යාපා පටුනේ පළමු ප්‍රගතිශීලී සටන් පෙරමුණ-05

 

රටේ ප්‍රජා දිවිය තුළ ස්ත්‍රිය සක්‍රීය ලෙස සහභාගි නොවන තාක් දුරට කිසිදු ජාතියකට ඉරණමින් නියමව තිබෙන ගමනාන්තය කරා පූර්ණ වශයෙන් ළඟාවිය නොහැකිය යන අදහස දරණ මේ කොංග්‍රසය අපගේ දේශයෙහි ස්ත්‍රීන්ට පෙරට එන ලෙසත් පුරුෂයන් සමඟ ජාතිය ගොඩනැගීමේ වගකීමට හවුල් වන ලෙසත් ඉල්ලා සිටියි.


6. අපගේ පාසල්වල ලබාගන්නා අධ්‍යාපන ක්‍රමය අපගේ ජාතික ඌරුවට නොගැළපෙන බව පිළිගන්නා මේ කොංග්‍රසය විදේශීය මාධ්‍යයක් තුළින් අධ්‍යාපනය ලබාදීම තුළින් ශිෂ්‍යයන්ගේ ප්‍රතිභාව විනාශකර දමන බවත් එකම අවස්ථාවේ විජාතික භාෂාවක් ප්‍රගුණ කිරීමේත්, විෂය කාරණා හැදෑරීමේත් දෙයාකාර බරක් ඔවුන් මත පටවන බවක් අදහස් කරන අතර ඉගැන්වීමේ මාධ්‍ය ලෙස මව්බස හඳුන්වාදීම සඳහා ක්‍රියාකිරීමට අදිටන් කර සිටියි. 


ස්වරාජ්‍යය සෑම පුද්ගලයෙකුගේම අන්සතු කළ නොහැකි ජන්ම අයිතියක්ය යන මතයේ පිහිටා සිටින මේ කොංග්‍රසය තම රටේ නිදහස දිනාගැනීම සඳහා තම ජීවිත කැපකරන්නැයි මෙරට තරුණයන්ගෙන් ඉල්ලා සිටියි. 


යෝජනා ඉදිරිපත්කළ හා ඊට පක්ෂව කථා කළ සාමාජිකයන් වූයේ, එන්. කුමාරසිංහම්, පී. නාගලිංගම්, ජේ. ඩබ්. ඒ. කදිරගාමර්, කේ. රත්නම්, කේ. චන්මුගම් හා සයවැනි වාර්ෂික සැසිවාරවල සභාපතිත්වය දැරූ එස්. ශිවපාතසුන්දරම් යන අයවලුන්ය. 


1930 සැප්තැම්බරයේදී යාපන තරුණ කොංග්‍රසයේ විධායක කමිටුව රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණවලට සහභාගි නොවන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කළේය. එහි පිළිගැනීමේ කමිටුවේ සභාපතිවරයා සිය දේශනයේදී සීරුමාරුවීම්, සම්මුති හා ඊළඟ මැතිවරණය දෙස අවධානය යොමුකිරීම ඇතුළත් වන දේශපාලනය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කර තිබුණි. 1924 දී තේරීපත්වූ ව්‍යවස්ථාදායක සභාව 1931 අප්‍රේල් 17 වැනි දින විසුරුවා හරින ලද අතර නව රාජ්‍ය මන්ත්‍රණ සභා මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මැයි 4 වැනි දිනට නියම කෙරිණි. තරුණ කොංග්‍රසයේ හත්වැනි වාර්ෂික සැසිවාරය 1931 අප්‍රේල් 23, 24 හා 25 දිනයන්හි පැවැත්විණි. එය යෙදී තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම හා නාම යෝජනා භාරගැනීමේ දිනය අතරමැදය. තරුණ කොංග්‍රසය පිහිටුවීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණය මෙය විය. ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙමින් මෙම මැතිවරණය පැවැත්විණ. 


කොංග්‍රසයේ හත්වැනි වාර්ෂික සැසිවාරය පවත්වනු ලැබුවේ යාපන එළිමහන් ක්‍රීඩාංගණයේ විශේෂයෙන් ඉදිකරන ලද තොරණක් තුළය. 1931 අප්‍රේල් 23 වැනි දින සැසිවාරය සඳහා තේරීපත්වූ සභාපති ශ්‍රීමති කමලාදේවි චට්ටෝපාධ්‍යාය සහභාගි වූ සැසිවාරය ඉතා උත්කර්ශවත් හා විශාල මහජන සහභාගිත්වයක් ඇතිව පවත්වන ලදී. දේශීය කර්මාන්ත නිපැයුම් භාවිත කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුකරවීම සඳහා පිළිගැනීමේ කමිටුව විසින් වාර්ෂික සැසිවාර පැවැත්වුණු කාලසීමාව තුළ යාපන මධ්‍ය මහා විද්‍යාලයේදී අත්කම් ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදී. 


වාර්ෂික සැසිවාරවල ප්‍රධාන දේශනය වූයේ ශ්‍රීමතී කමලාදේවි චට්ටෝපාධ්‍යාය විසින් පවත්වන ලද දේශනයයි. වාර්ෂික පොදු වාර්තා අධ්‍යයනය කිරීමෙන් එක්රැස් කරගන්නා ලද කරුණු, සංඛ්‍යා හා තොරතුරුවලින් පිරුණු මූලවිපර්යාසවාදී නමුත් උපදේශනාත්මක දේශනයක් තුළ ඇය ලංකාව තුළ සිදුවෙමින් තිබූ අධිරාජ්‍යවාදී සූරාකෑමේ ස්වභාවය පැහැදිලි කළාය. වාර්ෂික සැසිවාර පැවැත්වුණු සෑම වතාවකම ස්වරාජ්‍යය පිළිබඳව යෝජනාවක් සම්මතකිරීම කොංග්‍රසයේ සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබුණි. “ස්වරාජ්‍ය සෑම පුද්ගලයෙකුගේම පැහැරගත නොහැකි ජන්ම උරුමයක් බව විශ්වාස කරන මේ කොංග්‍රසය තම රටෙහි නිදහසේ ජයග්‍රහණ උදෙසා තම ජීවිත කැපකරන්නැයි දේශයේ තරුණයන්ගෙන් ඉල්ලා සිටියි.” යනුවෙන් එන්. කුමාරසිංහම් යෝජනාව සභාගත කළ අතර එම යෝජනාව ස්ථිර කිරීමට මොහොතකට පෙර පී. එන්. සුබ්බයියා සංශෝධනයක් ලෙස “මෑතකදී ගෙන එනු ලැබූ රාජාඥා පනත තුළ අන්තර්ගත වී ඇති පරිදි ඩොනමෝර් කොමිසම ස්වරාජ්‍යය අත්කර ගැනීමට එරෙහිව බාධා පමුණුවන හෙයින් යෝජනා ක්‍රමය වර්ජනය කරන බවට කොංග්‍රසය ප්‍රතිඥා දෙන අතර වර්ජනය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමෝපායන් සැකසීමට විධායක කමිටුවට බලය පවරා දෙයි” යන වැකිය ඊට ඇතුළත් කරන ලෙස යෝජනා කළේය. සැසිවාරයට සහභාගිවූවන්ගේ සංඛ්‍යාව දෙදහසක් පමණ වූ අතර ඒ අනුව සම්මත වූ යෝජනාව දේශපාලන උනන්දුවක් දක්වන යාපනේ විශාල පිරිසකගේ පිළිගැනීමට හේතුවූ යෝජනාවක් බවට පත්විය. තරුණ කොංග්‍රසය තිර ලෙස ප්‍රකාශ කර සිටියේ “පූර්ණ ස්වරාජ්‍ය” සඳහා කැපවීමය. වර්ජනයට විරුද්ධවූ ඕනෑම අයෙකු පූර්ණ නිදහස අත්කර ගැනීමට පූර්ණ වශයෙන් කැපවී නොසිටියේය” යන සැකයට පාත්‍රවිය හැකිව තිබිණි.


අප්‍රේල් 25 වැනිදා සිට මැයි 4 වැනිදා දක්වා නාමයෝජනා භාරදෙන දිනය වනතුරු තරුණ කොංග්‍රසයේ නායකයෝ වර්ජන තීන්දුව ක්‍රියාවේ යෙදවීමට මුළු හදින් ක්‍රියා කළහ. වර්ජනය ක්‍රියාවට නැගීමේ ක්‍රමෝපායන් සැකසීමේ වගකීම විධායක කමිටුවට පැවරිණි. ජනතාව ඡන්දය ප්‍රකාශකිරීමෙන් වළක්වාලීම සඳහා කොංග්‍රසයේ සාමාජිකයන් ජනතාව අතරට ගොස් ප්‍රචාරක කටයුතුවල යෙදුණු නමුත් ඡන්ද අපේක්‍ෂකයන් පහසුවෙන් නාමයෝජනා භාරදීමෙන් වළක්වාලීමට නොහැකි බව තේරුම්ගත්හ. එසේ හෙයින් කොංග්‍රස් නායකයෝ ප්‍රථම අවස්ථාවේදීම නාම යෝජනා භාරදීමෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නැත. තමන් නාමයෝජනා පත්‍ර භාරනොදෙන බව මුලින්ම යෝජනා කළේ ඡන්ද අපේක්‍ෂකයන් කිහිප දෙනෙකු පමණි. තරුණ කොංග්‍රසය මැතිවරණ වර්ජනය කිරීමට පක්‍ෂ යෝජනාව ඒකමතිකව සම්මත කරන ලද තැන් පටන් අර්ධද්වීපය තුළ ඝෝෂාකාරී උද්ඝෝෂණ ක්‍රියාවලියක් ගෙනයමින් තිබුණි. තම මැතිවරණ අපේක්‍ෂකත්වය නිවේදනය කර තිබූ පුද්ගලයන් අතුරින් කීපදෙනෙක්ම යාපනය හා පොතුවිල් හි සංවිධානය කරතිබූ මහජන රැස්වීම්වල කථාකළ අතර රාජ්‍ය සභාවට ඇතුළුවීම වර්ජනය කිරීමට සහය පළකිරීමට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර සිටියහ. 


විසුරුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වූ ඩබ්. දුරෙයිස්වාමි, කේ. බාලසිංහම්, ඒ. මහාදේව, එච්. ඒ. පී. සන්ද්‍රසේගර්, කේ. සී. ආර්. ශ්‍රී පද්මනාදන් සහ ඒ. අප්පාදුරෙයි යන අය මැයි 3 වන ඉරිදා දින වෛදේශ්වර විද්‍යාලයේදී පවත්වන ලද, එළඹෙන මැතිවරණය තරග කිරීමට සිය අභිප්‍රාය නිවේදන කර තිබුණු රැස්වීම සඳහා තිදෙනෙකු හැර අන් සියලු අපේක්‍ෂකයෝ අවසාන තීරණාත්මක රැස්වීම සඳහා සහභාගිවූහ. සියලුම අපේක්‍ෂකයෝ තම තමන් දරණ අදහස් ප්‍රකාශකිරීමෙන් අනතුරුව අවසානයේ බහුතරයේ තීරණයට බැඳී සිටින බවට පොරොන්දු වූහ. මේ රැස්වීමේදී හෝ යළිත් පැවති රැස්වීම් වලදී හෝ කිසිදු අවස්ථාවක ජනවාර්ගික නියෝජනය අහෝසි කිරීම පිළිබඳ සඳහන් කිරීමක් හෝ දෙමළ ජනයා සඳහා විශේෂ නියෝජනයක් ඉල්ලා සිටීමක් සිදුනොවීය. රහසිගතව පැවැත්වුණු කෙටි රැස්වීමකින් පසුව දුරෙයිස්වාමි මහතා පිටත රැස්ව සිටි පිරිස අමතා රැස්වීමට සහභාගි වූ අපේකක්‍ෂකයන් විසින් ගනු ලැබූ තීරණ දැනුම්දුන් අතර ඊළඟ දිනයේ නාමයෝජනා පත්‍ර ඉදිරිපත් නොකිරීමට ඔවුන් ගිවිසුමකට අත්සන් කර තිබෙන බවද නිවේදනය කළේය. 


රැස්වීමට සහභාගි නොවූ සරවනමුත්තු සහ වි. මුතුකුමාරු යන දෙදෙනාම නායෝජනා භාරදෙන මොහොතේ පැමිණ සිටීමත්, ඔවුන් ගිවිසුමට බැඳී නොසිටීමත් නිසා වාතාවරණය ආතතියෙන් යුත් තත්ත්වයකට පත්කෙරිණ. අවසානයේ නාමයෝජනා භාර නොදුන් අතර ආණ්ඩුවේ ඒජන්ත ඩයිසන් මහතා නාමයෝජනා භාරගැනීම අවසන් කළ බව නිවේදනය කළේය. මුලදී අනුකූලතාවයක් දැක්වූ ජී. ජී. පොන්නම්බලම් මහතා සිය ප්‍රතිවාදියා නාමයෝජනා ඉල්ලා අස්කර නොගැනීම නිසා පසුව මැතිවරණයට තරග කළේය. තවද වව්නියාව දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයන් නාමයෝජනා භාර නොදී සිටීමට පොලඹවා ගැනීම සඳහා කොංග්‍රස් නියෝජිත කණ්ඩායමක් එහි පිටත් කර යවන ලදි. 


නාමයෝජනා භාරගැනීමේ දිනය පසුවූ වහාම වර්ජනය සම්බන්ධයෙන් වගකිව යුතු වූ තරුණ කොංග්‍රසයට හා අනෙකුත් පුද්ගලයන්ට ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳවත් ඔවුන්ගේ නිර්භීත හා අභියෝගාත්මක හැසිරීම පිළිබඳවත් පුවත්පත් හා පුද්ගලයන් ගණනාවක් ස්තුති ප්‍රශංසා පළ කළහ. සමස්ත ලංකා ලිබරල් ලීගය වර්ජනයට පූර්ණ සහය පළකළේය. 
මේ අවධියේ ජවහර්ලාල් නේරුතුමන් නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණ සිටි අතර දේශපාලනයෙන්ද ඉවත්ව සිටීමට ඔහු බලාපොරොත්තු විය. එහෙත් රැස්වීම් කිහිපයක් අමතන ලෙස ඔහුට දැඩි ඉල්ලීම් ඉදිරිපත් විය. ඒ අනුව යාපන තරුණ කොංග්‍රසයේ මූලිකත්වයෙන් කොළඹ නගරයේ පිහිටුවා තිබුණු සමස්ත ලංකා තරුණ කොංග්‍රසයේ ආරම්භක රැස්වීම 1931 මැයි මාසයේදී වැල්ලවත්ත ප්ලාසා සිනමා ශාලාවේදී පැවැත්විණි. යාපනයේ සිට පැමිණි නියෝජිතයන් කිහිප දෙනෙක්ද මේ රැස්වීමට සහභාගිවූහ. ජවහර්ලාල් නේරුගේ පැමිණීම රැස්වීමට අතිවිශාල පිරිසක් ඇදී ඒමට හේතු විය. යාපනය රාජ්‍ය සභා මැතිවරණය වර්ජනය කිරීමට ගෙන තිබූ තීරණයට සහාය පළකෙරෙන යෝජනාව මෙහිදී සම්මත කෙරිණි. 


වර්ජන ව්‍යාපාරයේ උණුසුම යන්නට පෙර නේරුගේ සම්ප්‍රාප්තිය සිදුවූ හෙයින් නේරු දැරූ අදහස් දැනගැනීමේ මහත් උද්යෝගයක් ජනතාව අතර පැවතුණි. යාපන තරුණ කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරවලදී නේරු පිළිගැනීම සඳහා සභාපති ඩබ්. දුරෙයිසාමි ද, ලේකම්වරුන් ලෙස එන්. කුමාරසිංහම් හා ඊ. ටී. හිච්කොක් ද, භාණ්ඩාගාරික ලෙස ආර්. නල්ලයියා සහ එස්. මැකාදෝ ද, තෝරාගන්න ලද කමිටුවක් පත්කර ගන්නා ලදී. “ඉන්දියාවේ කිරුළු නොපලන් රජු” ලෙස හැඳින්වූ නේරු මැයි මස තෙවන සතියේ මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

 

 


(සාන්ත සීලන් කදිරගාමර් ගේ “යාපන තරුණ කොංග්‍රසය” කෘතිය ඇසුරින් සකස් කරන ලදී)

 

 


මතු සම්බන්ධයි.

 


එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි