වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයේ යළිත් කඩුවට වැදගත් තැනක් හිමි වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කරන ලද කතාවක දී කඩුවක් සහ කැපිල්ලක් ගැන සඳහන් කළ බව පුවත්පත්වල පළවිය. අපේ ඈත මෑත දේශපාලන ඉතිහාසයේ කඩු, කිණිසි, මන්නා, වෑ, පොරෝ උඩින් යටින් ගියවාර බොහෝය. 1947 නිදහස ලැබීමෙන් පසු තේරී පත් වී ආ හැම ආණ්ඩුවකම කඩුකාරයෝ මෙන්ම කසකාරයෝද සිටියහ. ජනාධිපතිවරයාගේ කතාවට අනුව ඔහු කඩුව වනන්නේ දූෂණ සහ අක්‍රමිකතාවන්ට එරෙහිව බව පැහැදිලිය.

ප්‍රථම දේශපාලන කැපිල්ල එල්ල වුණේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාටය. නව දිල්ලියේ මහ කොමසාරිස් ලෙස පටවා යැවූ ඔහු ටික කලකින්ම අසනීපව ආපසු සිට රට බලා එමින් සිටියදී ගුවනේදීම මිය ගියේය. ඉන්පසු කඩුව එසවුණේ බණ්ඩාරනායක මහතාටය. එය සේනානායක - කොතලාවල - ජයවර්ධන බල කඳවුරුවලට මැදි වූ එකකි. එහෙත් කඩුව බෙල්ලට එල්ල වනතුරු බලා නොසිට බණ්ඩාරනායක මහතා ඇමතිකම් හැරදමා යන්නට ගියේය. පසුව රටේ අගමැතිවරයා වී ඝාතනයට ලක්විය.

ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසු සියලු ආකාරයේ කැපිලි කෙටිලි සහිතව බල අරගලය උත්සන්න විය.


1936 කුරුණෑගල මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වී මංමාවත් හා කර්මාන්ත පිළිබඳ විධායක කාරක සභාවේ සභාපතිකම දරා 1947 මහ මැතිවරණයේ දී දොඩන්ගස්ලන්ද එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා ලෙස පත් වූ ජෝන් ලයනල් කොතලාවල මහතා පක්‍ෂයේ පෙරමුණේ සිටියදී ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු අගමැති පදවිය ළාබාල ඩඞ්ලි සේනානායක මහතාට ලබාදීම එකල මහත් ආන්දෝලනයට තුඩදුන් එකක් විය. ඩී. එස්. සේනානායක මහතාගේ ආශිර්වාදය ඇතිව එවකට ආණ්ඩුකාර පදවියට පත්වී සිටි සෝල්බරි සාමි “තාත්තාගෙන් - පුතාට” යන ප්‍රතිපත්තියේ පිහිටා සිට එය සිදුකළ එකක් ලෙස දේශපාලන විචාරකයෝ හැඳින්වූහ.


1952 ඩඞ්ලි සේනානායක රජයේ සභානායක කම හා ප්‍රවාහන සහ රජයේ වැඩ ඇමති පදවිය ජෝන් කොතලාවලට හිමිවුවද ඔහු ඉන් සෑහීමකට පත් වූයේ නැත. කැබිනෙට්ටුව තුළ බල අරගලය මෝරා ගියේය. ‘අගමැති පොරය’ නමින් එදා ජෝන් කොතලාවල ලියා පළකරන ලද පොත ඩඞ්ලි සේනානායක ආණ්ඩුව දෙදරා හැරීමේ පදනම දැමීමට සමත් විය. අගෝස්තු හර්තාලය මැද අහිංසක ඩඞ්ලි 1953 ඔක්තෝබර් මස 12 වැනිදා අගමැති පදවියෙන් ඉල්ලා අස් වී කොතලාවලට රට බාර දුන්නේය.


කොතලාවල යනු කියන දේ කරන කරන දේ කියන නාහෙට නාහන, හිටිගමන් කටට ආ දේ ප්‍රසිද්ධියේ කියාපාන ජොලි බඩුවක් සැටියට නම් දැරූ හිත හොඳ දේශපාලනඥයෙකි. 1955 මුල්භාගයේ උතුරට ගොස් සිංහලයට දෙමළට සමතැන දෙන බව කියා ඔහු සිය දේශපාලන ජීවිතය අනාගත්තේය. 


ලංකාදීප ප්‍රධාන කතෘව සිටි සම්මානනීය පත්‍ර කලාවේදී ඩී. බී. ධනපාල මහතා විසින් ලියා පළ කරන ලද ්පදබට ඔයදිැ ඡරුිැබඑ පොතෙහි සර් ජෝන් ගැන ලියු ලිපිය අවසන් කොට ඇත්තේ ඔහු කොතරම් කතා කරනවාද? කතා කරගෙන කතා කරගෙන ගොස් අන්තිමේ කකුලේ මහපට ඇඟිල්ල කටේ දමා ගන්නවා යැයි සඳහන් කරමිනි. 


සර් ජෝන් අගමැතිකම් භාර ගත් හැටියේම කඩුව කොපුවෙන් ගෙන එහෙට මෙහෙට වැනුවේය. එහි මුල් ප්‍රතිඵලය වුයේ ඩී. එස්. තාත්තාගෙන් ඩඞ්ලි පුතාට අගමැතිකම පැවරූ සෝල්බරි සාමිට රට හැර යන තැනට කටයුතු යොදා ඒ වෙනුවට තීක්ෂණ බුද්ධියකින් යුතු රාජ්‍ය නිලධාරියකු සහ දේශපාලනඥයකු ලෙස එවකට නම් දරා සිටිමින් ඩඞ්ලි සේනානායක රජයේ මුදල් ඇමති පදවිය දැරූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කිරීමය. තමන්ගේ අගමැති පදවිය බාධා වලින් තොරව ස්වාධීනව පවත්වා ගත යුතු යයි සිතූ සර් ජෝන් ඊළඟ කැපිල්ල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුව සිටි ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මහතා වෙත එල්ල කළේය. ඩී. එස්. සේනානායක මහතාටත්, ඩඞ්ලි සේනානායක මහතාටත් නීති උපදෙස් ලබා දුන් ශ්‍රීමත් ලලිත රාජපක්ෂ බළපිටියේ මහා කප්පින වලව් පරම්පරාවෙන් පැවත ආ දැවැන්තයෙකු විය. තමන්ට කැපෙන බව දුටු ඔහු 1953 නොවැම්බර් මාසයේ දී අධිකරණ අමැති පදවියෙන් ඉල්ලා අස් වී ලන්ඩනයේ මහ කොමසාරිස් පදවියට පත් විය. 


සර් ජෝන්ගේ ඊළඟ කැපිල්ල එල්ල වුයේ ඔහුට මෙන්ම ජේ. ආර්. ජයවර්ධනට ද ඉරුවාරුදාවක් බවට පත්ව සිටි ආර්. ජී. සේනානායකටය. ජාතික නායකයකු ලෙස සැලකෙන ඇෆ්. ආර්. සේනානායක මහතාගේ වැඩි මහල් පුත් වූ ආර්. ජී. කපා හැරීමට පියවර ගැනීමට සේනානායකලා සිය කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමේ ප්‍රයත්නයක් විය. පක්ෂයේ දඹදෙණිය මන්ත්‍රීවරයා සහ ආණ්ඩුවේ වාණිජ හා වෙළඳ ඇමතිධුරය දැරූ ආර්. ජී. කැපිල්ල ඉව වැටී ඇමතිකම හැරදා හිමින් සීරුවේ ගෙදර ගියේය. 


සිංහලයන් හා ද්‍රවිඩයන්ට පනහට පනහේ බලය ඉල්ලා කෑ මොර ගැසූ කර්මාන්ත හා ධීවර ඇමති ජී. ජී. පොන්නම්බලම් මහතා සර් ජෝන්ට තවත් හිසරදයක් වී තිබිණ. තමන්ට පළා බෙදන බව දැන ගත් ඔහු ඇමති පදවියෙන් ඉල්ලා අස් විය. 


තමන් කපා හැරීමේ පියවර පිටුපස ජේ. ආර්. ජයවර්ධන මහතා සිටි බව විශ්වාස කළ ආර්. ජී. 1956 මහ මැතිවරණයේදී කැලණිය ආසනයට තරග කොට ජේ. ආර්. ජයවර්ධන පැරදවූවා පමණක් නොව එම මැතිවරණයේදීම දඹදෙනි ආසනය දිනා වාර්තාවක් පිහිටු වූයේය. 1956 මහ මැතිවරණයේදී යළිත් දොඩංගස්ලන්ද ආසනය දිනා ගැනීමට සර් ජෝන් සමත් වුවද වැඩි කලක් දේශපාලනයේ රැඳී නොසිට ඔහු එංගලන්තයේ ඉඩමක් මිලදී ගෙන එහි පදිංචියට ගියේය. එරට දී ඔහු විනෝදයට කළේ නරි දඩයමේ යෙදීමය. 


කෙසේ වුව පරිත්‍යාගශීලී දේශපාලනඥයකු වූ සර් ජෝන් සිය රත්මලාන කඳවල වලව්ව ජාතියට පවරා දී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පිහිටුවීම ජාතික මට්ටමේ සත් ක්‍රියාවකි.

 

 

 

 

 

 

උපාලි රූපසිංහ