1972 මැයි 22 වැනිදා බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් සහමුලින්ම නිදහස් වී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූ දිනයයි. ජාතිගත නිර්භීත බව අභිමානය හා උදාරත්වය විදහාපාන්නේ එරටේ ජාතික ධජය තුළිනි. 


සිංහල කොඩිය පිළිබඳව ඉතිහාසයේ සමීපතම සිද්ධිය ලෙස සිහියට එන්නේ 1815 මාර්තු 02 වැනිදා ලංකාද්වීපය සහමුලින්ම ඉංග්‍රීසි ආධිපත්‍යයට පවරා දුන් මොහොතේ නියමිත වෙලාවට පෙර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ භාවිත කළ සිංහ කොඩිය බිම දමා ඉංග්‍රීසි කතිර කොඩිය :ඹබසදබ න්‍්ජන* එස වූ අයුරුය.


ඉංග්‍රීසින් අපට පිරිනැමූ නාමමාත්‍රික ජාතික නිදහස තුළ ජනතාවට ස්වෛරීව තීන්දු තීරණ ගත නොහැකි තත්ත්වයක් පවතින බව රාජ්‍ය නායකයන්ට එකහෙළා වැටහිණ. යම් කරුණක දී අවසන් තීරකයා වූයේ ලංකාණ්ඩුකාරයා නොව එංගලන්ත මහ රැජිනයි. මෙම අධිරාජ්‍ය ගැති ආණ්ඩුක්‍රමය හා ඊට අදාළ වූ සංකේත, නීති රීති කෙටුම්පත් අවලංගු කර දැමීමේ වෙඩි මුරය දැල්වූයේ අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුය.


අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක යුගයේ එනම් 1948 ජනවාරි 18 වැනිදා මඩකළපුව මන්ත්‍රී වූ. සින්න ලෙබ්බේ විසින් යෝජනා කර තිබුණේ මෙරට ජාතික කොඩිය ලෙස එංගලන්තයේ වෙල්සි රෝහලෙන් සොයාගත් සිංහලේ අවසන් රජුගේ ධජය සුදුසු බවකි.


එහෙත් ඊට පිරිසකගේ විරෝධය එල්ල වූයෙන් ජාතික කොඩිය නිර්මාණය කිරීමේ බලය පැවැරුණේ බණ්ඩාරනායක මැතිඳුන්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවටය. එහි ලේකම්වරයා වූයේ ආචාර්ය සෙනරත් පරණවිතානයන්ය.


අනෙකුත් සාමාජිකයන් වූයේ ටී. බී. ජයා, ජී. ජී. පොන්නම්බලම්, ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රීමත් ලලිත රාජපක්ෂ සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන පිරිසය. ජාතික ධජයේ සැලසුම් නිර්මාණකරුවන් ලෙස සැලකෙන්නේ රජයේ කලායතනයේ අධිපති කේ. ආර්. ඩී. පෙරේරා සහ එච්. ජී. චාර්ලිස්ය.


එහෙත් 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් දා සමරුවට මෙම ධජය නිර්මාණය වී නොතිබූ අතර එය තනිව එසවුණේ නිදහසට වසරක් පිරුණු 1949 දීය. එසේ වුවද 1948 පෙබරවාරි 10 වැනිදා එනම් නිදහස් පාර්ලිමේන්තුව ඇරඹුදා බි්‍රතාන්‍ය කතිර කොඩියට සමගාමීව මෙම ධජය එසවුණි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි එහි රටාව වෙනස් විණ. මෙහිදී කොඩියේ දාරය කහ පාටකර සතර කොනේ වූ බෝපත් ප්‍රතිනිර්මාණය කෙරිණ. 1972 මැයි 22 වැනිදා ජනරජ දිනයේ සිට සිරිලක පුරාම එය ලෙළදිණ.


1978 සැප්තැම්බර් 09 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට ජාතික ධජය ද ඇතුළත් කර එය නීතිමය ලෙස සුරක්ෂිත කෙරිණ. එහි නිර්මාණ විය යුත්තේ 1985/693ීක්‍ දරන ප්‍රමිතියට අනුව මිස අන් හිතුමතයට නොවන බව එහි දැක්වේ.


අද සිංහ කොඩිය පිළිබඳ විවිධ අර්ථකථන, විචාර, විවේචන මෙන්ම නොසලකා හැරීම් සිදුවෙතත් එහි එක් එක් අංශයන් පිළිබඳ අර්ථ දැක්වීම මෙසේය.


කහපාට - බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය නිරූපණය වේ. රතු පාට - ආශාරහිත බව, අයිතිය අත්හැරීම, මමත්වය තුනී කිරීම තුළින් දහම මූලික කරගත් බුද්ධිමත් සමාජයක් නිරූපණය වේ.


බෝපත්‍ර තුළින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ දැක්වෙයි. මෙත්තා යනු ජනතාව පොදු මතයකට යොමු කිරීමයි. කරුණා යනු දුකටපත් අය මුදා ගැනීමයි. මුදිතා යනු සමාව, ඉවසීම තුළින් අනුන්ගේ යහපත සැලසීමයි. උපේක්ෂා යනු සියල්ලෝම දානය, ප්‍රියවචනය, අර්ථ චරියාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු අනුව කටයුතු කිරීමයි.


ජාතික කොඩියට සිංහ ලාංඡනය යොදා ගෙන ඇත්තේ සිංහයා වනාහි විනයගරුක, අභිමානවත් සත්වයකු නිසාය. සිංහ රූපය කහ පැහැ ගන්වා ඇත්තේ දහමෙන් හැසිරෙන බැවින්. ගෙලෙහි ඇති කේශර මාලා තුන ත්‍රිවිධ රත්නය ද ගෙල පාලකයාගේ ශක්තිය හා සෘජු බව ද දක්වයි. නාසයෙන් හරි වැරදි තේරුම් ගැනීම ද අයාගත් මුවින් නිර්භීත ප්‍රකාශ ද දත් වලින් සිත, කය, වචනවල සංවර බවද දිවෙන් පාලකයාගේ සත්‍ය අවංක බව ද කියැවේ.
රතු ඇසින් ජනතාවගේ ජීව රුධිරය හෙවත් ජනගැටලු දෙස බැලීම නිරූපණය වන අතර ඇස කඩුවට යොමුවීම තුළින් බලය නිසි ලෙස යොදවනවාදැයි බැලීම සිදු කෙරේ.


කේශර රැලි වලින් ගිහි විනය සහ සතර සංග්‍රහ වස්තු සංකේතවත් වන අතර හිස හා වලිගය සමතුලිත වීම තුළින් පාලකයා හා ජනතාව අතර සමානාත්මතාව නිරූපණය වේ.


වල්ගය දෙතැනකින් නැවීම තුළින් පාලකයා හා රටවැසියා තීරණාත්මක අවස්ථාවල එකම මඟක් ගැනීම පෙන්නුම් කරයි. වල්ගයේ කේශර රැලි අට තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ද පාද සතරින් කඩුව ගත් අතින් රටේ ස්වාධීනතාව ආරක්ෂා කිරීම ද පාද වලින් උට්ඨාන සම්පදා, ආරක්ෂා සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජිවිකතා යන ලෝවැඩ සදන කරුණු නිරූපණය වේ.


ඉහළට විහිදුණු හිස ලොව ජය ගැනීමට අවශ්‍ය සද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන ලෝක ධර්ම නිරූපණය වන අතර අසිපත වනාහි අසාධාරණයට එරෙහිව සටන් වැදීම නිරූපණය කරයි. අසිපතේ නැවුණු තුඩු තුන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබිඹු කරයි. මිටේ කඩු හතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහාභුත ලක්ෂණයි. චතුරාර්ය සත්‍යය නිරූපණය වන්නේ කඩුව අල්ලා ගත් ඇඟිලි සතරෙන්, අත්වැස්මේ අන්ත දෙක අන්තගාමී නොවූ රාජ්‍ය පාලනය ද කඩු තලය කෙළින් නියම පාලනයේ මධ්‍යස්ථ බව ද දක්වයි.


සිංහ ධජයේ අසිපත හෙවත් කඩු තලය මගින් පාලකයාට දැඩි නීති දහයක් පනවා ඇත. පාලකයා සතුව සිල්වත්, සෘජු, පරිත්‍යාගශීලි, මධ්‍යස්ථ, විනය ගරුකබව, අක්‍රෝධය, අවිහිංසාව, ශක්තිය හා පළි නොගැනීම යන ගුණාංග තිබිය යුතු බව සංකේතවත් කරයි.


ඇස කඩු තලය දෙස යොමුව ඇත්තේ පාලකයා ධර්මය රකීදැයි බැලීමටය. මෙම ධජයේ තැඹිලි පාටින් සිංහල ජනතාව ද කොළ පාටින් මුස්ලිම් ජනයා ද නිරූපණය වේ.


සිංහ කොඩිය හැරුණු විට රාජ්‍ය ලාංඡනය ජනරජයට ගැළපෙන සේ වෙනස් කිරීමට අවධානය යොමු විය. 1948 නිදහස ලැබූ බව පැවසුණ ද දිගටම භාවිත වූයේ බි්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1952 වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්නේ රූපය පැමිණ සිංහල - දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් රටේ නාමය සඳහන් විය.


1972 ජනරජ ක්‍රමය බිහිවුණු පසු නව රාජ්‍ය ලාංඡනයක් පිළිබඳව සොයා බැලීමට සංස්කෘතික අමාත්‍යාංශයට පැවරිණ. එම අමාත්‍යාංශයේ හිටපු රාජ්‍ය දෙපාර්තමේන්තු නිර්මාණ ශිල්පියකු වූ එස්. එම්. සෙනවිරත්න විසින් නව රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරනු ලැබුවේ මාපලගම විපුලසාර හිමියන්ගේ අනුදැනුමෙනි.


පැරණි කොඩියේ අසිපත රැගත් සිංහයා හා පලාපෙති අතරට රටාව, පුන්කළස, ධර්ම චක්‍රය, ඉර, හඳ, වී කරල් තුන ද එක්විණ. සිංහයාගෙන් එඩිතර බවත්, පුන්කළසින් සෞභාග්‍යයත් හිරු සඳු ගෙන් ජාතියේ සදාකාලික බවත් ධාන්‍ය කරල්වලින් සශ්‍රික බවත් ධර්ම චක්‍රයෙන් දැහැමි සාධාරණ බවත් නෙළුම් පෙති වලින් පවිත්‍රතාවත් පෙන්නුම් කෙරේ.


ජාතික වෘක්ෂය ලෙස නා ගස ප්‍රකාශයට පත් කළේ 1986 පෙබරවාරි 26 වැනිදාය. බෞද්ධ ඉතිහාසයේත් රටේ ඉතිහාසයෙත් නා ගසට අපේ රටේ සම්බන්ධය සඳහන්ව ඇත. එමෙන්ම ජාතික පුෂ්පය ලෙස නිල් මහනෙල් මල තෝරා ගැනුණේද බෞද්ධ ඉතිහාසය, සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබූ විද්වත් මණ්ඩලය විසිනි.


මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, උද්භිද විද්‍යා මහාචාර්ය අයි. බාලසූරිය, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්. එම්. ෆොන්සේකා, පේරාදෙණි සරසවියේ මහාචාර්ය සුබ්‍රමනියම්, වන සංරක්ෂණ නිලධාරි පී. ආර්. නානායක්කාර, වෛද්‍ය පණ්ඩිත විලියම් අල්විස්, දොස්තර හැරල්ඞ් අභයසේකර, මහාචාර්ය උමා කුමාරස්වාමි සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙම කමිටුවට ඇතුළත් වූහ.


හොරණ වජිරඤාණ නාහිමියෝ ද මෙම කමිටුව නියෝජනය කළහ. නිදහසට පෙර අපේ ජාතික ගීතය බි්‍රතාන්‍ය රජු වෙනුවෙන් ගැයිණි. අපේ රටේ අනන්‍යතාව විදහා දක්වන මුල්ම ජාතික ගීය ලෙස


“ශ්‍රී ලංකා මාතා පාලා යස මහීමා

ජය ජය සිහිලස ජලධාරා


ගිරිපෙළ තුරුලිය මන හාරා” යනුවෙන් ගම්පොළ - ඉල්ලවතුරේ විසූ පුංචි බණ්ඩාර ඉලංගසිහයන් විසින් රචිත ගීතය තෝරා ගැනිණ.


කෙසේ නමුත් එවටක මුදල් ඇමැති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන්ගේ යෝජනාවක් අනුව ආනන්ද සමරකෝන් රචනා කළ “නමෝ නමෝ මාතා” ගීතය පසුව ජාතික ගීය ලෙස නම් කෙරුණු අතර එය 1949 පෙබරවාරි 04 වැනිදා ජාතික නිදහස් දින උළෙලේ දී ගැයිණ. 1969 දී එම ගීයේ මුල්ට ඉලංගසිංහ මහතා රචනා කළ ගීතයේ මුල් පේළියේ වූ “ශ්‍රී ලංකා මාතා” යන කොටස එක්කරන ලදී.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි