ගිරාඹේ ආනන්ද නාහිමි-කතා පෙළ- 05

 

 

ගිරාඹේ ආනන්ද හිමියෝ 1970 න් පසු පැවැති ආණ්ඩුවේ අභියෝග රැසකට මුහුණ දුන්හ. එක්සත් ජාතික පක්ෂය දිනවීමට 1965 දී හිමියන් කැපවීම ඊට හේතුවයි.


1970 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය ලබා  සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ආණ්ඩුව පිහිටුවන විට ඒ ආණ්ඩුවේ බලධාරීන්ට උන්වහන්සේව පෙනුණේ විරුද්ධවාදියෙකු ලෙසයි. එහෙත් දේශපාලන ක්‍රියාදාමයෙන් තොරව සමාජ සාධාරණය වෙනුවෙන් සටන් වදින්නට උන්වහන්සේට සිදුවිය.

70 දී උඩුනුවර ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ටී. බී. ජයසුන්දර මහතා යි. එ.ජා.ප. සංවිධායක ඩී. බී. විජේතුංග මහතා පරාජය විය. මහ මැතිවරණය පුරා එ.ජා.පයට ජවය දුන්නේ සාරානන්ද සඟ පරපුරය. මේ නිසා සාරානන්දය පොළවට සමතලා කිරීමට මහනුවර සිට 1500ක පමණ පෙළපාළියක් පේරාදෙනියේ සාරානන්ද පිරිවෙන වෙතයාමට සූදානම් වන බවට ආරංචියක් පැතිරිණි. ඒ ආරංචිය ඉතා විශ්වාසදායක විය. පිරිවර ගුඞ් ෂෙඞ් බස් නැවතුමෙන් ගමන ආරම්භ කරන විට කතාව ඇත්ත බව පිරිවෙණට සැලවිය. සවස පහ පමණ වන විට පෙළපාළිය ගැටඹේ පන්සල පසුකළ බව වාර්තා විය.


පිරිවෙණේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් 163 දෙනෙකු ඇතුළු සාරානන්ද විහාරයට සම්බන්ධ ගිහි පැවිදි පිරිස ඇමතූ ගිරාඹේ ආනන්ද හිමියෝ මම එක්සත් ජාතික පක්ෂයට වැඩ කළා. ඒක ඇත්ත. මේ ඉන්න අනෙක් අයත් තම තමන් කැමති පක්ෂවලට වැඩ කළා. ඒකට අපි බාධා කළේ නෑ. අපි පරාජය පිළි අරන් නිශ්ශබ්දව ඉන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපට අපේ අයිතිය තිබෙනවා. තව ටිකකින් මේ පංසල සමතලා කරන්න මහා පිරිවර සේනාවක් එනවා. මේ පංසල මගේ පුද්ගලික දෙයක් නෙවේ. රටට ජාතියට ආගමට අයිති තැනක්. ඒ නිසා අපි බෙදෙන්න බෑ.


අපි හැමෝම එකතුවෙලා මේ සෙනඟ ආපසු හරවලා යවන්න ඕනෑ යැයි කියා සිටියහ.


සියලු දෙනා ආනන්ද හිමිගේ ප්‍රකාශය පිළිගත්හ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අරගලකාරී සටන්කාමී පිරිස් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කරන රැඩිකල් පුද්ගලයෝද ඒ අතර වූහ. සම්පූර්ණ පිරිවර 1200 ක් පමණ වූහ. පිටි කිරි ටින්වලින් සැණින් පුපුරණ ද්‍රව්‍ය නිපදවිය හැකි, වැලි බෝතල්වලින් ගසා ගිනි ඇවිළිය හැකි ආදි විවිධ හැකියා ඇති අය ද වූහ. පරිවේණාධිපති ලෙස කටයුතු කළේ දෙබත්ගම ගුණසිරි නාහිමියෝයි.


හන්තානයට අඳුර හා සිසිලස වටවෙමින් පවතිද්දී ඒ නිහැඬයාව බිඳගෙන ප්‍රීති ඝෝෂා පෙළ පාළිය ගල් මුල් පොලු සන්නද්ධව පිරිවෙණේ කන්ද නැග ආහ. නැග්ගේ කන්දේ භාගයකි. විහාරය හා පිරිවෙණ ඇත්තේ මුදුනේය. කඳුවැටිය මැදින් දිවෙන අධි විදුලි රැහැන් පද්ධතිය හරහා දම්වැල් පහරක් වැදීමෙන් ගිනි ජාලා නැගෙමින් මහා පිපිරුම් හඬක් නැගුණේය. 


ඒ සමගම පාර හරස් කරගෙන තවත් පිරිරුම් කිහිපයක් හටගත්තේය.


සතුරු සේනාවක් පැමිණියහොත් වළකාලන්නට කන්ද මුදුනේ ගල් ගඩොල් ලී කඳන් ගොඩ ගසා තිබුණි. නොසිතූවිරූ අයුරින් නැගුණු පිපුරුම් ශබ්දයෙන් භීතියට පත් පෙළපාළිකරුවෝ හිස් ලූ ලූ අත දුවන්නට වූහ.


නායකත්වය දුන් අය නැවතුණේ පේරාදෙණිය පොලිසියෙනි. කෝපයට පත් ජයසුන්දර මහතා 1500 වෙනුවට දහදාහක් යන ලෙස උපදෙස් දුන්නේය. ඒ සමගම ජයසුන්දර මන්ත්‍රීවරයා වහා පොලිස් ස්ථානාධිපති සෙනෙවිරත්න මහතා අමතා  සාරානන්දය පරීක්ෂා කර බලන ලෙස නියම කළේය. පොලිස් කණ්ඩායමක් සමග එහි ගිය ස්ථානාධිපතිවරයාට පිපිරී ගිය ටින් බෙලෙක්ක, වීදුරු කෑලි ආදි සටන් බිමක දැකිය හැකි දේවල් රැසක් දැක ගන්නට හැකි විය.


‘හාමුදුරුවනේ මොක ද වුණේ? පොලිස් ස්ථානාධිපති ඇසීය.


අපි ඡන්දෙට වැඩ කළා ඇත්ත. ඉතිං අපි පැරදිච්චි අය හැටියට පාඩුවේ පන්සලට වෙලා හිටියා. මේ අය සතුට භුක්ති විඳින්න ආපු හැටි තමා මේ.’ පිළිතුරු විය.


ආපසු ගිය පොලිස් ස්ථානාධිපති සෙනවිරත්න, ජයසුන්දර මන්ත්‍රීවරයා අමතා “දහ දාහක් නොව විසිදාහක් ගියත් ජීවිතේ රැකගෙන ආ නොහැකි බවට” අනුමාන පළකළේය. එතැනින් ඒ තර්ජනය හමාර විය.


මේ මැතිවරණ ජයත් සමග පේරාදෙනිය සරසවියේ සිංහල අංශයේ වැඩ බැලීමට පත්කර සිටි මහාචාර්ය එෆ්. ආර්. ජයසූරියගේ පත්වීම අහෝසි විය. හේතුව ඔහු සරම් බැනියම් අඳින දේශීය පෙනුමක් ඇති අයෙකු වීමය. එමෙන්ම කේ. එම්. පී. රාජරත්න මහතා නායකත්වය දැරූ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු ද වීමය.


ඒ වෙනුවට සනාථන සභාව පත්කළේ වැඩ බලන මහාචාර්ය ලෙස එච්. ඒ. ද එස්. ගුණසේකරය. ඊට විරෝධය පා ජයසූරිය මහතා සිය නිල නිවසේ ඉස්තෝප්පුවට වී උපවාසයක් ආරම්භ කළේය. මේ පත්වීමේ ඇති අසාධාරණය කියා හරිශ්චන්ද්‍ර විජේතුංග වැනි නායකයෝ කිහිප දෙනෙක් එයට විරෝධය දැක්වීමට ආනන්ද හිමියන්ගේ සහාය ඉල්ලූහ. එය තමාට අදාළ නොවන බව හිමියන් කීවත් බෞද්ධ හිමි නමක ලෙස සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත්වන ලෙස ඔවුහු නැවත ඉල්ලා සිටියහ. ඒ අනුව භික්ෂු සංවිධානයේ සිය නමක් ඇතුළු පිරිසක් විශ්ව විද්‍යාලයේ ජයසූරිය මහතා උපවාස කරන තැනට ගියහ.


මහාචාර්ය ගුණසේකර ඒ පිරිසට තර්ජනය කළේය. මෙතුමා කලක් සිට වැඩ බැලුවා. ඔබ තුමාගේත් ගුරුවරයෙක් කියා දැනගන්නත් ලැබුණා. මේ පත්වීම අසාධාරණයි ආනන්ද හිමියෝ කීහ. මම එයාගේ ගෝලයෙක් නොවේ. මෙතනින් නොගියොත් බලාගන්න පුළුවන්” යි ගුණසේකර මහතා නැවත බැණ වැදුණේය.


‘දැන් අපිට හිතා ගන්න පුළුවන්. මෙතන ගුත්තිල - මූසිල කතාවක් වගේ තිබෙන්නේ’ යි හිමිවරු කීහ. එදින ඈත පළාතක දනකට වැඩමකර සිටි සාරානන්ද විහාරාධිපති සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන් ආපසු විහාරයට වැඩියේ රාත්‍රී තුනට පමණය. අළුයම් 5ට පමණ ගුණසේකර මහතා වෙත පැමිණි ගුණරතන නාහිමියෝ භික්ෂුන්ට තර්ජනය කිරීමට ඔහුට නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමා ද පසු දින උපවාසයට එන බවත් කීහ.


එදින හේවිසි හොරණෑ නාදකරගෙන පෙරහැරකින් භික්ෂූන් සියක් නමක් වැඩම කළහ. විශ්ව විද්‍යාලයේ කාටවත් එය නවතාලිය හැකි නොවීය. උපවාසය ඇරැඹිණි. දින හතක් පමණ උපවාසයේ නියැළි ජයසූරිය ඒ වන විට නිවස ඉදිරිපිට පැදුරක් එළා වැතිරී සිටියේය.


එතැනට පැමිණි සංස්කෘතික නියෝජ්‍ය ඇමති ටී. බී. තෙන්නකෝන් මහතා අගමැතිනිය එම පත්වීම අවලංගු කරන බවත් උපවාසය අත්හරින ලෙසත් ඉල්ලා සිටියේ ය.


එම තීරණය අගමැතිනිගෙන් ලිඛිතව ලබාගෙන එන ලෙස භික්ෂු උපවාසකරුවෝ කීහ. දින දෙකකට පසුව පැමිණියේ වෙළඳ ඇමති ටී. බී. ඉලංගරත්න මහතා යි. ඔහුද පෙර ඉල්ලීමම සිදුකළේය. සුපුරුදු පිළිතුරම ලැබිණි. පසුදින එල්. එච්. මෙත්තානන්ද මහතා අතේ මැතිනිය මෙම පත්වීම අවලංගු කරන බවට වු ලිපිය ලැබිණි. එදින එම ස්ථානයට මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් ඇතුළු මහ සඟරුවන ද එක්ව ජයසුරිය මහතාට සෙත් පිරිත් කියා උපවාසය නිමවීය.


සනාථන සභාව කල්ගත වී ගුණසේකර මහතාම නැවත සිංහල අංශයට පත් කළේය. අවශ්‍ය මොහොතේ උපවාසය ජයග්‍රහණය කළ බවත් නැවත උපවාසයට නොයක ලෙසත් භික්ෂු සංවිධානය මහාචාර්ය ජයසූරියට කීය. ඔහු එය නොතකා නැවත උපවාස කළේය. ඒ උපවාසයට  දින එකොළහක් ගත වූ තැනේ දී පොලිසිය පැමිණ ජයසූරිය මහතා රෝලට ගෙන ගියේය.

 

 

 

 

 

 

 

අනුරාධපුර - සරත් මනුල වික්‍රම