එංගලන්තයේ මහාරාජාණන් හා රාජප්‍රතිනිධි වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තුමාද, උඩරට මහජනතාව වෙනුවෙන් මොල්ලිගොඩ (ප්‍රථම අදිකාරම් හා සත් කෝරළේ දිසාව), පිළිමතලව්වේ (දෙවැනි අදිකාරම හා සබරගමුවේ දිසාව), මොණරවිල කැප්පෙටිපොල (ඌව දිසාව) රත්වත්තේ (මාතලේ දිසාව) මොල්ලිගොඩ (තුන් කෝරලේ දිසාව) දුල්ලෑව (වලපනේ දිසාව), මිල්ලෑව (බින්තැන්නේ දිසාව) සහ ගලගම (තමන්කඩුව දිසාව) යන අය අත්සන් කළහ. 


ඇහැළේපොළ මාර්තු 03 වැනිදා සිට අසනීපයෙන් පසු වු බවත්, සුවය ලැබුවේ මාර්තු 11 වැනිදා බවත් ඩොයිලි තම දින පොතේ සඳහන් කරයි. මේ අතර බ්‍රවුන්රිග් ආණ්ඩුකරු මාර්තු 11 වැනිදා අසනීප වූ බව සඳහන් කරන ඩොයිලි සිංහල පාර්ශ්වයේ ප්‍රධාන තිදෙනෙකු වූ ඇහළේපොළ ගලගොඩ (නුවර කලාවියේ දිසාව) පිළිමතලාවේ (හතර කෝරළේ දිසාව) යළි හමු වූයේ මාර්තු මස 18 වැනිදා බවද සඳහන් කරයි. ඇහැළේපොළ උඩරට ගිවිසුමට අත්සන් කළේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා පෞද්ගලිකව මුණ ගැසුණු අවස්ථාවේදීය. ගලගොඩ පිළිමතලව්වේ ද මෙදිනම ගිවසුමට අත්සන් තැබු බව ඩොයිලිගේ දිනපොත සාක්ෂී දරයි. එකි අත්සන් සහතික කරමින් ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි හා ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් ජේම්ස් සදර්ලන්ඞ් අත්සන් තැබුහ. 


කෙසේ වුවද බි්‍රතාන්‍යයන් විසින් උඩරට ගිවිසුමේ කොන්දේසිවල ගරු නොකළ අතර ගිවිසුම අත්සන් කර උඩරට ප්‍රධානීන් රවටන ලදි. ගිවිසුමේ කොන්දේසි සදාතනිකව නොකඩවා පවත්වාගෙන යා යුතුය යන අදහස උඩරැටියන් තුළ ඇති වුවත් බි්‍රතාන්‍යයෝ එසේ නොසිතූහ. බි්‍රතාන්‍යයන් ඒක පාර්ශ්විකව ක්‍රියා කරමින් ගිවිසුමේ කොන්දේසි ඉක්මවා ගිය සෑම අවස්ථාවකම උඩරට ජනතාව විරෝධය ප්‍රකාශ කරමින් ගිවිසුමේ අයිතිවාසිකම් රකින ලෙස කොතෙකුත් ඉල්ලීම් කළහ. ඉවසීම ඉක්ම වූ තැන ඔවුන් අවි බලය, සංවිධානය හා නායකත්වය අතින් කෙතරම් පිරිහී ගොස් සිටියේ වුවද ඔව්හූ කැරලි ගැසීමට නැතිනම් එවැනි දෙයට තුඩු දිය හැකි රහස් කුමන්ත්‍රණාදිය කිරීමට ද පෙළඹුණහ. 


විශේෂයෙන් කන්ද උඩරැටියන් විසින් උඩරට ගිවිසුම සංශෝධනය කළ නොහැකි අවසානාත්මක ලේඛනයක් ලෙස පිළිගත්ත ද බි්‍රතාන්‍යයන්ට උඩරට ගිවිසුම සාමාන්‍ය වෙළෙඳ ගිවිසුමක් පමණක්ම විය. ඔවුන් කැමති ආකාරයට එහි සඳහන් වගන්ති සංශෝධනය කෙරුණු අතර බුදු සසුන රැක ගැනීමට සහ සිංහල නීතිය පවත්වාගෙන යාමට ඔවුන් දුන් පොරොන්දු සියල්ලක්ම කන්ද උඩරට රාජ්‍යයේ බලය අල්ලා ගැනීම සඳහා යොදන ලද උපක්‍රම බව පැහැදිලි වීමත් සමග 1818 කන්ද උඩරට කැරැල්ලට මූලික අඩිතාලම වැටුණි. එමෙන්ම ඉන් පසු 1834 දී ඇති වූ බව කියැවෙන රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ හා 1848 කැරැල්ල ද උඩරට ගිවිසුමෙන් සිංහලයන් බලාපොරොත්තු වූද, සැබවින්ම ඉංග්‍රීසින් පෙරොන්දු වූද අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි කර දැමීමට විරුද්ධව පැන නැගී ජනතා විරෝධතා පෙළපාළි හැටියට දැක් විය හැකිය.

එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි