සංගමය සූරිය මල් ව්‍යාපාරය සියතට ගෙන ඒ සඳහා අභිනව ක්‍රියාකාරී කමිටුවක්ද පත්කර ගති. මොරවක රාජ්‍ය මන්ත්‍රී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ බිරිඳ වූ ආනන්ද බාලිකා විදුහල්පතිනි ඩොරින් වික්‍රමසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම නව ක්‍රියාකාරි කමිටුවට විල්මට් ඒ. පෙරේරා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, රොබින් රත්නම්, සුසන් ද සිල්වා, ජෝර්ජ් කල්දේරා, රෝයි ද මැල්, හැරල්ඞ් පීරිස්, ආතර් වීරසේකර ආදීහු එක්ව සිටියහ. 


යුද්ධය හා වහල්භාවයට විරුද්ධව නිදහස හා සාමදානය මොවුන්ගේ සටන් පාඨය විය. අධිරාජ්‍යවාදීන් මෙරටින් පිටමං කිරීමේ පළමු වෙඩි මුරය මුළු රටම ගිගුම් දෙන්නක් බවට පත්වූයේ සූරිය මල් ව්‍යාපාරයත් සමඟිනි.