දුප්පත් සෙනගට වැඩි කාලයක් මිලදී ගන්නට බැරි තරම් වී මිල අධික නිසා අපි ඉතා පීඩා විඳින්නෙමු. තව ස්වල්ප කාලයක් තිබුණොත් නොහොත් යම් හේතුවකින් මේ රටට පිටරටවලින් හාල් පැටවිලි කිරීම නැවතුනහොත් මේ රටවාසීන් ආහාර නැතිව මියයාම සත්තකය.


මේ ද්වීපයේ පුරාණ කාලවලදී ගොයිතැන් ඉතා සුලබව තිබුණ හෙයින් එවකට සිටියවුන්ට දැන් සිටින්නන්ට මෙන් හානියක් පැමිණ තිබූ බව අපට අසන්නටවත් ලැබී නැත. ඔබ වහන්සේලාට යාච්ඤාවෙන්නාවූ අපෙන් බොහෝ දෙනෙක් ගොවි කර්මාන්තයෙන් රැකෙන අයය. තවත් බොහෝ දෙනෙක් එම කර්මාන්තය දන්නෝ නමුත් රක්‍ෂාවක් උපදවා ගැනීමට ගම්බිම් නැත්තෝය. ගම් ඇත්තන්ට ඔවුන්ගේ වැඩකිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන අත්කර ගැනීමට වතුර නැතිකම ආදී නොයෙක් බාධා ද ගම් නැත්තන්ට ඔවුන්ගේ වැඩ කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන අත්කර ගැනීමට බිම් නැතිකම ආදී බාධාවන් ද තිබෙන හෙයින් අපි දෙවර්ගයම තද වේදනාවෙන් පසු වෙමුව.


මෙම කාරණා දෙකම ඔබ වහන්සේලාගේ කල්පනාව මේ වාරයේදී ඒත්තු ගැනීම ඉතා ප්‍රධාන ලෙස ඕනෑ කර තිබේ. එයින් දුප්පත් අයගේ රස්සාව සැලැස්වෙනවා පමණක්ම නොව ආණ්ඩුවේ ආදායම් වැඩිවීමටත් කාරණයක් වෙනවා සත්තකය.


එබැවින් අප විසින් සැලකර සිටින්නේ නම් ලංකාදීපයේ උපදින ආදායමෙන් කොට්ඨාසයක් එම ලංකාවේ නොයෙක් තැන්වල ජරාව තිබෙන ප්‍රයෝජනවත් වැව් පොකුණු ආදී දියමාරුවල් අලුත්කර ඒ අසල තැනිබිම් අස්වැද්දීම පිණිස වියදම් කිරීමටත් එසේ අස්වද්දන්ට හැකි බිම් මේ රටේ දුප්පත් සෙනඟට අවුරුදු ගණනක් වැඩ කරන්ට දී අවුරුදු පතා එයින් උපදින ප්‍රයෝජනවත් කොටසක් එම බිමේ වටිනාකමට ආණ්ඩුව විසින් භාරගෙන එම අවුරුදු ගණන ඉකුත් උනාම බිම ඒ වැඩකාරයාට හිමිවන හැටියටත් අනඥාවක් පනවන ලෙසටය.


මෙසේ යාච්ඤා කර සිටින්නේ ඔබවහන්සේලාගේ විස්වාසී වූ යටත් වැසියන් වන, මෙවැනි කුමන දේ සිදුවුවත් හාල් මිල තවත් ඉහළ ගිය අතර සහල්  හිඟයද උග්‍ර විය. 1866 නොවැම්බර් 14 වැනිදා ලක්මිණි පහන පුවත්පතේ මෙසේ ලිපියක් පළකොට තිබුණි. පැවති තත්ත්වය එයින් මනාව වටහා ගත හැකිය. “දැනට මේ ලංකාවාසී ජන සමූහයාට පැමිණ තිබෙන සාගතය කවර අන්දමකින් පැමින තිබෙනවාද කවර මාර්ගයකින් සන්සිඳේද, අධික පුරාණ කාලයේදී කොයි හැටි නමුත් මෑතකදී  මෙවැනි සාගතයක් පැමිණෙන්නට හේතුව මහනුවර පළාතේ නොයෙක් ප්‍රකාර කැලෑ කපා කෝපි වතු වැවිලිකර එක් වත්තකට 100, 1000, 1500, 2000, 3000 බැගින් කුලීකාර දෙමළ මිනිස්සු සිටුවාගෙන සිටින නිසාද රේල් පාරේ දහස් ගණන් වැඩ කරන අයද සිටින නිසාද පාරේ වැඩ පිණිස කුලීකාර පයිනේරු මිනිස්සු 1000 ගණනේ බැඳී සිටින නිසාද තවත් නොයෙක් රටවලින් දෙමළ ආදී නොයෙක් ජන සමූහයා අවුත් සිටින නිසාද, ඉතින් මෙයාදී ජනසමූහයාට හාල් දීම හේතු කොටගෙන වෙළෙන්දෝ හාල් ගණන් වැඩි කරනවාය. ඒ නිසා මේ  සාගතය පැමිණියා වෙන්ට ඕනෑය. තවත් සාගතයක්  නොපැමිණෙන්නටම සර්ව සාධාරණ ආණ්ඩුවෙන් ස්ථිර ආධාරයක් ලොවට නොපවත්වන නිසාත් අය බදුවලින් වැඩි වැඩියට දියුණු කර කරම එන නිසා මෙවැනි සාගත පැමිණුනාට අනුමානද? ඉතින් මෙය සංසිඳුවීමට මතු කී දේ හැරදැමීම නොවෙයි. කෝපි වතුකාර මහත්තැන් විසින් කල්පනා කරලා තම තමන්ගේ සමාගමේ ඉස්ටෝරුවලට රටින්ම හාල් ගෙන්නවා ගන්නවානම් කොපමන පහසුවද? හාල් නැතිවෙන්නේ නැත. වරින් වර අලාභ ලැබෙන්නේ නැත. කිසිම හිරිහැරයක් නැතිව තම තමන්ගේ වැවිලි කර ගන්නට පුළුවන් වෙනවාට අනුමාන නැත. ගොවැර්තමේන්තු පාරේ  වැඩ කරන පයිනේරු මිනිසුන්ට හාල් දීමට බීජන් ගණන් එන එක එක ස්ථානයට හෝ එක එක දිශාවකට එක ස්ථානයක හෝ හාල් මෙරට වෙළෙන්දන්ගෙන් නොගෙන රටින්ම ගෙන්වා ගන්නේ නම් එයිනුත් කොතරම් පහසුවද?”


මෙම පෙත්සම හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයාට භාරදීමෙන් පසු ගත් පියවරක් ගැන දැනගන්නට නැත. එසේද වුවත් සාගතය නිසා ජනයා දිගින් දිගටම පීඩාවට පත්වූ බව ප්‍රවෘත්ති පත්‍රවල පළවිය. මේ එවැනි ලිපියකි.


1866 නොවැම්බර් මස 7 වැනි දින ලක්මිණි පහන පත්‍රයේ පළවූ ලිපියකි
ලක්මිණි පහන් කර්තෘ නමටයි.
මහත්මයාණනි.


තමුන්නාන්සේලා ලෝ වැඩ දායක වූ හෙයින් දැනට ලෝක සත්වයාට පැමිණි බලවත් විපත්තිය ගැන සැනසීම ගෙන දෙන්නට උත්සාහ නොකළහොත් පැමිණෙන අන්ත්‍රාවල කෙලවර නොදකින තරම් වෙයි. මේ පළාතේ යල් මෝසමේ  වී ටික ටික තිබුණු බැවින් මෙපමණ දින ගනනක් මනුෂ්‍යයින්ට ටිකක් සැනසීම තිබුණු නමුත් ඒ වී ටිකත් දැනට කම්මුතු වී දැනට හාල් සේරුවක් පනන් පහමාරට අරන් කන්ඩ වෙලා තියෙන්නේ. මේ ගණන්වලට හාල් අරන් කා දුප්පත් අය කෙලෙස  ජීවිකාව කර ගන්නටද?  දවසකට පනමක් තබා තුට්ටු පහක් සපයා ගන්ට බැරි අය කොපමණ නැද්ද? එවැනි අයට ක්‍ෂුද්‍රාව දැරිය නොහැකිව කැරලි ගැසීමක්, මන්වල සහ ගම්මැදිවලත් කොල්ල ගනිමින් අඬ දබර වී ආණ්ඩුවක් නැති හිතුවක්කාරකමේ අසාධාරණේ රාජ්ජයක්වී සියල්ලෝ මහත් භයානක කාන්සාවෙන් හඬන්නන් මේ අන්දමේ ලෝකය විනාශ වෙන්ඩ ඉඩහැර තිබෙන්නේ මේ විපත්ති ආණ්ඩුව නොදෙනවායින්ද, එක්කෝ මේ විපත්තිය සිදුවී ලෝකය විනාශ වෙනවා කැමැත්තෙන්ද නොහොත් ආණ්ඩුවේ බලය අනිස්ථිර බවට පත්වෙලාද කල්පනා කළ නොහැකියි. ඉලව්වේ මේ ගැන තමුන්නාන්සේලාවත් බලකරු නොමාන්නන්නේ ඇයි?”


ආර්ය සංක්‍රමණ අවධියේ සිටම බත් කා ජීවත් වූ ජාතියක් වන ශ්‍රී ලාංකේය ජනසමාජය පරදේශීන්ට යටත්වූ දා සිට කෘෂිකාර්මික ජීවන රටාවෙන් ඉවත්වීමට කටයුතු කිරීම මෙවැනි සාගතයන්ට ගොදුරුවීමේ ආරම්භය විය. කාර්මිකකරණය, විදේශීය ආයෝජන ආදිය ගැන කුමන කතාබස් කෙරුනත්, ශ්‍රී ලාංකික ජනතාවගේ කුස පිරෙන්නේ නිවැරදි දැක්මෙන් යුතුව අපට වඩාත් ගැළපෙන දේ හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් බව පැවසීමට මේ හොඳම කාලයයි. මෙයද දැඩි නියඟයකට හා සහල් හිඟයකට මුහුණ දෙන අවස්ථාවක් වන නිසාය. එය අතීතයට පමණක් නොව වර්තමානයටද අනාගතයටද එකසේ බලපාන බව ඒකාන්ත සත්‍යයකි.

සෝමසිරි වික්‍රමසිංහ