පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි ගෙනගිය මෙරට මුළු මහත් ජනතාවම දරිද්‍රතාවයෙන් මුදවාලීමට මෙන්ම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව එක් ලාංකික ජනතාවක් කිරීමට ඇප කැපවූ කාර්යභාරයෙහි ලා වනිතාවන් හැටියට කුසුමා ගුණවර්ධන, විවියන් ගුණවර්ධන මෙන්ම සෙලීනා පීරිස්ද එක්ව සිටියහ. අනුග්‍රාහකයෝ දිවි හිමියෙන් මෙම ජාතික පුනර්ජීවය උදෙසා ඇප කැප වූවෝ වූහ.
ලෙස්ලි, බර්නාඞ් මෙන්ම හෙක්ටර් අබේවර්ධන ද ක්‍රියාශීලීව මෙම කාර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කළ පුද්ගලයින් නොවූවද ඔවුන් මුළු මහත් දේශයම අධිරාජ්‍ය ගැති පාලන රටාවෙන් මුදාලීම අරමුණු කොටගෙන සමසමාජයේ බුද්ධි මෙහෙවර අකුරටම ඉටුකළ පුද්ගලයන් අතරින් කැපී පෙනෙන්නවුන් බවට පත්ව තිබිණ.
සමසමාජයේ පුරාවෘත්තය ඉදිරිපත් කිරීමේදී ලෙස්ලි විවියන් ගෙන ගිය සටන්කාමී වැඩපිළිවෙළ අපි තවදුරටත් විමසා බලමු.
කුළුඳුල් දරුවා තම දෙඇසට නොදැක හය මාසයක් මුළුල්ලේ ලෙස්ලි ගත කළේ දැඩි මානසික පීඩාවකිනි. එහෙත් තම දරුවාට වඩා ඔහුගේ සිත කය යෙදවුණේ අසරණව දුක් විඳින පීඩිත ප්‍රජාව වෙනුවෙනි.
තම මුඛ්‍ය පරමාර්ථය ඉටුකර ගන්නට සමත් නිර්භීත ගැහැනියක තම බිරිඳ වීම ඔහු ලැබූ ආශිර්වාදයක් විය. එකී ධෛර්යය ශක්තිය විසින් තමනට පැවරුණු කාර්යභාරය ඔහු ඉටුකළේ ජීවිත පරිත්‍යාගයෙනි.
බිරිඳ, කුළුදුල් දරුවා නොදැක හමසක් මුළුල්ලේ වෙස් වළාගෙන සිටි ලෙස්ලි ගුණවර්ධන මේ වන විට සැඟව සිටියේ නැදිමාලේ නිවෙසකය. ඔහු එතැන සිටින බව දැන සිටියේ තම අතිශය හිතවන්ත හතරපස් දෙනකු පමණි.
මේ වන විට රහස් පොලීසියේ ප්‍රධානියාව සිටි එල්. පී. ගුණරත්න තමන් සැඟවී සිටින නිවස ඉදිරිපිට සෝදිසියෙන් සිටින අයුරු ලෙස්ලි දැක ගත්තේය. අසලට පැමිණියේ ඉදිරිපිට පදිංචි ගෙවල් හිමිකරුවාය.
“අපි මේ මහත්තයා එනකම් බලාගෙන හිටියෙ. ඇයි මේ හදිස්සියේ?”
“මම ඊයේ පණිවිඩයක් එව්වා. ඒක තමුන්ට ලැබුණද? මම රහස් පොලිස් ලොක්කා”
“ඉතින් මහත්තයො මොකක්ද මගෙන් කෙරෙන්න තියෙන්නෙ?”
“ඉඩම කොච්චරද?”
“අලුත් ගේත් එක්ක මගේ අන්තිම ගණන රුපියල් එක්දහස් පන්සීයයි. අක්කර කාලක් විතර එහෙම පිටින් තියෙනවා.”
“මම මේ තමුන්නැහෙට හෙට්ටු කරන්න ආවා නෙවෙයි. රුපියල් දාහකට දෙනවාද?”
“දෙයියෝ බුදුන් කීවත් මම එහෙම කරන්නේ නෑ මහත්තයෝ. මම දකුණෙන් ආපු මිනිහෙක්. අක්කර හතක් රුපියල් හයසියකට විකුණල ඇවිත් මේ ගෙදර දොර අරගත්තෙ.”
“මම පොලිස්පති කෙනෙක්”
“කමක් නැහැ මහත්තයො මම එක වචනයක් තියෙන මිනිහෙක්. මේ ගේ ඉඩම විකුණන්නෙ නෑ ඔබතුමාට”
ලෙස්ලිගේ පපු සිදුරට ආශ්වාස කළ වා රැල්ල පිටත් වූයේ ඒ කතාබහින් අනතුරුවය. රහස් පොලිස් ලොක්කා පිටත්ව ගියේය. මේ වන විට වතුකරයේ හැමතැනකම වාගේ වැඩ වර්ජන රැල්ල ඉස්මතු වන්නට විය. සම සමාජ නායකයන්ට මෙය මහතා අපල කාලයකි. ලෝක යුද්ධයක් ඇරඹී තිබුණු හෙයින් තත්ත්වය වඩාත් බියකරු විය. විලී ජයතිලක, ජැක් කොතලාවල සහ රොබට් ගුණවර්ධන යන ඉතිරි අයවලුන්ද වැලිකඩ බන්ධනාගාර ගත කොට තිබිණ.
පිලිප්, ඇන්. ඇම්., කොල්වින් සහ එඞ්මන්ඞ් මහනුවර බෝගම්බර සිරගෙදර රඳවා සිටියහ. යුද්ධය පිළිබඳ රටට තොරතුරු අනාවරණය කරන්නටත් පත්‍රිකා බෙදාහරින්නටත් රහස් සංවිධාන පසුබට වූයේ නැත.
ජර්මනිය රුසියාවට පහරදීමත් සමඟම යුද්ධය මහජන යුද්ධයක් යැයි සම සමාජයේම සිටි එස්. ඒ. වික්‍රමසිංහ, ඩබ්ලිව්. ආරියරත්න, ඇම්. ජී. මෙන්ඩිස් ඇතුළු පිරිස කියා සිටියහ. එහෙත් මෙය අධිරාජ්‍ය යුද්ධයකැයි සම සමාජ පාක්ෂිකයෝ කීහ.
යුද්ධය පිළිබඳ ස්ථාවරය ඔවුන් වෙනස් කළේ නැත. මේ භේදය නිසා කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් දොස්තර වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් අලුත් පක්ෂයක් බිහිවිය. මෙය මුලින් ආරම්භ වූයේ “කලම්බු වර්කර්ස් ක්ලබ්” යනුවෙනි. සම සමාජ පත්‍රය විකිණීමට ගොස් පොලිසියට අසුවී සත් අවුරුද්දකට හිරගෙට ගිය ජී. ඒ. ඊ. පෙරේරා සිරගෙය තුළම මිය ගියේය. ඔහු මාලඹේ ජීවත් වූ පක්ෂයට ජීවය දුන් අවංක විප්ලවවාදියෙකි. රොබට් ගුණවර්ධනගේ සමීපතම සගයා වූයේද ඔහුය. ඔහු මිය ගියේ “විප්ලවයට ජයවේවා යි රොබට් ට කියන්න” යැයි අවසන් වචන තෙපලමිනි.
මේ කාලයේ සම සමාජ පක්ෂය සිය ප්‍රචාරක කටයුතු කළේ ඉතා පරිස්සමිනි. එහෙත් දැඩි දුෂ්කර තත්ත්වයකිනි. වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ලෝරන්ස් පෙරේරාද මෙසේ නීති විරෝධී පක්ෂයේ පත්‍රිකා බෙදීමට ඉදිරිපත් වූ එක් අයෙකි. ඔහු හැඳ සිටියේ කිලිටි කඩමාලු කලිසමක් හා බැනියමකි. රහසිගතව පත්‍රිකා මිටියක් රැගෙන තැනින් තැන ගිය ඔහුව එක් දිනක් කැම්බල් පිටියේ ගසක් යට සිටියදී පත්‍රිකා මිටියක් අතැතිවම නින්ද ගියේ දැඩි තෙහෙට්ටුව නිසාමය. තද නින්දෙන් ඔහු අවදි කළේ පොලිස් නිලධාරින්ය. 
“යමන් පොලිසියට” එක් නිලධාරියෙක් මහ හඬින් ඔහුට සැර කළේය.
පොලීසියේදී පළමුව ඔහු හොඳින් පරීක්ෂා කෙරිණ. දැළි කුණු බැඳුණු ඇඳුම් කට්ටලයක් හැඳ සිටියත් ඔහු බුද්ධිමත් කෙනෙකු විය යුතු යැයි එක් පොලිස් නිලධාරියෙක් තීරණය කළේය.
ඔහුගේ සාක්කුවේ පාන් පෙති දෙකක් සහ ඇඹුල් කෙසෙල් ගෙඩි කිහිපයක්ද විය. ඒවා දෙස පොලිස් නිලධාරින් පිළිකුලෙන් බලද්දි ලෝරන්ස් පෙරේරා වහා පැන එය නැවතත් සාක්කුවේ දමා ගත්තේය.
“විප්ලවය කියන එක උඹ දන්නවාද?” එක් පොලිස් නිලධාරියෙක් කීවේය.
“ඔව්”
“එහෙනම් කියාපිය”
“විප්ලවය කියන්නෙ ප්‍රංශයෙ ඇතිවෙච්ච ලොකු පිබිදීමක්. ඒකට තමා කියන්නෙ ප්‍රංශ විප්ලවය”
“මූ අමු පිස්සෙක් අල්ල දාමු” තවත් නිලධාරියෙක් කීවේය.
“උඹට පත්තර කොයින්ද?”
“මම හිඟමනේ ගිහින් පාක් එකේ නිදාගත්ත. නැගිටල බලනකොට මගේ ළඟ පත්තර මිටියක් තිබුණා. මේවා මගේ නොවෙයි”
“මේ කාලකණ්ණියා පන්නල දාමු. අපේ වැඩත් පරක්කු වෙනවා”
ඔවුහු ලෝරන්ස් පෙරේරා පන්නා දැමූහ.

 

 

නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි