“ජාතියේ පියා” යන විරුදාවලිය ලැබූ ඩී. එස්.ටත් වඩා ප්‍රබල චරිතයක් බි්‍රතාන්‍ය හා ශ්‍රී ලංකාව අතර සුහදතාව ගොඩනගාලීමට බලපෑවේය මෙරටට දේශපාලන නිදහස හා බලය ලබාදීමට තම තර්ක විතර්ක වලින් බි්‍රතාන්‍ය රජය කැමති කරවාගැනීමේ යුග මෙහෙවර කළ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකට එම ගෞරවය හිමිවෙයි. එහෙත් බි්‍රතාන්‍යයන්ට එරෙහිව ආසියාවේ යටත් විජිතයන් රැසක දේශප්‍රේමිහු අන්තිම මොහොත වන තුරුම අරගල නොනැවැත්වූහ. විශේෂයෙන් ඉන්දියාව හා නේපාලය තුළ දරුණු ලේ වැගිරීම් හා මර්දන ක්‍රියා සිදුවෙමින් පැවතිණි.


“අවදානම් යුද සටනේදී” බි්‍රතාන්‍යයට සහයෝගය දුන්නේ අපි විතරයි. ඉන්දියාවට හා බුරුමයට නිදහස දෙනවනම් මුලින්ම දෙන්න ඕනෑ අපේ රටටයි.” ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක තර්ක කළේය. බි්‍රතාන්‍යයන් අප දෙසට නම්මාගත හැකිවූයේ එම තර්කය මත යැයි ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි ගුණවර්ධන පෙන්වා දුන්නේය. ඒ අනුව 1945 දී ශ්‍රී ලංකාවට නිදහසදීම ගැන සොයා බැලීම සඳහා හර්වල්ඞ් රැම්ස් බොතම් හෙවත් සෝල්බරි සාමි ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියහ.


“නිදහස ඉල්ලුවට ලංකාවෙ මිනිස්සු තාම නොදියුණු ජාතියක්. එයාලා කොච්චර අපට විරුද්ධව යුද්ධ කළාද? කොච්චර බාධා කළාද? තාමත් ඉන්නෙ ඒ මානසික මට්ටමේමයි. එයාලට පුළුවන්ද අපිට අභියෝග කරන්න?”
බි්‍රතාන්‍යයන් තුළ මෙරට ගැන තිබුණේ එවැනි ආකල්පයකි. මේ බව වටහාගත් සර් ඔලිවර් උපායශිලීව මෙරට ජනතාවට දියුණු ලෝකය සමග එක්වීමට සුදුසුකම් ඇතැයි සෝල්බරි කොමිසමට ඔප්පු කළේය. කොමිසමේ සාමාජිකයන් ගමන් ගන්නා නුවර කලාපයේ මංමාවත්, කුඹුරු යායන් අසබඩ ගොවියන් හා ගෙවිලියන් ලෙස වෙස් ගැන්වූ සරසවි සිසු සිසුවියන් රඳවා තබන ලදී.


රාජ්‍ය අමුත්තන් රැගත් මෝටර් රිය එහි නැවැත්වූ විට සර් ඔලිවර් ඔවුන් හා කතා කිරීමට සෝල්බරි සාමිට ඇරයුම් කළේය.


සෝල්බරි සාමි භාෂා පරිවර්තකයකුගේ සහය ඉල්ලූ අතර ඉංග්‍රීසි උගත් තරුණ තරුණියෝ ව්‍යක්ත ඉංග්‍රීසි බසින් ඔහු ඇමතූහ. රටේ දියුණුව ගැනද බි්‍රතාන්‍ය රජයේ උපකාර ගැනද ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. නිදහස ලැබෙන තුරු රටම පුලපුලා බලා සිටින බවද දැන්වූහ. විමතියටත් සන්තෝෂයටත් පත් සෝල්බරි සාමි ඇතුළු පිරිස මේ පුවත් බි්‍රතාන්‍ය රජයට දැන්වීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට නිදහස පිරිනැමීමයි. 


එපමණකින් නොනැවතී මෙරටට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ශ්‍රීමත් අයිවෝර් ජෙනිංස්ට උදව් වූ සර් ඔලිවර් 1947-09-26 දරන රාජ්‍ය සේවයෙන් ඉවත්ව ඩී. ඇස්. රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යධූරය භාර ගත්තේය එවකට සර් ඔලිවර් සෙනෙට් මන්ත්‍රීවරයෙකි. නිදහස ලැබීමෙන් පසු බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ධූරයටත් ඔහු 1952 දී අගමැති ඩී. ඇස්. ගේ අවමංගල උත්සවයට සිය රටට පැමිණි අතර ඩබ්ලි සේනානායක ආණ්ඩුවේ කෘෂිකර්ම ආහාර ඇමැති ධූරයෙන් පිදුම් ලැබීය.


1953 හර්තාලය නිසා අගමැති ඩඞ්ලි ඉල්ලා අස් වූ බැවින් නව අගමැති ජෝන් කොතලාවලගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට සර් ඔලිවර්ට සිදුවිය. සර් ජෝන්ගේ සිත දිනා ගැනීම නිසා සර් ඔලිවර්ට අලුත් නිලයක අද්දැකීමක් ලැබිණ. ඒතෙක් ආණ්ඩුකාර ධූරය දැරූ සෝල්බරි සාමි විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුර පිරිනැමීමෙනි. දේශපාලන විචාරකයන් පවසන පරිදි ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක තරම් රාජ්‍ය සේවයේත්, දේශපාලනයේත් වගකිවයුතු තනතුරු දැරූවකු නොමැති වීමත් උගත්කමට පළපුරුද්ද හා පෞරුෂය එකතු වීමත් නිසා ඔහු මෙරට දේශපාලනයේ යුග පුරුෂයකු බවයි.

 


සුද්දන්ට කත් ඇද්ද එක්සත් ජාතික පාක්‍ෂිකයකු ලෙස වාමාංශිකයන්ගෙන් නම් සර් ඔලිවර්ට සමාවක් නොවීය. එජාපය තුළ සිටි බණ්ඩාරනායක මහතාගේ රාජකාරි කටයුතුවලට බාධා කළ බවටද ඔහුට චෝදනා නැඟිණ.
පෞද්ගලික ජීවිතයේදීත් බටහිර ප්‍රතිපත්ති කරපින්නාගත් ආඩම්බරකාරයකු ලෙස ජනතාව සර් ඔලිවර් දෙස බැලූ අතර ඔහුගේ කාර්යක්‍ෂමතාව නිසා අගරු නොකළහ. ඔහුගේ පෞද්ගලික ජීවිතයද ගැටලුවලින් ගහණ විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් එහි නිල පුවත්පත වූ සිංහලේ දොරට වැඩිණ. එතෙක් වාමාංශික පුවත්පත්වලින් සර් ඔලිවර් ඇතුළු එජාප නායකයන් හා ප්‍රතිපත්ති පතුරු ගසා තිබිණ. ඉංග්‍රීසි පාඨකයා මෙම දෝෂාභියෝගය ගැන තේරුම් ගෙන සිටි නමුත් සිංහල බහුතරයක් දැනුම්වත් වී නොතිබිණි.


මෙම අඩුව පුරවමින් ‘සිංහලේ” පුවත්පත බිහිවිය. එහි ඉංග්‍රීසි පුවත්පත ‘ට්‍රයින්’ විය. ට්‍රයින් පත්‍රයේ කතුවැකියෙන් සර් ඔලිවර්ගේ පෞද්ගලික ජීවිතයේ රහස් ජුගුප්සාජනක සිදුවීම් දැඩි ලෙස විවේචනය කරන ලදී මෙම නිර්භීත මෙන්ම භයානක පියවර ගත් පුවත්පත් කලාවේදිනිය පිළිබඳව එදා විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේද අවධානය යොමු විය.


එය ලංකා ජනමාධ්‍ය ඉතිහාසයේ පෙරළිකාර සිද්ධියක් ලෙස ප්‍රකටය. ඇය මාධ්‍යවේදීනියක සේම කාන්තා ක්‍රියාකාරකම්, කළු ජාතිකයන්ගේ අයිතින් මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමෙන් සටන් වැදී කාන්තාවක් වූ තේජා ගුණවර්ධනය.


1947 ජූලි මස 20 වැනිදා මරදානේ ව්‍යාපාරිකයකු වූ මානගේ පියදාස හා එළිසබෙන් පොන්වීර දෙපළගේ එකම දියණිය  ලෙස උපත ලද ඇය මරදානේ ක්ලිප්ටන් බාලිකාවෙන් මූලික අධ්‍යාපනය ලැබුවාය. කොළඹ කාන්තා විදුහලෙන් උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් බාහිර උපාධිය ලැබුවාය. ලතින් සහ ඉංග්‍රීසි භාෂාද තර්ක ශාස්ත්‍රය හා ආර්ථික විද්‍යාවද ඇගේ විෂයන් විය. උපාධිධාරී බැරිස්ටර්වරයකු හා දුම්රිය වෙළෙඳ අධිකාරීවරයකු වූ එච්. ආර්. ගුණවර්ධන ඇගේ සැමියා විය.


මහිලා සමිති ව්‍යාපාරයේ නියැළි ඇය විසින් ‘මහිලා’ පුවත්පත ඇරඹූ අතර වාමාංශික බලවේග සමඟ අත්වැල් බැඳගත්තාය. 


ලංකාණ්ඩුකාර සර් ඔලිවර්ගේ පෞද්ගලික රහස් හෙළිකිරීම වනාහී රාජ්‍ය නායකයෙකුට එල්ල වූ දෝෂාභියෝගයක් තරම් බලගතු චෝදනාවකි. ඒ නිසා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට ඇය සමත් වූවාය. සර් ඔලිවර් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අපහස නඩුවක් පැවැරීය. තේජා ගුණවර්ධනද රාජ්‍ය බලය ඉදිරියේ දණ නොනැමුවාය. ඇය මුදල් ගැන නොසලකාම තමා වෙනුවෙන් පෙනීසිටීමට තෝරා ගත්තේ විශ්ව කීර්තිධර බි්‍රතාන්‍ය නීතිවේදියකු වූ විලියම් ෆ්‍රීට්ය.


ඔහු ඒ වන විට රාජ්‍ය ද්‍රෝහි කැරලි නායකයකු ලෙස හංවඩු වැදී සිටි කෙන්යාවේ ජෝමෝ කිනියාටා එම චෝදනාවෙන් නිදහස් කර ගැනීමට බි්‍රතාන්‍ය ආණ්ඩුවත් සමග නඩුකියාගෙන ජයගත් අයෙකි. එනපොට හොඳ නැති බව දැනුණු නිසාදෝ සර් ඔලිවර් නඩුව සමථයකට පත්කර ගැනීමට සිතුවේය.


“අදාළ ලිපිය ගැන ප්‍රසිද්ධියේ කනගාටුව පළකරනවා නම් නඩුව ඉල්ලා අස්කර ගන්න සූදානම්.”


සර් ඔලිවර්ගේ නියෝජිත හර්බට් හුලුගල්ලේ ඉල්ලා සිටියේය. නමුත් තේජාගේ තේජසට එය පරාදවිණ.


තේජාසන්න චරිතයක් වූ සර් ඔලිවර් පුවත්පත් කලාවේදීනී තේජාගේ පෞරුෂය හමුවේ අඩපණ විය. අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ඇලන්රෝස් විසින් අපහාස නඩුව විභාග කළ අතර අවසානයේදී ලංකා ආණ්ඩුකාරවරයාගේ පැමිණිල්ල පසෙක දමා ඇය ගෞරවාන්විතව නිදහස් කරනු ලැබිණ.


තේජා ජාත්‍යන්තරය විසින් වැළඳගත් තවත් කරුණක් වූයේ ඇය ලියා පළකළ දේශපාලන සාහිත්‍ය කෘති නිසාය. “කොංගෝ දේශය නොසැලී ගැලවෙයි” ඉන්දු - චීන සබඳතා, චීන සංස්කෘතික විප්ලවය ජපානයේ අදිටන “කාෂෙප් වාදය ඉන් කිහිපයකි. කොහොඹ කංකාරිය විමර්ශනාත්මක විශිෂ්ට කෘතියකි. 


ලංකාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකගේ පරාදය ජනතාවගෙන් බහුතරයකගේ ප්‍රසාදයට හේතු වූ අතර වාමාංශිකයන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය තුළට පිරිසක්ද ඒ අතර වූහ. සභානායක ජේ. ආර්. ජයවර්ධන ඒ ගැන පවසා තිබුණේ අපූරු කියමනකි.


“පිරිමින් දහසකට වඩා එක තේජා කෙනෙක් වටිනවා” යනුවෙනි.


තේජාගේ වටිනාකම අවබෝධකරගත් තවත් කාන්තාවක් වූවාය. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියයි. ඇය තේජා පකිස්ථානයේ සහ ඉරානයේ තානාපතිවරිය ලෙස පත් කරනු ලැබුවාය.


එතුළින් ලැබූ රාජතාන්ත්‍රික දැනුම මත ලෝක සාම සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇයට හැකිවිණි. ඉංග්‍රීසි පන්නයට හැදීවැඩී අධ්‍යාපනය ලද උපතින්ම පොහොසත් වූ තේජා 1995 ජුලි 17 වැනිදා මිය යන විට තම සියලු වත්කම් බැරකම් සමාජ අභිවෘද්ධිය සඳහා යොදවා තිබු අතර සැමියාගේ විශ්‍රාම වැටුපෙන් පමණක් දිවි රැකගත්තාය.


ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකයන් ඩී. ඇස්. සේනානායකයන්ට මුණගැස්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ දේශපාලන හා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ මහා පුරුෂයකු බදු වූ ඩී. ආර්. විජේවර්ධනයන්ටය. ඩී. ඇස්. ට වඩා ජ්‍යෙෂ්ඨයකු වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන්ට ඉන්දියාවේ මහ කොමසාරිස් පදවියත් ජේ. ආර්.ට කැලණි අසුනේ සංවිධායකකමත් පිරිනැමීමට සලස්වා ජාතික නායකත්වය වෙත ඔසවා තැබීමේ මාර්ගය විවෘත කිරිමේ මූලිකයා සර් ඔලිවර් හැර අන් අයකු නොවේ.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි