ඉන්දියානු නිදහස් සටනට උරදුන් ඉන්දියාව හැර යනු (ූමසඑ ෂබාස්) ව්‍යාපාරයට දායකත්වය දුන් ඉන්දියානු වාමාංශික කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවන් තිදෙනෙක් ශ්‍රී ලාංකිකයන් වූහ. ඔවුන් පෙළපාළිය උද්ඝෝෂණවල නියැළෙමින් බි්‍රතාන්‍යයන්ට ආසියාවෙන් පිටවන ලෙස බලපෑම් කළහ. 


මෙම කතුන්ගේ ස්වාමිපුරුෂයන් ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණ. ඔවුන්ගෙන් දෙදෙනෙක් ලංකාවේ සිර ගෙවල් වලින් පලා ගියද යළි අත්අඩංගුවට පත් වූ අතර අනිත් තැනැත්තා සැඟවී ජීවත් විය. 
මෙම කතුන් තිදෙනා නම් බොරලුගොඩ සිංහයා යන අනර්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ වූ වමේ නායකයකු වූ පිලිප් ගුණවර්ධනගේ බිරිඳ වූ කුසුමා ගුණවර්ධනය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ බිරිඳ වූ සෙලීනා පෙරේරා සහ වමේ නියමුවකු වූ ලෙස්ලි ගුණවර්ධනගේ බිරිඳ වූ විවියන් ගුණවර්ධනය. අතුරුදන් වූ මොවුන් සොයා ඉන්දීය රහස් පොලිසියේ උකුසු ඇස යොමු විය. 


ඉතා සියුම්ව පරීක්ෂා කළ හොත් මින් ඉන්දියානු සම්භවයට අයත් නොවන බව හඳුනාගත නොහැකි තරමට ඔවුහු වෙස් මාරුකර සිටියහ. එක් තකත් මුස්ලිම් ලියක සේ හැඳ පැලඳ පර්දාව ලා ගත්තාය. දෙවැන්නිය බෙංගාල ලියක සේ සැරසී තිලකයක් තබා ගත්තාය. තෙවැන්නිය බටහිර ක්‍රමයට සැරසී ගෙලෙහි කුරුසියක් පැලඳ ගත්තාය. 


කුසුමා තම පවුල වෙනුවෙනුත් සම සමාජ පක්ෂය වෙනුවෙනුත් රටේ සමානාත්මතාව උදෙසාත් බොහෝ කැපවීම් කරමින් ද තම ස්වාමියාගේ අඩුව දරුවන්ට නොදැනෙන්නට සලස්වමින් ද ඔහු සිරබත් කද්දී හිස් වුණු අවිස්සාවේල්ල අසුන නියෝජනය කරමින් ද ජනප්‍රසාදය දිනාගත්තාය. 


1916 මැයි මස 26 වැනිදා දකුණු ලක තංගල්ල මෑදකැටියේ දොන් දාවිත් අමරසිංහ සහ මාගල්ලේ කච්චිය වත්තේ සොපි නෝනා අමරසිංහ යුවළට දාව උපත ලද ඇය සොයුරු සොයුරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූවාය. ‘කුසුම් සිරි’ ඇයට තැබූ නම විය. පවුලේ බඩපිස්සියට කාගේත් ආදරය හිමි විය. ඔවුන් ඇය ඇමතුවේ කුසුමා නමිනි. 


සම අයිතිය ඉල්ලා ගෙදර දී කළ අරගල නිසා රුව මෙන්ම කට ඇති දියණියක ද ලැබුණා යැයි මව්පියෝ සැනසුණහ. පියා වූ දොන් දාවිත් තම දරුවන්ට ජාතිකාභිමානය පිළිබඳව හැඟුම් ජනිත කරවන පොත පත කියවන්නට හුරු කළේය. ලෝ වැඩ සඟරාව මෙන්ම පියදාස සිරිසේනයන්ගේ පොතකද ඒ අතර විය. 


තංගල්ල ශ්‍රී රාහුල විදුහලෙන්, මාතර නිර්මල මරියා කන්‍යාරාමයට ඇතුළත්ව නේවාසික වූ යුගයේ කන්‍යා සොයුරියන් ඇය ඇමතුවේ නෙලී යන නමිනි. රාජකීය විදුහලේ ඉගෙනුම ලැබු සොහොයුරන් සමග ඇය යළි එක්වූයේ නිවාඩු කාලයේදීය. ගැමි ආරට සැකසූ ආහාර පානවලින් ඔවුන්ගේ මේසය පිරී තිබිණ. 


1920 දී පියාගේ වියෝවෙන් පසු විඩාපත් වූ වැඩිමහල් දියණිය කුසුමා නැගණිය කොළඹ මියුසියස් බාලිකාවට ඇතුළත් කළේ ලන්ඩන් මැටික්‍යුලේෂන් විභාගයට සූදානම් කිරීමටය. නේවාසිකව වූ කුසුම්ගේ හොඳම මිතුරියන් අතර සීතා සහ විවියන් වූවාය. 


සම සමාජ නායක පිලිප් ගුණවර්ධන සීතා හා විවියන්ගේ මාමා කෙනෙකු විය. හුරුබුහුටි ක්‍රියාශීලී යුවතියක වූ කුසුම් පිළිබඳව සිතක් පහළ වූ පිලිප් ඇය ගැන ඔවුන්ගේ විමසා බැලීය. සූරියමල් ව්‍යාපාරයට යෙහෙළියන් හා බැඳුණු කුසුමා වෙත පිලිප් තම ආදර තිළිණය පිරිනැමීය. ඒ සූරිය මලක් නොව වාමාංශික දේශපාලනය පිළිබඳ පුස්තකයකි. 


“ඕක අපූරු පොතක්. ඕක කියවල අදහස් අපටත් කියන්නකෝ.” ඇයගෙන් පිලිප් ඉල්ලා සිටියේය. දුර දිග ගිය ඔවුන්ගේ ප්‍රේමයට ප්‍රධාන බාධකයක් වූයේ සම සමාජය පවා පිළිකුලින් හෙළා දකින කුල භේදයයි. පිලිප්ගේ ඥාතියෝ නොපැමිණිය ද මංගල්‍යය සාර්ථකව පැවැත්විණ. 


එය කොතරම් චාම් අන්දමින් පැවැත්වුණාද යත් මුදු හුවමාරු කරන නැකතේදී පිලිප් ළඟ මුද්දක් නොවූයෙන් තම කබායේ තිබූ මුදුවක් වැනි බොත්තමක් ගලවා කුසුමාගේ ඇඟිල්ලේ පැලැන්දූ බව කියති. 


මේ කාලයේ දීම දෙවන ලෝක සංග්‍රාමය ඇරඹිණ. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ වාර්ෂික සම්මේලනය නියෝජනය කළ පිලිප්, බෙංගාල කම්කරු පක්ෂ නායක නිහේන්ද්‍ර / ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු වෙළෙඳ සංගම් නායක සෞමේන්ද්‍රනාත් තාගෝර් සහ ප්‍රමෝද් සෙන් ද බුරුම නියෝජිත යූ. මික් සින් ද ඇයට හඳුන්වා දුන්නේය. 


ඉන්දියාවේ කල්කටා, ලාහෝර්, ලක්නව් යන නගරවල 1936 - 1940 පුරා ඉන්දියානු කොන්ග්‍රසය පැවැත් වූ සම්මන්ත්‍රණ නියෝජනය කළහ. 


මෙරටට ආ විගස සම සමාජය නායකත්වයට සටන් දෙකකට මුහුණ දීමට සිදු විය. එනම් මෙරට අධිරාජ්‍ය විරෝධයයි. ඊළඟට දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි. බි්‍රතාන්‍යයන් තේ වතුවල ගෙන ගිය රුදුරු පාලනයට එරෙහිව කම්කරුවන් හා එක්ව උද්ඝෝෂණය කළ අතර මින් කිපුණු වැවිලිකරුවන් සහ ව්‍යාපාරිකයන් කළේ මෙය අනාගතයේදී බි්‍රතාන්‍ය විරෝධී කැරැල්ලක් විය හැකි බවට පෙත්සමක් රජුට යැවීමයි. 


මෙම පැමිණිල්ලත් සමග බි්‍රතාන්‍ය යටත් විජිත කාර්යාලය කළේ සම සමාජ - කොමියුනිස්ට් නායකයන් අත්අඩංගුවට ගැනීමට නියෝග දීමයි. ඒ අනුව 1940 ජුනි මස 17 වැනිදා සම සමාජ නායකයන් 05 දෙනා අත්අඩංගුවට ගැනිණ. 


මහනුවර, රජ වීදියේ සිර ගෙදර රඳවා සිටි ඔවුන් මුදවාගැනීම පිණිස සිර මැදිරිය බිඳීමේ සැලැස්මක් ක්‍රියාත්මක කෙරුණේය. ඒ අනුව සිර මැදිරියේ යතුරේ සලකුණ සබන් කැටයකට ගෙන සිරකරුවන් බැලීමට පැමිණි කුසුමා අතට පත්කෙරිණ. 


සබන් කැටය සඟවා ගෙන ගිය ඇය යතුරු සාදන්නකු ලවා තනවා ගත් යතුරු සිරකරුවන්ට දී දොර හැර පලායාමට සැලසුවාය. 1942 අප්‍රේල් 07 වැනිදා ජපනුත් කොළඹට බෝම්බ හෙළුෑ කලබැගෑනිය අස්සේ රටින් පලාගිය පිරිස ඉන්දියාවේ සඟවා ගත්හ. පසුව ඔවුන් හොර රහසේම කොළඹ පැන ආ අතර එකෙක් කළුබෝවිල පිලිප්ගේ ඥාති සොයුරාගේ නිවසේ සඟවා සිටි කුසුමාට ඇගේ ආහාර වේල පනිට්ටුවක බහා නාන ළිඳට ගෙනයන මුවාවෙන් ගෙන ගොස් බාර දුන් බව පැවසේ. 


මෙරට සැඟව සිටි සම සමාජ නායකයෝ තම වෙස් මෙන්ම නිවාසද මාරු කරමින් ජීවත් වූහ. එම නිවෙස් පවා අන්වර්ථ නාමවලින් හැඳින්විණ. ඒවා ඩම්ප් හා ෆෝටස් යනුවෙනි. 


එක් සුන්දර සැන්ඳෑවක කුසුමාගේ ඥාති නිවසට පැමිණි සම සමාජ පාක්ෂිකයෙක් ගිනි පෙට්ටියක් ඇය අත තැබුවේය. එය තුළ රහස් ලිපියක් විය. එහි මෙසේ සඳහන් විය. 


“වහා මා හමුවන්නට ෆෝටුස් නිවසට එන්න පිලිප්.”


මෙකල යුද සමයයි. රාත්‍රී පහන් ආලෝක දැල්වීම සපුරා තහනම්ය. එසේම පිරිමියකුට තබා කාන්තාවකට හෝ රෑ පානේ තනි පංගලමේ පාළු වීදිවල යාම භායානකය. ඒත් ඒ කිසිවකු කුසුමාට අදාළ නොවිණ. කුඩා කාලයේ මිතුරියන් සමග දඟ වැඩ කළා සේ ඇය සොහොයුරාගේ කලිසම් කබා හැඳ, තොප්පිය පැලඳ, පාවහන් ලා ගෙන පාරට ආවාය. අනතුරුව රික්ෂෝවක නැග, කොල්ලුපිටියේ සැමියා සැඟවී සිටි ෆෝටුස් නම් රහස් නිවසට ගොස් පිලිප් වැලඳ ගත්තාය. 


රට තුළ සම සමාජය එරෙහි මර්දනය දැඩි විය. පිලිප් සමග අනෙක් අය හොර රහසේම ඉන්දියාවට පලා ගියහ. කුසුමාට ද බලපැම් එල්ල විය. ඇය පසුදාම වෙස්වළාගෙන දුම්රියෙන් හා බෝට්ුවෙන් ඉන්දියාව පලා ගියාය. ඒ ජේ. යූ. ජයවර්ධන සහ එම මැතිනියගේ දියණිය ලෙස පාසල් ඇඳුමින් සැරසී ගෙනය. මොන තරම් අහිංසක යුවතියක ලෙස එහිදී ඇය හැසිරුණ ද ඒ වන විටත් කුසුමා ගැබිනියක බව දැන සිටියේ ළඟම ඥාතීන් පමණි. 
මෙරට අත්අඩංගුවෙන් හා එරට රහස් පොලිසියෙන් බේරී මදුරාසියේ සහ බොම්බායේ සියලු දෙනා වාසය කළේ අන්වර්ථ නාම වලිනි. 


පිලිප් ගුණවර්ධන හැඳින්වූයේ ජෝශප් ගුරුස්වාමි ලෙසය. සම සමාජයේ රෙජී සහ බිරිඳ වූ ෆ්ලෝරන්ස් සමග එහි ගිය කුසුමා සමග ඇගේ ඥාති සොහොයුරිය වූ විවියන් හා ඇයගේ සැමියා වු ලෙස්ලි ගුණවර්ධන සහ ඔවුන්ගේ දියණිය ද වූහ. 


ඇන්. ඇම්. සහ සෙලිනා යුවළ විසුවේ ගර්කානම් මහල් නිවාසයේය. කුසුමාට ද වෙස්වළා ගැනීමට සිදු වූ අතර ඇගේ නාමය වුයේ මේබල් ගුරුස්වාමිය. කුසුමා ඥාතී රැකවරණ මැද පිරිමි දරුවකු බිහි කළාය. ඔහු ඉන්දික නම් විය. යළි සිය රටට පැමිණෙන තුරු ළඳරුවාට ලියාපදිංචි කළ උප්පැන්න සහතිකයේ සඳහන් වූයේ අමාර් ඉන්දික ගුරුස්වාමි යනුවෙනි. පසුව ඉන්දික ගුණවර්ධන විය. 


වරෙන්තුකරුවන් ඇල්ලීම සඳහා රහස් පොලිසියද වෙස්වළා ගෙන එම ස්ථාන අවට සැරිසරුහ. වැඩිකල් නොගොසින්ම පොලිස් භාරයට පත් වුණු පිරිස බයිතුල්ලා සිර ගෙදරට ගාල්කෙරිණ. විප්ලවවාදීන් වු නිසා පිලිප්ට හා කුසුමාට ඉන්දිය පොලිසියට ගෞරවයක් තිබිණ. ඒ නිසා සැලකුම් ද ලැබිණ. 


1947 පෙබරවාරි 08 වැනිදා උපත ලද කුඩා ඉන්දික ළදරුවා සිරගෙය තුළ රැක බලා ගැනීම ඉතා අසීරු විය. කුසුමා සිංහල හා ඉංග්‍රීසි බසින් තමන් උගත් නැළවිලි ගී ගයමින් ඔහු නළවන්නට උත්සාහ කළාය. සැන්ඳෑවේ කාන්තා සිර මැදිරියේ සිට සැමියා වෙසෙන සිර කුටිය වෙත ළඳරුවා රැගෙන ගියාය. සහෝදරවරු සිඟිත්තා සුරතල් කළහ. 


1943 දෙසැම්බරයේ සිරකරුවන් යළි ලංකාවට එවන ලද අතර කුසුමා සහ බිලිඳා ඇතුළු පිරිසක් නිදහස් කෙරිණ. 


නොවිඳිනා දුක් විඳිමින් බිලිඳා රැගෙන සිය රටට පැමිණෙන විට කුසුමා ද රෝගී වී සිටියාය. බිලිඳාගේ සිරුර පුරා තුවාල වී තිබිණ. තුවාල සුව වන තුරු ඔහු තැබුණේ කෙසෙල් කොළයක් මතය. පියා නොමැති පවුලේ ආරක්ෂාව නඩත්තුව හා කළමනාකරණය කර ගැනීමට ඇයට මහත් වෙහෙසක් දරන්නට සිදු විණ. රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙස පිලිප්ට ලැබුණු වැටුප මහනුවර සිරගෙදර සිටියදී ද නොකඩවා ලද නමුත් 1942 දී පක්ෂය තහනමට ලක් වු දා පටන් නොලැබිණ. කුසුමා කා හටවත් අත නොපා තමා සතු රන් ආභරණ ඥාති සොයුරියකට ඇපයකට තබා ණය මුදලක් ගත්තාය. 


රන් ආභරණ බේරාගැනීම අසීරු වුවද පිලිප්ට අයිති ඉඩමේ ආදායම රොබට් ගුණවර්ධන විසින් ඔවුන්ට ලබාදීම මහත් සහනයක් විය. කුඩා මුනුපුරා දැක පිය සෙනෙහස ඉපදුණු පිලිප්ගේ පියා වු බොරලුගොඩ රාළහාමි ඔවුන්ට පිහිටට ආවේ ආහාරපාන වලින් අඩුවක් නොතබමිනි. 


දේශපාලන සිරකරුවන් කොන්දේසි රහිතව නිදහස් කරන ලෙස යෝජනාවක් 1945 මාර්තු මස 30 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන එන ලදුව සම්මත කෙරිණ. ජුනි 24 වැනිදා නිදහස ලැබු විරුවෝ මෝටර් රිය පෙළපාළියෙන් ජය ඝෝෂා මැද කොළමට ගෙන එනු ලැබුහ. සම සමාජ බළකොටු පිහිටි රුවන්වැල්ල, අවිස්සාවේල්ල, කොස්ගම, හංවැල්ල, කඩුවෙල හා කොළෙන්නාවේ සිර ඇඳුමින්ම සැරසී සිට ඔවුන් වෙත රතු මල් දම් පලඳවා පිළිගන්නා ලදි. කුසුමා ද දරුවා සමග පිලිප් ළඟ වූවාය. 


1946 අගෝස්තුවේදී කුසුමා දෙවන දරු උපත ලැබුවාය. 1947 සෝල්බරි කොමිසමේ ප්‍රතිසංස්කරණ යෝජනා අනුව මහ මැතිවරණයක් පැවැත්විණ. අවිස්සාවේල්ල අසුනින් තරගවැදුණු පිලිප්ට සහාය පිණිස කුසුමා ගෙන් ගෙට ඇවිද්දේ තුන් වන දරු ගැබ ද දරාගෙනය. සම සමාජයට ආසන 15 වක් දිනාගැනීමට එහිදී හැකි විය. 


සවුත් වෙස්ටර්න් බස් සමාගමේ වැඩ වර්ජනය සංවිධානය කිරීමේ වරදට පිලිප්ට තුන් මසක් සිරදඬුවමක් පනවා හත් වසරකට ප්‍රජා අයිතිය අහිමි කෙරිණ. එහිදී හිස් වුණු අවිස්සාවේල්ල අසුනට පැවැත්වූ අතුරු මැතිවරණයේදී නිතරගයෙන්ම කුසුමාට ජයග්‍රහණය හිමි විය. 


කිරිඇල්ල අසුන නියෝජනය කරමින් මැති සබයට ආ ෆ්ලෝරන්ස් සේනානායකට පසුව පාර්ලිමේන්තුවට පත් වූ දෙවන කාන්තාව කුසුමාය. නිදහසෙන් පසු පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණය නිතරගයෙන් දිනු එකම කාන්තාව ලෙස සම සමාජයේ කුසුමා ගුණවර්ධන 1948 මැයි 18 වැනිදා දිවුරුම් දුන්නාය. 1985 මැයි දිනයේ දී ඇය දැයට අහිමිවිය.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි