ජලය මිනිසාගේ ජීවය යයි කියනු ලැබේ. ආහාර නොමැතිව දින ගණනක් ජීවත්වීමට ප්‍රාණියෙකුට හැකියාව තිබුණත් පිපාසයට ජලය නොමැතිව ගත කළ හැක්කේ කෙටි කාලයක් පමණි. එමෙන්ම ප්‍රධාන ආහාරය වශයෙන් බත් පරිභෝජනය කරන ශ්‍රී ලංකාව වැනි රටකට බතට අවශ්‍ය වී වගා කර ගැනීමටද ජලය අත්‍යවශ්‍ය සාධකයකි. දෛනික ජන ජීවිතයේ තවත් බොහෝ කටයුතු සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. එනිසා මෙරට ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ සිටම මිනිසුන් ජලය රැස්කර තබා ගැනීම පිණිස උනන්දුවක් දැක්වීම අතිශය ස්වභාවික සංසිද්ධියක් විය.


මානව ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙය ලෙස සලකන මෙසපොටේමියාවේ මිනිසුන් මුල්ම ජනාවාස පිහිටුවාගෙන තිබුණේ සුප්‍රටීස්, ටයිග්‍රීස් ගංගාවන් දෙක අතර මිටියාවතේ බව නොරහසකි. එමෙන්ම ඊජිප්තුවේ නයිල් නදිය, චීනයේ හොවැන් හෝ ගංගාව පමණක් නොව ඉන්දියාවේ ගංගා නම් ගඟ සහ ඉන්දු ගඟ ද ඒ ඒ කලාපවල මානව ශිෂ්ටාචාරය දියුණු කිරීමට එම මිටියාවත්වල පදිංචි වූ පැරණි පුරෝගාමින් කටයුතු කළ ආකාරය ඒ ඒ රටවල වංශ කතාවන්හි මනාව දක්වා තිබේ. 


ලංකාවට ආර්ය සංක්‍රමණය සිදුවූවේ ඉන්දියාවේ සිට බව අපි දැන සිටිමු. ඔවුන් මෙරටට පැමිණියේ කාලාන්තරයක් පුරා දැන සිටි සම්ප්‍රදායික කෘෂිකර්ම ක්‍රමවේද සහ ගොවිතැන් ක්‍ෂේත්‍රයට අදාළ බොහෝ කරුණු කාරණා පිළිබඳ දැනුමකින් යුතුව බව නිසැකය. ලංකාවේ මුල්ම මිනිස් ජනාවාස ඇති වූයේ ගංගාධාරයන්හි බවටද ඉතිහාසය දෙස් දෙයි. අනුරාධපුරයේ මල්වතු ඔය (කාදම්බ නදිය) අසබඩ පදිංචි වූ මුල්ම පදිංචි කරුවෝ අනුරාධගම උරුවේලගම සහ උපතිස්සගම ඇති කළ බව කියැවේ. මෙම ප්‍රදේශ මුළුමනින්ම පිහිටියේ වියළි කලාපයේ බැවින් වර්ෂා කාලයේදී ලැබෙන ජලය නියඟ කාලයටද ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව ඔවුහු නොපමාව වටහා ගත්හ. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ ආරම්භය සිදුවන්නේ ඒ ආකාරයෙනි. 
අනුරාධපුර ප්‍රදේශයේ පිහිටා ඇති මල්වතු ඔයේ දකුණු ඉවුරේ වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලදැයි විශ්වාස කරන නුවර වැව, දේවානම්පියතිස්ස රජතුමාගේ නිර්මාණයක් වූ තිසාවැව, පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද වර්තමානයේ බසවක්කුලම නමින් හැඳින්වෙන එහෙත් පෙර කල අභය වැව නම්වූ ජලාශය අපේ වාරි කර්මාන්තයේ මුල් යුගය සිහිපත් කරයි. අතීතයේ පැවති ගෝණ නදිය හරස් කර ධාතුසේන රජතුමා කරවූ කලාවැව (කාලවාපි) අක්කර 6380 ක් බව කියැවේ. 


අනුරාධපුරයෙන් පිටත වූ තවත් වියළි කලාපීය ප්‍රදේශයක් වූ පොළොන්නරුවේ වැව් තැනීමටද පැරණි රජවරු උනන්දු වූහ. ඒ අනුව මහසෙන් රජතුමා ඉදිකළ අඹන් ගඟ (කාර ගංගාව) හරස් කර තැනූ මින්නේරි වැව අක්කර 4669 ක් විශාලය. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මහ සමුදුරට ගලායාමට ඉඩ නොදෙව්! යනුවෙන් නියෝග කරමින් සිරිලක් බිම පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ මහා පරාක්‍රමබාහු රජු තැනවූ පරාක්‍රම සමුද්‍රය රජරට පෙදෙසේ තිබෙන විශාලතම වැව ලෙස සැලකේ. එහි විශාලත්වය අක්කර 5350 කි. 


මේ අයුරින් උතුරු පළාතේ කිලිනොච්චියේ දකුණු සීමාවට සහ මුලතිව් දිස්ත්‍රික්කයේ උතුරු සීමාවද අතර පිහිටා තිබෙන ඉරණමඩු වැව වසභ රජුගේ නිර්මාණයක් බව කියවේ. එමෙන්ම ආකන්තිමුරිප්පු වැවද කල්ආරු ඔයට එක්වන ඉරට්ටපෙරියකුලම් ඔය හරහා වේල්ලක් බැඳ තනා ඇති ඉරට්ටපෙරියකුලම වැව, මල්වතු ඔයේ පහළ කොටසේදී එම ඔය හරස්කර තනා ඇති මන්නාරමේ යෝධ වැව ධාතුසේන රජුගේ නිර්මාණයක් බව කියවේ. 


නැගෙනහිර පළාතේ අම්පාර දිසාවේ පොතුවිල් ආසන්නයේ ඉරක්කමාම් වැව, මඩකළපුවේ උන්නිච්චායි වැව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ වැව, දෙවැනි අග්බෝ රජු තැනවූ කොණ්ඩවට්ටුවාන් වැව (සද්ධාතිස්ස කුමරුන් කරවූ ත්‍රිකුණාමලයේ අල්ලෙයි වැව ආදිය එම පළාතට සම්පතක් වූ බව අපි දනිමු) 


මෙසේ සිව් දිගෙහිම ලොකු කුඩා දෙදහස් පන්සියයක් පමණ වූ වැව් නිසා මෙරට ජනයාගේ සියලු ජල අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි විය. කාලයාගේ ඇවෑමෙන් වැව් බැඳි රාජ්‍යය දුෂ්කර ප්‍රදේශයක් බවට පත්ව වනගහනයෙන් වැසී යද්දි රටේ නිරිත දිග ප්‍රදේශ ජනාකීර්ණ වෙමින් තිබුණි. බටහිර දිග තෙත් කලාපය ජනප්‍රියවීමට ලංකාව යුරෝපීය ආක්‍රමණවලට ලක්වීමද එක් හේතුවක් විය. බි්‍රතාන්‍ය යන්ගේ පාලනය යටතේ ඔවුන්ගේ වෙනත් යටත් විජිතවලින් ගෙනෙන ලද සහල්වලට වහවැටී නැවෙන් කටට සංකල්පයට ඇබ්බැහි වූ ලාංකිකයෝ ක්‍රමයෙන් ගොවිතැනින් ඉවත් වූහ. මෙරට කෘෂිකර්ම ඇමති ධුරයට පත් ප්‍රථමයා වූ ඩී. ඇස්. සේනානායක මහතා දුර දක්නා නුවණින් යුතුව කැඩී බිඳී විනාශයට ගොස් තිබුණු මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය වැනි විශාල වැව් යළි ප්‍රතිසංස්කරණය කරවා ජන ශූන්‍යව පැවති වනාන්තර යළි එළි පෙහෙළිකරවා ගොවි ජනපද ඇති කිරීම සිදු කරන ලදි. නිදහසෙන් පසුව එම රජය ගල්ඔය සංවර්ධන මණ්ඩලය ඇති කර එම ප්‍රදේශවල බහුකාර්ය යෝජනා ක්‍රමයක් දියත් කර තිබුණි. 


තවදුරටත් ජලාශ තැනීමට හරස් කිරීමට ගංගාවක් නොමැති පමණට වැව් නිර්මාණය වී තිබුණත් උතුරු දිග තැනිතලාවම දැඩි ජලහිඟයකින් පෙළෙන බව රහසක් නොවීය. මැලේරියාව වැනි රෝග පීඩාදියෙන් බැට කන මෙම පෙදෙස්වල ජනතාව නියඟ කාලයේදී බීමට දිය පොදක් පිරිසිදුව ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන බව වගකිව යුත්තන්ගේ අවධානයට යොමු විය. මෙයට පිළියමක් වශයෙන් මහවැලි ගඟ හරස් කර එම ජලය ජලහිඟයෙන් පීඩා විඳින රජ රට වැසියන්ට ලබා දීමට කටයුතු සිදු කෙරුණි. 1965 බලයට පත් ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ රජය මගින් මූලික කටයුතු ක්‍රියාත්මක කළ අතර මෑත කාලීනව මෙරට ඇති කළ ප්‍රධානම සංවර්ධන ව්‍යාපාරයද විය. 1965 සිට 1968 දක්වා මෙරට රජය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ කෘෂිකර්ම සහ ආහාර සංවිධානයද සමග එක්ව සිදු කළ සමීක්ෂණ අනුව මහවැලි මහ සැලැස්ම පිළියෙල කළේ අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසාය. ජලාශ පහළොවකින් සහ විදුලි බලාගාර එකොළහකින් සමන්විත මෙම සුවිශාල ව්‍යාපෘතිය වසර තිහකින් තනා නිමකිරීමට අපේක්ෂා කෙරුණි. මෙය අදියර තුනක් යටතේ සිදුවන අතර පළමු අදියරට පොල්ගොල්ල හැරවුම, උකුවෙල බලාගාරය, මිනිපේ, වික්ටෝරියා හැරවුම සහ මොරගහකන්ද ව්‍යාපාරය ඇතුළත් විය. මෙම පළමු අදියරේ වේල්ලක් ඉදිකිරීම යුගොස්ලෝවියාවේ ඉන්ග්‍රා සමාගම වෙත භාර දෙන ලදී. ඒ අනුව 1970 පෙබරවාරි මස 28 වැනි දින පොල්ගොල්ල වේල්ල තැනීමේ කටයුතු ඩඞ්ලි සේනානායක මහතා අතින් ආරම්භ වූවේය. ඒ සමගම උකුවෙල මෙගාවොට් 38 ක ජල විදුලි බලාගාරය සහ සැතපුම් 5 1/2 ක උමග හැරීමේ කටයුතු ද ආරම්භ විය. මෙම කටයුතු කඩිනමින් සිදුවෙමින් තිබියදී 1970 මැයි මස පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වී සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීම නිසා මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට මෙහෙයවීමේ වගකීම් අදාළ අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා භාරයට පත්විය. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කටයුතු වේගයෙන් ඉදිරියට සිදු කෙරුණු නිසා 1977 ජනවාරි අටවැනිදා පොල්ගොල්ල හැරවුමෙන් ජලය නිකුත් කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අතින් සිදුවිය. එය මහවැලි දියවර ජනතාව උදෙසා නිකුත් කිරීම සිදුවූ ප්‍රථම අවස්ථාව විය. 


එක් දහස් නවසිය හැත්තෑ හතේ මහ මැතිවරණ සමයේදී එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා තම පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙන් දුන් පොරොන්දුවක් වූයේ තමා බලයට පත්වුවහොත් තිස් වසරකින් නිම කිරීමට නියමිත මහවැලි මහ සැලැස්මේ කටයුතු පස් වසරකින් නිමා කර රටට සංවර්ධනය අත්කර දෙන බවයි. මැතිවරණය ජය ගත් ජයවර්ධන මහතා තම පොරොන්දුව ඉටු කිරීමේ වගකීම තරුණ ඇමතිවරයෙකු වූ ගාමිණී දිසානායකයන්ට පැවරීය. ඔහුගේ වගකීම යටතේ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ මාදුරුඔය යන පංචමහා ජලාශවල කටයුතු නිමවිය. කුමන හෝ හේතුවක් නිසා මොරගහකන්ද ජලාශයේ කටයුතු පසුපසට ගියේය. 


එහෙත් පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පසුපසට ගොස් තිබූ මොරගහ කන්ද ජලාශය තැනීමේ ව්‍යාපෘතියට පණ දී එය වහාම ක්‍රියාත්මක කිරීමේ වැඩ කටයුතු ඇරඹීමට එතුමා කටයුතු කළේය. මොරගහකන්ද ජලාශයට ජලය සැපයෙන ජල මූලාශ්‍රය වනුයේ අඹන් ගඟයි. අතීතයේ රජ දරුවන්ගේ සමයේදී රජ රට වැව් පිරවූ අඹන්ගගේ ජලය පිළිබඳ කතා පුවත සිය වස් ගණනාවක් ඈත අතීතය දක්වා විහිද යයි. 


අනුරාධපුරයේ රජ කළ වසභ රජු අඹන් ගඟ හරහා ඇලහැර අමුණ ඉදිකර එය හරස් කර වගා කටයුතු සඳහා දියවර ලබාගත් බව වංශ කථාවේ සඳහන් වෙයි. එයින් කලකට පසු මහසෙන් රජු මින්නේරි වැවට ජලය ලබා ගැනීම සඳහා අඹන් ගඟ උපයෝගී කර ගත් බවද කියනු ලැබේ. මේ සා ඓතිහාසික වටිනාකම් ඇති අඹන් ගඟේ රන් දිය එක් රැස්කොට රජ රට කෙත්වතු සරු සාර කිරීම් මගින් එම පෙදෙස් වැසි ජනතාව බතින් බුලතින් ස්වයංපෝෂිත කිරීම මහවැලි මහ සැලැස්මේ අදාළ ව්‍යාපෘතියේ පරමාර්ථය විය. 


පසුගිය හත්වැනිදා මොරගහකන්ද සහ කළු ගඟ යන ජලාශ දෙකේ මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති තුමා අතින් සිදුවිය. මෙම සිද්ධියේ වඩාත්ම සිත්ගන්නාසුලු සිදුවීම් වන්නේ දැනට නිමවා ජනසෙත සඳහා ජලයද මුදාහැරෙන මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘති ආචාර්ය ඒ. ඇන්. ඇස්. කුලසිංහ මහතාට උපහාර පිණිස එතුමාගේ නමින් නම් කිරීමය. එසේ විම ජනාධිපති තුමාගේ සුවිශේෂී අධිෂ්ඨානය වූවේය. බොහෝ විට සිදුවන්නාක් මෙන් තමාගේ නම යෝජනාවන්නටද ඇත. එහෙත් එතුමා නිහතමානීව ලංකාවේ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතමයා සහ විශ්වකර්මයා ලෙස සැලකෙන ඒ. ඇන්. ඇස්. කුලසිංහ මහතා වෙනුවෙන් නම් කිරීමට කටයුතු කිරීම අතිශයින්ම සාධනීය කෘතවේදී පියවරක් වනු නිසැකය. 


ජනාධිපතිවරයා අතින් මේ සා ගෞරවයකට පාත්‍ර වූ ඒ. ඇන්. ඇස්. කුලසිංහ විශ්වකර්මයා කව්රුදැයි මඳක් විමසා බැලීම කාලෝචිතය. ළාබාල අවධියේ සිටම ඔහු ඉගෙනීමේ සහ නිර්මාණශීලීත්වයේ සංකේතයක් බඳුවූවේය. “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කීවාක් මෙන් සුළං පෙත්තකින් බලය ලබන සෙල්ලම් දුම්රියක් ඔහු තැනුවේ වයස අවුරුදු හතේදීය. මෙවැනි සහජ කුසලතාවක් දැක් වූ ඔහු අලවතුපිටිය රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන පසුව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඉංජිනේරු උපාධි කීපයක්ම ලබා ගත්තේය. නෝර්ටන් බි්‍රජ්හි විදුලි යෝජනා ක්‍රමයේ සහායක ඉංජිනේරුවරයා වශයෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ඔහු කොළඹ වරාය සහකාර ඉංජිනේරුවකු ලෙස පත්වීම් ලැබීය. ඒ අවධියේදී ඔහු වරායේ මඩ හාරන යන්ත්‍රය වූ ඩෙප්රය නිර්මාණය කළේය. කොළඹ වරායට එන ඈත සිටින නැවක සිටින්නන්ට මුලින්ම දක්නට ලැබුණේ අන්‍යාගමික සිද්ධස්ථානයක් බව ප්‍රකට කරුණකි. වරාය බෞද්ධ බල මණ්ඩලය මේ ගැන අවධානය යොමු කර තිබුණි. මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් කුලුනු වැනි ආරුක්කු මත චෛත්‍යයක් ඉදිකිරීම් සංකල්පය ඉදිරිපත් කළේත් එය සැලසුම් කළේත් යථාර්ථයක් බවට පත් කළේත් කුලසිංහ මහතාය. එය විස්මිත නිර්මාණයක් වූවේය.

 


එවකට සෝවියට් දේශය යනුවෙන් හැඳින්වූ රුසියානු රාජ්‍යයෙන් රාජ්‍ය වානේ සංස්ථාව ලංකාවට ලැබුණේ ත්‍යාගයක් වශයෙනි. මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණේ ඉංජිනේරු සංස්ථාව මගිනි. එය අධීක්ෂණය කිරීමට රුසියානු ඉංජිනේරුවෝ රැසක් මෙහි පැමිණ සිටියහ. මේ කියන සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන ඉංජිනේරු ධුරය දැරුවේ කුලසිංහ මහතාය. වානේ සංස්ථාවේ ප්‍රධාන ගොඩනැගිල්ල තැනීමේදී ලොකු කණු පේළි දෙකක් ඉදි කළ යුතුව තිබුණි. මේ එක් කණුවක බර ටොන් දහඅටක් යැයි සඳහන් වේ. ඒවා සවි කිරීමට පෙර තවත් යාර දෙසීයක් පමණ දුරක් ගෙන ඒමට ද තිබුණි. කුලසිංහ මහතා මෙම කාර්ය සඳහා සැලැස්මක් සකස් කළේය. ඒ ගැන සැලකිලිමත් නොවූ සෝවියට් ඉංජිනේරුවෝ තමන්ගේම ක්‍රමවේදයකට අනුව එම කුලුනු එසවීමට උත්සාහ කළෝය. එහි ප්‍රතිඵලය වුයේ දොඹකරය ද කැඩී යාමය. එහෙත් කුලසිංහ මහතා සෝවියට් ඉංජිනේරුවන්ගේ විරෝධතාවද නොතකා තම ක්‍රමවේදයට අනුව කණු නියමිත ස්ථානයට ගෙනවුත් ඔසවා තැබුවේය. රුසියානුවෝ මවිතයට පත් වූහ. 


සම්ප්‍රදායිකව දුම්රිය මාර්ග තැනීමේදී භාවිතයට ගනිමින් තිබුණේ දැව වලින් තැනු සිල්පර කොටන්ය. එයින් පරිසරයට සිදු වන හානිය සහ තවත් කරුණු ද සලකා බැලූ කුලසිංහ මහතා කොන්ක්‍රීට් සිල්පර ක්‍රමය හඳුන්වා දුන්නේය. 


රටට ජාතියට බොහෝ සේවයක් ලබා ගත හැකි විවිධ ක්ෂේත්‍ර වල ප්‍රමාණික විද්වත්හු රාශියක් විවිධ හේතු මත රට හැර ගියහ. බොහෝ විට දේශපාලන බලපෑම් නිසා එවැනි දේ සිදු විය. කුලසිංහ මහතාට ද එවැනි හේතු නිසා විදේශගතවීමට සිදුවිය. ඒ කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිකිරීම් උපදේශකවරයෙකු ලෙස ඔහු කටයුතු කළේය. 


වරක් මම එතුමා මුණගැසුනෙමි. වර්තමාන විදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස එකල මම කටයුතු කරමින් සිටියෙමි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමාජ සත්කාර වැඩ සඳහා මම වසන්ත සේනානායක මැතිතුමාට සහාය දුනිමි. එකල එතුමා මන්ත්‍රීවරයෙකු නොවීය. මා කුලසිංහ මහතා හමුවූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති ගම් කීපයකට ජීව වායු විදුලි ඒකක කීපයක් ලබාදීම සඳහා මිල දී ගැනීමටය. ජා-ඇල බටගම පිහිටි කුලසිංහ මහතාගේ නිවසේදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාවක යෙදීමට මට අවස්ථාව ලැබුණි. එහිදී කුලසිංහ මහතා ඉතා රසවත් කථාවක් මා සමග කීවේය. හැත්තෑව සමගි පෙරමුණ රජය පවතිද්දී අඩු වියදම් නිවාස යෝජනා ක්‍රමයක් ඇති කිරීමට එවකට ඇමති පීටර් කෙනමන් මහතාට අවශ්‍ය විය. එම යුගයේ කොන්ක්‍රීට් තාක්ෂණයෙන් විශ්ව කර්ම වැඩ කිරීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව තිබුණේ මැලේසියාවය. 


මැලේසියාවේ කෙරෙන්නාක් මෙන් කොන්ක්‍රීට්වලින් තැනූ අඩු මිල නිවාස තැනීමේ ක්‍රමවේදය පිළිබඳව ලංකාවේ සහ මැලේසියාවේ නිවාස ඇමතිවරු සාකච්ඡාවක් ආරම්භ කළහ. මෙම කාරණය ගැන පීටර් කෙනමන් ඇමතිවරයා මතක් කළ වහාම මැලේසියානු ඇමතිවරයාගේ මුවට සිනාවක් නැගුනි. ඔහු ප්‍රකාශ කළේ මේ තාක්ෂණය අපට ඉගැන්වූයේත් ඔබේ රටේ කෙනෙක්. එයා දැන් සිටින්නේ අපේ රටේ. එවැනි අයගෙන් මව්බිමට සේවයක් නොගන්නා එක කනගාටුවක්. එයා තමයි කුලසිංහ මහත්මයා. මෙම කතාව කියූ යෝධ වැඩ කළ කුඩා සිරුරැති විශ්වකර්ම මිනිසා මා දෙස බලා නිහතමානි ලෙස සිනාසුණේය. මෙසේ වෙන්නේ කාගේ කරුමය නිසා දැයි මට සිතුණි. 


පසු කලෙක මෙරටට පැමිණි කුලසිංහ මහතා කළුතර බෝධිය ඉදිරිපිට ඇති චෛත්‍ය රාජයා කොළඹ විශ්වවිද්‍යාලය අසල ඉදි කර ඇති ග්‍රහලෝකාගාරය වැනි නව සංකල්ප මත කළ දැවැන්ත නිර්මාණ බිහි කළේය. එමෙන්ම මහවැලි මහ සැලැස්මට ඇතුළත් පොල්ගොල්ල අමුණ, එම උමඟ තැනීමට උපදෙස් දුන්නේ මහා ඉංජිනේරු ඒ. ඇන්. ඇස්. කුලසිංහ මහතාය. එතුමා වික්ටෝරියා, කොත්මලේ, මාදුරු ඔය, රන්දෙනිගල සහ රන්ටැඹේ යන සියලුම ජලාශ ඉදිකිරීම් අධීක්ෂණය කළේය. 


මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය ආදී රටවල දියුණුව උදෙසා මහඟු මෙහෙවරක් සිදු කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත් විය. මොරගහකන්ද ජලාශය ඒ. ඇන්. ඇස්. කුලසිංහ මහතා නමින් නම් කිරීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇත්තේ එම විද්වතාණන්ගේ කීර්තිනාමය සදානුස්මරණීය කිරීම බව ප්‍රශංසාත්මකව සඳහන් කරනු රිසියෙමි. 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ